Print this Article


පැමිණි බර සහ නො පැමිණි බර

පැමිණි බර සහ නො පැමිණි බර

අනාගතේ ලෙඩ වෙයිද හොඳ රැකියාවක් ලබන්න පුළුවන් වෙයිද? විවාහයට සුදුසු කෙනෙක් ලැබෙයිද? බලාපොරොත්තු වන විදිහට යාන වාහන ගේදොර ඉඩකඩම් ව්‍යාපාර පවත්වාගන්න හැකි වෙයිද? අනාගතය පිළිබඳව මතුවෙන මෙබඳු හැම කරුණකදීම මනසින් දුක්විඳින්න නෙවෙයි, හිත සැහැල්ලු කරගෙන ඒ ගැටලු ජයගන්න අවශ්‍ය සාධක සැලසුම් කිරීම ඤණවන්තයින්ගේ ලක්‍ෂණයයි. ඒවා ගැන ඍණාත්මකව සිතමින් සිත කරදර කරගැනීම අඥානකමක්. අනාගතය ගැන පමණක් නෙවෙයි අතීතය ගැන වුණත් හිත හිතා යමෙක් දුක්වෙනවා නම් ඒක අඥානකම. යම් තැනක් අපට වැරදුනා නම්, පසුව තේරුණොත් එහෙත් හානියක්. පාඩුවක් අලාභයක් නේද සිදු වුනේ් කියලා පසුතැවීම නොවෙයි කළ යුත්තෙ. නැවත එබඳු වරදක් සිදු නොවෙන්නට අධිෂ්ඨාන කර ගැනීමයි මුලින්ම කළ යුත්තෙ. ඊට පස්සෙ සිදු වුණු වරද නිවැරදි කරන්න හෝ යහපත් පැත්තට හරවන්න හෝ යමක් කළ හැකිනම් හොයලා බලලා කළ යුතුයි. වෙනස්කළ නොහැකි දේ ගැන නැවත නැවත සිතමින් දුක්විඳීම අඥානකමක්.

“ද්වේ මෙ භික්ඛවෙ පණ්ඩිතා කතමේ ද්වේ? යොච අනාගතං භාරං න වහති. යො ච ආගතං භාරං වහති. ඉමෙ ඛො භික්ඛවෙ ද්වේ පණ්ඩිතාති”

ජීවිතයේ අභියෝග ජයගෙන ඉදිරියට යන්න විශේෂයෙන් උපකාර වෙන ධර්ම කාරණයක් අංගුත්තර නිකායේ දුක නිපාතයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ පණ්ඩිතයෝ, ඥානවන්තයෝ දෙදෙනෙක් ඉන්නවා. යම් කෙනෙකුට පැමිණි බර දරාගන්න හැකිනම් ඒ තැනැත්තත් පණ්ඩිතයෙක්.මොනවද නොපැමිණි බර කියන්නේ?

මොනවද පැමිණි බර කියන්නේද? නොපැමිණී, අනාගත කියල කියන්නේ තවම සිදු නොවුණු දේවල්. තවම සිදුවෙලා නැති ඉදිරියේ සිදුවේවි කියලා හිතන ගැටලු. ප්‍රශ්න තමයි නොපැමිණි බර කියන්නේ. ඥානවන්තයා නොපැමිණි බර දරන්නේ නැහැ. ඒ කියන්නෙ ඉදිරියට වෙන්න තියනදේ දැන්ම මනසින් භුක්ති විඳිමින් දුක් විඳින්නෙ නැහැ.

සැලසුම් කිරීම

දැන් මෙමගින් අදහස් කරන්නෙ අනාගත සැලැස්මක් නැතිව, වෙන දේකට මුහුණ දෙනවා කියලා අලසකමින් ඉන්න එක නෙවෙයි.අනාගතය ගැන සැලසුම් කිරීම එකක්. අනාගතය භුක්තිවිඳීම තව එකක්. ප්‍රඥාවන්තයෝ අනාගතය ගැන හිතලා ඉතා හොඳින් දේවල් සැලසුම්කරලා කරනවා ඒක නුවණැත්තන්ගේ ස්වභාවයක්. නමුත් ඒව කල් ඇතිව භුක්තිවිඳින්න යන්නෙ නැහැ.

