Print this Article


භව කතරෙන් එතෙරට

භව කතරෙන් එතෙරට

මිනිස් ලොව පහළ වන දෙවැනි දේව දූතයා කෙරෙහි අවධානය යොමු කරමු. ගිය යොවුන්විය ඇති, දත් ඉදිරියට නෙරාගිය, පැසුණු කෙස් ඇති, සම වැහැරුණු, කඳ ඉදිරියට නැමුණු, සැරයටියක ආධාරයෙන් ගමන් කරන, අන් අයගේ ද පිහිට උපකාරයෙන් ජීවත්වන මහලු කාන්තාවක හෝ පුරුෂයකු දේව දූතයකු බඳු ය. අනිත්‍යතාව පිළිබඳ පණිවුඩය හේ අපට හෙළිකර දෙයි. අපායට වැටුණු පුරුෂයකුගෙන් යම රජු ද මනුෂ්‍ය ලෝකයෙහි ජීවත් වන විට මේ දෙවැනි දේව දූතයා දුටුවේදැ’යි යන්න පිළිබඳ විමසයි.

‘අනිච්චා වත සංඛාරා’ යන ලොව්තුරු බුදුවදනට අනුව, ලෝකයේ යථා ස්වභාව අවබෝධ කර ගැනීමට වැඩිය යුතු ප්‍රතිපදාව වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඊට අනුව නිවන් මඟ වටහාගනිමින් කායගතාසතිය තුළින් දහම් ඇස පහළ කරගැනීමට ‘දේවදූත සූත්‍රය’ උපයෝගී කර ගන්නා අයුරු පසුගිය ලිපියකදී සාකච්ඡා කළෙමු. එහිදී අප වෙසෙසින් අවධානය යොමු කළේ ‘ප්‍රථම දේව දූතයා’ හෙවත් ඉපිද මද කලක් ඉක්මගිය වා, පිත්, සෙම් ආදියෙන් පීඩා විඳින, ශීත උෂ්ණයෙන් දුක් විඳින උඩුකුරුව කෑගසමින් කඳුළු හෙළන කුඩා ළදරුවකු ඇසුරින් ජීවිතයේ අනිත්‍යතාව වටහාගැනීමටයි. මෙවර ලිපියෙන් අපි ‘දෙවැනි දේව දූතයා’ ගැනත් අවධානය යොමු කරමු.

පින්වත්නි, දුක, දුකට හේතුව, දුක නිරෝධ කිරීම, වැඩිය යුතු ප්‍රතිපදාව ලෝකය තුළින් මනාව අවබෝධ කරගැනීමට හැකි බව දේශනා කරන ලද්දේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්මය. එම සත්‍යවූ දහම වනාහි ලොව ශ්‍රමණයකු විසින් වේවායි, බ්‍රාහ්මණයකු විසින් වේවායි, දෙවියකු විසින් වේවායි, මාරයකු විසින් වේවායි, බ්‍රහ්මයකු විසින් වේවායි හෙළිදරව් කරනු ලැබිය නොහැකිය. විවෘත කළ නොහැකිය. එසේම ආපසු පෙරැළියද නොහැකිය.

