Print this Article


ගිංතොට දඩල්ල වාලුකාරාම පුරාණ මහා විහාරය

ගිංතොට දඩල්ල වාලුකාරාම පුරාණ මහා විහාරය

ගාලු දිස්ත්‍රික්කයේ ඉපැරැණි විහාරස්ථාන අතුරෙන් දඩලු පාර්ශවයේ ආරම්භක මූලස්ථානය ලෙස සැලකෙන ගිංතොට දඩල්ල වාලුකාරාම පුරාණ විහාරස්ථානයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. දැනට ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන මහ පිරිවෙන් අතුරෙන් දඩල්ල විද්‍යාරාජ මහ පිරිවෙන මුලින්ම ආරම්භ කර මෑතක්වන තුරුම එය පවත්වාගෙන යෑම නිසා එයද දඩල්ල වාලුකාරාම මහා විහාරයෙහි ප්‍රසිද්ධියට තවත් හේතුවක් විය.

දඩල්ල වාලුකාරාම මහා විහාරයෙහි සඟ පරපුරේ ඉතිහාසය බොහෝ ඈතට දිවයයි. අපවත්වී වදාළ රත්ගම සුමනනන්ද අනු නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ අතුරෙන් ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පරිවේනාධිපති ශාස්ත්‍රවේදී රත්ගම සුනීත හිමිපාණන් වහන්සේ විහාරස්ථානයේ විහාරාධිකාරි ලෙස කටයුතු කරති.

මෙම විහාරස්ථානය දඩල්ල ගම්මානයට ගෙන එන්නේ මහත් ආලෝකයකි. ගම්වැසියන්ගේ ජීවිත අද දක්වා දහමෙන් පෝෂණය කරන්නට මේ විහාරය මහත් දායකත්වයක් දක්වා ඇත.

මෙම විහාර මන්දිරයේ කළු ගලින් නෙළන ලද සමාධි බුදුපිළිමයක් තැන්පත් කර ඇත. බුදු ගෙයි වරින්වර සිදුකරන ලද ප්‍රතිසංස්කරණ වලදී නොයෙක් වෙනස්කම් කර තිබෙන බව දැකිය හැකිය.

මෙම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ධර්මශාලාව පසුගියදා විවෘත කරන ලදී. මේධානන්ද දහම් පාසල, මිගාර මාතා කුලඟන සමිතිය සහ මරණාධාර සමිතිය ආදි සමිති සංවිධාන විහාරස්ථව පිහිටුවා ඇත.

සෑම පුර පසළොස්වක පොහොය දිනයකම මිගාර මාතා කුලඟන සමිතියෙන් සහ මේධානන්ද දහම් පාසලෙන් සිදු කෙරෙන සේවාව කාගේත් පැසසුමට ලක්ව තිබීම සතුටට කරුණකි.

ඡායාරූප - රුවන් දිනේද්‍ර