Print this Article


යුග මෙහෙවර සලසන කෝට්ටේ රජ මහ වෙහෙර පෙරහර

යුග මෙහෙවර සලසන කෝට්ටේ රජ මහ වෙහෙර පෙරහර

අප මාතෘ භූමිය අවසන් වරට එක්සේසත් කළ විශිෂ්ට වූ නරේන්ද්‍රයාණන් වශයෙන් රාජ්‍ය වංශ කතාවේ අභිමානවත් රාජ්‍ය ලාංඡනයේ මුද්‍රාව තැබීමට භාග්‍යලද්දේ කෝට්ටේ රාජධානිය කර ගනිමින් වසර 52 ක දීර්ඝ කාලයක් රට පාලනය කළ හයවන පරාක්‍රමබාහු රජතුමා ය. (ක්‍රි.ව. 1415 – 1467)

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුගය (ක්‍රි.ව. 1412 – 1580) පුබුදුවාලූ , දිදුළුවාලූ මෙම රජතුමාගේ පාලන කාලය කැරලි කෝලාහල මෙන්ම වෙනත් බල ආක්‍රමණයන්ගෙන් තොර සාමකාමී යුගයක් සටහන් කර තබයි.

එතුමා සාහිත්‍ය ශාස්ත්‍රීය මෙන්ම බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකිරීමට සමත් වූ බව ඉතිහාසය පිරික්සීමේදී දැන ගැනීමට හැකිවෙයි.

රජතුමාගේ තේජෝ බලපරාක්‍රමය විහිදුවාලමින් රාජ්‍ය ස්ථිරත්වයේ ආශිර්වාදාත්මක සංකේතය වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ කෝට්ටේ රාජධානියට වැඩම කරවන්නේ මේ උත්තමයාගේ යුගයේදීය. කෝට්ටේ රාජධානියේ තෙමහල් දළදා මාලිගාවක් කරවා අගනා පාෂාණයන්ගෙන් යුත් කරඬුවක ශ්‍රී දළදා සමිඳුන් සියලු රාජ්‍ය ගෞරව සහිත පුද සත්කාර මධ්‍යයේ වඩා හිඳ වූ බව වංශ කතා සනාථ කරයි.

ශ්‍රී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ රාජධානියේ විරාජමාන වූ ඒ තෙමහල් මහා දළදා මාලිගාවේ මහත් ශ්‍රීය පිළිබඳව තොටගමුවේ ශ්‍රී රාහුල මා හිමියන් විසින් රචිත සැළලිහිණි සංදේශයෙහි සඳහන් වන්නේ මෙසේය.

ලොව විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදී
දෙන නොමදා සිරි සග මොක් සැප නිසැදී
ලද මුනිදා දම් කදපහස මන බැඳී
වදු දළදා තෙමහල් පහය රැඳී

මෙම රාජ්‍ය සමයේ සිංහල අලුත් අවුරුදු කාලයේ දී ජාතික වූ රාජ්‍ය උළෙලක් වශයෙන් ගෞරව බහුමානයෙන් යුක්තව දළදා වහන්සේ මහපෙරහරින් වැඩම කරවීම සිරිතක්ව තිබූ බව කියැවෙයි.

මෙම ආගමික උත්සවයට සහභාග වීමට ආරාධනා කෙරුණු ප්‍රභූවරුන් අතරට රජ යුව රාජ ප්‍රාදේශීය අධිපතිවරුන් ඇතුළු සම්භාවනීයයන්ගේ නාම ලේඛණය සකස්කරන ලද්දේ වාසල මොහොට්ටි නම් නිලධාරියා විසිනි. සවැනි පැරකුම්බා මහ රජතුමාගේ දියණියක් වූ ලෝක නාථා නොහොත් උලකුඩය දේවිය සරණ පාවා ගත්තේ ‘නන්නූර්තුනයා’නම් අමාත්‍යවරයාය. මෙම යුවතිපතීන්ට පුත් රුවනක් ලබා දෙන ලෙස ඉල්ලමින් තොටගමුවේ ශ්‍රී රාහුල මා හිමියන් විසින් රචිත සැළලිහිණි සංදේශයෙහි සංදේශ භාරකයා මගින් කැලණියේ විභීෂණ දෙවියන් වෙත ආයාචනය කරණු ලබයි. එම ඉල්ලීම ඉෂ්ඨ සිද්ධ වීමේ සතුටට ‘නන්නූර්තුන්යා’ අමාත්‍යතුමා එකල්හි කෝට්ටේ ඇසළ පෙරහරට අලි ඇතුන් 500 ක් සහභාගි කරවූ බව කියැවෙයි.

