Print this Article


ඔබේ විමුක්තිය ලබාගැනීමට බාලයන් ඇසුරෙන් ඈත්වන්න

ඔබේ විමුක්තිය ලබාගැනීමට බාලයන් ඇසුරෙන් ඈත්වන්න

බාල යන්නෙන් මෙහි ගැනෙන්නේ වයසින් බාල යන අදහස නොවෙයි. අනුවණ, මෝඩ, පව්කම් කරන, දුසිරිතට ඇබ්බැහි වූ පුද්ගලයා මෙහි බාල යන්නෙන් අදහස් කරනවා. බාලයන්ගේ ඇසුරෙන් ඉවත් වන්නයි කියන්නේ ඔහුගෙන් කිසියම් ගුණ දහමක් අවවාදයක්, යහපත් උපදේශයක් ලබාගන්නට නොහැකි වන නිසයි. බාලයා ඇසුරු කිරීමෙන් ලබාගත හැක්කේ අයහපත්, අධර්ම, දුශ්ප්‍රතිපත්තියයි. එයින් වන්නේ අයහපතක් මිස යහපතක් නොවෙයි.

“අධම්මො නිරයං නෙති, ධම්මො පාපෙති සුග්ගතිං” යනුවෙන් අධර්මචාරි පුද්ගලයා මරණින් පසු දුගතියට හා ධර්මකාමී පුද්ගලයා මරණින් පසු සුගතියට යන බව බුදුන් වහන්සේ වදාළා. ඒ නිසා ඔබ බාලයන් හෙවත් පාපී පුද්ගලයන් ඇසුරෙන් ඈත්ව දැහැමි පුද්ගලයන් ඇසුරු කරන්න උත්සාහ කරන්න. ‘අසේවනා ච බාලානං පණ්ඩිතානං ච සේවනා’ යි බුදුන් වදාළේ ඒ බවයි. ඒ නිසා ඔබ පාපකාරී, කපටි, වංචාකාරී, ආත්මාර්ථකාමී දුර්ජන පුද්ගලයන්ගෙන් ඈත්ව පුණ්‍යකාරී, අකපට, සත්‍යවාදී, පරාර්ථකාමී සද්පුරුෂයන් ඇසුරු කරන්නට අදිටන් කරගන්න.

අන්ධඤ් ච එක චක්ඛුඤ් ච
ආරකා පරිවජ්ජයෙ
ද්වි චක්ඛුං පන සෙවෙථ
සෙට්ඨං පුරිස පුග්ගලං

බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරනවා, අන්ධයාත් එකැස් ඇත්තාත් දුරින් ම දුරු කරන්න, දෑස් ඇත්තා ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්, ඔහු ඇසුරු කරන්න කියා. මෙහි අන්ධයායි කීයේ දෑසම නොපෙනෙන්නා නොව නො ලැබූ භවභෝග සම්පත් ලබාගැනීමටත් ලැබූ සම්පත් වැඩිදියුණු කර ගැනීමටත් උපකාරී වෙන සදුපදේශ ලබා ගැනීමට නොහැකි අනුවණ පුද්ගලයාට යි. එසේම තමන් උපයා ගත් භවභෝග සම්පත් විනාශ වන උපදෙස් නම් ඔහුගෙන් ලබාගත හැකියි. ඔහු හරියට දෑසම නොපෙනෙන්නකු වගෙයි. ඒ නිසා ඔහුගෙන් ඈත් වන්නයි බුදුන් වදාළා.දෑස නොපෙනෙන්නාට තවත් පුද්ගලයකුට නිවැරැදි මඟ පෙන්වා දිය නොහැකියි. ඔහුත් නොමඟ යමින් අනෙකා ද නොමඟ යවනවා. එහෙයින් ඔහු සේවනය නොකළ යුතු යි.

‘ඒක චක්ඛු’ කීයේ එකැස් කණාටයි. ඔහුට පෙනෙන්නේ එක ඇසක් නිසා ඇසුරු කරන්නාට සම්පූර්ණ මඟ පෙන්වා දිය නොහැකියි. භවභෝග සම්පත් උපයන්නෙක් ඒ පිළිබඳ හොඳට දන්නා පළපුරුදුකම් ඇති අයකුගෙන්ම උපදෙස් ගත යුතුයි. එවැන්නකුගෙන් උපදෙස් ගත්තම අනෙක් තැනැත්තා මෙතෙක් උපයා නොගත් භවභෝග සම්පත් උපයා ගැනීමට සමත් වනවා. එම නිසා නූපන් භවභෝග උපයා ගන්නට හා උපන් භවභෝග වැඩිදියුණු කරගන්නට නම් එකැස් අන්ධයාගෙන් ඈත්ව දෑසම පෙනෙන්නකු ඇසුරු කළයුතුයි. දෑසම පෙනෙන්නා හෙවත් නුවණැත්තා කුසල්, අකුසල්, හොඳ, නරක, කළයුතු දෑ, නොකළ යුතු දෑ, වැරැදි දෑ, නිවැරැදි දෑ, යායුතු මග, නොයා යුතු මඟ, ඇසුරු කරන්නාට කියා දෙමින් ඔහු යහපත් මිනිසකු කිරීමට උපකාරී වනවා. බුදු, පසේ බුදු, මහරහතුන් වැනි උතුමන් හෙවත් කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට යයි බුදුන් වදාළේ “භජෙථ මිත්තේ කල්‍යාණේ, භජෙථ පුරිසුත්තමෙ” යනුවෙන්.