උදාහරණයක් ගත්තොත් අප හිතමු දරුවෙකුට ඉදිරියේ විභාගයට පෙනීසිටින්න වෙනවා. කොහොමද හොඳ ප්‍රතිඵලයක් ගන්නෙ, ඒ සඳහා නිවැරැදිව නියමිත වේලාව ඇතුළත පිළිතුරු සපයන්න පුහුණුවීම, විෂය සීමාවන් හඳුනාගෙන අවශ්‍ය දැනුම ගොනුකර ගැනීම, ගුරුවරු සමග මිත්‍රයො සමග සාකච්ඡා කරමින් ඒ සඳහා පුහුණුවීම අවශ්‍යයි. නමුත් සමහරු කරන්නෙ ඒක නොවෙයි. “විභාගයෙන් කොහොම හරි හොඳ ප්‍රතිඵල ගන්න ඕන. නැතිනම් ගෙදරින් බැනුම් අහන්න වෙනවා. යාලුවන්ට ගුරුවරුන්ට මුහුණ දෙන්න බැරි වෙනවා.නමුත් මට පුළුවන් වෙයිද දන්නෙ නැහැ. අසමත් වුණොත් නම් ඉඳලා වැඩක් නැහැ” මෙහෙම හිත හිතා කළ යුතු දේ පැත්තක තියෙද්දී මනසින් විඳවනවා. ඒකෙ ප්‍රතිඵලය තමයි විභාගය ළං වෙන්න, ළංවෙන්න මානසික ආතතිය වැඩිවෙලා නින්ද යන්නෙත් නෑ. පාඩම් කරන්නත් බැහැ. මතක හිටින්නෙත් නැහැ. සිතටත් අපහසුයි.ගතටත් අපහසුයි. අන්තිමට විභාගය ළංවෙනකොට ගතින්, සිතින් දුබල වුණු රෝගියෙක්, විභාග ශාලාව පෙනි පෙනී සමහරවිට කලන්තෙ හැදිලා වැටෙනවා. ඇයි මේ? අනාගත ගැටලුව භුක්ති විඳීම නිසා. නමුත් අනාගතය ගැන හිතලා හොඳින් සැලසුම් කරගන්න තැනැත්තා විභාගය ළංවෙන්න ළංවෙන්න බර අඩුකරගෙන ඉතා සැහැල්ලුවෙන් අවශ්‍ය දේවල් ගොනු කරගෙන පරණ ප්‍රශ්න පත්තරවලට එහෙම පිළිතුරු සපයලා තමන් ගැන හොඳ විශ්වාසයක් ඇතිකරගෙන ගිහින් විභාගයට පෙනී සිටිනවා. මේක තමයි අනාගතය ගැන සැලසුම් කිරීමේ සහ අනාගතය භුක්ති විඳීමේ වෙනස.

බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ “යොච අනාගතං භාරං නවහති” යමෙක් අනාගත ප්‍රශ්න කල් ඇතිව බරක් කරගෙන විඳවන්නෙ නැතිනම් ඒ තැනැත්තා පණ්ඩිතයෙක් ඥානවන්තයෙක් එතැනම අනෙක් සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනව මේ ලෝකයේ අඥානයොත් දෙන්නෙක් ඉන්නවා. “යොච අනාගතං භාරං වහති යොච”

සාර්ථකත්වය

ආගතං භාරං නවහති යමෙක් නොපැමිණි බර දරනවා නම්,භුක්ති විඳිමින්,වෙහෙසට පත්වෙනවා නම් ඒ අඥානයෙක්. ඒ වගේම පැමිණි බර දරන්න සමත් නැතිනම්, පැමිණෙන කාරණයට මුහුණ දෙන්න,ඔරොත්තු දෙන්න තරම් ආත්ම ශක්තියක් නැතිනම් ඒ තැනැත්තත් අඥානයෙක් කියලා බුදුරජාණන් වහන්සේ දක්වනවා.

ඒ නිසා අපි පුහුණු වෙන්න ඕන තවම නොපැමිණි, ඉදිරියේ පැමිණිය හැකි කරුණු පිළිබඳව හිත හිතා, සිහින මවමින් දුක් විඳින්න නෙවෙයි. ඒවාට මුහුණ දෙන්න අවශ්‍ය සාධක ගොඩනගමින් අනාගතය සැලසුම් කර ගන්න.මේව ඉගෙනීම සම්බන්ධ පමණක් නෙවෙයි ජීවිතයේ හැම කරුණක් පිළිබඳව පුහුණු කළ හැකියි.

