Print this Article


 

අනගාරික ධර්මපාලතුමාගේ 149 වැනි ජන්ම දිනය මේ මස 17 වැනිදාට යෙදී ඇත. ඒ වෙනුවෙන් පළවන විශේෂ ලිපියකි.

අනගාරික ධර්මපාලතුමාගේ සේවය මැනවින් අගය කළ හැක්කේ අවුරුදු 47 තිස්සේ එතුමා විසින් ලියන ලද පොත්පත් පරීක්‍ෂා කිරීමෙනි. සිංහල බෞද්ධයා, මහා බෝධි ආදී වාරික පුවත්පත් සහ වාරික ග්‍රන්ථ වලින්ද සිංහල හා ඉංගී‍්‍රසි භාෂාවලින් ලියන ලද කරුණු එදාට වඩා අද කාලයට ගැළපෙන බව විශේෂයෙන් සඳහන් කළ යුත්තකි.

දොන් ඩේවිඩ් හේවාවිතාරණ යන නාමය අතහැර ධර්මපාල හේවා විතාරණ වීමටත් එයද පසුව එම්. ධර්මපාල යන්නට වෙනස් කර ගැනීමටත් පසුව බ්‍රහ්මචාරි වෘතය සමාදන්වී අනගාරි ධර්මපාල ලෙස පෙනී සිටීමටත් ජීවිතයේ අවසාන කාලයේ දී බෞද්ධ ජීවිතයක මුදුන්මල්කඩ සේ සැලකිය යුතුව ඇති ශ්‍රමණ භූමියට පත්ව ධර්මපාල දේවමිත්ත ස්වාමීන්වහන්සේ ලෙසින් ද අපවත් වූ උන්වහන්සේ පෙළඹ වූ ජාත්‍යාලයත්, බෞද්ධ ශ්‍රද්ධාවත්, බෞද්ධ ධර්මය පිළිබඳ අවබෝධයත් කෙතරම් උසස් දැයි වටහා ගත හැක්කේ උන්වහන්සේ ලියන ලද ලිපි ලේඛන, කරන ලද දේශන හා පොතපත කියැවූ විටය. (දඹදිව සිව්මහ පුදබිම්, සිරිසමන් විජේතුංග පිටු 112 – 113 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙනි. 2011 )

අනගාරික ධර්මපාලතුමා පිළිබඳ ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ආචාර්ය කේ.ඩී.ජේ. විමලරත්න මහතා විසින් මෙසේ සඳහන් කර ඇත. 19 වන සියවසේ බෞද්ධ පුනරුදය ව්‍යාපාරය ඇති වූයේ ක්‍රිස්තියානි මිෂනාරින්ගේ බලපෑම මත බුද්ධාගමට දැක්වූ අනුග්‍රහය නවතා දැමීම නිසා බව පැහැදිලිය. බටහිර සිරිත් විරිත් අනුකරණය කරන බෞද්ධ සංස්කෘතියට පටහැනි සමාජයක් ගොඩනැඟීමට උත්සාහ කළෙන් සිංහල බෞද්ධ පාසල් අධ්‍යාපනය සහ පිරිවෙන් අධ්‍යාපනය ඇතුළු පන්සල අධ්‍යාපනය ද ක්‍රමයෙන් ප්‍රපාතයට වැටිණි.

