Print this Article


කතරගම ඇසළ පෙරහර

කතරගම ඇසළ පෙරහර

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහරේ අවසාන මහා පෙරහර අගෝස්තු මස 20 දින පුර පසළොස්වක පෝය දින පැවැත්වේ.

මෙදින කතරගම මහා දේවාලයෙන් ඇරඹෙන “ දේව පෙරහර” කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සධාතුක කරඬුව පෙරටු කරගත් “ බුදු පෙරහර” සමග වෙහෙර වීදියේ ගමන් කැර කිරි වෙහෙර රාජ මහා විහාරස්ථානයට පැමිණේ.

ඇසළ පෙරහර සමයේ කිරි වෙහෙර රාජ මහා විහාරස්ථානයෙන් ඇසළ පෙරහර වෙනුවෙන් ඉටුකරන ලද “ පිරිත් නිල” රාජකාරිය වෙනුවෙන් රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා විසින් කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති ඌව විශ්වවිද්‍යාලයේ කුලපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ට ‘ තුඩු පඬුරු’ පිළිගැන්වීම සිදු කෙරේ. කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේදී ආගමික කටයුතු කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් විසින් පවත්වනු ලැබේ.

ආගමික කටයුතුවලින් පසුව පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයෙන් ආරම්භ වී වෙහෙර වීදියේ ගමන් කර කතරගම මහා දේවාල මළුවෙන් මහා වාසල් දොරටුවෙන් පිටවීදියට පිවිසේ. එම වීදියේ ගමන් කර පෙරහර වල්ලි අම්මා දේවාලයට පැමිණේ. එම දේවාලයේදී පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටුකර පෙරහර මහා වීදියේ ගමන් කර මහා දේවාලයට ගෙවදිනු ඇත.

අගෝස්තු මස 21 දින මහා දේවාලයෙන් ඇරඹෙන “ දිය කපන පෙරහර” පිටවීදියේ ගමන් කර වල්ලි අම්මා දේවාලයට පැමිණේ.

එම දේවාලයේ සිට මැණික් ගඟට පිවිස මැණික් ගඟ ඉහළට ගමන් කර “ ජීවමාලී” තොටේදී දිය කැපීම සිදු කෙරේ. දිය කපා ශුද්ධ වූ ජලය රැගත් දිය කපන පෙරහර වල්ලි අම්මා දේවාලයට පැමිණ ශුද්ධ වූ ජලය බැතිමතුන්ට බෙදා දෙයි.

“ දිය කපන පෙරහර වල්ලිඅම්මා දේවාලයේ සිට මහා දේවාලයට පැමිණීමෙන් ඇසළ මහා පෙරහර කටයුතු අවසන් වෙයි.