Print this Article


පිරිනිවුනි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 14

නාගසමාල මහරහතන් වහන්සේ

අපගේ ශාස්තෘන් වහන්සේ මේ ලෝකයේ පහළ වී උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරද්දී නිකෙලෙස් රහතුන්ගෙන් නිකෙලෙස් රහත් තෙරිණියන්ගෙන් දඹදිව් තලය සෝබමානවත් වුණා. තථාගත හඳමඬලේ උපන් ඒ ශ්‍රාවක පුතුන්ගේ, ශ්‍රාවිකා දියණියන්ගේ විමුක්ති සුවයේ අසිරිමත් බව කැටි වූ සුන්දර උදානයන් ථෙර ථෙරි ගාථා නමින් ශ්‍රී සද්ධර්මයට එක් වී තිබෙනවා. බුද්ධ ශාසනයේ වැඩසිටි ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේලා ගැන අසිරිමත් තොරතුරු මේ ථේර ථෙරී ගාථා ග්‍රන්ථය තුළින් අපට මුණ ගැසෙනවා.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශාසනයේ රහතන් වහන්සේ නමක් බවට පත්වීමට වාසනාවත්ත වූ නාගසමාල නම් රහතන් වහන්සේ ගැන අද අපි ඉගෙන ගෙන සිත පහදවා ගනිමු.

මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව වැඩ සිටියා. ඒ කාලයේ සිටු ගෙදරක ඤාණවන්ත තරුණ කුමාරයෙක් ලෙස නාගසමාල රහතන් වහන්සේ ලෙස ඉපදී සිටියා. පොළොව අඟුරු මෙන් රත්වන ගී‍්‍රස්ම දිනයක පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ පොළොව මත ශාන්ත ගමනින් වැඩම කරන හැටි මේ කුමාරයාට දකින්නට ලැබුණා. ‘පොළොව අඟුරු වගේ රත් වෙලා. තද හිරු රැසින් සම්බුදු සිරුරට අපහසු ඇති. මම බුදුරජාණන් වහන්සේට මේ කුඩයක් පූජා කරන්නට ඕන’ කියලා කල්පනා කළා.

’ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, හිරු රැසිනුත්, ඌෂ්ණයෙනුත්, සුළඟිනුත්, සීතලෙනුත් රැකවරණය සැලසෙන මේ ඡත්‍රය (කුඩය) මා කෙරෙහි අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා! මේ පින මට නිවන් අවබෝධයටම හේතු වේවා! කියමින් ඉතාම පී‍්‍රතියෙන් බුදුරජාණන් වහන්සේට කුඩයක් පිළිගැන්වූවා. මහා කාරුණික පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ කුඩය අනුකම්පාවෙන් යුතුව පිළිගෙන වදාළා.

ඒ සිදු කළ පිනේ ආනිශංස ලෙස කල්ප තිහක්ම සක් දෙව් පදවිය ලැබුවා. පන්සිය වතාවතක්ම සක්විති රජු බවටත් පත් වුණා. ප්‍රමාණ කරන්නට බැරි තරම් ප්‍රාදේශීය රජ පදවි ලැබුවා. මේ මහා භද්‍ර කල්පය දක්වාම කල්ප ලක්ෂයක් පුරාවට ඒ කුඩ පූජාවෙන් රැස් වූ පින සැප විපාක ලබා දුන්නා.

අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ යුගයේ ශාක්‍ය රජ කුලයේ නාගසමාල නමින් රජ කුමාරයෙක් වෙලා උපත ලැබුවා. ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගනිමින් රජ සැප විඳිමින් මේ කුමාරයා හැඳී වැඩුණා. යොවුන් වියට පත් වුණා.

මේ අතර ඤාතීන්ට සංග්‍රහ කිරීම පිණිස අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට විසිදහසක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කළා. ඒ වැඩම කළ ගමනට සාරිපුත්ත මහා මොග්ගල්ලාන ආදී රහතන් වහන්සේලාත් වැඩම කළා. එබඳු අති උතුම් රහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩියත් ශාක්‍ය වාංශිකයන්ගේ මාන්නය නිසාම බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය පිළිගැනීමට, පෙර ගමන් කිරීමට, පා දෝවනය කිරීමට යෙදවූයේ ලාබාල ශාක්‍ය කුමාරයන්ව යි. ඒ මොහොතේ තුන් ලොවට අග්‍ර වූ අපගේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ අහසට පැන නැංගා. බුදුවරුන්ට පමණක්ම සිදුකළ හැකි ‘යමක මහා ප්‍රාතිහාර්යය’ ඒ මොහොතේ කිඹුල්වත් නුවර සියලු ශාක්‍යයන්ට පෙනෙන්නට සැලැස්වූවා.

