UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ කවරෙක්ද යන්න ලොව හමුවෙහි තැබූ අවස්ථා කිහිපයක් පිළිබඳව සටහන් කරන්න.

පිළිතුර - බුදුරජාණන් වහන්සේගේ පා සටහනෙහි මංගල ලක්ෂණ දුටු “ ද්‍රෝණ” නම් වූ එක් බ්‍රාහ්මණයෙක් උන්වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කළේය.

ඔබ දෙවි කෙනෙක් ද?

නැත බ්‍රාහ්මණය ! මම දෙවි කෙනෙකුන් නොවෙමි.

එසේ නම් ඔබ ගාන්ධර්වයෙක් ද ?

නැත බ්‍රාහ්මණය, මම ගාන්ධර්වයෙක් ද නොවෙමි.

එසේ නම් ඔබ යක්ෂයෙක් ද ?

මම යක්ෂයෙක් ද නොවෙමි.

එසේ නම් ඔබ වහන්සේ මනුෂ්‍යයෙක් ද ?

නැත බ්‍රාහ්මණය, මම මනුෂ්‍යයෙක් ද නොවෙමි.

දෙවියකු ද – ගාන්ධර්වයකු - යක්ෂයකු හෝ මනුෂ්‍යයකු වශයෙන් සසරේ උපදින්නට හේතු වන කරුණු සියල්ල තමා සිඳ දැමූ බව පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ,

නෙත් අදන මනහර
පියුමක් දියෙහි පිපුණත්
නොගැටී දියෙහි දිය මත
පියකරුව බබළන මෙන්,
දිනූ මුත් ලෝ තුළ
වසනෙමි ඉන් නොකෙළෙසී
බුදු කෙනෙකි එහෙයින
බමුණ මා මේ මනුලොව
යනුවෙන් වදාළහ

ප්‍රශ්නය - යමකු විසින් යම්කිසි කුසල හෝ අකුසල ක්‍රියාවක් කිරීමට මත්තෙන් ඒ පිළිබඳ යොනිසො මනසිකාරය පෙරදැරිව විග්‍රහ කිරීමෙන් ( යථාර්ථයෙන් ) තමා විසින් කරනු ලබන එම ක්‍රියාව කුසලයක් ද, අකුසලයක් ද, කියා තමාටම දැනුමක් අවබෝධයක් ලබා ගත හැකිය. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ යොදා ගත් ( මිනුමක් ) ප්‍රමාණයක් වනුයේ ප්‍රත්‍යවේක්ෂණයයි ( ප්‍රති + වි + ඊක්ෂණ )

මෙම කර්ම විග්‍රහය පිළිබඳව සූත්‍රාගත තොරතුරු ඇසුරෙන් පැහැදිලි කරන්න.

පිළිතුර - ( ම: නි: අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍ර ) මෙම න්‍යාය ( ක්‍රමය) රාහුල හිමියන්ට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ එකකි. “රාහුලය! කැඩපත කවර ප්‍රයෝජනයක් සඳහා වෙයිද ? ප්‍රත්‍ය වෙක්ෂණය සඳහා ය. ස්වාමීනි ! එසේ නම් රාහුල ඔබ කයින් වචනයෙන් සිතින් කරනු ලබන ක්‍රියාවන් තමන් කෙරෙහි හා අනුන් කෙරෙහි බලපාන්නේ කවර ආකාරයෙන් දැයි විමසා බැලීමෙන් එම ක්‍රියාවෙහි කුසලාකුසල භාවය ප්‍රමාණ කරගත හැකි වෙයි. රාහුල ඔබ කයින් යම් කර්මයක් කරන විට ඒ කර්මය මෙසේ මෙනෙහි කළ යුතුය. “ මා විසින් කරනු ලබන මේ කාය කර්මය මගේ විනාශය සඳහා හේතු වන්නේ ද ? අන්‍යයන්ගේ විපත සඳහා පවතින්නේ ද ? දෙපිරිසේම විනාශය සඳහා හේතු වන්නේ ද මේ කාය කර්මය දුක් විපාකය සඳහා යොමුවන කාය කර්මයකි. අකුසලයකි.”