චීන ජාතික පාහියන් භික්‍ෂූවගේ වාර්තාවකට අනුව කියැවෙන්නේ දන්තධාතු පූජෝත්සවය පැවැත්වීමට දින දහයකට ප්‍රථමයෙන් රාජ පුරුෂයකු රාජාභරණයෙන් සරසවා ඇතකු පිට යවා මහපෙරහර පැවැත්වීම පිළිබඳව පූර්ව ප්‍රචාරයක් ලබා දුන් බවයි. එසේම පෙරහර මඟ දෙපස චිත්‍ර ශිල්පීන් ලවා අඳින ලද ජාතක කතා මගින් මග සරසා අලංකාර කළ බවත් දන්තධාතු පූජාව පුරා තෙමසක කාලයක් පැවැත්වූ බවත් කියැවෙයි.

මෙම විස්තර අනුව හැඟී යන්නේ එදා පෙරහර මංගල්‍යය මහත් උත්සවශ්‍රීයෙන් මෙන්ම ඉමහත් හරසර මධ්‍යයේ පැවැත්වූ බව ය.

සරු පසින් පොහොසත් වූ අප මාතෘභුමියේ රජවරුන්ගේ මුඛ්‍ය අභිප්‍රාය වූයේ බත බුලතින් රට ස්වයංපෝෂිත කිරීම ය. ගොවිතැන්බත් කරගැනීමට නම් යල මහකන්න දෙක අස්වැද්දීමට නිසි කලට වැසි අවැසි විය.

පරසතුරු උවදුරෙන් රට ආරක්‍ෂා කර ගැනීමේ අපේක්‍ෂාවෙන් මෙන්ම නිසි කලට වැසි ලැබ කෙත සරුවී අටුකොටු පිරී තිරී රට සෞභග්‍යයෙන් සුසැදී උත්තුංග ප්‍රාර්ථනාවන් සඵලවේවා! යන අධිෂ්ඨානයෙන් එකල දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම උදෙසා පෙරහර පැවැත්වීමට රජවරු පෙළඹුණු බව සනාථ වෙයි.

කෝට්ටේ රාජධානිය මෙසේ ආක්‍රමණයන්ගෙන් වියුක්තව, සශ්‍රීකත්වයෙන් ආඩ්‍යව, ඥානයෙන් පොහොසත්ව, ආගමික පසුබිමෙන් පූජනීයත්වයට පත්ව පැවැති පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජධානියේ කෝට්ටේ රජ මහා විහාරය ගොඩනැගෙන්නේ සවැනි පැරකුම්බා නිරිඳාණන්ගේ අනුග්‍රහයෙන් බව සනාථ කර ගත හැකි සාක්‍ෂි හමුවෙයි.

අත්තරගම බණ්ඩාර රාජ ගුරු තැන විසින් රචිත නම්පොත හෙවත් විහාර අස්නෙහි කෝට්ටේ ශ්‍රී මහා විහාරය පිළිබඳව සඳහන්ව තිබීම ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් සාධකයකි.

