Print this Article


ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගණ්ඨි පාර්ශවයේ මහානායක පදවියෙන් පිදුම් ලබන ගන්තුනේ අස්සජි මහා නා හිමි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගණ්ඨි පාර්ශවයේ මහානායක පදවියෙන් පිදුම් ලබන

ගන්තුනේ අස්සජි මහා නා හිමි

මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය කෑගල්ල නගර සභා ශාලාවේ දී සැප්තැම්බර් 08 වන දා පස්වරු 3 ට පැවැත්වේ

ගන්තුනේ අස්සජි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි.මහා නාහිමිපාණන් වහන්ස - ඔබ වහන්සේගේ උපන් දිනය?,

පිළිතුර – මට උපන්දින දෙකක් තියෙනවා. හඳහනේ සඳහන් වී තියෙන්නේ 1942 නොවැම්බර් 11 වනදා කියලා අනික 1943 පෙබරවාරි 19 වන දා. මේ දිනේට තමයි අපේ ජනාධිපතිතුමා සුබ පතන්නෙත්, මගේ කාර්යාලීය වැඩ කරන්නෙත්.

ඔබවහන්සේගේ පවුලෙ ඤාතීන් ගැන සිහිපත් කළොත්?

පිළිතුර – මගේ පියා සාමාන්‍ය පශු වෛද්‍යවරයෙක්. එතුමා ගන්තුනේ වරත්තැන්නෙගෙදර. අම්මා බල්ලපාන ගමේ. මා උපන්නෙත් වරත්තැන්නෙ ගෙදර. මා පොඩි කාලයේදී මගේ සහෝදර සහෝදරියන් කීප දෙනෙක්ම මියගිහින්. තාත්තා වගේ උන්නු ලොකු අයියා පිළිකාවකින් පරලොව ගියා. දැනට අක්කා, පුංචි අයියා, මට බාල මල්ලියි, නංගියි.

අධ්‍යාපනය ගන්තුනේ උඩගම බෞද්ධ මිශ්‍ර පාසලේ වසර තුනක් ඉගෙන ගත්තා. අනතුරුව ගන්තුනේ පල්ලේගම ආධාර ලබන පාසලකට ආවා. දැනට කඳුරට මහා විද්‍යාලය එයයි. 7 වන ශ්‍රේණියට ගියා.

පැවිදි බිමට පත් වුනේ – මට පැවිදිවීමට අදහසක් තිබුණේම නැහැ. දිනක් උඹට පුතේ මහණවෙන්න පුළුවන්ද? කියල පියා ඇහුවා. මාත් ඉතින් දෙපාරක් නොහිතාම හා කිව්වා. ඒ කාලේ ඉගෙනීමටත් දක්‍ෂයි. ඉතින් අපේ තාත්තාගේ ඉල්ලීමට අනුව මඩවල ආනන්ද ඤාණතිස්ස නායක හාමුදුරුවන් ළඟ පැවිදි වුණා. ඒ 1956.11.12 දා.

ඉන්පස්සේ ? – පැවිද්දෙන් මාස හයකට පස්සෙ, 1957 මැයි මාසයේදී පේරාදෙණිය සාරානන්ද පිරිවෙනට ඇතුළත් වුණා. 1960 දී අපේ නායක හාමුදුරුවො මාව පිළිමතලාවෙ හැරමිටිගල පිරිවෙනට බාර දුන්නා. සාරානන්ද පිරිවෙනේ මෙන් පිණ්ඩපාතිකව සිටියා. පිළිමතලාවෙ පිරිවෙනට ගියේ දන්තුරේ පන්සලක නේවාසිකව සිටයි. කඩුගන්නාව ඉලුක්වත්ත සිටසෙරෙප්පු දෙකක්වත් නැතිව මහා අව්වේ පිරිවෙනට එදා කිලෝමීටර දෙකක් රේල් පාර දිගේ ගිය හැටි තාම මතකයි. මට බුරුම සෙරෙප්පු දෙකක් ලැබුණා. මගේ නායක හාමුදුරුවන්ගෙන් විමසුවාම උන්වහන්සෙ මට කිවේ සෞඛ්‍ය පැත්තටයි කියා සිතා පාවිච්චි කරන්න කියලා. 1960 දී සාමාන්‍යපෙළ විභාගය කළා. විශ්වවිද්‍යාල ප්‍රවේශපත්‍ර පන්තියට නොගිහින් ප්‍රාචීන, ප්‍රාරම්භ පන්තියට ගිහින් එක් අවුරුද්දෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට ලියුවා. 1963 දි විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.

