Print this Article


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක පදවියෙන් පිදුම් ලබන මකුලෑවේ විමල නා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක පදවියෙන් පිදුම් ලබන මකුලෑවේ විමල නා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක පදවිය මීරිගම මිණිඔලුව විද්‍යාවාස මහා පිරිවෙන් විහාරාධිපති ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති මකුලෑවේ විමල ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පිරිනමා ඇත.

අධිකරණ නායක පදවිය පිළිබඳ අක්තපත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය මෙම මස 23 වන දා පස්වරු 2 ට මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

කුරුණෑගල ගල්ගමුව මකුලෑව ග්‍රාමයේ දී හේරත් මුදියන්සේලාගේ පුංචිරාල සහ ඉමිහාමි මුදියන්සේලාගේ කිරිමැණිකේ දම්පතීන්ගේ පුත්රුවනක් ලෙස 1948 අගෝස්තු 25 වන දා උපන් කුමරා මූලික අධ්‍යාපනය නිතලව රජයේ පාසලින් ලැබීය.

විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේ දී 1960 මාර්තු 24 වන දා වේවැල්දෙණියේ නන්දසිරි මාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා රාජකීය පණ්ඩිත නුගදෙණියේ ධම්මානන්ද මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මකුලෑවේ විමල හිමි නමින් එම කුමරු පැවිදි බිමට පත් විය.

මහෝපාධ්‍යාය කුඹුක්වැවේ විජිතසේන නාහිමි, පිදුමේ රතන නාහිමි සහ ලෝලුවාගොඩ ඤාණරතන නාහිමි යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා වෙතින් විමල හාමුදුරුවෝ මූලික පැවිදි අධ්‍යාපනය ලැබූහ.

මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන 1967 වසරේ දී ආරම්භ කළ අවස්ථාවේ දී එහි පළමු පැවිදි ශිෂ්‍යයා ලෙස මකුලෑවේ විමල හිමියෝ එම පිරිවෙනට ඇතුළත් වූහ. එහිදී ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම යන විභාගවලින්ද උන්වහන්සේ සමත්වූහ.

1971 දී අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයට ඇතුළත්ව එවකට පීඨාධිපතිව වැඩ විසූ ඉඳුරුවේ උත්තරානන්ද මහ නා හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලයෙන් භාෂා ශාස්ත්‍ර හා ත්‍රිපිටකය හදාරා 1976 දී ත්‍රිපිටකවේදී උපාධිය ලැබූහ. 1974 දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති පාලක සභාවෙන් ත්‍රිපිටකාචාර්ය උපාධිය ලැබූ විමල හිමියෝ එම පාලක සභාවෙන් ත්‍රිපිටක විශාරද ගෞරව උපාධිය ලැබූහ.

විමලහාමුදුරුවෝ කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනේ සුමංගල ගුණානුස්මරණ සභාව මඟින් පවත්වන ලද සද්ධම්මාචාරිය සහ විනයාචරිය විභාගවලින්ද සමත්ව උපාධි ලබා 1978 දී කැලණි සරසවියට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධියද ලැබූහ.

1969 ජූලි 22 වන දා කොළඹ තොටළඟ කල්‍යාණි නදී උදකුකේඛප සීමාවේ දී අතිපූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද මහ නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් අධිසිල් ලැබූහ.

1976 දී මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන්හි උපගුරුවරයකු ලෙස සේවයට එක්වූ මකුලෑවේ විමල හාමුදුරුවෝ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයේ ද, සේවය කළ අතර අලව්ව ශ්‍රී රාහුල පිරිවෙනේ පරිවෙනාධිපති ලෙස ද අනතුරුව විද්‍යාවාස පිරිවෙන්හි පරිවෙනාධිපති ලෙසද කටයුතු කළහ.

2004 ජූනි 17 වන දා විද්‍යාවාස පිරිවෙන් මහා විහාරාධිපති ධූරයට පත්වූහ. දහම් පාසල් කීපයකද සේවය කළ මකුලෑවේ විමල හාමුදුරුවෝ විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේ අභිනව සංවර්ධනය සඳහා විහාරාංග රැසක් ඉදිකරවීමෙහි ද පුරෝගාමී වූහ.

උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වයෙන් ස්වේච්ඡා සංවිධාන රැසක් ද විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේ ක්‍රියාත්මක වන අතර උන්වහන්සේ ජන්ම ලාභය ලද මකුලෑව ග්‍රාමය වෙනුවෙන් ආගමික හා සමාජ සුබසාධන සේවා රැසක් ඉටුකිරීමට ද පුරෝගාමී වූහ.

1993 දී දඹදිව වන්දනාවේ නිරත වූ මකුලෑවේ විමල හාමුදුරුවෝ 1994 දී දඹදිව සාංචි විහාරයට වැඩම කර වසරක් පමණ එහි නේවාසිකව සේවය සැලසූහ.

1999 දී අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නාහිමියන් සහ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමියන් සමඟ සිංගප්පුරුව ශ්‍රී ලංකාරාමයේ රන්වැට විවෘත කිරීමට ද සහභාගිවූහ. මියන්මාර්හිදී අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමියන් වෙත අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනමන ලද අවස්ථාවේ දී ඊට සහභාගි වූ විමල හාමුදුරුවෝ විජයරාජපුර සීලවංස හිමියන්ගේ ඇරැයුමෙන් ස්වීඩනය, ජර්මනිය, ඉතාලිය ආදී රටවලට 2008 දී වැඩම කළහ. විලපිටියේ ඤාණවංස අනුනාහිමියන් වෙත අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනමන අවස්ථාවේදී ද මියන්මාර් වෙත වැඩම කළ විමල හාමුදුරුවන් තායිලන්තය ඉන්දුනීසියාව ආදී රටවල සංචාරය කර ඇත.

මකුලෑවේ විමල හාමුදුරුවෝ ශ්‍රී සරණංකරෝපසේන සංඝසභාවේ ලේඛක ධූරයටද රාමඤ්ඤ මහා නිකායේ පරියත්තිපාලක සභාවටද කර්මාචාර්ය ධූරයකටද, මීරිගම සංඝසභාවේ අනුවිජ්ජක ධුරයට හා පාලක සභාවටද ජ්‍යෙෂ්ඨ අනුවිජ්ජක ධුරයට හා පාලක සභාවට ද ජ්‍යෙෂ්ඨ අනුවිජ්ජක ධුරයට ද පත් වූ අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ගරුතර කාරක සභාවටද පත්වූහ.

ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ යාවජීව සාමාජිකත්වයද උසුලන විමල හාමුදුරුවෝ ස්ව නිකායේ නියෝජ්‍ය පරියත්ති ලේඛක ධූරයට ද පත්වූහ. ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරෙහිද නිරත වූ උන්වන්සේ ග්‍රන්ථ රැසක් පළ කර ඇත. විවිධ ගෞරවනාම රැසක් ලබා ඇති මකුලෑවේ විමල හාමුදුරුවෝ ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමක් වෙති.