සෙන්පති ඕල්කට්තුමා 1880 දී මෙරටට පැමිණෙන විට අනගාරික ධර්මාපලතුමාගේ (එකල නම දොන් ඩේවිඩ් හේවාවිතාරණ) වයස අවුරුදු 16 කි. මිෂනාරි පාසල් වල ඉගෙන ගත්තද විද්‍යෝදය පිරිවෙනේ ලත් අධ්‍යාපනය නිසා මෙතුමා 1884 දී බෞද්ධ පරමවිඥානාර්ථ සමාගමේ සාමාජිකයෙකු ලෙස බැඳුණි. ධර්මපාලතුමා තම දින පොතේ 1884 – 1890 දක්වා කාලය තුළ තමාත් කරෝලිස් පූජිත ගුණවර්ධන මහතාත් ආගමික ප්‍රශ්න ගැන සාකච්ඡා කරමින් සහෝදරයන් මෙන් වාසය කළ බව සඳහන් කරයි. කරෝලිස් පූජිත ගුණවර්ධන මහතා 1880 දී බෞද්ධ පරමවිඥානාර්ථ සමාගමට බැඳී ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස සේවය කරමින් ධර්මපාලතුමා සමඟ ඉන්දියාවට යෑමටත් උපකාරී වූ බව අනගාරික ධර්මපාලතුමාගේ දින පොතෙහි සඳහන් වෙයි. බෞද්ධ පුනරුදය ව්‍යාපාරයේ අනික් පුරෝගාමීන් සමඟ උරෙන් උර ගැටී කටයුතු කළ අනගාරික ධර්මපාලතුමා බෞද්ධ ආරක්‍ෂක කමිටුවේ සහකාර ලේකම් ලෙසත් සරසවිසඳරැස පත්‍රයේ කළමනාකරු ලෙසත් ක්‍රියා කළේ ය. තම පියා වූ දොන් කරෝලිස් හේවාවිතාරණ මහතාද බෞද්ධ ආරක්‍ෂක කමිටුවේ නිලතල දැරූ හෙයින් අනගාරික ධර්මපාලතුමාට මෙම ව්‍යාපාරය හා ළඟින්ම සම්බන්ධවීමට රුකුලක් ලැබිණි. (ලංකාවේ බ්‍රිතාන්‍ය ආධිපත්‍යය 1796 – 1948 ආචාර්ය කේ.ඩී.ජී. විමලරත්න පිටු. 144 – 145 – 1992)

එවකට ඕල්කට්තුමා දිවයින පුරා සංචාරය කරමින් කළ දේශනා සිංහල භාෂාවට පරිවර්තනය කළේ තරුණ අනගාරික ධර්මපාලතුමාය. පරම විඥානාර්ථ සමාගමට සිය සහාය ලබාදෙන අතරේදී ලොව පුරා බෞද්ධ ප්‍රබෝධයක් හා බුද්ධාගම දියුණු කිරීම පිණිස ඉතාම ප්‍රබල සංවිධානයක් පිහිටුවීමේ අවශ්‍යතාව එකල අනගාරික ධර්මපාලතුමාට තදින්ම දැනුණේ ය. එය සිත තුළ කිඳා බැස තිබූ අදහසක් ද වූයේ ය. ඒ අතරේ 1890 ගණන්වලදී ඉන්දියාවේ බුද්ධගයාව ඉතාමත් දරුණු අන්දමින් විනාශයට පත් වෙමින් ඇති බව සියැසින්ම දුටු ශ්‍රීමත් එඩ්වන් ආර්නෝල්ඩ් මහතා විසින් ටෙලිග්‍රාෆ් නමැති සඟරාවට ලියන ලද ලිපිය අනගාරික ධර්මපාලතුමාට කියැවීමට ලැබුණි. මෙයින් පසුව තම සිත කම්පාවට පත් වූ අනගාරික ධර්මපාලතුමා එකල දඹදිව බුද්ධගයාවේ මේ තත්ත්වය සියැසින්ම දැක ගැනීමට 1891 වර්ෂයේ දී එහි ගියේ ය.

නැවතත් ආපසු ලංකාවට පැමිණි අනගාරික ධර්මපාලතුමා 1891 මැයි මස 31 වැනි ඉරිදා දිනයේ දී අනාගත වැඩපිළිවෙළ සඳහා මහෝපකාරී වූ කටයුත්තක නිරතවූයේ ය. එනම් එදින, කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ දී ‘මහාබෝධි සමාගම’ පිහිටුවීමය. එම මහාබෝධි සමාගමේ ප්‍රථම සභාපතිධුරයට මෙරටේ බෞද්ධ පුනරුදයේ මහා පැවිදි ප¼ඩිරුවනක් වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණෝ පත්වූහ. සැබවින්ම මෙම මහාබෝධි සමාගම පිහිටුවීම මූලික අරමුණ ලෙසින් අනගාරික ධර්මපාලගේ අධිෂ්ඨානය එවක දඹදිව බුද්ධගයා පුදබිම හින්දු බලපෑමෙන් බේරාගැනීම සහ ඒ සඳහා සහභාගිත්වය ලබාගැනීම පිණිස බුද්ධගයාවේ භික්‍ෂූන්වහන්සේලා නැවැත්වීමේ කටයුතු සිදු කිරිමය. ඊට අමතරව බුද්ධ ධර්මය ඉන්දියාවේ සහ ලොව පුරා පතුරුවා හැරීමත් බෞද්ධ පොත පත ප්‍රකාශයට පත් කිරීමත් අනගාරික ධර්මපාලතුමා විසින් මහාබෝධි සමාගමට පිහිටුවීමේ අරමුණු වූයේ ය. ඉන්දියාවේ බුද්ධගයාව ඇතුළු තවත් පුදබිම් වලට එල්ලවී තිබුණු තර්ජන ඉවත් කිරීමේ මහා සටන සක්‍රීයව ඉන්දියාව තුළ ක්‍රියාත්මක කිරීමට මින් පසු අනගාරික ධර්මපාලතුමා යෙදුණු බව ඉතා ප්‍රකටය.