අනාගතේ ලෙඩ වෙයිද හොඳ රැකියාවක් ලබන්න පුළුවන් වෙයිද? විවාහයට සුදුසු කෙනෙක් ලැබෙයිද? බලාපොරොත්තු වන විදිහට යාන වාහන ගේදොර ඉඩකඩම් ව්‍යාපාර පවත්වාගන්න හැකි වෙයිද? අනාගතය පිළිබඳව මතුවෙන මෙබඳු හැම කරුණකදීම මනසින් දුක්විඳින්න නෙවෙයි, හිත සැහැල්ලු කරගෙන ඒ ගැටලු ජයගන්න අවශ්‍ය සාධක සැලසුම් කිරීම ඤණවන්තයින්ගේ ලක්‍ෂණයයි. ඒවා ගැන ඍණාත්මකව සිතමින් සිත කරදර කරගැනීම අඥානකමක්. අනාගතය ගැන පමණක් නෙවෙයි අතීතය ගැන වුණත් හිත හිතා යමෙක් දුක්වෙනවා නම් ඒක අඥානකම. යම් තැනක් අපට වැරදුනා නම්, පසුව තේරුණොත් එහෙත් හානියක්. පාඩුවක් අලාභයක් නේද සිදු වුනේ කියලා පසුතැවීම නොවෙයි කළ යුත්තෙ. නැවත එබඳු වරදක් සිදු නොවෙන්නට අධිෂ්ඨාන කර ගැනීමයි මුලින්ම කළ යුත්තෙ. ඊට පස්සෙ සිදු වුණු වරද නිවැරදි කරන්න හෝ යහපත් පැත්තට හරවන්න හෝ යමක් කළ හැකිනම් හොයලා බලලා කළ යුතුයි. වෙනස්කළ නොහැකි දේ ගැන නැවත නැවත සිතමින් දුක්විඳීම අඥානකමක්.

නොපැමිණි බර දරනවා කිව්වහම අකැමැති දේ පමණක් නොවෙයි. කැමැති, පි‍්‍රයමනාප දේ වුණත් තාම සිදුවෙලා නැතිනම් කල්ඇතිව හිත හිතා මනෝ ලෝකයක ජීවත්වීම අඥානකමක්.

සමහරවිට අනාගතයේ තමන් කරන්න හිතාගනෙ ඉන්න සමහරදේවල් හිත හිතා දැන්ම කියා ඒවා මනසින් භුක්ති විඳිනවා. එතකොට දැන් කරමින් ඉන්නෙ මොකක්ද කියලා අමතක වෙනවා. සමහර ශිෂ්‍යයො අනාගතේ සිදුවෙන විවාහය ගැන දැන්ම හිතන්න ගිහින් අධ්‍යාපනය අවුල් කරගන්නා වගේ. ඒක අනුවණ කමක්. ඒ ඒ වෙලාවෙ කරන දේ ගැන කල්පනාවෙන් කළොත් තමයි හැම දෙයක්ම සාර්ථක කරගන්න පුළුවන් වෙන්නෙ.ඉක්ම ගිය අතීතය ගැන පසුතැවීම හෝ නොපැමිණි අනාගතය ගැන සිහින මැවීම හෝ එතරම් ඵලදායක නැහැ . ඉක්මගිය අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අනාගතය සැලසුම් කරගැනීමයි. අවශ්‍ය වෙන්නෙ.

ආත්ම ශක්තිය

ඊළඟට පැමිණි බර දරනවා. කියන්නේ මොකක්ද? එන දේට මුහුණ දෙන්ට අවශ්‍ය චිත්ත ශක්තිය, ඤාණ ශක්තිය,ආත්ම ශක්තිය ඇති කරගැනීමයි. එබඳු තැනැත්තා ඤාණවන්තයෙක් කියලා බුදුහාමුදුරුවො දේශනා කරනවා.

