Print this Article


මහවිලච්චිය බෝධි ප්‍රාකාරය විවෘත කිරීම පෝදා

මහවිලච්චිය බෝධි ප්‍රාකාරය විවෘත කිරීම පෝදා

අනුරාධපුර මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උළුක්කුලම නම් කුඩා ගම් පියසෙහි 1985 වර්ෂයේ මැද භාගයේදී ශ්‍රී සම්බෝධි විහාරය නමින් කුඩා පන්සලක් ආරම්භ කරන ලදී.

බෝධි අංකුරයක් රෝපණය කරමින් ඒ ඉදිරිපිට බුද්ධ මන්දිරයක් ඉදි කර පිළිම වහන්සේ නමක් 1989 තැන්පත් කරන ලදී. දායක සභාවේ ආරම්භක සභාපති ආර්. ඩී. ගුණදාස, ලේකම් කේ. කේ. ඒ. ප්‍රේමදාස භාණ්ඩාගාරික ඒ. එම්. ඩිංගිරිබණ්ඩා ප්‍රධාන සංවිධායක වශයෙන් කේ. ඒ. රම්බණ්ඩා මහත්වරු සම්බෝධි විහාරය දියුණු කිරීමට විශාල ප්‍රයත්නයක් දැරුවද පැවති වාතාවරණය අනුව එය ඉදිකර ගැනීමට නොහැකි විය.

එකල පැවැති ත්‍රස්තවාදි ක්‍රියා නිසා රාත්‍රි කාලයේ නිවසක සිටීමේ නොහැකි තත්ත්වයක් උදා විය. නමුත් 2009 වර්ෂයේ ඇතිවූ සාමයත් සමඟ නැවත උළුක්කුලම ගම් වැසියන්ට ද නව අරුණැල්ලක් උදා විය. ගොවිතැන් කටයුතු ද සාර්ථක කරගනිමින්, අධ්‍යාපනය නඟා සිටුවමින් නව ආර්ථික සංධිස්ථානයකට පත්වීමෙන් දැයට කිරුල නම් යෝධ වැඩ පිළිවළ යටතේ වැව් ප්‍රතිසංස්කරණ කර පාරවල් ද ඉදි කරන ලදී.

2013 ජනවාරි 01 වෙනි දින අමාදම් සිසිල සදහම් චාරිකා පදනමේ නිර්මාතෘ හා ප්‍රධාන අනුශාසක අනුරාධපුර ධම්මාරාම හිමියන් වැඩම කොට නව අරහාදි පහන් පූජාව සහිත ආශිර්වාද බෝධි පූජාව පවත්වා ආගමික ප්‍රබෝධයක් ගොඩ නගන ලදී. මේ වනවිට ප්‍රධාන සභාපති ඩබ්ලිව්. ඒ රොෂාන් කුමාර, ලේකම් එස්. පී. ඒ. චන්ද්‍රශාන්ත කුමාර, භාණ්ඩාගාරික එච්. කමල් නිශාන්ත මහත්වරු පත්ව නව අරමුණකින් යුතුව ශ්‍රී සම්බෝධි යෝගාශ්‍රමය වශයෙන් 2013.01. 13 වෙනි දින ආරම්භ කරන ලදී.

2013. 01. 16 වෙනි දින භාවනා කුටි 06ක් ඉදිකිරීමට කටයුතු ආරම්භ කර එය 2013.01. 26 වෙනි දුරුතු පුර පසළොස්වක පොහෝ දින සඟ සතුකොට පූජා කරමින් අටවිසි කුටි සහිත බෝධිප්‍රාකාරයට මුල්ගල් තබන ලදී. සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මැතිතුමාගේ ප්‍රධාන අනුග්‍රහයෙන් සියලු ගඩොල් සැපයීමද, සියලු ශ්‍රමය ද ඇතිව මෙම සත් කටයුතු සිදුවෙමින් පවතින අතර මෙහි සියලු අධීක්ෂණ කටයුතු විල්පත්තුව අණ දෙන නිලධාරි මේජර් කීර්තිරත්න මහතාගෙනි.

ගම්වාසීන්ට පූර්ණ අනුග්‍රහයක් කොළඹ නීලම්මහර ප්‍රදේශයෙන් ද වෝග් ජුවලර්ස් අධිපති තුමියගෙන් ද අමාදම් සිසිල සදහම් චාරිකා පදනමේ ප්‍රධාන සභාපති ආර්ථික සංවර්ධන හා ගොවිජන සේවා නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මැතිතුමාගෙන් ද, උපසභාපතිනිය වන එන්. ඒ ශාන්ති චන්ද්‍රසේන මහත්මිය ගෙන් ද ලැබුණු පූර්ණ අනුග්‍රහය සිහිපත් කරමු. මේ වනවිට භික්ෂූන් වහන්සේ සඳහා කුටි 06 ක් ද භික්ෂුණීන් වහන්සේ සඳහා කුටි 04ක් ද ඉදි කර ඇත.

අටවිසි කුටි සහිත බෝධිප්‍රාකාරය නිකිණි පුර පසළොස්වක පොහෝ දින උදෑසන 09. 00 ට ආර්ථික සංවර්ධන හා ගොවිජනසේවා නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මැතිතුමන් ඇතුළු සම්භාවනීය පින්වතුන්ගේ සුරතින් සිදු කෙරේ.