වේලුද්වාර සූත්‍රයෙහි දී ( සං : නි: ) දැක්වූ “අත්තුප්පනායික” ධර්ම පරියාය ද කුසලාකුසල විග්‍රහයෙහි දී බුදුරදුන් යොදා ගත් ප්‍රමාණයක් ලෙස ද සැලකිය හැක. තමා “ උපමානය” වශයෙන් තබාගෙන ක්‍රියාවක් තමා කෙරෙහි බලපාන අයුරු මෙනෙහි කර එය කුසලයක් ද අවබෝධ කර ගෙන අකුසලයෙන් කුසලයට යොමුවන ආකාරයක් මෙහි දක්වා ඇත.

“මම ජීවත්වනු කැමැත්තෙමි. මරණයට අකැමැත්තෙමි. දුක පිළිකුල් කරමි. යමෙක් එසේ වූ මා ජීවිතයෙන් තොර කරන්නේ නම් ඒ මට ප්‍රිය මනාප නොවේ. මම ද ජීවත්වනු කැමැති, මරණයට අකමැති, වෙනත් අයකුගේ ජීවිතය විනාශ කරන්නේ නම් එය ඔහුට ද අප්‍රිය අමනාපය සඳහා ම වේ.

ප්‍රශ්නය – ත්‍රිපිටකයෙහි ඇතුළත් බෙහෙත් වර්ග කිහිපයක් නම් කරන්න.

පිළිතුර – බුදුරජාණන් වහන්සේ වැඩ සිටි පැරැණි දඹදිව පැවැති ජනහිතකාමී, නිරෝගී සුවය සඳහා වූ විවිධ බෙහෙත් වර්ග පිළිබඳ තොරතුරු පාලි ත්‍රිපිටකයෙහි ඇතුළත්ව ඇත. මේ එබඳු අවස්ථා කිහිපයකි. මෙම තොරතුරු දැනුවත්ව ජීවිතය පවත්වා ගෙන යාම ආරෝග්‍ය සඳහා බෙහෙවින්ම හේතුවනු ඇත. මෙබඳු බෙහෙත්, අත් බෙහෙත් වශයෙන් භික්ෂූන් වහන්සේලාගේ දෛනික පරිභෝජනය සඳහා යොදා ගන්නට ඇත.

“යාගු” කැඳ බීමෙහි ආනිසංස දසයෙකි.

1. දීර්ඝායුෂ ඇති වේ.
2. ශරීරය පැහැපත් වර්ණවත් වේ.
3. සුවය ලැබේ
4. ශක්තිය ( බල ) ලැබේ.
5. පටිභාන හෙවත් ධාරණ ශක්තිය ලැබේ.
6. සාගින්න ( කුසගින්න ) නිවේ.
7. පිපාසාව ( තිබහව ) නැතිවේ.
8. වාතය – අනුලෝම වේ.
9. වස්ති ශෝධනය ( මළපහ කිරීම ) වෙයි.
10. ආහාර ජීර්ණය පහසු කරයි.
( මහා භෙසජ්ජක්ඛන්ධක )

පස් ගෝ රස

කිරි, දීකිරි, තක්ක ( මෝරු ), නවතීත ( වෙඬරු ), සප්පි ( ගිතෙල් )

අෂ්ට පාන

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට විකාලයෙහි වුවද, පානයක් ලෙස ගැනීම වරදක් නොවන බව සඳහන් කොට ඇත.

1. අඹ පැන්
2. දඹ පැන් ( ජම්බු )
3. ඇට කෙසෙල් පැන්
4. කෙසෙල් පැන්
5. මී පැන් ( මධු පානය )
6. මිදි පැන් ( මුද්දික පානය )
7. ඕලු පැන් ( සාලුක පානය )
8. ඵාරුසක පානය

ප්‍රශ්නය - සක්මනෙහි අනුසස් දක්වන්න.