වර්තමාන සමාජය මෙතරම් දූෂණය වී ඇත්තේ පාපකාරී අනුවණ බාලයන්ගේ ඇසුර නිසයි. පාපකාරී අනුවණ මිත්‍ර ප්‍රතිරූපකයන් ඔබ වටා සැරිසරන්නේ ඔබට ඇති කරුණාව නිසා නොවෙයි. ඔබේ භවභෝග, ධන සම්පත් පැහැර ගැනීමටත්, ඔබ පවිටු ක්‍රියාවලට පොළඹවා ගැනීමටත්, ඔබේ මෙලොව පරලොව ජීවිත, විනාශ කිරීමටත් බව සිතන්න. බුදුරජාණන් වහන්සේ බාලයන් දසදෙනකු ගැන මෙසේ දක්වා තිබෙනවා. දුන්චින්තිත චින්තී අභිධ්‍යා (විෂම ලොභී) ව්‍යාපාද (අනුනට හිංසා කරන), මිච්ඡාදිට්ඨි (මිසදිටු) යන පාප සිතිවිලි සිතන පුද්ගලයන්, දුබ්භාසිත භාසී (නරක දේ දොඩන පුද්ගලයන් ) එනම් මුසාවාද, පිසුනාවාච, ඵරුෂාවාච, සම්ඵප්පලාපයන දුශ්චරිත ඇති පුද්ගලයන් දුක්කකම්මකාරී (දුසිරිත් ක්‍රියා කරන) ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර යන කායික දුසිරිත් කරන පුද්ගලයන් වශයෙන් තිදොරින් ම අකුසල් කරන්නන් බාලයන් වශයෙන් බුදුන් වහන්සේ හඳුන්වා තිබෙනවා. මේ බාල පුද්ගලයන්, අධර්මය දකින්නේ ධර්මය හැටියටයි. (අධම්මේ ධම්ම සඤ්ඤී) ධර්මය දකින්නෙ අධර්මය හැටියටයි. (ධම්මෙ අධම්ම සඤ්ඤී) අධර්මවාදියා මරණින් පසු නරකයටත් ධර්මවාදියා මරණින් පසු සුගතියටත් යන බව ඉහත දකී පරිදි මෙහි විපාකයයි. “දිඝො බාලානං සංසාරො” යනුවෙන් වදාළ පරිදි අනුවණයාට සසර බොහෝ දුරයි. හරියට වෙහෙසට පත් තැනැත්තාට යොදුන දිග වගෙයි. ලෝකයෙහි සියලු විපත් සියලු බිය ඇතිවන්නේ බාලයා නිසා මිස නුවණැත්තා නිසා නොවේයයි බුදුන් වහන්සේ වදාරා තිබෙනවා.

යො බාලො මඤ්ඤතී බාල්‍යං
පණ්ඩිතො වාපි තෙන සො
බාලොව පණ්ඩිතමානී ස වෙ
බාලොතී වුච්චති

කිසියම් අනුවණයකු තමා අනුවණයකු බව දන්නේ නම් හේ ඒ බව දන්නා නිසා නුවණැත්තෙක්. එසේ වුවත් බාලයකු, ‘මම දනිමි’යි කියා පණ්ඩිත මානයෙන් යුක්ත නම් ඔහුට බාලයා යයි කියන බව මේ ගාථාවෙන් ප්‍රකට වෙනවා. අපේ බොහෝ අනුවණයන් මේ ගණයට අයත් වෙනවා. ඔවුන් හිතනවා මා තමයි හරි දේ දන්නා පුද්ගලයා කියා. මේ ලෝකෙ සියල්ල දත් එකම උත්තමයා (ලෝකවිදූ) බුදුරජාණන් වහන්සේ පමණයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තට රහතන් වහන්සේවත් සියල්ල දන්නේ නැහැ. බුදුරදුන්ට සබ්බඤ්ඤු හෙවත් සර්වඥ කියා කියන්නේ සියල්ල අවබෝධ කළ නිසයි. චතුරාර්ය සත්‍යය කියන්නෙ සත්වයා පිළිබඳ පවත්නා සියලුම සැබෑ තත්ත්වයයි. ඒ තත්ත්වය නිරවශේෂයෙන් (සියල්ල දන්නා නුවණින්) විශිෂ්ටඥානයෙන් අතැඹුල සේ දැක්කේ බුදුරජාණන් වහන්සේ පමණයි.