කෙතරම් බාධක මධ්‍යයේ වුවද අනගාරික ධර්මපාලතුමා විසින් පිහිටුවන ලද මහාබෝධි සමාගමට නායකත්වය දෙමින් එකල බුද්ධගයාවේ මහාබෝධි විහාරය අයත්කරගෙන සිටි මහන්තා නම් හින්දු පූජකවරයාට එරෙහිව, නීතිය හමුවට පවා ගොස් බුද්ධගයාව සිංහල බෞද්ධ ජනතාවට නැවත ලබාදීමේ සටන දිගටම කරගෙන ගියේ ය.

අනගාරික ධර්මපාලතුමාගේ මෙම උත්තුංග වූ සේවාව සිංහල බෞද්ධ නායකයන්ගේ පමණක් නොව විදේශික විද්වතුන්ගේ ද ඉමහත් ප්‍රසාදයට ලක් වූයේ ය. මේ පිළිබඳ මෙන්ම අනගාරික ධර්මපාලතුමා පිළිබඳ ග්‍රන්ථ රැසක්ම සිංහල හා ඉංගී‍්‍රසි භාෂාවලින් ලියූ ලෝකප්‍රකට බෞද්ධ පඬිවරයෙකු වන ආචාර්ය ආනන්ද ගුරුගේ විද්වතා මෙසේ සඳහන් කරයි. අනගාරික ධර්මපාලතුමාගේ අද්විතීය වික්‍රමය වනාහි බුද්ධගයාව බෞද්ධයන්ට නැවත ලබාදීමේ මහා ප්‍රයත්නයයි. ‘බුද්ධගයාව බේරා ගනිව්’ යන පාඨයෙන් සකළ ලෝකවාසී බෞද්ධයන්ගේ සිත් මෙම ප්‍රශ්නය දෙසට යොමු කැරිණ. දඹදිව නැවත බුදුසමය පතුරුවාලීමේ කාර්යය මෙතුමාගේ ජීවිතයේ අතිශයින්ම සාර්ථක කළ වැදගත්ම කරුණය. මහාබෝධි සමාගම පිහිටුවන ලද්දේ මේ ශ්‍රේෂ්ඨ කාර්යය ඉටු කරගැනීමටය. ධර්මාශෝක රජුගේ කාලයේ දී සිට ලංකාව ඉන්දියාවට (පුරාණ භාරතය) ණය ගැතිව සිටියේ බුදුසමය සහ බෞද්ධ සංස්කෘතිය අප රටට එවනු ලැබූ හෙයිනි. අනගාරික ධර්මපාලතුමාගේ අප්‍රතිහත ධෛර්යය නිසා ඒ ණය ගෙවා ගැනීමට සිංහල බෞද්ධයින්ට ඉඩ ලැබුණි. සාරානාත්හි පිහිටුවන ලද නව මූලගන්ධකුටි විහාරය මෙතුමාගේ තවත් වික්‍රමයකි. එය දඹදිව බුදුසසුන පිහිටුවාලීමට ගත් උත්සාහය මුර්තිමත්කොට දක්වන්නකි. (ධර්මපාල ලිපි සංග්‍රහය – ආචාර්ය ආනන්ද ගුරුගේ පී. 22 (සංඥාපනය) 1991)

මීළඟට අපි ලංකාවේ බෞද්ධ පුනරුදය සඳහා අනගාරික ධර්මපාලතුමාගේ සේවාව ගැන විමසා බලමු. පළමුව එතුමා උපත ලබන (1864 සැප් 17) කාලයේ දී ලංකාවේ තිබූ ආගමික හා සංස්කෘතික පරිහානිය පිළිබඳ විමසා බලමු.