පිළිතුරු - ( අං: නි : පද්මක නිපාත 364 )

1. ගමනෙහි පහසු වෙයි. (අද්ධානක්ඛම )
2. වීර්ය ( ශක්තිය ) ජනනය කරයි.
3. අල්පාබාධ ( නීරෝගී බව ) ඇති වෙයි.
4. ආහාර දිරවීම ඇති කරයි.
5. මානසික සෞඛ්‍ය වර්ධනය කරයි.

අඩු ආයුෂ වැළඳීම හෙවත් දීර්ඝායුෂ ඇති නොවීමට හේතුවන කරුණු පහක් අ: නි: පංචක විපා : ගිලානවග්ගයෙහි දී සඳහන්ව ඇත.

1. අසත්ප්‍රාය භෝජන ( අපථ්‍ය ආහාර ) ගැනීම
2. සත්පාය භෝජන ( පථ්‍ය ආහාර ) හඳුනා නොගැනීම.
3. අනුභව කළ ආහාර දිරවීමට කලින් ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම.
4. විහරණය ( නිදි මැරීම ) ආදී අවස්ථා නොසලකා හැරීම.
5. බ්‍රහ්මචාරී නොවීම ( කාමාශක්ත ) අයකු වීම.

ප්‍රශ්නය - ඉපැරැණි ශ්‍රී ලංකාවේ මුල්වරට දළදා පෙරහරක් පැවැත්වූ බවට වංශ කථාවල දක්නට ලැබෙයි. මේ දළදා පෙරහරට මූලිකව කටයුතු කළ රජතුමා කවුද? පෙරහර පවත්වන ලද ඓතිහාසික ස්ථානය කුමක්ද ?

පිළිතුර - කිත්සිරිමෙවන් රජු දවස අනුරාධපුර ( අභියුක්ත විහාර ) අභයගිරි විහාරය. මහා විහාරය පිහිටුවා අවුරුදු 217 මාස 10 හා දින 10 ක් ගිය තැන අභයගිරි විහාරය (අභියුත්තර ) විහාර පිහිටුවන ලදී.

වට්ටගාමිණී රජු විසින් කරවන ලද මෙය පිරිවෙන් හෙවත් කුටි 12කින් පරිමිතය.

ප්‍රශ්නය - කලාත්මක අතින් වැදගත්ම සඳකඩ පහණ දෙක පිහිටා ඇති ස්ථානය කොතැන්හිද ? ඒ පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර - ශ්‍රී ලාංකික විශිෂ්ටතම කලා කෘතියක් වන සඳකඩ පහණෙහි මූලික අවස්ථා දෙකම අභයගිරි පෙදෙසේ පිහිටා ඇත. එයින් විශාල සඳකඩ පහණ පංචාවාස ඒකකයේ මැද ප්‍රධාන ගොඩනැගිල්ලට පිවිසෙන දොරටුවේ පඩි පෙළ අග වෙයි.

දෙවැන්න බිසෝ මාලිගය නමින් හැඳින්වෙන ගොඩනැගිල්ලෙහි දොරටුවෙහි පඩිපෙළ අග වෙයි.

ඉහත සඳහන් සඳකඩ පහණවල ගිනි දැල්, සිව්පා පන්තිය, ලොකු ලියවැල, හංස පන්තිය, කුඩා ලියවැල හා මැද පද්මය වෙයි.

රූකම්වල නිමාව දෙකේම එක සමානය. සමහරවිට ඒ සඳකඩ පහණ දෙක එකම ශිල්පියකු අතින් නිම වූවා විය හැකිය.

 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 04 වැනි දා බදාදා අපර භාග 04.20 ට ලබයි.
05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 05.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 04 වැනිදා බදාදා ය.

මිළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]