පූති මංසං කුසග්ගෙන
යො නරො උපනය්හති
කුසාපි පූති වාහන්ති
ඒවං බාලූප සෙවනා

කුණු වූ මස් කුස තණපත්වලින් දැවටුවා ම ඒ සුද්ධ වූ කුස තණපත් පවා කුණු ගඳ ගහන්නාක් මෙන් බාලයන් හෙවත් අනුවණයන් ආශ්‍රය කිරීම නිසා එසේ ඇසුරු කරන්නාත් පව්කාරයෙකු වන බව බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් වදාළා. කුස තණ නම් තවුසන් පරිහණය කරන සුද්ධ තෘණ වර්ගයක්. යාග හෝමාදිය සඳහා බමුණන් යොදා ගත්තේ කුස තණයි. සොත්ථිය බමුණා සිද්ධාර්ථ තවුසාණන්ට තමා අතේ තිබූ කුස තණ වලින් අටමිටක් දුන් බව බුද්ධචරිතයෙහි දැක්වෙනවා. උන්වහන්සේ එම කුස තණයි බුදුවන්නට බෝ මැඩ හිඳ ගැනීමට අතුරා ගත්තෙ. බුදුන් කුස තණම තෝරා ගත්තේ කොතරම් යහපත් කෙනෙකු වුවත් පව්කාරයන් ඇසුරු කළොත් ඔහුත් අධමයකු, පව්කාරයකු වන බව වටහා දෙන්නටයි. පව්කාරයා මෙලොව දීම අවස්ථා තුනක දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් තමා විසින් කරන ලද පව්වල අනිෂ්ට විපාක විඳිනවා. කිසියම් පාප කර්මයක් යමකු සිදුකර තිබෙනවා නම් ඔහුත් සිටින තැන සෙසු පිරිස පව්කම් කරන්නන් විවේචනය කරමින් කතා කරන කොට අහගෙන ඉන්න එ බඳු පව් කරපු පුද්ගලයා ඒ කථා අසා දුක් වෙනවා. අහෝ! මම ඒ අය කතා කරන පව්කම් කරල තියෙනවනේ. ඒ බව ඔවුන් දන්නව නම් මටත් දොස් කියන්නේ ඒ වගේ නේද? එසේ සිතා ඔහු දුක් වෙනවා. තවත් අවස්ථාවක පව්කාර ක්‍රියාවක් කළ පුද්ගලයා තවත් එබඳු පුද්ගලයකු රාජ සේවකයන් විසින් රාජ නියමයෙන් අල්ලාගෙන ගොස් පහරදීම්, අතපය කැපීම්, හුල තැබීම් ආදී වධ දෙනවා දැක එබඳු පාපකර්ම මාත් සිදු කර තිබෙනවා, අහෝ! මාත් මෙ වැනි වැරැදි කළ බව දැනගෙන රාජ පුරුෂයන්ට හසුවූවොත් මටත් විඳින්න වන්නේ අරවාගෙ වධහිංසා කියා දුක්වෙනවා. එසේම පව්කාරයා වයස් ගත වී හෝ රෝගී වී හෝ එක තැනට වී වැතිර ඉන්න විට තමන් පුළුවන් කාලේ සිදු කළ පාපකර්ම හිතට නැඟෙනවා. හරියට ඔහුගේ ඉදිරියෙන් ඒව එල්ලා තිබෙනවා වගෙයි. ඒ ගැන සිහිවන්න සිහිවන්න ඔහුට අප්‍රමාණ දුකක්, බයක් ඇතිවෙනවා. අහෝ මම මැරිල මේ පාපකර්මයන්ගේ විපාකවශයෙන් සතර අපායෙහි අපමණ දුක් විඳින්න වෙනවනේද කියා. පව්කරන්නට පෙර ඔබත් හිතන්න මටත් මේ ටික වෙනවා කියා. කරන කලට පව් මීරිය මීසේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ.’ මේ බව සිතා පින්වත, බාලයන් ඇසුරෙන් වැළැකී නුවණැත්තන් ඇසුරු කර ඔබ කලකින් ලබා ගත් මිනිස් බව සාර්ථක කර ගන්න උත්සුක වන්න.