Print this Article


මහනුවර ඇසළ පෙරහරෙහි සතර දේවාල පෙරහර

මහනුවර ඇසළ පෙරහරෙහි සතර දේවාල පෙරහර

අතීතයේදී ඇසළ මාසය ශුද්ධ වූ මාසයක් ලෙස සලකා පූජා, උත්සව, සැණකෙළි පැවැත්වීම භාරතයෙහි මෙන්ම ලක්දිව ද ප්‍රචලිතව පැවතිණ.භාරතයෙහි අෂාඪ නමින් පැවැති නැකැත් කෙළි උත්සවයකි, ලක්දිව ශ්‍රාවණී නම් දේව පූජා උත්සවයත් යෙදී ඇත්තේ ඇසළ මාසය මුල්කොට ගෙනය. සිදුහත් මහා බෝසතාණන් මහමායා මව්කුස පිළිසිඳ ගත්තේ ඇසළ පුන් පොහෝ දිනකදීය. “මහමායා දේවිතොමෝ ඇසළ පුන් පොහොය දිනයට සත් දිනකට පෙරාතුව මාලා ගන්ධ විලේපන සේවනයෙන් දුරුව, මහත් විභූති සම්පන්නව නැකැත් කෙළි බලමින් සිට සත්වන දවස, උදෑසන නැඟී සිට සුවඳ පැනින් හිස් සෝදා නා, මහදන් දී සර්වාලංකාරයෙන් සැරසී, උපෝෂිතාංගය සමාදන්ව සිරියහනෙහි සුව සේ නිදා සිටිය දී, පශ්චිම යාමයෙහි දෙතිස් මහා පූර්ව නිමිති පහළ කෙරෙමින් බෝසතාණන් මව්කුස පිළිසිඳ ගත් බව” ශ්‍රී සද්ධර්මවවාද සංග්‍රහයෙහි දැක්වේ.මෙසේ බැලුවද බුද්ධකාලයට පෙරාතුව සිට ඇසළ මාසය උත්සව සැණකෙලි පැවැත්වුණු මාසයක් සේ පැවැති බව සලකා ගත හැකිය.

පැරකුම්බා සිරිතේ දැක්වෙන අයුරු, දෙවැනි සියවසේ රජ කළ ගජබා රජු, තම පියාණන්ගේ සමයෙහි මෙරටින් සොළී දේශයට ගෙන ගිය දොළොස්දහසක පිරිස පිළිබඳ කතාපුවත අසා, සොළී රටට ගොස් ඒ දොළොස් දහසට හිලව්වට තවත් දෙළොස් දහසක් ද රැගෙන ආ බව කියැවේ. ගජබා රජු ආපසු එන ගමනේ දී පත්තිනි දේවියගේ රන් සළඹත්,සොළී රජු මෙරටින් පැහැරගෙන ගිය පාත්‍රා ධාතුන් වහන්සේත් ආපසු ගෙනාවේය. ඉන් අනතුරුව පත්තිනි දේව මෑණියන් වැසි ලබා දීමේ වරම් ඇති දෙවඟනක සේ සලකා ඇසළ මාසයෙහි පෙරහර පැවැත්වීමේ සිරිත ඇරැඹුණු බව සළඹ කතාවෙන් හෙළිවේ. ඊට අමතරව ඉන්ද්‍ර දෙවියන් වැස්ස වළාහක දෙවියන් සේ සලකා කලට වැසි ලබා ගැනීමේ අරමුණින් පූජාවට පාත්‍ර කෙරිණි.

මෙසේ සාමාන්‍ය ජනතාව අතර මුල්බැසගෙන තිබූ දේව පුද පිළිවෙත් බොහෝමයක් පසුකලෙක පොදු පුද පිළිවෙත් සමඟ සංකලනය වී භාවිතයට පැමිණ ඇත. ඇසළ පෙරහර නමින් මහත් සේ ප්‍රකටව පැවැතියේ කිත්සිරිමෙවන් මහරජු දවස ඇරැඹුණු දළදා පෙරහරයි. ඒ හා සමඟ දළදා වහන්සේට පූජෝපහාර පෙරහර දැක්වීමෙන් කලට වැසි ලබාගත හැකි වෙතැයි යන ජන විශ්වාසය තහවුරු විය.

