UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අහුන්ගල්ලේ විමලධම්මතිස්ස නා හිමි

අහුන්ගල්ලේ විමලකිත්තිතිස්ස මහා නාහිමියන් ශාසන වංශ දීප මහාකාව්‍ය වැනි බෞද්ධ ග්‍රන්ථ රැසක් රචනා කිරීමෙන් හා අහුන්ගල්ලේ විමලනන්දි තිස්ස මහනාහිමියන් ජින බෝධාවලිය, මිහිඳු සිරිත වැනි වටිනා සාහිත්‍ය බෞද්ධ ග්‍රන්ථ රැසක් රචනා කිරීමෙන් ශාසන සංවර්ධනයට හා භික්ෂු අධ්‍යාපනයේ සංවර්ධනයට මහත් දායකත්වයක් සපයා දී ඇත.

අහන්ගලලේ සද්ගුණවත් වීරද්දන ගුණසේකර ද සිල්වා හා මානං පුනලිං නෝනා යන දම්පතීන්ටදාව විමලසිරි නමින් උපත ලැබීය. මේ පින්වත් කුමරුවා අහුන්ගල්ල ගල්වෙහෙර කනිටු විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය. පැවිදි දිවියට අවශ්‍ය කරන සිතුම් පැතුම් වලින් හා හැසිරීම් රටාවන්ගෙන් යුත් මේ පින්වත් දරුවා තම මෑණියන්ගේ ළඟම ලේ ඥාතිවරයෙකු වූ අග්ග මහා පණ්ඩිත අමරපුර මූලවංශික මහා නිකායේ මහානායක ධුරය දැරූ අහුන්ගල්ලේ විමලනන්දි තිස්ස මහා නාහිමියන්ට භාරකරන ලද්දේ අනාගතයේ මගේ දරුවාගෙන් සසුනටත් උපන් ගම් ප්‍රදේශයටත් මහත් ජාතික මෙහෙවරක් ඉටුකරන බව දුරදී දුටු නිසා විය හැකිය.

1962 නවම් මස 06 වන දින එළිය දුටු හිමියන් 1973 ඇසළ මස 16 වන දින අහුන්ගල්ලේ විමලනන්දිතිස්ස මහ නා හිමිගෙන් මහණකම ලබා 1983 ඇසළ මස 08 වන දින බළපිටිය මාදු නදී උදකුක් ඛේප සීමාමාලකයේදි උපසම්පදා භූමියට පත්වූයේ අමරපුර මූල වංශික මහානිකායේ මහා නාහිමියන් ගුරු තනතුරේ තබා ප්‍රධාන විසංත්වර්ගික සඟරුවන වෙතින්ය.

ගා/සුගත සසණෝදය මහා පිරිවෙන්හි මූලික ධර්ම ශාස්ත්‍රය වර්ග පටිපාටියෙන් අවසන් කොට උසස් අධ්‍යාපනය සඳහා 1982 කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදි ගෞරව උපාධියද ශාස්ත්‍රපති උපාධිය හා අධ්‍යාපන ඩිප්ලෝමා වැනි අධ්‍යාපනයේ නිම්වළලු පුළුල් කරගත්තේ තම වැඩිමහල් සොයුරු ශාස්ත්‍රපති අහුන්ගල්ලේ විමලජීව තිස්ස පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගේද ගුරුහරුකම් ඇතිවය. සුගත සාසනෝදය පිරිවෙන් ආචාර්යවරයෙකු වශයෙන්ද සේවය කොට දැනට එම පිරිවෙනේ පරිවේණාධිපති වශයෙන් කටයුතු කරයි.

උන්වහන්සේ බුරුමය, තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, කාම්බෝජය, ඉන්දියාව, ඉතාලිය, ස්විට්සර්ලන්තය, ජපානය, ජර්මනිය, වැනි බෞද්ධ අබෞද්ධ ජනතාවන් ජීවත්වන දේශදේශාන්තර ගොස් ධර්ම ප්‍රචාරක කටයුතු වල යෙදුණේ අඹගහපිටි වෙහෙරේ අභිමානය හා ප්‍රෞඩත්වය ලොවට හෙළි කරමිනි.

2004 දෙසැම්බර් 26 දා ආ සුනාමි ව්‍යවසනයේ දී තම අවටගම් ප්‍රදේශයේ ජීවත් වූ සියලු ජනතාවට නැතිවී ගිය ඒ මානව අවශ්‍යතා හා භෞතික සම්පත්වල හිඩැස පිරවීමට උන්වහන්සේ පසුබට නොවූහ.

