Print this Article


පුනරුප්පත්ති ලිපි මාලාව - 33 සේසත් දැරීමේ අනුසස් ආනන්ද ථෙරාපදානය

පුනරුප්පත්ති ලිපි මාලාව - 33

සේසත් දැරීමේ අනුසස් ආනන්ද ථෙරාපදානය

පසුගියදා අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ ගෞතම බුදු සසුනෙහි වන සෙනසුනෙහි ඇලුනා වූ භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබූ ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේගේ චරිතාපදානයයි. මෙවර අපගේ සාකච්ඡාවට බඳුන් වන්නේ ගෞතම බුදු සසුනෙහි අග්‍ර උපස්ථායක, ධර්මභාණ්ඩාගාරික හා ස්මෘතිධාරි භික්ෂූන් අතර අගතැන්පත් ආනන්ද මහ රහතන් වහන්සේගේ චරිතාපදානයයි. එම චරිතාපදානය මෙසේය.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ තෙම අරම් දොරින් නික්ම අමා වැසි වස්වන්නේ මහජනයාගේ කෙලෙස් නමැති දාහය සන්සිඳ වන්නාහ. නිවනට පමුණුවන්නාහ. ෂඩ් අභිඥා ඇත්තාවූද,මහා ඍද්ධි ඇත්තාවූද, ලක්‍ෂයක් පමණ වූ ඒ ක්‍ෂීණාශ්‍රව රහතන් වහන්සේලා සෙවණැල්ලක් මෙන් සර්වඥයන් වහන්සේ පිරිවරත්.

මම උතුම් සේසත මාගේ මස්තකයෙහි දරන්නේ ඇතුපිට හුන්නේවෙමි. මනෝඥවූ රූප ඇති බුදුරජාණන් වහන්සේ දැක මට පී‍්‍රතිය උපන්නේය. ඇතුපිටින් වහා බැස නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියෙමි. මාගේ රුවන් මුවා ඡත්‍රය බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේව දැරුවෙමි.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මාගේ අදහස දැන,තම තමන් වහන්සේගේ දේශනා කථාව මෙම ගාථාවන් වදාළහ. යමෙක් ස්වර්ණාලංකාරයන්ගෙන් සරසනලද ඡත්‍රයක් දැරීද, ඔහු පිළිබඳව ප්‍රකාශ කරන්නෙමි. එසේ පවසන්නාවූ මාගේ වචනය අසන්න. මෙතෙම මින් චුතව ගොස් තුසිත දෙව්ලොවෙහි වසන්නේය. දිව්‍ය අප්සරාවන් විසින් පිරිවරන ලදුයේ සම්පත් අනුභව කරන්නේය.සූතිස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය.ඉන් චුතව සිව්රඟ සෙනඟට අධිපතිව එකසිය අට වරක් පෘථිවිශ්වරව පොළොවෙහි වාසය කරන්නේය. අට පණස් වරක් සත්විති රජවන්නේය. පෘථිවියෙහි මහත්වූ ප්‍රදේශ රාජ්‍යය කරවන්නේය.

කල්ප ලක්‍ෂයකින් මතුවෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම්වූ ශාස්තෘන් වහන්සේ ලොව පහළවන සේක. ශාක්‍යකුලයට ධජයක් වැනිවූ බුදුරජාණන් වහන්සේගේ ඥාතිවු ඒ මහර්ෂීන් වහන්සේගේ උපස්ථායක වූ නමින් ආනන්ද නම් වන්නේය.කෙලෙස් තවන වීර්ය ඇති ප්‍රඥාවත් වූ,බහුශ්‍රැත භාවයෙහි දක්‍ෂවූ නිහතමානී පැවතුම් ඇති, තදගති නැති, සියල්ලන් හදාරවන ත්‍රිපිටකධර කෙනෙක් වන්නේය.වීර්ය කිරීමෙහි මෙහෙයවන ලද සිතැති හෙතෙම,උපශාන්ත වූයේ,උපධී රහිත වූයේ, සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවෙන් දැන, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.

යම්සේ අරණෙහි උපතින් සැට වසක් ඉක්ම ගිය, ත්‍රිමදගලිත,මාතංග හස්ති කුලයෙහි ජානවූ මහත් දළ ඇති රාජ වාහන වූ,ඇත්තු වෙද්ද, එසේම නොයෙක් ලක්‍ෂ ගණන් පණ්ඩිත වූද මහා ඍද්ධිමත්වූද, රහත් නාගයෝ වෙත්, සියල්ලෝ බුද්ධ නාගයන් වහන්සේගේ ලක්‍ෂණය ගත් අය නොවෙති. මුල්යම්හිද, මැදියම්හිද,පැසුළුයම්හිද, නමස්කාර කරන්නෙමි. පහත සිත් ඇත්තේ සතුටුවූයේ, බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට උවටැන් කළෙමි. කෙලෙස් තවන වීර්යයෙන් යුක්තවූයේ’ ප්‍රඥාවත් වූයේ, මාන දැනුම් ඇත්තේ සිහියෙන් යුක්තවූයේ, ශෛක්‍ෂ්‍ය භූමියෙහි දක්‍ෂවූයේ සෝවාන් ඵලයට පැමිණියේ වෙමි. මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර යම් කර්මයක් කොට යමක් ප්‍රාර්ථනය කෙළෙමි නම්, මම ඒ පදවියට පැමිණියේ, සසුනෙහි නිශ්චලව සිටියේ වෙමි.

මාගේ ක්ලේශයෝ දවන ලද්දාහුය.සියලු භවයෝ සමූහනය (විනාශ කරන ලද්දාහුය. හස්තිරාජයෙකු මෙන් බැදීම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පමුණුවන ලද්දාහු බුදුරජාණන් වහන්සේගේ සසුනද කරන ලදිමි. මේ සිව්පිළිසිඹියාවෝද,අෂ්ට විමෝක්‍ෂයෝද ෂඩ් අභිඥාවෝද සාක්‍ෂාත් කරන ලදිමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා ඉටු කරන ලදිමි.

සටහන: බණ්ඩාර පිළවල