විශ්වවිද්‍යාලයේ ජීවිතය -

පිළිතුර - සාමාන්‍යවේදී පාඨමාලාවකට මම ගියේ, එකල මාසික ශිෂ්‍යාධාරය රු. 40 යි. පළමු වසර සිට බුද්ධ ධර්ම පාඨමාලාව දිගටම කළයුතු වීම නිසා රු.50 ක් වුණා. ජීවත් වීමට අපහසු තත්ත්වයක් තිබුණත් ඒ පාඨමාලාවට කැමැති වුණා. අප සාමාන්‍ය අයනෙ. මම විශ්වවිද්‍යාලයට ගියාට පස්සෙ මගේ ලොකු අයියා මේ ගමේ ගෙයක් ගානෙ ගිහින් බුලත් දීල අපේ හාමුදුරුවන්ට ඉගෙන ගන්න උදව් දෙන්න කියල තියෙනවා. අයියම මාසිකව මුදලක් දුන්නු ගෙවල්වලට ගිහින් මුදල එකතු කරගෙන එනවා. අවසන් වසරේදී එක ගෙදරකින් රු. 5 යි. අනික් ගෙදරින් රු. 2 යි.

බුද්ධ ධර්ම පාඨමාලාවට ඇතුළත් වී ඉන් වැඩිම ලකුණු ගත් නිසා දොන් කරෝලිස් හේවාවිතාරණ ශිෂ්‍යත්වය ලැබුණ. මුළු වසරට ම රු. 500 ක් ලැබුණා. අඩුවෙන් වියදම් කළේ, අවසන් අවුරුද්දෙ ණය පහසුකම් දුන්නත් මා ඒවා ගත්තෙ නෑ. ආපහු ගෙවාගන්න බැරිවේවි කියලා.

ඉතින් මගේ ප්‍රධාන විෂය වූයේ බුද්ධර්මය. භාරත දර්ශනය, සංස්කෘත, පාලි අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕනෑ. වසරක් පාලි හැදෑරුවා, උප විෂය සිංහලයට මාරු කළා. ඒ නිසා ප්‍රථම පන්ති සාමාර්ථයක් නොලැබී දෙවන පන්ති ඉහළ පෙළ සාමාර්ථයක් ලැබුණි. 1967 දී උපාධියට ලියා පන්සලට ඇවිත් ගෙයක් ගානේ ගිහින් දහම් පාසල් ප්‍රතිසංවිධානය කළා ළමුන් එකසිය ගණනක් සිටියා.

උපාධිය ලැබුවේ 1968 දී. උපාධි උත්සවය විලියම් ගොපල්ලව අග්‍රාණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා. මුලදි බැන්ඩියමුල්ලෙ විද්‍යාශේඛර පිරිවෙන්හි සේවයට ගියා. පත්‍රයක දැන්වීමක් හරහා මොරටුව සරික්කාමුල්ලේ පිරිවෙනේ ගුරුවරයකු වුණා. එදා මාසික වැටුප රු. 50 යි. මහාචාර්ය කොටගම වාචිස්සර නාහිමියන්ගේ අපවත් වීමෙන් පසු මා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් එකතු වුණා. 1970 දී පූර්ණකාලීන තාවකාලික සහකාර කථිකාචාර්ය වුණා. වැටුප රු. 700 යි.සේවය ස්ථිර නොවූයෙන් ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙනට කතා කළාම එහි ගියා. බද්උද්දීන් අධ්‍යාපන ඇමැතිතුමා උපාධිධාරිනට පත්වීම් 1976 දී දුන් විට මට දඹුල්ලෙ තෙන්නකෝන් මහා විද්‍යාලයේ සේවයට පත්වීම ලැබුණත් සේවයට නොගිය නිසා කළුගල්ල ඇමැතිතුමා ගන්තුනේ පාසලට එම පත්වීම ලබා දුන්නා.