තමන්ගේ ධර්මය අසා පැහැදුණු දේශීය විදේශීය දානපතියන් අප විමලධම්ම හිමියන් සමඟ අත්වැල් බැදගෙන මේ මහා සමාජ සත්කාරය කිරීමට කොස්ගොඩ නානතොට ප්‍රදේශය නිවාස 52 (යුනෙස්කො) ක් ගොඩ නගා සුනාමි වැසියන් එහි පදිංචි කරවූහ. පරහිතකාමි තෙරුන් වහන්සේ පෙර පාසැල්, දහම් පාසල්, ඉංගී‍්‍රසි පාසල්,ආරම්භ කළහ. අවමංග්‍යාධාර සමිති, වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන, සෞඛ්‍ය ආයතන, වෛද්‍ය සායන ආදි කටයුතු සංවිධානය කිරීම විමලධම්ම තිස්ස හිමියන්ගේ කරුණාව ප්‍රතිමූර්ති කරන කදිම ඇවස්ථාවක් ලෙස හැඳින්විය හැක.

තම ගුරු දෙවියා වෙනුවෙන් ආර්ථික ඌනතා ඇති ජනතාවට විදේශීය ජනතාවගේ ආධාර ලබාගෙන තවත් ගෙවල් 50 තනා විමල නන්දි තිස්ස හිමි ගම නමින් ගම්මානයක් බිහි කිරීම මුන්වහන්සේ ගුරු ගෞරවයේ සහ කෘතවේදිත්වයේ ගැඹුර මොනවට පැහැදිලි කළහ.

මව් භාෂාවට අමතරව පාලි, සංස්කෘතික ඉංගී‍්‍රසි,ජපන්, ජර්මන් වැනි භාෂාවන් ප්‍රගුණ කිරීමට කටයුතු කළේ බුදු දහමේ හරය මෙරටේ මිනිසුන්ට පමණක් කියා දීම ප්‍රමාණවත් නොවන නිසා විදේශීය බුද්ධිමත් ජනතාවට බුදුදහම කියා දීමට උන්වහන්සේ ඒ භාෂාවන් ඉගෙන එය ජාතින් හා අන්‍යආගමිකයන් එක් කරන පාලමක් මෙන් කටයුතු කිරීම වත්මන් භික්ෂු පරපුරට ආදර්ශයක් ගෙන දෙන්නකි.

වසර 40 පුරා සිදුකළ ලෝක ශාසනික සේවය ඇගයීම වස් ඩයමන් ස්ටාර්ස් සිංහ සාමජය, මගින් මුන් වහන්සේට චිර ජීවනය පතා විවිධ ආගමික වැඩ සටහන් සහ සමාජ සත්කාර රාශියක් අඹගහපිටිය මූල මහා විහාරය සහ රාජපක්‍ෂ මහා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් අගෝස්තු මස 3 සහ 4 යන දෙදින තුළ පැවැත්වීමට කටයුතු සංවිධානය කිරීම මහත් පැසසිය යුතු කරුණකි. අමරපුර මූලවංශික මහනිකායේ ලේඛකාධිකාරි ධුරය දරමින් ස්වනිකායටද මහත් අභිවෘද්ධියක් සළසමින් උතුම් පැවිදි දිවියෙන් වසර 40 ක් සපුරන අප හිමියන්ට තව බොහෝ කලක් මෙවැනි ආගමික සමාජ සත්කාරයන් කිරීමට නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථකා කිරීම උන්වහන්සේගෙන් සේවය ලබා ගන්නා අපගේ පරම යුතුකමකි.


ලේල්වල ඉන්දජෝති හිමි

ගාල්ල, තෙල්ලඹුර, ශ්‍රී ඛෙත්තාරාමය අකුලසේන ශ්‍රී සරණගිරි විහාරය,කොට්ටව, ශ්‍රී මහින්ද බෞද්ධ මධ්‍යස්ථානය, ලුණුගම්වෙහෙර, පුංචි අප්පු ජඳුර ශ්‍රී අස්වත්ථාරාමය යන විහාරස්ථානවල විහාරාධිපති ස්වරභඤ්ඤ විශාරද කර්මාචාර්ය ලේල්වල ඉන්දජෝති මාහිමිපාණන් වහන්සේ පැවිදි වී සැප්තැම්බර් මස 05 වන දිනට පනස් වසරක් සපිරෙයි. උන්වහන්සේට ආශිර්වාද කිරීම හා උන්වහන්සේගේ ගුරු දේවයන්වහන්සේලාට හා දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීම සඳහා සංවිධානය කළ පින්කම් මාලාවක් සැප්තැම්බර් මස 5 –6 යන දින වලදී තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාම විහාරස්ථානයේ දී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසු දින දහවල් ශතාධික මහා සංඝරත්නය උදෙසා සඟ සතු මහා දානයක් පූජා කිරීමද ඇතුළත් වෙයි.