මෙසේ වෙනස් නොකළහැකි ධර්මතාව කුමක්ද? ජරා ධර්මය, ව්‍යාධි ධර්මය, මරණ ධර්මය, ක්‍ෂය ධර්මය, නැසෙන (විනාශවන) ධර්මය යන ස්වභාවයයි. උපතක් සමඟ සියලු සත්ව කැල මරණ ධර්මය ගෙන එයි. ඒ තුළ නිරන්තරයෙන්ම මෙම ධර්ම පස ක්‍රියාත්මක වෙයි. මව්කුස පිළිසිඳ ගත් සත්වයාය, උපත ලැබූ ළදරුවාය, තරුණයාය, මධ්‍යම වයසකයාය, පරිණතයාය ලෙස වයස් භේදයකින් තොරව, කාල පරිච්ඡේදයකින් තොරව (උදෑසන, දහවල්, රාත්‍රි) මෙම ධර්ම පස ක්‍රියාත්මක වෙයි. සත්වයාය, පුද්ගලයාය යනුවෙන් තමන්ට පෙනෙන බාහිර රූපද, මමය, මගේය, ආත්මීය ලෙස ගත් තම ශරීරය ද මෙම ධර්ම පස නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙමින් නිරතුරුවම බිඳ වැටෙයි. එබැවින් පංචස්කන්ධය ස්ථිර කළ නොහැකිය. ආපසු පෙරැළිය නොහැකි ය. කැඩෙන, බිඳෙන බැවින් ‘අනිච්ච’ ස්වභාව ප්‍රකට වන්නේ ය. සුඛයක් අඛණ්ඩව පවත්වා ගැනීමට නොහැකි බැවින් ‘දුක්ඛ’ වන්නේ ය. සනාථ නොවන හෙයින් අනාථ වන්නේ ය. නැතහොත් ‘අනත්ත’ වන්නේ ය.

මෙම ත්‍රිලක්‍ෂණයට භාජනය වන දෑ කුමක්ද? යමෙක් බිඳෙන විනාශ වන ස්වභාවයෙන් යුක්තද එය ආර්ය විනයෙහි ලෝකය නම් වන්නේ ය. කෙබඳු දෙයක් පළුදු වන්නේද? ඇස බිඳෙන සුළුය. බාහිර රූපයෝ බිඳෙන ස්වභාව ඇත්තෝ ය. ඇසෙහි පහළවන සිත (චක්ඛු විඤ්ඤාණය) බිඳෙන සුළුය. ඇසත්, රූපයත් සහ චක්ඛු විඤ්ඤාණයත් යන තුන් දහමේ එකතුව (චක්ඛුස්සංස්පර්ශය)බිඳෙන සුළුය. චක්‍ෂුස්සංස්පර්ශයෙන් හටගත් යම්වේදනාවක් ඇත්නම් (සැප, දුක, මැදහත්) එයත් බිඳෙන සුළුය.

එහෙත් ඔබට වැටහෙන්නේ නිත්‍ය වූ ඇසක් ඇති බවයි. බාහිර නිත්‍ය වූ රූපයක් ඇති ලෙසයි. වේදනා විඳින්නකු ඇති බවයි. මේ සියලු දේ මමය, මගේය, මගේ ආත්මයයි කියායි. මෙලෙස දකින්නේ මමයි, අසන්නේ මමයි, ආඝ්‍රාණය (ගඳ සුවඳ) ලබන්නේ මමයි, රස බලන්නේ මමයි, පහස ලබන්නේ මමයි, අරමුණත් මමයි යනුවෙන් සිතයි. මෙයම සක්කාය දිට්ඨිය නම් වේ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් යමක් ඇත්නම් එය ඉපිද බිඳෙන සුළුයි. ක්‍ෂණ මාත්‍රයක්වත් ස්ථිර පැවැත්මක් එහි නැත. ගඟක් දෙස දෙවරක් බලන කෙනෙකු නැත. ගඟ ද ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා ගලන්නේ ය. ඒ දෙස බලන්නකුට වැටෙහෙන්නේ අඛණ්ඩ ගඟක් ලෙසයි. ගඟ ස්ථිර ලෙසයි. බලන තමාද ස්ථිර කෙනකු ලෙසයි.