දඹදෙණි යුගයේදී දළදා වහන්සේ විෂයෙහි පැවැත්වූ පෙරහර පූජෝත්සවයට එහි පැවැති සතර දේවාලය ද එක් වූ බව දඹදෙණි අස්නෙන් අනාවරණය වේ. දඹදෙණියේ පැවැති හාස්කම් සහිත පුරාණ පත්තිනි දේවාලය නටබුන් වූයෙන් මෑතක දී ගොඩනැඟුණූ පත්තිනි දේවාලයෙහි අදටත් දඹදෙණි දළදා පෙරහර ආරම්භයට පෙරාතුව කප් සිටුවීමේ චාරිත්‍රය ඉටුවේ.

කෝට්ටේ යුගයේ දී උපුල්වන්, විභීෂණ, සමන්, කතරගම යන සතර දේවාලය පෙරහරට එක්ව තිබූ බව ප්‍රකටය. මෙම යුගයෙහි දේව විශ්වාසයන් බොහෝසේ ප්‍රචලිතව තිබූ බව සංදේශ කාව්‍යයන්ගෙන් අනාවරණය වේ. සීතාවක රාජධානි සමයෙහි සමන් දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන පෙරහර දෙවියන්ට කැප වූ පෙරහරක් වූයේ නමුදු, පළමුවැනි රාජසිංහ රජුගේ පටන් අදටත් දළදා පෙරහර පෙරටු කොට සමන්දෙවි පෙරහර පැවැත්වීම සිරිතක්ව පවතී.

සිංහලයේ අවසන් රාජධානිය වූ සෙංකඩගලපුර රාජධානියේ දෙවැනි රාජසිංහ රජු සමයේ මෙරට සිරකර සිටි රොබට් නොක්ස්ගේ වාර්තාවේ ඇසළ පෙරහර ගැන කෙරෙන සටහන් අනුව, එවකට පැවැති පෙරහර දෙවියන් මුල්කොට පැවැත්වූවක් බව පෙනේ. එදා පැවැති පෙරහරේ දේවාලයේ ප්‍රධාන කපුරාළ මුඛවාඩම් බැඳ ගනිමින් කප සුදු පිළියෙන් ඔතා අලි ඇතුන් හතළිහකින් සමන්විතව, බෙර, දවුල් ,තම්මැට්ටම් වයන්නවුන් ද, නැට්ටුවන් ද මේ පෙරහරෙහි ගමන් කළ බවද ඔහුගේ විස්තරය අනුව පෙනේ. ඔහු පවසන ආකාරයට දෙවියන්ට පූජෝපහාර පිණිස පැවැත්වූ මෙම පෙරහරට උසස් පන්තියේ දහස් ගණනක් කුල ස්ත්‍රින් ද උත්තම ස්ත්‍රින් ද සහභාගි වූ බවත් ඔවුන් පෙළට තිදෙනා බැගින් අතිනත අල්ලාගෙන ගොස් ඇති බවත් පැවසේ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස රාජ්‍ය වර්ෂ 1753 ට පෙරාතුව දේව පූජෝපහාරය පිණිස පැවැත් වූ ඇසළ පෙරහර මංගල්‍යය වර්තමානයේ පවත්නා ආකාරයට ශ්‍රී දළදා මාලිගාව පෙරටු කොට ශ්‍රී නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන දේවාල සතර පිළිවෙළින් ගමන් කෙරෙන පෙරහර චාරිත්‍රය ඇරැඹුණේ රාජ්‍ය වර්ෂ 1753 වැන්නේ දීය. සියම් දේශයෙන් වැඩම කළ ප්‍රවර උපාලි මහතෙරුන් හා වැලිවිට අසරණ සරණ සරණංකර මාහිමියන් එවකට පැවැති පෙරහර නරඹා දළදා පුජෝපහාර පෙරහර පෙරටුකොට පැවැත්වීමට දුන් උපදෙස් අනුවය. ඉන් පසු දළදා වහන්සේ විෂයෙහි පූජෝපහාරය පිණිසත්, සතර දේවාලයේ වැඩවසන නාථ,විෂ්ණූ, කතරගම, පත්තිනි දෙවියන් කෙරෙහි භක්ති ප්‍රණාමය පිණිසත් අද දක්නා ආකාරයට පෙරහර පැවැත්වීමේ සම්ප්‍රදාය ගොඩනැඟිණ. මුල්කොටුවේරාළගේ සඟරාජ පවතෙහි දැක්වෙන කවියකි මේ.

සෙංකඩගල නුවර
ඇසළට කෙරෙන පෙරහර
දෙවියන්ට නිසිකර
පැවත ආවේ කලෙක සිට පෙර

කලකට පෙර දෙවියන් පෙරදැරි කරගෙන පෙරහර පැවැත් වූ බව කියැවෙයි.සඟරාජ පවතට අනුව පෙරහර පෙළගැස්ම වෙනස් වූයේ වැලිවිට සඟරජ හිමියන්ගේ උපදෙසට අනුවය.

සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය සතර දේවාලයේ කප් සිටුවීමෙන් ඇරැඹේ. සශ්‍රීකත්වයේ සංකේතයක් වන පණස වර්ගයේ කිරි වෑහෙන ඵල නොදරන පුරුෂ ලිංගික තරුණ ගසක් ඒ සඳහා තෝරා ගැනෙයි. කපට සුදුසු ගස් තෝරා ගැනීම අතීතයේ පටන් අලුත්නුවර දේවාලයට භාරව පවතී. එසේ තෝරාගත් ගස වටා පිරිසුදු කොට, ගොක් කොළින් හා මල්වඩමින් සරසා, දුම් අල්ලා සඳුන් දියරයෙහි ගල්වා, තිර නවයක් ඇති පහනක් ද, බුලත් කොළ නමයක් ද, මල් නවයක් ද පූජා කොට පිරිසුදු පිරුවටයකින් සැරැසී අලුත්නුවර දේවාලයේ ගස් කපන්නා විසින් ගස කපා හෙළනු ලැබීම සාමාන්‍ය සිරිතය. කපාගත් ‘කප’ සුදු පිරුවටයකින් ඔතා අලුත් නුවර දේවාලයේ සිට මහනුවර මහවිෂ්ණු දේවාලය කරා ඇතකු පිට පෙරහරින් ගෙනැවිත් විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේතුමාට භාර දීම සිදු වේ. ඉන් අනතුරුව එය කොටස් සතරකට වෙන්කර පළමුවැනි කොටස නාථ දේවාලයටත්, දෙවැනි කොටස විෂ්ණූ දේවාලයටත් , තුන්වැනි කොටස කතරගම දේවාලයටත්, සතරවැනි කොටස පත්තිනි දේවාලයටත් ඒ ඒ දේවාලයන්හි බස්නායක නිලමේවරුන් හා කපුමහත්වරුන් ඉදිරියේ බෙදාදෙනු ලැබේ.

ඉන් අනතුරුව ඒ ඒ දේවාලයට ඇතකු පිටින් වැඩමවන ‘කප’ එම දේවාලයන්හි කප සිටුවීමට නියමිත ස්ථානය කහ දියර ඉස්වා, ගොක්කොළින් හා මල්දමින් සරසා, උඩුවියන් හා වටතිර බඳවා සුබ මුහුර්තියෙන් කප තැන්පත් කරනු ලැබේ. ඉන් පසු අභ්‍යන්තර පෙරහර පහක් පැවැත්වේ.

අභ්‍යන්තර පෙරහර පහේදි දේවාලයේ කපු මහතා විසින් දෙවියන්ට අදාළ රන් ආයුධ කප වටා කෙටි පෙරහරකින් වැඩමවීම සිදුකෙරේ. මෙම සිරිත සම්බන්ධයෙන් අදහස් දක්වන පුරාවිද්‍යාඥ ගොඩකුඹුරේ මහතා,මෙම සිරිත තුළින් වැස්සට අධිපති ඉන්ද්‍ර දෙවි පුදා වැස්ස පැතීම අරමුණූ කරගත් බව පවසයි. කපසිටුවීම හා අභ්‍යන්තර පෙරහර සිදුකෙරෙනුයේ නැකැත් වේලාවන්හි ය. මෙසේ සිටුවනු ලැබූ කපට ඇහැළ ගස යැයි ද කියනු ලැබේ. ඇසළ පෙරහර ඇරැඹෙන්නේ මෙසේ කප්සිටුවීමෙන් දේවාශිර්වාදය ලබාගැනීමෙන් අනතුරුවය.

අභ්‍යන්තර පෙරහර පහෙන් පසු වීදි සංචාරය කෙරෙන කුඹල් පෙරහර පහ ආරම්භ වේ.ඉන් අනතුරුව වීදි සංචාරය කෙරෙන රන්දෝලි පෙරහර පහ පැවැත්වේ. ඒ ඒ දේවාලයට අයත් රන්දෝලියෙහි දියකැපීමට ගන්නා රන්කළස හා කඩුව තැන්පත් කර පෙරහරේ කෙළවරින් වැඩමවීම සිරිතය. අතීතයේ දී රජ බිසෝවරුන් හා රාජ කුමාරියන් රන් දෝලිය හා ගමන් කළ අතර, වර්තමානයෙහි දේවාලයේ ආලත්ති අම්මාවරුවන් රන්දෝලිය හා ගමන් කරනු දක්නට හැකිය. දේවාල පෙරහරේ ගමන් ගන්නා බස්නායක නිලමේවරයාගේ ඉදිරියෙන් මනාව සැරැසු ඇතකු පිට දේවාභරණ තැන්පත් කළ රන්සිවිගෙය වඩමවනු ලබයි.