ගාල්ල වදුරඹ ලේල්වල ගමේ දී 1950.12.19 වන දින ජන්ම ලාභය ලැබ තෙල්ලඹුරේ ශ්‍රී අරියවංස, කොක්මාදුව, ශ්‍රී සරණපාල නායක හිමිපාණන් වහන්සේලාගේ ශිෂ්‍යයකු ලෙස 1963.09.05 වන දින තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාමයේදී සසුන් ගත වී ඇත. ශාසනික අධ්‍යාපනය නාකියාදෙණිය ශ්‍රී සරණපාල මහ පිරිවෙණ මගින් ලබා ගෙන වසර 1971 දී මහනුවර මල්වතු මහා විහාරයේදී උපසම්පදාවට පත්වී ඇත. සහජයෙන්ම තමන්ට හිමිව තිබූ දේශන කුසලතාවය හා විවිධ කලා හැකියාවත් සංවිධාන ශක්තියත් තව තවත් වර්ධනය කර ගත් ඉන්දජෝති හිමියෝ ධර්ම දේශකයකු පිරිත් දේශකයකු පමණක් නොව විවිධ නිර්මාණ හැකියාවන් ඇති තරුණ යථිවරයෙකු ලෙස ගිහි පැවිදි සෑම දෙනාගේම ගෞරවයට ලක් වූහ. තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාමය ඇතුළු විහාරස්ථාන නව නිර්මාණ වලින් යුත් අංග සම්පූර්ණ විහාරස්ථාන බවට පත් කිරීමට උන්වහන්සේට හැකි විය.කලායතන ඇති කිරීම දුරුතු පෙරහර පැවැත්වීම ආදියෙන් ප්‍රදේශයේ සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කිරීමටද ඉන්දජෝති හිමියෝ සමත්විය.

ශාසනයේ උන්නතිය වෙනුවෙන් ගුණ නැණ සපිරි ශිෂ්‍ය පිරිසක් ද උන් වහන්සේ විසින් සසුනට දායාද කර ඇත. ගුරු ගෞරවය පරෝපකාරය , කළගුණ සැලකීම, ඉවසීම, අනතිමානීකම වැනි උසස් ගුණාංගයන්ගෙන් ද යුක්ත ලේල්වල ඉන්දජෝති මා හිමිපාණන් වහන්සේට මල්වතු මහා විහාරයේ අතිගරු මහානායක මා හිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක සභාව මගින් ස්වරභඤ්ඤ විශාරද යන ගෞරව නාමය සහිතව විශේෂ කර්මාචාර්ය පදවියක්ද පිරි නමා ඇත. ලේල්වල ඉන්දජෝති මා හිමිපාණන් වහන්සේට දිගාසිරි පතමි.


කෝන්වැවේ සීලරතන හිමි

කුරුණෑගල මාස්පොත ශ්‍රී ගංගාරාමය, හෙට්ටිගෙදර ශ්‍රී නාගරුක්ඛාරාමය, වේරපොල පුරාණ රාජමහා විහාරස්ථානය යන විහාරත්‍රයාධිපති, මාස්පොත ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති කෝන්වැවේ සීලරතන හිමියන්ගේ 86 වෙනි ජන්ම දිනය 2013.08.26 වෙනි දිනට යෙදී ඇත.

මාස්පොත ශ්‍රී ගංගාරාම ඓතිහාසික බෝධිපූජා සිද්ධස්ථානයේ නිර්මාතෘවරයාණන් වන උන්වහන්සේ මාස්පොත බෝධීන් වහන්සේගේ ආශිර්වාදය මුළු රට වැසියාටම ලබා දෙනු ඇත. වසර පනහකටත් පෙර සිට දිනපතා බෝධි පූජා පවත්වමින් ලක්වැසියාගේ කායික මානසික සුවය සඳහා කටයුතු කරයි. උන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් 2013.08.25 වෙනි දින සෙත් පිරිත් දේශනයක් හා 26 වෙනි දින මහා සාංඝික දානයක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය හා චිර ජීවනය ප්‍රාර්ථනා කරන අතරම කායික මානසික සුවය ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිමි.


කල්ලංචියේ චන්ද්‍රවංශ හිමි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය කොට්ඨාසයේ කැදෑ කොරලේ කල්ලංචිය ගමේ 1963.05.08 වන දින සමරකෝන් මුදියන්සේලාගේ කිරිමුදියන්සේ සහ මල්ලවආරච්චිගේ සෝමාවතී යන දෙමාපියන්ට දාව මෙම පින්වත් කුමරා උපත ලැබූහ.