එහෙත් සැබෑ ලෙස ස්ථිරව ගලන ගඟක් ද එහි නැත. ඉහළ සිට ඇද හැලෙන ජල පහර ක්‍රමයෙන් පහතට ගලා බසිමින් මහමුහුදට වැටෙයි. මෙහිදි ඉහළින් පහළට සම්බන්ධ වන ජල පහරක්ද නැත. පහළින් මහ මුහුදට වැටෙන ජල පහරක්ද නැත. ගස්, ගල්, වැලි ඛාදනය කරමින් ඉතා වේගවත් ජල පහරක් සේ ගලායන ශක්තිමත් ජල පහර තැනිතලා බිමෙහි ගලා යන විට මධ්‍යස්ථ වේගයක්ද, අවසාන වන විට මන්දගාමීවද මහමුහුදට ගලා බසිනු ඇත. මෙසේ මහමුහුද දක්වා ගලා බසින ජල පහරේ වේගවත්භාවය, මධ්‍යස්ථභාවය මන්දගාමීභාවය බලා සිටින අයකුට වැටහෙන්නේ අඛණ්ඩ ගඟක් ලෙසටමය. ඒකාකාරීව ගලා බසින ස්වභාවයෙන්මය.

ඔහුට පෙනෙන්නේ නැත එම ජල පහරේ යෞවනත්වය තුළින් ඛාදනය කොට පෙරැළෙන ගල්කැට ප්‍රමාණයත්, ඒ හේතුවෙන් මතුවන ජලයේ බොරසර භාවත්. මහත් වූ ගල් පර්වත තුළින් බාධකව වක්‍ර ලෙස ක්‍රම ක්‍රමයෙන් සර්පයකු ඇදීයන්නාක් මෙන් ගලා බසින ස්වභාව, ඉපිදි බිඳෙන පෙන නඟින, නැවැත විවිධ ප්‍රදේශවලින් අතු ගංගා ලෙස එකතු වන කුඩා ජල ප්‍රවාහය, එහි පවතින පවිත්‍ර, අපවිත්‍රභාවය, ගසාගෙන යන කුඩා, මධ්‍යම, විශාල, පණ ඇති, පණ නැති සත්වයන්ගේ සංඛ්‍යාව මසැසට නොපෙනේ. ගඟේ සිහින් අවස්ථාව, වේගවත් අවස්ථාව, පුළුල් අවස්ථාව, යෞවන, මධ්‍යම, පරිණත අවස්ථාව උස්, බිම්, ගැඹුර, නොගැඹුර සත්‍ය වශයෙන් ම පුහුදුන් මනැසට ගෝචර නොවේ.

තවද ගඟ දෙස පැයක් බලා සිටින පුද්ගලයාගේ කායික, මානසික වේගයේ වෙනස ද ඔහුට අවබෝධ කරගැනීමට හැකියාවක් නැත. සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයේ බිඳීම, දිරීම, ආයුෂ ගෙවීම, දහදිය දැමීම, සීත, උෂ්ණයෙන් විකාරයට පත්වීම, වේදනාවන්ගේ හටගැනීම, බිඳිම, වැනසීම, සංඥා, සංඛාර, විඤ්ඤාණයන්ගේ ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා සිදුවන බිඳීම සත්‍ය වශයෙන්ම නොපෙනේ. පුහුදුන් මනැසට පෙනෙන්නේම පැයක් ස්ථිරව ගලායන ගගක් දෙස තමන් පැයක් බලා සිටියේය යන්නයි.

මෙසේ අවිද්‍යාවෙන් මුළා වූ අශ්‍රැතවත් ප්‍රහුදුන් තැනැත්තා ඉපිද දිනය, සතිය, සතිදෙක, මාසය, දෙමාසය, දසමාසය, අවුරුද්ද, පස් අවුරුද්ද වයස්ගත වූ දරුවකු දකින්නේ කිනම් ආකාරයකින්ද? ස්ථිර වූ සුඛ වූ ආත්මය කොට ගත් සත්වයකු ලෙසයි. එම සත්වයාගේ පංචස්කන්ධයේ ඉපදි, බිඳෙන, විනාශවන විපරිණාමය විදසුන් නුවණින් දැක්කේ නැත. බඩගිනි වන වාර ගණන පිපාසිත වන වාර ගණන, ද්වාරයන්ගෙන් ජරාව වැහැරෙන වාර ගණන, සෝදන පිරිමදින වාර ගණන, මොහොතකට සතුටු වන බොහෝ කොට හඬන වැළැපෙන වාර ගණන, මවුකුසේ සිට අවුරුදු පහ ඇතුළත ආයුෂ ගෙවීම්, මරණයට සමීප වීම ආදී දුක්ඛ දුක්ඛ, සංඛාර දුක්ඛ, විපරිණාම දුක්ඛ යන්ගෙන් වන පෙළීම සාමාන්‍ය ලෝකයාගේ වැටහීමට භාජනය නොවේ. ඔවුන්ට පෙනෙන්නේම අවුරුදු පහක් වූ දරුවාගේ වයස වෙනස්වීම විපරිණාමයට පත්වෙමින් ගෙවියාමත්, බිඳීමත් හැටියට නොව අඛණ්ඩවූ ස්ථිර වූ සුඛදායක ආත්මයක් ලෙසටය. මොහොතක් මොහොතක් පාසාම සිදුවන සංඛත දුක්ඛය, පීඩන දුක්ඛය, සන්තාපන දුක්ඛය, විපරිණාම දුක්ඛය, ළදරු, තරුණ මහලු යන සෑම කල්හිම ක්‍රියාත්මක වේ.

මිනිස් ලොව පහළ වන දෙවැනි දේව දූතයා කෙරෙහි අවධානය යොමු කරමු. ගිය යොවුන්විය ඇති, දත් ඉදිරියට නෙරාගිය, පැසුණු කෙස් ඇති, සම වැහැරුණු, කඳ ඉදිරියට නැමුණු, සැරයටියක ආධාරයෙන් ගමන් කරන, අන් අයගේද පිහිට උපකාරයෙන් ජීවත්වන, මන්ද දශකය හෝ සයන දශකයේ පසුවන කාන්තාවක හෝ පුරුෂයකු දේව දූතයකු බඳුය. අනිත්‍යතාව පිළිබඳ පණිවුඩය අපට හෙළිකර දෙයි. අපායට වැටුණු පුරුෂයකුගෙන් යම රජ ද මනුෂ්‍යලෝකයෙහි ජීවත් වන විට මේ දෙවැනි දේව දූතයා දුටුවේදැයි යන්න පිළිබඳ විමසයි. “යමක් කරගැනීමට හැකි වියේ දී මම ද ජරාව තුළ ඇත්තෙමි, ජරාව ස්වභාව කොට ඇත්තෙමි, ජරාව ඉක්මවා නැත, එබැවින් කුසල් දහම් වහා වහා සිදුකරගත යුතුයි කියා සිතුවාද?” එසේ කුසල් දහම්හි ප්‍රමාද වූවන්ට යම රජු විසින් දඬුවම් පමුණුවනු ලැබේ.

අප විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ ජරා ධර්මය කොතැන සිට ආරම්භ වනවාද යන්න ගැනයි. සම්මුති ලොව තුළ ඔබට පෙනෙන්නේ ඉහත සඳහන් කරන ලද ආකාරයට, යොවුන් විය ඉක්ම ගිය, අසූවයස් හෝ සියවයස් ගත කරන මහලු කෙනකුගේ ශරීර කූඩුව දෙස බලනවිට ජරා ධර්මය වඩා ප්‍රකට වන බවයි. එහෙත් මෝහයෙන් මුළාවුවනට වැටහෙන්නේ නැත, ජරා ධර්මය මවුකුස තුළදීම සිදුවෙන බව. ජරාවට, බිඳීමට පත්වීම ඇරැඹෙන්නේ මවුකුස ප්‍රතිසන්ධිය සිදුවන අවස්ථාවේ සිටමය.

මේ අනුව අනිච්ච දහම ඇසුරෙන් ජීවිතය දකිමු. කුසල් දහම්හි ප්‍රමාද නොවී උතුම් විමුක්ති ලාභය සලසා ගනිමු.