එකම මොහොතක සම්බුදු සිරුරේ එක් එක් රෝම කූ®පයෙන් ගින්දරත්, ජල ධාරාවනුත් පිට කරමින් සිදු කළ ඒ මහා ප්‍රාතිහාර්යය බලා සිටි සියළු ඥාති ශාක්‍යයින්ගේ මාන්නය බිඳ වැටුණා. බුදුරජාණන් වහන්සේ ගැන සියලු දෙනාගේම සිතේ ගෞරවාදරයක් හට ගත්තා. ඉන්පසු තමන් වහන්සේගේ ඤාතීන් වූ ශාක්‍ය වංශික පිරිසට අනුග්‍රහ පිණිස බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් ධර්මය දේශනා කළා.

එහිදී දෙසූ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය පින්වත් නාගසමාල කුමාරයාගේ සිතේ විශාල ප්‍රසාදයක් ඇතිකළා. ඒ උපන් ශ්‍රද්ධාව නිසාම සියලු සැප සම්පත් අත්හැර දමා ගිහි ගෙයින් නික්මී බුදුරජාණන් වහන්සේගේ සමීපයේ උතුම් වූ පැවිද්දත්, උපසම්පදාවත් ලබා ගත්තා.

මේ නාගසමාල පින්වත් ස්වාමීන්වහන්සේ සුළු කලක් බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක ස්වාමින් වහන්සේ ලෙස බුද්ධෝපස්ථාන සිදු කරන්නටත් වාසනාවන්ත වුණා. දිනක් මනා කොට සිවුරු පොරවාගෙන පාත්‍රයක් රැගෙන පිණ්ඩපාතය පිණිස උන්වහන්සේ නගරයේ වීදියට වැඩම කරමින් සිටියා.

මිහිරි තුර්ය නාදයත්, අත්පොළසන් හඬත් ජනයාගේ ඝෝෂාවත් හේතුවෙන් බිමට යොමු කළ ඇස් ඇතිව හොඳින් ඉඳුරන් රැක ගෙන සිහි නුවණින් පිණ්ඩපාතය පිණිස වැඩම කළ නාගසමාල ස්වාමින් වහන්සේ මදක් හිස ඔසවා ඒ දෙස බැලුවා.

තූර්ය වාදන මැද නළඟනක් නටනවා. ඇය දෙඅත්, දෙපා, හිස ආභරණ වලින් සරසාගෙන සිටියා. දෙපා වල නුපුර සොළවමින් නටමින් ඇය හැඳ සිටි මනස්කාන්ත වර්ණැති සළුපිළි සිරුර පෙනෙන අයුරින් ඒ මේ අත සෙලවුණා. නොයෙකුත් විසිතුරු සුවඳ මල් මාලා ඇය පැළඳගෙන සිටියා. හිසේ මල් ගවසාගෙන සිටියා. දෙතොල් පාට කරගෙන ඇඟේ සඳුන් කල්ක තවරාගෙන යටි පතුල් රෝස පාට කරගෙන මහ හඬින් සිනාවෙමින් මහා ජනකාය මැද ඈ නටන අයුරු නාගසමාල ස්වාමින් වහන්සේ දැක්කා.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරනු කැමැත්තෙන් දහමට දිවි පුදා වාසය කළ උතුම් ශ්‍රාවකයන්ගේ ජීවිත හරිම පුදුමයි’ ඒ වගේ කාම සිතිවිලි අවුස්සා දමන නළඟන ගැන, නාගසමාල ස්වාමින් වහන්සේ දැක්කේ තමන් වහන්සේව සංසාරයේ බැඳ තබන තොණ්ඩුවක් වගෙයි. ඒ උතුම් සිතේ කාමයන්ගේ ආදීනව සිහිපත් වුණා.

ඒ හේතුවෙන්ම සංස්කාරයන්ගේ ස්වභාවය ප්‍රකට වුණා. ඉතාමත්ම ප්‍රඥාවන්ත වූ උන්වහන්සේ එයම මුල් කරගෙන විදර්ශනා වැඩුවා. ආයෙමත් වතාවක් දුක් සහිත සසරේ ගමන් නො කරන, සසර දුක් නැති අමා මහ නිවන සාක්ෂාත් කළා. නාගසමාල ස්වාමින් වහන්සේත් නිකෙලෙස් මහ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා.