එහි සඳහන් වන්නේ “ ජයවර්ධනපුර කෝට්ටේ ෂන්මුඛ දේවාලය සහ ඔත් පිළිමගෙය” ද’ වශයෙනි. 18 වන සියවසෙහි ලියැවුණු විහාර අස්නෙහි සඳහන් වන ‘කෝට්ටේ ඔත් පිළිම ගෙය” පිට කෝට්ටේ රජ මහා විහාරයම බව කෝට්ටේ පුරාවස්තු පිළිබඳ ගවේෂණයක් කළ ඩග්ලස් ඩී. රජසිංහ මහතා සඳහන් කරයි.

මේ අනුව සිතිය හැක්කේ දැනට කෝට්ටේ රජ මහා විහාරය අයත්භූ®මියට අමතරව විශාල වපසරියක් පුරා මෙම රජ මහා විහාරය ව්‍යාප්තව පැවැති බවකි.

එය සනාථ කර ගැනීමට අවැසි සාධක ඇතැම් පුරාවස්තු ශේෂ මතින් අනුමාන සාක්‍ෂි වශයෙන් ගොනු කර ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය ස්ථිරසාර පුරා විද්‍යාත්මක පදනම නොමැති වන්නේ 1505 වසරේදී අප මාතෘ භූමිය ආක්‍රමණය කළ පරංගි සේනා විසින් කෝට්ටේ රාජධානියේ උරුමයට සම්බන්ධ සියලු දෑ විනාශ කර දැමූ නිසා ය.

නරුම පරංගීන්ගේ කුරිරු පාපයට ඉතිහාසයේ ස්වර්ණමය යුගයක උරුමය පෑගී පොඩි පට්ටම වී යාම මෙහි විනාශයට ප්‍රමුඛ විය. එය එසේ වීමට එක් හේතුවක් වූයේ පරංගීන් ගොඩබට බටහිර වෙරළ ආසන්නයේම මෙම රාජධානිය ගොඩනැගී තිබුණු බැවිනි. එසේම පසු කලෙක ජනාකීර්ණ වන නගරයක් බවට පත්වන කෝට්ටේ වෙත ඇදී එන ඇතැම් මිනිසුන්ගේ දෛනික අවශ්‍යතා මෙන්ම සුඛ විහාරණය වෙනුවෙන් ඓතිහාසික ජාතික උරුමයක උදාරත්වය වැළලී ගිය අතර පැරැණි චෛත්‍යයක ගඩොලු ද මාලිගයක උළුවහු ගල්කණු ආදියද එදා බරකරත්තවල පැටවී සිල්ලරට විකිණී යාමට තරම් උසස් ශිෂ්ඨාචාරයක උරුමයක සංකේත නිහීන මිනිසුන් විසින් ද අවතක්සේරු කර තිබේ.

සියල්ල එසේ සිදු වුවද අර්බුද අවගුණ මැද වුව කෝට්ටේ රාජධානියේ ඇතැම් ශේෂයන් තවමත් තැන තැන හුදෙකලා සටනක නියැලී අසරණ වී බලා සිටියි.

ඒ අතර ඓතිහාසික ශාසනික උරුමය සොයා වන්දනා යන ගමනේදී ගවු ගණනාවක් පුරාවට ව්‍යාප්තව පැවැති රජ මහා විහාරයේ කුඩාබිමක් දැක ගැනීමට ලැබේ. එසේ 1813 වසරේදී එහි සපැමිණෙන පිලානේ බුද්ධරක්ඛිත නා හිමියන් වහන්සේට පින් සිදු වන්නට වෙහෙරක අත්තිවාරමක සුන් බුන් ද කතරගම දේවාලයේ ශේෂයන්ද වල්බිහිව තිබී සොයා ගන්නා ලදී.

එතැනින් ඇරඹෙන කෝට්ටේ රජ මහා විහාරය නිසා ඉතිහාසයේ පිට පැවත එන මඟතැනක නැවැතී යමක් කතා කිරීමට අදත් ඉඩක් විවර වී තිබෙයි.