මොකක් නිසාද අපට එන දේට මුහුණදෙන්න අවශ්‍ය ශක්තිය නැති වෙන්නෙ? ප්‍රතික්‍ෂේප කිරීම නිසා “ මට නම් බැහැ” “මට නම් ඕන නැහැ” “ මට නම් අමාරුයි” මම නම් කොහාමවත් කැමති නැහැ” මෙබඳුදේ කියමින් බොහෝ දෙයින් මගහැරයන්න උත්සාහ කරනවා. නමුත් අපට අප අකමැති හැම දේකින්ම බේරිලා අයින් වෙලා ජීවත්වෙන්න පුළුවන්ද? අකමැති වුවත් සමහර දේ කරන්න වෙනවා. ප්‍රතික්‍ෂේප කළත් සමහරදේ වලට මුහුණදෙන්න සිදුවෙනවා. එනිසා ඒ සඳහා සිත ශක්තිමත් කරගන්න නුවණැත්තා ක්‍රියා කරනවා. අනුවණයා හැමදාමත් දේවල් ප්‍රතික්‍ෂේප කරමින් මැසිවිලි නගමින්,අනුන්ට දොස් නගමින් දුක් විඳිනවා. රුචිඅරුචිකම් වලට වහල්වෙලා ජීවිතය නිෂ්ඵල කර ගන්නවා. අප කාටත් රුචි අරුචිකම් තිබෙනවා. නමුත් ඒවාට වහල් වුණොත් මනැස දුබල වෙනවා. සමහර දේවලට අකැමැති වුණත් අවශ්‍යතාවයම සලකාගෙන අපහසුවෙන් හරි කරන්න සිදුවෙනවා.

මගහරින්නම බැරි දේවල් ගැන හිත නරක් කර ගන්නවට වැඩිය හොඳයි හිත හදාගෙන ඒකට මුහුණදෙන එක.එහෙම නැතිනම් වෙන්නෙ වැඩ කරලා ගතත් වෙහෙසවා ගෙන හිතත් නරක් කරගෙන. ඇයි අප දෙකම නැති කරගන්නෙ?

මොන දෙයක් වුණත් අපට මහ කරදරයක් බරක් හැටියට දැනෙන්නෙ අප ඒ ගැන හිතන ආකාරය අනුවයි. ඒ පැමිණි කාරණය කිසිම වැදගත්කමක් නැති එකක් වුණත්,දරාගැනීමේ ශක්තියවත් මෙයින් පුහුණු කරන්න පුළුවන් කියලා වටහා ගත්තොත් අපට බොහෝ දේ දරාගන්න පුළුවන් වෙනවා.

බාහිර දේවල් වෙනස් කරන්න හැකි තැන්වලදී උත්සාහ කරලා වෙනස් කරගත්තට කමක් නැහැ. බාහිර දේවල් වෙනස් කරන්න බැරි තැනදී අඩුතරමින් අප ඒ දිහා බලන කෝණය, දරන ආකල්පය වෙනස් කරගන්න පුළුවන් නම් අපට බොහෝ දේ දරාගන්න පුළුවනි.

ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ රුචි අරුචිකම් වලට වහල් වෙලා තමන් කැමැති හැටියට හැම දෙයක්ම වෙන්න ඕන කියලා හිතන කෙනා පැමිණි බර දරන්නට සමත් වෙන්නෙ නැහැ. ගැටලුවකට ප්‍රශ්නයකට මුහුණදීමේ ආත්ම ශක්තිය, ඤාණ ශක්තිය, ඔහු සතුව නැහැ. ඒ තැනැත්තා අඥානයෙක්. තමන් කැමැති වුවත් අකැමැති වුණත් ලෝකයට මුහුණ දිය යුතුයි කිියන බව වටහාගෙන හැඟීම්වලට වහල්නොවී අවශ්‍යතාවය අනුව ක්‍රියාත්මක වෙමින් අභියෝගවලට මුහුණ දෙන්නට යමෙක් සමත්වෙනවාද ඒ තැනැත්තා ඤාණවන්තයෙක්.

එනිසා ලොකයේ අඥානයෝ දෙදෙනෙක් සහ ඤාණවන්තයෝ දෙදෙනෙක් ඉන්නවා කියලා බුදුහාමුදුරුවො මේ සූත්‍රදෙකෙන් පැහැදිලි කරනවා. යමෙක් නොපැමිණි බර දරනවා නම් ඒ අඥානයෙක් . පැමිණි බර නොදරනවා නම් ඒත් අඥානයෙක්. යමෙක් නොපැමිණී බර නොදරනවා නම් ඒ ඥානවන්තයෙක්, පැමිණ බර දරන්නට සමත්නම් ඒත් ඥානවන්තයෙක් .මේ අනුවණයන් දෙදෙනා සහ ඤාණවන්තයන් දෙදෙනායි.