UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුද්ධ ධර්මය

2013 දෙසැම්බර් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට අදාළව බුද්ධ ධර්මය ආදර්ශ ප්‍රශ්නෝත්තර (පෙළ පොත ඇසුරෙනි)

1.පහත සඳහන් 1 –10 දක්වා ප්‍රශ්නවලට කෙටි පිළිතුරු සපයන්න. (එක් පිළිතුරකට ලකුණු 2 බැගින් 20 කි)

1. ‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි

චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා’

මෙම පාලි පාඨයේ සිංහල තේරුම ලියන්න

2. ධාර්මික රාජ්‍ය පාලනයක් සඳහා පාලකයෙකුට අනුගමනය කළ හැකි කරුණු රාශියක් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. ඒ අතුරින් 3 ක් ලියන්න

3. බුදු ,පසේබුදු, මහරහත් යන ත්‍රිවිධ බෝධියෙන් නිවන් අවබෝධ කර ගැනීමට පාරමිතා පිරිය යුතුය. බුදුරජාණන් වහන්සේ, නෙක්ඛම්ම හා වීර්ය යන පාරමිතා පිරූ අයුරු දැක්වෙන උදාහරණ ජාතක කතා දෙකක් 2 ක් ලියන්න

4. පංච නීවරණ ධර්ම යටපත් කරන භාවනාව කුමක්දැයි නම් කර එම පංච නීවරණ ධර්ම ලියා දක්වන්න.

5. උත්සාහවන්තභාවය, මනා සිහියෙන් යුතු වීම, පිරිසුදු ක්‍රියා ඇතිබව, විමසිලිවත්ව කටයුතු කිරිම ,සංවරශීලි බව, නිවැරැදි ජීවිකා වෘත්තියක් ඇති බව, පමා නොවී කටයුතු කරන බව යන කරුණු ඇතුළත් ධම්මපද ගාථාව ලියන්න

6. ‘මිනිස් වර්ගයා අතර පහළ වූ අති ශ්‍රේෂ්ඨ පුරුෂෝත්තමයාණන් බුදුරජාණන් වහන්සේය ” යන මෙම ප්‍රකාශය කළේ කවුද?

7. අපමණ කලක් තුළ එක වරක දී පිපෙන

මනු පරපුර නමැති තුරු මුදුනත දිලෙන

යනාදී වශයෙන් ලිය වී ඇති මෙම කවිය රචනා කර ඇත්තේ ගන්තුනේ අස්සජි හිමියන් ය. උන්වහන්සේ මේ සඳහා පාදකකොට ගත් කෘතියේ නම ලියන්න.

8. පරවාදී මත 500 ක් ඛණ්ඩනය කොට සුබවාදී මත 500 ක් ඇතුළත් කරමින් කථා වස්ථූ ප්‍රකරණ ග්‍රන්ථය අභිධර්ම පිටකයට ඇතුළත් කළේ කිනම් ධර්ම සංගායනාවේද?

9 . ධර්මාශෝක මහා අධිරාජ්‍යයා සිය ධර්ම විජය ප්‍රතිපත්තියට අනුව ප්‍රදේශ නමය (9) කට ධර්ම දූත කණ්ඩායම් පිටත් කොට හරින ලදී. එහිදී හිමවන්ත පෙදෙසට දහම් පණිවුඩය ගෙන යන ලද රහතන් වහන්සේගේ නම කුමක්ද?

10. යළි යළිත් මොලොව ඉපිදී බුදුදහම ලෝකය පුරා ප්‍රචාරය කරන්නට ඉඩ ලැබේවා’යි ප්‍රාර්ථනය කළේ කවුරුන් විසින් ද?

පිළිතුරු

1.1. මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි. සිතින් සිතා කයෙන්, වචනයෙන් , මනසින් යන තිදොරින්ය.

2. දස රාජධර්ම , දස සක්විති වත්, සතර සංග්‍රහ වස්තු, සතර අගතියෙන් වෙන්වීම, සප්ත අපරිහානීය ධර්ම, පඤ්චශීල ප්‍රතිපදාව

(මේවායින් ඕනෑම 3 ක්)

3. නෙක්ඛම්ම –මඛාදේව ජාතකය

වීරිය – වණ්ණුපථ ජාතකය

4. සමථ භාවනාව

කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡාව

5. උට්ඨානවතෝ සතිමතෝ

සූචිකම්මස්ස නිසම්ම කාරිනෝ

සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ

අප්පමත්තස්ස යසෝභිවඩ්ඩති

6. මුස්ලිම් පඬිවරයෙක වු අබ්දූල් අතාහිලා

7. ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් පඬිවරයාගේ

‘ආසියාවේ ආලෝකය ‘

8. තුන්වන ධර්ම සංගායනාව

9. මජ්ඣිම තෙරුන්ය

10. සිරි දේවමිත්ත ධර්මපාලතුමා.

2

1. ඇසුරු කිරීමට තමන්ට වඩා උසස් අයෙකු හෝ තමන්ට සමානයෙකු හෝ නොලැබෙන්නේ නම් හුදෙකලා වාසය ඉතාම සුදුසු බව දක්වමින් දේශනා කර ඇති ධම්මපද ගාථාව ලියන්න. (ලකුණු 02 යි)

2. එම ගාථාවෙහි ‘බාලයා’ යැයි තැනැත්තෙකු පිළිබඳ සඳහන්වේ. එසේ සඳහන් වන බාලයා නම් කෙබඳු පුද්ගලයෙකු දැයි පහදන්න.(ලකුණු 03 යි)

3. ධම්ම පදය නමැති ග්‍රන්ථය බෞද්ධයාගේ අත්පොත හා සමානය. එයින් ජීවිතයට ලබා දෙන ආදර්ශ බොහෝය. මේ පිළිබඳ විමසීමක් කරන්න.(ලකුණු 05 යි)

පිළිතුරු

1. චරං චේ නාධිගජ්ඡ්‍යෙය
සෙය්‍යං සදිසමත්තනෝ
එක චරියං දළහං කයිරා
නත්ථි බාලේ සහායතා

2. බුදු දහමට අනුව බාලයා නම් නරක, නපුරු, සිතිවිලි ඇති නපුරු වචන කතා කරන,නපුරු වැඩ කරන ගුණ නුවණින් තොර තැනැත්තෙකි. එවන් අය ඇසුරු නොකළ යුතුය. ඇසුරට නොගත යුතු එවැනි පුද්ගලයන් සතර දෙනෙක් දහමේ දක්වා ඇත. අඤ්ඤදත්ථුහර, වචීපරම , අනුප්පියභාණි, අපාය සහාය යනු එම සතර දෙනාය. මෙවැනි අය ඇසුරු කිරීමට යාමෙන් සුදනෙක් වුවද දුදනෙක් වීමට ඉඩ ඇත. (ලකුණු 02 යි)

3. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු පළමු ධර්ම සංගායනා අවස්ථාවේ දී ත්‍රිපිටකය යනුවෙන් කොටස් තුන (3) කට භික්ෂූන් වහන්සේලා බෙදා වෙන් කරන ලදී. එම ත්‍රිපිටකයේ සූත්‍ර පිටකය පොත් 5 කින් සමන්විතය. එනම් දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය යනුවෙනි. ඛුද්දක නිකාය යනු කුඩා කුඩා සූත්‍ර දේශනා ඇතුළත් ග්‍රන්ථයකි. එමෙන්ම මෙම ඛුද්දක නිකාය පොත් 15 ක එකතුවක් සේ සලකනු ලබන අතර ධම්ම පදය ද අයත් වන්නේ එම පොත් 15 න් එක් පොතක් ලෙස ය.

ධම්ම පදය ග්‍රන්ථයෙහි සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ විවිධ පුද්ගලයන්ට විවිධ අවස්ථාවලදී විවිධ හේතුන් පදනම් කරගෙන දේශිත ගාථාවන් ය. ගාථා වශයෙන් ගත්විට මෙහි හාරසිය විසි තුනක් තිබේ. ඒවා වග්ග වශයෙන් බෙදා වෙන්කර ඇත. ඒ අනුව වග්ග 26 ක ගාථා මෙහි ඇතුළත් වේ. මෙම ගාථා පුද්ගලයෙකුගේ ජීවිතයට බෙහෙවින්ම ආදර්ශ සම්පන්නය. යමක වග්ගය, අප්පමාද වග්ගය, බාල වග්ගය, ඛුද්ද වග්ගය යන වග්ග වලින් තෝරා ගත් ගාථා 8 ක් පමණ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා නියම කොට තිබේ. මෙම ගාථා පමණක් නොව සමස්තයක් වශයෙන් මුළු ධම්ම පදය ග්‍රන්ථයේම ඇති ගාථාවන් පරිශීලනය කර බලන විට ජීවිතයට ගත හැකි ආදර්ශයන් මහත් රාශියක් ඇති බව පෙනේ.

‘අක්කොච්ජිමං අවධි මං’ යනුවෙන් යමක වග්ගයේ සඳහන් ගාථා ද්වය පරික්‍ෂා කර බලන විට පැහැදිලි වන්නේ තම සිත තුළ ඇති වන ක්‍රෝධ සහගත හා වෛරී සහගත සිතිවිලි ඉවත් කර ගත යුතු බවයි. යමෙකු එවන් සිතිවිලි වලින් යුක්ත නම් සෙසු අයගේ අප්‍රසාදයට පිළිකුලට ඔහු භාජනය වේ. එසේම ඔහුගේ මනස අවුල් වී පිරිහීමටද පත් වේයැයි දක්වා තිබේ.

‘වෛරයෙන් වෛරය කිසි කලෙකවත් නොසන්සිෙඳ්
අවෛරයෙන් හෙවත් මෛත්‍රියෙන් ම වෛරය සන් සිඳේ’

මේ ලෝකයේ පවතින සදාතනික ධර්මතාවයකි. සමාජයේ ජීවත්වන විට මේවා තේරුම් ගත යුතුය. එමෙන්ම මේ සමාජයේ වෙසෙන ඇතමුන්ගේ ලක්‍ෂණය සරු දේ නිසරු ලෙස ද, නිසරු දේ සරු වශයෙන් ද ගෙන කටයුතු කිරීමයි. එවැනි අය සරු දෙයක් කිසි විටෙක නොලබති.

ඒ වගේම ජීවිතයකට ගත හැකි ආදර්ශ වශයෙන් උත්සාහයෙන් යුක්ත වීම, සිහියෙන් යුක්ත වී, පිරිසුදු ක්‍රියාවන්ගෙන් යුක්ත වීම, විමසිලිමත් බවින් යුක්ත වීම, සංවරශීලි බව, දැහැමි බව,අප්‍රමාදී බව,ආදි කරුණු ද ඉතාම වැදගත් වේ.

 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 04 වැනි දා බදාදා අපර භාග 04.20 ට ලබයි.
05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 05.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 04 වැනිදා බදාදා ය.

මිළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]