සමරකෝන් මුදියන්සේලාගේ චන්ද්‍රසේකර නම් වූ මෙම කුමරුවා කල්ලංචිය මහා විද්‍යාලයෙන් 08 වන ශ්‍රේණිය දක්වා මූලික අධ්‍යාපනය ලබා අඹගල ධම්මරංසි ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ අලව්වේ සිරිධම්ම යන ස්වාමින්ද්‍රයාණන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් සහ නෙළුම්පත් ගම ධර්මකීර්ති ධම්මපාල යන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගේ උපාධ්‍යායත්වයෙන් කල්ලංචියේ චන්ද්‍රවංශ යන නමින් 1978.05.20 වන දින පැවිදි බවට පත්විය.

කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙන් විද්‍යායතනයට ඇතුළත්ව මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබා පසුව ගම්පහ බණ්ඩාරවත්ත විද්‍යාවංශ මහා පිරිවෙනට ඇතුළත්ව සිංහල, පාලි,සංස්කෘත යන භාෂාත්‍රයෙන් අධ්‍යාපනය හදාරා 1988,1989 රත්මලානේ පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ප්‍රවීණාචාර්ය විභාගය සමත්විය.

1987 ජුනි 27 වන දින ගම්පහ අත්තනගලු ඔය උදකුක්ඛේප සීමා මාලකයේදී උපසම්පදාව ලැබීය. 1998 වර්ෂයේදී එල්ලක්කල ශ්‍රී සුමංගල පිරිවෙනින් ගුරු සේවාවට එක් වීමෙන් අනතුරුව ගම්පහ බණ්ඩාරවත්ත විද්‍යාවංශ පිරිවෙනෙහි ආචාර්යවරයකු වශයෙන්ද සේවය කොට වර්තමානයේ කුරුණෑගල ගැට්ටුවාන ශ්‍රී මහින්ද පිරිවෙනෙහි ආචාර්යවරයෙකු වශයෙන් සේවය කරන උන් වහන්සේ තම ගුරු දේවයන්ගේ අපවත් වීමෙන් අනතුරුව වැල්ලව බුදනාපිටිය වළලුගල පුරාණ විහාරයේ විහාරාධිපති වශයෙන් 2002 වර්ෂයේදී පත්විය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කුරුණෑගල ප්‍රාදේශීය සංඝ සභාවේ ලේඛකාධිකාරි ධුරයද ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරිධුරයද වර්තමානයේ එම ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන සභාපති ධුරයද උන්වහන්සේ හොබවනු ලැබේ. මුළු දිවයිනටම සාම විනිසුරුවරයකු වශයෙන් කටයුතු කරන අතර ශ්‍රී ලංකා විශ්ව සමාධි පදනමේ “දේශ කීර්ති දේශ භක්ති සමාජ සුබසාධක ශූරී “ ගෞරව නාමයද කොළඹ ශ්‍රී ජයවර්ධනපුර ගුණ සමරු පදනමේ “ශ්‍රී සද්ධර්ම වාගීශ්වර ශාස්ත්‍ර විශාරද ලෝකත්ථචාරි “ ගෞරව නාමයෙන්ද පිදුම් ලබා ඇත.

වැල්ලව රෝහල් සංවර්ධන සමිතියේ සභාපති,කුරුණෑගල මහා රෝහලේ කාරක සභා සාමාජික, ආරක්‍ෂක කමිටුවේ ප්‍රධාන අනුශාසක වශයෙන් උන්වහන්සේ කටයුතු කරනු ලැබේ.

ඉන්දියාව, සිංගප්පූරුව, මැලේසියාව,තායිලන්තය ආදි රට වල ධර්ම දූත සේවාවන්හි නිරත වී ඇති උන්වහන්සේ ගේ ලෝක ශාසන සේවයට හා පැවිදි දිවියෙන් 35 ක් වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක පාලක සංඝ සභාවේ අනුමැතියෙන්,

“ධම්ම සේන ධම්ම රංසි සිරිධම්ම වංශාලංකාර ධර්ම කීර්ති ශ්‍රී විචිත්‍ර භාණක”

යන ගෞරව නාමය සහිත සන්නස් පත්‍ර ප්‍රදානය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත විනය විශාරද නාපාන පේමසිරි මහා නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පැවිදි ගිහි ප්‍රභූ රැසකගේ ප්‍රධානත්වයෙන් 2013 අගෝස්තු මස 25 වන ඉරු දින පස්වරු 2.00 ට වළලුගල පුරාණ විහාරස්ථානයේදී සිදු කෙරිණි.

 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 04 වැනි දා බදාදා අපර භාග 04.20 ට ලබයි.
05 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 05.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් මස 04 වැනිදා බදාදා ය.

මිළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 04

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]