Print this Article


ඇසළ පෙරහර බෞද්ධ සංස්කෘතියේ ප්‍රෞඩත්වයත්, අභිමානයත් විදහා පාන්නක්

ඇසළ පෙරහර බෞද්ධ සංස්කෘතියේ ප්‍රෞඩත්වයත්, අභිමානයත් විදහා පාන්නක්

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩමවා දේවානම්පියතිස්ස මහ රජතුමා ප්‍රමුඛ ලක්වැසියන් තිසරණ ගන්වා සැදැහැති බෞද්ධයින් බවට පත් කළ තැන් පටන් මේ රට තුළ නිර්මාණය වූ උසස් බෞද්ධාගමික හර පද්ධතිය නිසා අප රට ලෝකයේ විශිෂ්ට ජාතියක් වෙසෙන නිර්මල ථෙරවාදී බෞද්ධාගමික මධ්‍යස්ථානයක් බවට පත් වී ඇත. එම ශ්‍රේෂ්ඨ සංස්කෘතිය වර්තමානය දක්වා ම සුරක්‍ෂිත වූයේ දළදා වහන්සේ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ, පාත්‍රා ධාතූන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ පූජනීය වස්තූන් මුල්කොට ගෙන ආරම්භ වූ පූජා චාරිත්‍ර විධි ආදිය නිසා ය. එහිලා වෙසෙසින්ම වැදගත් වනුයේ ශ්‍රීමත් දළදා වහන්සේ කේන්ද්‍ර කොට ගෙන පැවැත්වෙන ශ්‍රී දළදා පෙරහර සංස්කෘතික මංගල්‍යයයි. එදා “ධම්මචක්කගේහ” නම් වූ ප්‍රථම දළදා මැදුරේ සිට අහ්‍යුත්තරාම හෙවත් අභයගිරි විහාරය දක්වා දළදා වහන්සේ වැඩම කිරීම හා සම්බන්ධ කොට ගෙන ආරම්භ වූ මෙම දළදා පෙරහර පසුකාලවලදී විවිධ උන්නතීන්ට හා අවනතීන්ට භාජන වෙමින් අද දක්වා ම පැවත ගෙන එමින් තිබේ.

දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය බවට පත්වීම නිසා ම පළවන විමලධර්මසූරිය මහරජතුමා මහනුවර රාජධානිය ස්ථාපිත කොට එහි ශක්තිමත් ස්ථාවරයක් ගොඩනැඟීම් සඳහා එවකට අස්ගිරි මහාවිහාරයේ වැඩ සිටි ඇල්ලේපොළ මංගල තෙරුන් වහන්සේ ප්‍රමුඛ රාජකීයයන් පිරිසක් සබරගමුවට යවා එතෙක් දෙල්ගමු විහාරයේ සුරක්‍ෂිතව තිබූ දළදා වහන්සේ මහනුවර සෙංකඩගල පුරවරයට වැඩම කරන ලදී. ඉන්පසු පළමු රැය අස්ගිරි මහ වෙහෙරේ ගෙඩිගේ රජමහ විහාරයේ තැන්පත් කොට පුද පූජා පැවැත් වූ අතර ඊට ගෞරවයක් ලෙස අවසන් රන්දෝලි පෙරහර දින රාත්‍රි දේවාල පෙරහර ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගල්‍යය සිදු කොට නැවත පැමිණෙන තෙක් පෙරහර කරඬුව ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කිරීමේ චාරිත්‍රය අද දක්වා ම සිදු කෙරේ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස දේවාල පෙරහරට පමණක් සීමා වී තිබූ මෙම ඇසළ පෙරහර සියම් රටින් පැමිණි උපාලි මහා තෙරුන්ගේ හා සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ද උපදෙස් පරිදි ශ්‍රී දළදා පෙරහර සේ නැවත ආරම්භ කොට සතර මහාදේවාල පෙරහර ද ඊට එකතු කරමින් වර්තමාන ඇසළ පෙරහරේ නව ආරම්භය සිදු වී ඇති බව කියවේ. කෙසේ වෙතත් ඓතිහාසික පසුතලයක් තුළ ශ්‍රී ලාංකික බෞද්ධාගමික අනන්‍යතාව ප්‍රකට කරවමින් දෙස් විදෙස් බොදු බැතිමතුන්ගේ නොමද සැලකිල්ලට භාජන වී ඇති මෙම අසිරිමත් කලා මංගල්‍යය මතුවටත් එලෙසින් ම සුරක්‍ෂිත කොට තැබීම වත්මන් අප කාගේත් යුතුකමක් හා වගකීමක් වේ. රත්නත්‍රයානුභාවයෙන් හා උතුම් වූ ශ්‍රීමත් දළදා වහන්සේගේ ආශීර්වාදයෙන් අප රටටත් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රටවැසියන්ටත් සෞභාග්‍යමත් අනාගතයක් උදාවේවායි ආශිංසනය කරම්හ.