ශත වර්ෂ තුනකට අධික කාලයක් තිස්සේ විදේශීය පාලනය නිසා අප රටේ බෞද්ධ සංස්කෘතික පදනම දෙදරන්නට පටන් ගත්තේ ය. පුරාණ කාලයේ සිට සිංහල බෞද්ධ ජනතාව අතර පැවැති චාරිත්‍ර, වාරිත්‍ර අමතක වී සංකර සිරිත් විරිත් වලට ගැති වී පරසිරිත් වලට හසුවී සිටි ඇතැම් සිංහල බෞද්ධ ජනතාව පරිහානියට පත්ව සිටි අඳුරු යුගයකදී අනගාරික ධර්මපාලතුමා උපත ලැබූහ. මේ මහා උත්තුංග වූ පින්වත් පුත්‍රයාණන්ට හේවාවිතාරණ දෙමාපියන් දෙන ලද නාමය වූයේ දොන් ඩේවිඩ් යන නාමයයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සමඟ සම්බන්ධ වූ විදේශීය ආගමික පසුබිම යටතේ එදා සමාජය තුළ පැවැති තත්ත්වය එසේ ය.

ඒ කාලය අනුව බ්‍රිතාන්‍ය පාලන තන්ත්‍රය යටතේ ලැබීමට හැකි ඉහළම තනතුරවූ අධ්‍යාපන අමාත්‍යංශය ලිපිකරු තනතුරකට එතුමා පත්වූයේ ය. කොළඹ සමාජයෙහි නවීනපන්නයට හැඩ ගැසුණු උසස් ධනවත් පවුලක ළමයෙකුව ලබන්නට හැකි සෑම පහසුකමක්ම පියා වූ දොන් කරෝලිස් හේවාවිතාරණ හා මව වූ මල්ලිකා හේවාවිතාරණ දෙදෙනා එතුමාට ලබා දී තිබුණි. පාරම්පරිකව වසර දෙදහසකටත් වඩා කාලයක සිට පැවැති බුද්ධාගම හා ආශි‍්‍රත වූ ජාතික, ආගමික සම්ප්‍රදායන් අමතකර විදේශිකයන් අනුකරණයට හුරුවී සිටි සමාජයට එරෙහිව නැඟී සිටීමේ අධිෂ්ඨානයක් එතුමාට යෞවන යුගයේදීම පිහිටා තිබුණි.

සිය මවගේ විශේෂ පරිශ්‍රමය මෙන්ම කොටහේනෙ විහාරස්ථානයේ දී හමු වූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේත් මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනෙහි දී හමු වූ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගේත් ආශ්‍රය නිසා බුදුසමය කෙරෙහි ශ්‍රද්ධාසම්පන්න ඇල්මක් මෙතුමා තුළ පහළ විය. මේ නිසා විදේශීය බලපෑම්වලට හිස නොනමා ස්වාධීන අදහස්වලින් බෞද්ධ ධර්මයේ අවබෝධයෙන් ප්‍රබෝධයට පත් වූ තරුණ දොන් ඩේවිඩ් හේවාවිතාරණ (පසුව අනගාරික ධර්මපාලතුමා) ජාතික හා ආගමික දායාදය රැක ගැනීමට සටන් කරන්නෙකු ලෙස සිය දක්‍ෂතාවයන් මතු කර ලන්නට සමත් විය. පානදුරාවාදයේ දී බෞද්ධයන් ලද ජයග්‍රහණය අසා මෙරට බෞද්ධයන්ට බෞද්ධකම හා සම්බන්ධ වූ එම අයිතිය ලබාදීමටත් බුදු සසුන බැබළවීමේ චේතනාවෙන් මෙරටට පැමිණි ඇමරිකන් ජාතික කර්නල් ඕල්කට්තුමා සමඟ මෙරට සංචාරයේ දී ධර්ම ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධවීමට අනගාරික ධර්මපාලතුමාට මුල් කාලයේ දී අවස්ථාව ලැබුණි. සිය රජයේ රැකියාව හැර දමා මේ කෙරෙහි යොමු වූ එතුමා පුරා අවුරුදු හතළිස් හතක්ම සිය දිවි ඒ සඳහා කැප කළේ ය.