උන්වහන්සේට අරහත්වය පිණිස හේතුවුණ ඒ සිදුවීම මේ විදිිහට ගාථා වලින් දේශනා කොට වදාළා.

අලංකතා සුවසනා - මාලිනී චන්දනුස්සදා
මජ්කේඨ මහාපථේ නාරී - තුරියේ නච්චන්ති නාටකී

ඒ තැනැත්තිය නාටිකාංගනාවක්. ලස්සනට ඇඳලා ආභරණ වලින් සැරසිලා මල් මාලා පළඳාගෙන හිටියේ. ඇඟ පුරාම සඳුන් කල්ක තවරාගෙන තිබුණා. මහ පාරේ තූර්ය වාදන කරද්දී ඒ මැද ඇය නට නටා සිටියා.

පිණ්ඩිකාය පවිට්ඨෝ’ හං - ගච්ඡන්තෝ නං උදික්ඛිසං
අලංකතං සුවසනං මච්චුපාසං ව ඔඩ්ඩිතං

මම ඒ වෙලාවේ මහ පාරට පිවිසුණේ පිණ්ඩපාතය පිණිසයි. ලස්සනට ඇඳ පැළඳගත් ආභරණ වලින් සැරසුණු ඇයට මම දැක්කා. මට හිතුණේ ඇය මාරයා විසින් අටවපු උගුලක් වගෙයි.

තතෝ මේ මනසිකාරෝ - යොනිසෝ උදපජ්ජථ
ආදීනවෝ පාතුරහූ - නිබ්බිදා සමතිට්ඨථ

එනිසාම මට යෝනිසෝමනසිකාරය ඇතිවුණා. කාමයේ ආදීනව ප්‍රකට වුණා. අවබෝධයෙන් යුතුවමයි කළකිරීමෙහි සිත පිහිටියේ.

තතෝ චිත්තං විමුච්චි මේ – පස්ස ධම්මසුධම්මතං
තිස්සෝ විජ්ජා අනුප්පත්තා - කතං බුද්ධස්ස සාසනං

එකරුණ මුල් කරගෙන මගේ සිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. ධර්මයේ ආශ්චර්යය බලන්න. මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කර ගත්තා.

බොහෝ රහතන් වහන්සේලා උපදවා ගත් පෙර ජීවිත දැකීමේ නුවණ (පුබ්බේනිවාසානුස්සති ඤාණය) කර්මයට අනුරූපව සත්ත්වයින්ගේ චුතවීමත්, ඉපදීමත් දැකීමේ නුවණ (චුතුපපාත ඤාණය) තමන් වහන්සේලා තුළ කිසිදු ක්ලේෂයක් ඉතිරි නොමැතිව ආශ්‍රව ක්ෂය වූ බව දන්නා නුවණ (ආසවක්ඛය ඤාණය) යන ත්‍රිවිද්‍යාව නාගසමාල රහතන් වහන්සේ උපදවා ගත්තා.

මේ ලෝකය තුළ තවත් පිරිසිඳ දකින්නට දෙයක් ඒ රහතන් වහන්සේලාට ඇත්තේ නැහැ. ජීවිතය ගැන නිවැරදිව දැක්මක් ඇත්තේ ඒ උතුම් රහතන් වහන්සේලාට යි. ඒ නිසාම රහතන්වහන්සේලාට බොහෝ කාලයක් ජීවත් වීමේ ආසාවකුත් නැහැ. ඉක්මණින්ම මරණයට පත් වෙන්න ඕන කියලා ආසාවකුත් නැහැ. සසර දුක නැති නිවන සිතේ දරා ගත් උන්වහන්සේලා මාසේ පඩිය බලාපොරොත්තු වෙන කෙනෙක් වගේ පිරිනිවන් පාන්නටයි කල් බලමින් ඉන්නේ.

ඒ අසිරිමත් රහතන් වහන්සේලා ගැනත්, ඒ රහතන් වහන්සේලා අනුගමනය කළ ගම්භීර ශ්‍රී සද්ධර්මය ගැනත් ඒ ධර්මය වදාළ පරම ශ්‍රේෂ්ඨ ගෞතම බුදුරජාණන් වහන්සේ ගැනත් අප සිත පහදවා ගනිමු.

සටහන : නයනා නිල්මිණි


පිරිනිවුනි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 13 ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