මේ වන විට මම ශාස්ත්‍රපති උපාධියත් සමත් වෙලා උන්නෙ. මා මුලදී ඉගෙන ගත් කඳුරට මහා විද්‍යාලයේ ගුරුවරයකුව සේවයට ගියා. පසුව ගුරු විද්‍යාල කථිකාචාර්ය වුණා. පසුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්ථිර කථිකාචාර්ය ධුරයට පත් වුණා. ආචාර්ය උපාධියට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තෝරාගත්තෙ. නා හිමි රෝගාතුර වුණා. පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයට ඉල්ලා, ඉන් නිර්දේශ වී තිබුණත් අවස්ථාව ඊට ලැබුණේ නැහැ. ආචාර්ය උපාධිය අමතක කළා.1990 දී මා අයින් වී පන්සලට ආවා

අධ්‍යාපන ක්‍ෂ්ත්‍රයේ

පිළිතුර අධ්‍යාපන අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක මණ්ඩලයේ අදටත් ඉන්නවා. දහම් පාසල් පොත් ලිවීමේ මණ්ඩලයට පත් වී ඉන්නවා. ලේඛක හා උපදේශක මණ්ඩලයෙත් ඉන්නවා. පාසල් බුදුදහම පොත්පෙළ මණ්ඩලයේ, බුදුදහම පාසල් විෂය නිර්දේශ කමිටුවේ. දහම් පාසල් විෂය නිර්දේශ කමිටුවේ, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ ගුරු පුහුණුවේ සම්පත් පුද්ගලයකු වශයෙන් ආරාධිතයකු හැටියටත් ඉන්නවා. ගුරු අත්පොත් (ගුරු මාර්ගෝපදේශක සංග්‍රහ) ලේඛක මණ්ඩලයේ ජාතික අධ්‍යාපන ආයතනයේ ස්වයං අධ්‍යාපන පාඨමාලා (මොඩියුලර් රචක) වශයෙන් ද විවිධ පළාත්වල ගුරු පුහුණු වැඩසටහන් වලටත් සහභාගි වෙනවා. අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේ නියෝජනය කරමින් පිරිවෙන් මණ්ඩලයටත් මා පත් වී සිටියා.

ගුවන් විදුලියේ ද විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන ගන්තුනේ අස්සජි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විවිධ සම්මානයට ද පාත්‍ර වී තවත් විවිධ සදහම් කටයුතුවල ද විවිධ නිලතල හොබවමින් බොහෝ පැසසුමට ද පාත්‍රව වැඩ වාසය කරති. ගුවන් විදුලියේ ප්‍රචාරය කරන ලද ධර්ම දේශක හිමිවරු 25 නමක් වඩමා සම්මාන පිරිනැමීමේ දී එහිදී බලංගොඩ පඤ්ඤාවංස අනුනා හිමියන් බොහෝ පැසසුම් පුද කිරීම තමන් වහන්සේ ලද ඉහළ සම්මාන යැයි උන්වහන්සේ පැවසූහ.

ඔබ වහන්සේ ලියූ පොත පත?

පිළිතුර –බෞද්ධ චින්තනයෙන් බිඳක් ලිපි එකතුවක සංස්කරණයක් කළා. ඉන් උසස් පෙළ හදාරන දරුවන්ටත් නිර්දේශ වන අයුරින් එය ඉටු කළේ.

අපේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායයේ චූලගණ්ඨි පාර්ශ්වයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් ශාසන ප්‍රභා ශාස්ත්‍රිය ග්‍රන්ථයක් කළා. අසිරිමත් මිනිසත් බව, මව්පියන් වෙතටයි, ගුවනට මුසු කළ දහම් සිතිවිලි, මැටි බඳුන් වැනි ජීවිත, ජාතක සිතිවිලි මාලා, කුඹුකේ ධර්ම දේශනා ආදි ග්‍රන්ථ රැසක් ලියුවා. ශාස්ත්‍රීය ලිපි රැසක් සඟරා ආදියට ලියුවා

ගන්තුනේ විහාරස්ථානය ගැන සඳහන් කළොත්,?

පිළිතුර –අපේ ගුරුදේවයන් විහාරාංග කීපයක් ඉදිකර තිබුණා. මා එයඅංගසම්පුර්ණ කළා. ගන්තුනේ පන්සලට යන එන නියර දිගේ අඩි පාර රජයේ ආධාරයෙන් සකස් කර ගත්තේ මගේ ම උත්සාහයෙන්. මීටර් 18 ක් දිග පාලම ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමැතිතුමා සහ රංජිත් සියඹලාපිටිය ඇමැතිතුමා තනවා දීමත් ඊට කොටුගොඩ ධම්මාවාස අනුනා හිමියන් කළ මඟ පෙන්වීමත් අගය කරනවා.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගණ්ඨි පාර්ශවය ගැන සඳහන් කළොත්?

පිළිතුර – අපේ චූලගණ්ඨි නිකායේ මූලස්ථානය බලපිටියේ, වැලිතර, නායක පන්සල. 1886 දී ආරම්භ වුණේ ඒ. යූ.ඒ ඥානතිලක නා හිමියන් තමයි ඇරඹුවේ. එකල ලංකාවේ පාලි මහා චක්‍රවර්ති වූයේ ඒ අපේ නා හිමියන්.

මා චූලගණ්ඨි පාර්ශවයේ සහකාර ලේඛකාධිකාරී ප්‍රධාන ලේඛකාධිකාරී, පාලක සභාවේ සභාපති හා මහෝපාධ්‍යාය පදවිය ද හිමි වී කටයුතු කළා.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝසභාවේ සභිකයකු වශයෙන් පත්වූවාට පසු එහි වෙනස්කම් රැසක් සිදු කිරීමට මූලිකව ක්‍රියා කළා. ‘උත්තරීතර මහා නායක’ ‘නියෝජිත සංඝ සභාව’ වැනි වචන මා එකතු කළ ඒවා. ඒ සභාවේ ව්‍යවස්ථා සංශෝදනයේ දී ප්‍රමුඛත්වයක් ගත්තා. මම එහි සහකාර ලේඛකාධිකාරී හා පසුව නියෝජ්‍ය ලේඛකාධිරි පදවියට ද පත් වී අද ද එහි ක්‍රියා කරනවා.

ත්‍රස්තවාදී උවදුරින් දේශය මුදා ගත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායෙන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් ප්‍රදානය කළ ‘ශ්‍රී ලංකා රාජවංශ විභූෂණ ධර්මද්වීප චක්‍රවර්ති’ යන ගෞරව නාමය හා අක්තපත්‍රය සකස් කළේ ද මමයි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගණ්ඨි පාර්ශවයේ මහා නායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක දවුල්දෙණ ඤාණිස්සර මහා නා හිමි, කථානායක චමල් රාජපක්‍ෂ මැතිතුමා, සබරගමු පළාත් ආණ්ඩුකාර තුමා ප්‍රධාන මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 08 දින පස්වරු 3 ට කෑගල්ල නගර සභා ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.