අනගාරික ධර්මපාලතුමා බෞද්ධයන්ගේ උදාසීනත්වය ගැන කළ කිරුණෙන් සෑම වේදිකාවකින්ම ඔවුන්ට බැණ වැදුණේ ය. තමාගේ රට ජාතිය ආගම ගැන නොතකා පරසිරිත් වැලඳගෙන වහල් අදහස් ඇතිව ජීවත්වුණු සිංහලයන්ට සිය ජාතික හා ආගමික දායාදයේ වටිනාකම පහදා දීමට එතුමා කටයුතු කළේ ය. ‘සිංහලයිනි නැගීටිව්’ යන්න දිවයින පුරාම රැව් පිළිරැව් දෙන සටන් පාඨයක් වන තරමටම මෙතුමා එකල සිංහලයන්ගේ හීන දින ගතිගුණ නැතිකොට නව ජාතියක් ගොඩනඟා ගැනීම සඳහා ගමින් ගමට යමින් දේශනා පැවැත්විය. වාද කළේ ය. විවේචනය කළේ ය. ලිපි ලිව්වේ ය. අනගාරික ධර්මපාලතුමා මෙරට සිංහල ජාතිය අවදි කිරීමට කළ ඒ කාහල නාදය යුග යුග ගණනක් මේ රටේ රාව ප්‍රතිරාව දෙනු ඇත.

මෙතුමාගේ සේවය මැනවින් අගය කළ හැක්කේ අවුරුදු හතළිස් හතක් තිස්සේ ලියන ලද ලිපි ලේඛන පොත්පත් කියැවීමෙනි. 19 වන සියවසේ මුල් භාගයේ දී භාරත දේශයේ උපන් කිසිම බෞද්ධ නායකයෙකුට හෝ දේශපාලනඥයෙකුට කළ නොහැකි වූ සුවිශේෂ ක්‍රියාදාමයක් අනගාරික ධර්මපාලතුමා ඉටු කළේය.

අප රටේ ඉතිහාස පොතේද අනගාරික ධර්මපාලතුමා පිළිබඳ ඉතා විස්තර සහිත පරිච්ඡේදයක් ලිවිය යුතුව ඇත. පණ්ඩිත ගනේගම සරණංකර නාහිමි ඇතුළු අප රටේ ගිහි පැවිදි විද්වතුන් රැසක් විසින්ම අනගාරික ධර්මපාලතුමා පිළිබඳ පොතපත ලියා ඇත. ඒ අතර එතුමා ඉතා ළඟින්ම ඇසුරු කළ කේ.බී. සුගතදාස, ඩේවිඩ් කරුණාරත්න, බ්‍රහ්මචාරී දේවපි‍්‍රය වලිසිංහ, ලක්‍ෂමන් ජයවර්ධන, ආචාර්ය ආනන්ද ගුරුගේ යන ගිහි විද්වත්තු ද වූහ. අනගාරික ධර්මපාලතුමා අප රටේ බෞද්ධ අධ්‍යාපනය දියුණු කිරීමට ඉමහත් සේවාවක් ඉටු කළේ ය. විශේෂයෙන්ම ඒ සඳහා මුල් කාලයේ දී ඕල්කට්තුමා සමඟ කටයුතු කළේ ය.

අනගාරික ධර්මපාලතුමාගේ ජීවිතය පිළිබඳව විමසා බලන විට එතුමාගේ ජීවිතයේ නොයෙක් සිදුවීම් කෙතරම් ද යත් ඒවා සියල්ලම මෙවන් වූ කෙටි ලිපියකින් සංක්‍ෂිප්ත කළ නොහැකිය. 1893 දී හරියටම මීට වසර 110 (එකසිය දහයකට)ට ඉහතදී චිකාගෝ නුවර පැවැති ආගම් පිළිබඳ ලෝකදෘෂ්ටි සම්මේලනය අමතා කළ දේශනය බුදුදහම බටහිර රටවලට මෑත භාගයේ දී දේශනා කළ ප්‍රථම අවස්ථාව වූයේ ය. ඉහත සඳහන් චිකාගෝ දෘෂ්ටි සම්මේලනයට අනගාරික ධර්මපාලතුමා සහභාගි වීමට ගියේ කල්කටාවේ සිට නිසා එම සමුළුව ගැන වාර්තා කළ ලොව බොහෝ පුවත්පත් සහ සඟරාවල සඳහන් කර තිබුණේ, කල්කටාවේ සිට පැමිණි අනගාරික ධර්මපාල මහතා” යනුවෙනි.

චිකාගෝ නුවර පැවැති එම දෘෂ්ටි සම්මේලනයේ දී අනගාරික ධර්මපාලතුමා කළ දේශනය ලොව පුරා ප්‍රචලිත විය.