ඉතිහාස ගමන් මගේ විචිත්‍රත්වයින් සරසන සංස්කෘතිකාංගයක් මෙන්ම ජාතික ආගමික සබඳතාවයත්, සෞභාග්‍යයේ සංකේතයක් ද වන ශ්‍රී දළදා පෙරහර සංස්්කෘතිය මගින් ඉතිහාසයත් වර්තමානයත් බැඳ තබයි. ඓතිහාසික කෝට්ටේ ශ්‍රී දළදා පෙරහර අදත් සම්ප්‍රදායානුකූල ව එලෙසම පවත්වාගෙන යාමට කෝට්ටේ රජමහා විහාරය මූලිකවීම නිසා කෝට්ටේ රාජධානිය පිළිබඳව මෙන්ම ජාතික අභිමානයද නැවත ස්මරණය කර ගත හැකිවෙයි.

ශ්‍රී දළදා වහන්සේ පූජනීයත්වයෙන් වඩා හිඳුවාලමින් ශ්‍රී දළදා පෙරහර පැවැත්වීම සම්ප්‍රදායකි. දන්තධාතුන් වහන්සේගේ උරුමය, අද කෝට්ටේ වෙතින් ඈත් වුවද ඒ උත්තම පූජනීය වස්තුවේ ආශිර්වාදය ලැබුවා වූ එම ජාතික ආගමික උරුමය දිවි පරදුවට තබමින් සුරැකුවා වූ රාජධානියක ඓතිහාසික ආගමික සිද්ධස්ථානයකට ශ්‍රී දළදා වහන්සේ නමින් පෙරහර පැවැත්වීමේ අයිති යේ සාධාරණත්වය අදත් එලෙසම පවතියි. ඒ සම්ප්‍රදායික මඟ පහන් කරමින් නැවතත් දළදා පෙරහර පැවැත්වෙන්නේ 1901දී කෝට්ටේ රජ මහා විහාරාධිපතිත්වයට පත්වන ඇඹුල්ගම නා හිමියන්ගේ අනුශාසකත්වයෙනි.

එතැන් පටන් අද දක්වා පෙර චාරිත්‍රයන්ට අනුකූලව වසරක් පාසා කෝට්ටේ දළදා පෙරහර පවත්වාගෙන එනු ලැබීම දේශයට ආශිර්වාදයකි.

ඒ වෙනුවෙන් කෝට්ටේ රජ මහා විහාරයේ පෙර විහාරාධිකාරින් වහන්සේලාගේ කැපවීම පැසසිය යුතු වෙයි. වත්මන් විහාරාධිපතිත්වය උසුලන ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උප නාම ලේඛකාධිකාරි අලුත්නුවර අනුරුද්ධ නා හිමියන්ගේ ශක්තිය පෙරහරට ආලෝකයක් වී තිබෙයි.


කෝට්ටේ දළදා මහ පෙරහර

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී දළදා මහා පෙරහර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ සිට මේ මස 7 වැනිදින රාත්‍රී‍්‍ර වීදි සංචාරය කෙරේ.

කෝට්ටේ රජමහා විහාරාධිපති ශ්‍රී කල්‍යාණී සාමශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපනාම ලේඛකාධිකාරී අලුත්නුවර අනුරුද්ධ නා හිමියන්ගේ අනුශාසනා පරිදි බුද්ධ රත්නය ගරු කරමින් සතර මහා දේවලයන්හි පවත්වාගෙන එනු ලබන ශ්‍රී දළදා මහා පෙරහර මංගල්‍යය මෙවරද පැරැණි චාරිත්‍රානුකූලව සිදු කෙරෙන අතර පෙරහර අගෝස්තු මස 31 වැනිදා ආරම්භ වූ අතර මේ මස 3 වැනිදා මල් පෙරහරද, 4 වැනිදා පාඩව පෙරහර , 5 වැනිදා රන්දෝලි මහ පෙරහර සහ 7 වැනිදින ශ්‍රී දළදා මහ පෙරහර වීදි සංචාරය කර 8 වනදින උදේ දිය කැපීමේ උළෙලින් නිමාවෙයි. 4 වැනිදින සිට විහාරස්ථ ධාතු මන්දිරයෙහි සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙයි.