Print this Article


හේතු ඵල දහම

හේතු ඵල දහම

යම් ඵලයක් හට ගැනීමට නම් හේතුවක් තිබිය යුතුයි. ඵලයට හේතුව අවබෝධ කරගන්නා තුරු එහි නිරෝධය අවබෝධ කළ නොහැකියි. ජීවි,අජීවි සැම දෙයකටම හේතු ඵල දහම පොදුයි. ලොවේ පණ ඇති,පණ නැති සියලු දෙයම මේ හේතු ඵල දහම අනුව නිර්මාණය වී ඇති බව බුදුරජාණන් වහන්සේ ස්වකීය නුවණෙන්ම අවබෝධ කළා.

නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස

යෙ ධම්මා හේතුප්පභවා
තෙ සංහේතු තථාගතො ආහ
එතංඛො නිරොධො
එවං වාදි මහා සමනො

පින්වත්නි,

බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායේ ප්‍රථම දහම් දෙසුම තුළින් පංචවග්ගිය භික්‍ෂූන් වහන්සේ හට අර්හත් මාර්ගය දේශනා කළා.අනතුරුව යසකුල පුත්‍රයා ඇතුළු පිරිසද මාර්ගඵලාවබෝධයට පත්කර එම ශ්‍රාවක පිරිසට මෙලෙස දේශනා කළා.

“මහණෙනි, මා අවබෝධ කළ මෙම ගැඹුරු දහම බොහෝ ජනයාගේ හිත සුව පිණිස දේශනා කළ යුතුයි. එනිසා ඔබ දෙදෙනෙකු එකමඟ නොයන්න. වෙන් වෙන්ව ගොස් මා අවබෝධ කළ මෙම දහම ලෝ වැසියනට ලබාදී ඔවුන් සසර දුකින් මුදාලන්න.”

දහම් පිපාසයෙන් දහම් සොයා යන උපතිස්ස පරිබ්‍රාජකයාට දිනක් පස්වග භික්‍ෂූන්වහන්සේගෙන් එක් නමක් වූ අස්සජි මහරහතන් වහන්සේ මුණ ගැසුණා. අස්සජි මහ රහතන් වහන්සේගේ ශාන්ත සුන්දරවූ ගමන් විලාසය හා දැමුනු ඉඳුරන් ඇති බව දකින උපතිස්ස පරිබ්‍රාජකයා උන්වහන්සේ වෙතින් යමක් දැන ගැනීමට හැකියැයි සිතුවා. රුක් සෙවණක දන් වළඳන අස්සජි මහ රහතන් වහන්සේට උපස්ථාන කළ පරිබ්‍රාජකයා උන්වහන්සේ සමඟ පිළිසඳරේ යෙදුණා. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී ඇති බවත්,තමන් වහන්සේ බුදුපියාණන් වහන්සේගේ ශ්‍රාවකයකු පමණක් බවත්,අස්සජි මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා.

බුදුපියාණන් වහන්සේගේ දහම් පණිවුඩය තමන්ටත් ලබාදෙන ලෙස උපතිස්ස පිරිවැජි අස්සජි මහරහතන් වහන්සේට ඇවිටිලි කළා.

“පරිබ්‍රාජකය, මා නවක පැවිද්දෙක්. මා එතරම් ගැඹුරු දහමක් දන්නේ නැහැ.”

අස්සජි මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා.

“ස්වාමීනි, ඔබ වහන්සේ දන්නා තරමින් මා වෙත දහම් මඟ පවසනු මැනවි”

අස්සජි මහරහතන් වහන්සේ ඉහත මාතෘකා කළ ගාථාව උපතිස්ස පරිබ්‍රාජකයාට දේශනා කළා. මුල් ගාථා පදදෙක අසත්ම උපතිස්ස පරිබ්‍රාජකයා සෝවාන් ඵලයට පත්වුණා.

බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ හේතුඵල දහමක් බව මෙම ගාථාවෙන් ප්‍රකාශ වනවා. යම් ඵලයක් හට ගැනීමට නම් හේතුවක් තිබිය යුතුයි. ඵලයට හේතුව අවබෝධ කරගන්නා තුරු එහි නිරෝධය අවබෝධ කළ නොහැකියි. ජීවි, අජීවි සැම දෙයකටම හේතුඵල දහම පොදුයි. ඵලයක්, එනම් ගෙඩියක් හට ගැනීමට ගසක් හේතුවනවා. ගස නමැති ඵලය ඇතිවීමට මුල්, කඳ අතුකොළ හේතුවෙනවා. මුල්, කඳ, අතු, කොළ සහිත ගස ඇතිවීමට පස්,ජලය, හිරුඑළය, සුළඟ හේතුවනවා. මෙසේ යම් හේතුවක් පදනම් කර ඵලයකුත්, එම ඵලය හේතුකර ගෙන තවත් ඵලයකුත් ඇතිවනවා. ලොවේ පණ ඇති,පණ නැති සියලු දෙයම මේ හේතුඵල දහම අනුව නිර්මාණය වී ඇති බව බුදුරජාණන් වහන්සේ ස්වකීය නුවණෙන්ම අවබෝධ කළා.

සත්ව ශරීරයට පණ ඇතැයි සිතුවත්, බඹයක් පමණවූ මෙම ශරීරයට කලේබරේ (මළමිනිය) යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. මෙම ශරීරය නැතහොත් රූප කොට්ඨාසය ක්ෂණයක් පාසා උපදිමින්, මැරෙමින්, පවතින නිසා අප ඊට පණ ඇතැයි සිතනවා. ශරීරයේ ඉපදීමේ මැරීමේ වේගවත් බව නිසා එය අපට තේරුම් ගැනීමට අපහසුයි. නිතර පණ තිබෙන බව පමණක් සිතෙනවා. ආහාරය හේතුවෙන්, මැරෙන සෛල වෙනුවෙන් අලුත් සෛල නිපදවෙනවා. ඒ අනුව,අපි වයසට යනවා යයි කියැවෙනවා.ආහාර වැඩි සැපයීමක් කිරීම හේතුවෙන් පුෂ්ටිමත් බව මෙන්ම අඩු සැපයීම හේතුවෙන් කෘශ බව නම් ඵලයත් ලැබෙනවා.

ආහාර ඇතිවීමද හේතුවකින් හටගන්නා ඵලයකි. මනුෂ්‍යයාගේ ප්‍රධාන ආහාරය ශාක නිසා හටගන්නා දෙයයි. අපගේ ප්‍රධාන ආහාරය වන්නේ බත් ය.බත් හට ගැනීමට හේතු වන්නේ සහල්. සහල් හටගැනීමට හේතුවෙන්නේ වී ඇටයි. වී හට ගැනීමට හේතු වන්නේ ගොයම් ගසයි. ගොයම් ගස හට ගැනීමට හේතු වන්නේ පස්,වතුර, හිරුඑළිය, සහ වාතාශ්‍රයයි. එසේ නම් බත්වල ඇති මූල පදාර්ථය ගොයම් ගසට ලබා දුන්නේ පස්, වතුර උණුසුම හා සුළං ය. එසේ නම් ශරීරය තුළ ඇත්තේ පස්, වතුර , උණුසුම හා සුළං පමණයි. ලොව ඇති සියලු සචේතනික , අචේතනික දෙය මෙම අංග සතරින් යුක්තයි. බඹයක් පමණ වූ මෙම ශරීරය ‘කලේබරේ’ යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කළේ එම නිසයි. පස්, වතුර උණුසුම සහ සුළං යන මූලපදාර්ථයෙන් යුත් ආහාරයට පණ නැත. එසේ නම් ශරීරයට පණ තිබෙන්නේ කෙසේද?

මිනිසාට උසස් ලෙස සිතීමට කථාකිරීමට හා ක්‍රියාකිරීමට හැකියි. අනෙක් වස්තුන්ට එය කළ නොහැකියි. මිනිසාත් අවශේෂ ලෝකයත් අතර වෙනසකට ඇත්තේ එයයි.එයද හේතුඵල ධර්මයක්. කරත්තයක් තිබූ පමණින් එය ක්‍රියාත්මක නොවේ. එය අචේතනික දෙයක්. කරත්තයේ ක්‍රියාකාරිත්වයට ගොනකු අවශ්‍යය. මෙම ශරීරයද කරත්තය වැනියි. එහි ක්‍රියාකාරිත්වයට සිත නමැති ගොනා අවශ්‍යයි.ගොනා නැතොත් කරත්තය ක්‍රියාත්මක වන්නේ නැත. එසේම සිත නැතොත් කය ක්‍රියාත්මක වන්නේ නැත. එයද හේතු ඵල දහමකි. ඵස්ස, වේදනා, සංඥා චේතනා, මනසිකාර, හේතුවෙන් සිත නමැති ඵලය ලැබෙනවා. එමෙන්ම ලෝකය නමැති ඵලය ලැබීමට රූප,වේදනා , සංඥා, සංස්කාර , විඤ්ඤාණ යන ස්කන්ධයන් හේතු වනවා. මේ අනුව මුළු විශ්වයම හේතුඵල දහමක්. ඒ තුළ උපදින සත්වයා ජාති,ජරා, මරණ ආදී දුක උරුම කර ගන්නවා. දුක ඇතිවීමට හේතුවද පටිච්ඡසමුප්පාදය තුළින් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. එසේනම් රෝගයට පිළියම් කිරීමට නම් එහි රෝග නිධානය එනම්, රෝගයට හේතුව සොයා එම හේතුව නැතිකළ යුතුයි.

ඔබ සැමට තෙරුවන් සරණයි!