අවසන් රන්දොලි මහපෙරහර දින මධ්‍යම රාත්‍රියෙන් පෙරහර ගෙවැදීමෙන් අනතුරුව, අලුයම පැවැත්වෙන ප්‍රධාන චාරිත්‍රයක් වනුයේ දළදා මාලිගාවේ පෙරහර කරඬුව ගෙඩිගේ විහාරයට වැඩමවීමත්, සතරදේවාලයේ දියකැපීමේ පෙරහර ගැටඹේ තොට කරා ගමන් කිරීමත් ය. අලුයම් වේලෙහි ගැටඹේ දියකැපුම් තොටට ළඟා වන කපුරාළවරු අත්‍යාලංකාරයෙන් සරසන ලද ඔරුවකින් ගඟ මැදට ගොස්,ඉහත අවුරුද්දේ පිරවූ රන් කළසෙහි ජලය හිස් කොට, දියකැපීමට තෝරාගන්නා ස්ථානයෙහි අටමඟල අඳවා, මල්දම්විසිරුවා රන් කඩුවකින් දිය කැපීම සිදුකරති. එසේ දිය කපා වෙන් වූ තැන්හි හිස්වූ දිය කළස අලුත් ජලයෙන් පුරවා ගනියි. ගැටඹේ තොටේද කපුරාළ අෂ්ඨක ද ජයමංගල ගාථා ද කියා දේවාභරණ හා පැන් කළස ආපසු දේවාල කරා වැඩමවනු ලබයි.

ඒ එන ගමනේ දී ජලයෙන් පිරවු කළස කටුකැලේ පුල්ලෙයාර් කෝවිලෙහි තැන්පත් කොට ආශිර්වාද ලබා ගැනීම සිරිතය.අනතුරුව දහවල් පෙරහර සඳහා පිටත් වී සතරදේවාලයේ පෙරහර නගර සභා හන්දිය කරා ළඟා වේ. එහිදී ගෙඩිගේ විහාරයේ සිට පිටත්ව එන දළදා මාලිගාවේ දහවල් පෙරහර හා එක්ව ගමන්කොට, මාලිගා චතුරශ්‍රයේ තෙවිටක් ප්‍රදක්‍ෂීණා කොට අවසානයෙහි සුබ මුහුර්තියට පෙරහර ගෙවැදීම සිදුවේ.

ඉන් අනතුරුව දියවඩන නිලමේතුමා ප්‍රමුඛ බස්නායක නිලමේවරුන් කෙටි පෙරහරකින් ජනාධිපති මන්දිරය වෙත ගමන් කර, පෙරහර සාර්ථකව නිම කළ බවට පෙරහර සංදේශය පිළිගැන්වීම චාරිත්‍රයක් වශයෙන් ඉටු කෙරේ. ඉන් පසු දින සිට දින හතක් මහවිෂ්ණූ දේවාලයේ දී ‘වළියක් නැටුම’ නම් ශාන්ති කර්ම ය පවත්වයි. මෙහිදී පෙරහරට සහභාගි වූ නර්ථන, වාදන ශිල්පීන් අතුළු සැම සියලු දෙනාට දේවාශීර්වාදය පැතීම සාමාන්‍ය සිරිතය.

කලක් දෙවියන්ට පූජෝපහාරය පිණිස පැවැත් වූ ඇසළ පෙරහර මංගල්‍යය කිත්සිරිමෙවන් රජ දවස දළදා පෙරහර නමින් ප්‍රකටව, දළදා වහන්සේ විෂයෙහි පූජෝපහාරය පිණිස පැවැත්වීමේ සිරිත ඇරැඹිණ. අද වන විට සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යය දළදා වහන්සේ විෂයෙහි පූජෝපහාරය පිණිසත් ශ්‍රී නාථ, විෂ්ණූ, කතරගම හා පත්තිනි සිව්දෙවියන් විෂයෙහි භක්ති ප්‍රණාමය පිණිසත් චිරාගත සාම්ප්‍රදායික පුද සිරිත් අනුව සිදු කෙරෙයි.