Print this Article


අභිමානවත් පාලන උරුමයක සංකේතය

අභිමානවත් පාලන උරුමයක සංකේතය

ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ පාලක පන්තියේ සිට සාමාන්‍ය ජනතාව දක්වා විහිද යන සමාජගත චරිතයන්හි හැසිරීම් රටාව මෙන්ම ඔවුන්ගේ චර්යාත්මක භූමිකාව වඩාත් අර්ථ ගැන්වීමට මෙන්ම සදාචාරාත්මක හැඩ තලයක් වෙත ගෙනයාම පිණිස බෞද්ධ දර්ශනය තුළින් මෙන්ම බෞද්ධ සංස්කෘතියත් ඒ හා සබැඳි පූජා වස්තූන් ආශි‍්‍රතයෙන් ලැබුණු පිටුවහලත් සුළු කොට තැකිය නොහැකිය.

ථෙරවාදී හා මහායාන සම්ප්‍රදායෙන් වර්ධනය කරනු ධම්ම සංකල්පය පසුව විශ්වීය නීතියක් ලෙසත් ධර්මය රාජ්‍යත්වයට අදාළ නීති සකස් කිරීමේ මූලාශ්‍රයක් ලෙසින් ද සැලකින. රජුගේ අණ ධර්මය වන අතර ධර්මය මුල් කොට ලොව පාලනය කරන බවත් දැහැමි පාලනයක් තුළින් පාලක මඩුල්ල හා රටවැසියා දැහැමි වන අතරම රටේ සමෘද්ධිය ද ඒමඟින් ඇතිවන ආකාරයත් මනාව ත්‍රිපිටකය තුළ පෙන්වාදී තිබේ. ඒ අනුව රජු බෞද්ධයකු පමණක් නොව ඇත්ත වශයෙන්ම බෝධි සත්ත්වයකු බවට ද පත්විය යුතු ය. බෝධි සත්වයකු නොවන කෙනෙක් මෙම රාජ්‍යයෙහි රජෙකු නොවිය යුතු බව බුදුරජාණන් වහන්සේ විසින් විවරණ ලබා දී ඇති බව ලක්දිව ශිලා ලේඛනයන්හි සඳහන් වේ.

දසරාජ ධර්මයනට අනුව සතර සංග්‍රහ වස්තුවෙන් ජනයාට අනුග්‍රහ දක්වමින් සතර අගතියෙන් තොරව දසපින්කිරියවත් පුරමින් ආදර්ශමත් පාලන නායකත්වයක් වෙත යාමට ලක්දිව පාලක පිරිස් කටයුතු කළ අතර ප්‍රදර්ශනාත්මක ආගමික කටයුතුවලදී පාලකයා මූලිකත්වය ගත්තේ ය. මෙහිදී බුදුරදුන්ගේ ශාරීරික, පාරිභෝගික හා උද්දේසික යන ත්‍රිවිධ පූජාවස්තු ප්‍රමුඛත්වයට පත්වූ අතර ඒ කෙරෙහි පැවැත්වූ මහා පූජෝත්සවයන්හිදී පාලකයා මූලිකත්වය ගැනීම, එක් පැත්තකින් ආගම හා රාජ්‍යය අතර පැවැති සම්බන්ධය ඉස්මතු කළ අතරම අනෙක් පසින් රජුගේ දැහැමි බව ප්‍රකාශ කළේ ය. ලක්දිවට ශ්‍රී දළදා වහන්සේ වැඩම කිරීමත් සමඟ මෙතෙක් පැවැති පූජ්‍ය වස්තු ගණයට දළදා වහන්සේ ද එක් වූ අතර එතැන් පටන් ලක්දිව ඇති බුදුරදුන්ගේ මහර්ඝනීය පූජ්‍ය වස්තු බවට ද පත්විය. පාලකයා හා පූජ්‍යවස්තූන් අතර පැවැති සම්බන්ධය නව සංකල්පයක් ඔස්සේ වර්ධනය වීමටත් දළදා වහන්සේ පදනම් කොට දළදා සංස්කෘතියක් නිර්මාණයවීම කෙරෙහිත් බලපෑ බව ඇති සාක්‍ෂි විභාග කර බලන කල්හි පෙනීයන කරුණකි. ආගමික හා සංස්කෘතික භූමිකාව තුළ ද ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ දින සිටම සුවිශේෂිත පූජ්‍ය වස්තුවක් ලෙසින් සනිටුහන් වේ.

බුදුරදුන්ගේ අති උත්තම ශාරීරික ධාතූන් වහන්සේ ලෙස ශ්‍රී දළදාව ශ්‍රී ලාංකේය බෞද්ධ ප්‍රජාව අතට පත්වීම මහත් භාග්‍යයක් ලෙසින් පුරාතන අවධියේ සිටම සැලකූ අතර දළදාව හා සම්බන්ධ පූජා, අභිචාරවිධි හා චින්තන සම්ප්‍රදායක් මෙන්ම සංස්කෘතිකාංග රැසක් ද කලින් කලට ශ්‍රී ලාංකේය බොදුජන ජීවන පැවැත්ම හා නිරන්තරයෙන්ම ඒකාබද්ධ වෙමින් පෝෂණය විය. නිසි කලට වැසි ලැබ රට සශි‍්‍රකවීමද කාල විපත්වලින් තොර සෞභාග්‍ය ලැබීමේ බල මහිමයක් ද ශ්‍රී දළදාව කෙරෙහි නිසි පුද පූජා සත්කාර දැක්වීම තුළින් ලැබෙන බව ලක්වැසියෝ අතීතයේ සිටම සැදැහැබර සිතින් යුතුව විශ්වාස කළහ.

එමෙන්ම පාලකයාගේ දැහැමි බවේ මෙන්ම පාලනයට ඇති උරුමයේ සංකේතයක් ලෙසින් සැලකීමේ සම්ප්‍රදාය ද ක්‍රියාකාරිත්වය හා දායකත්වය මෙන්ම අභිචාර විධි ඔස්සේ අතීතයේ සිටම ලක්වැසියාගේ ජනවිඥානයට බද්ධව පවතියි. දළදා වහන්සේගේ අයිතිය හෝ හිමිකම සිය දේශපාලන අයිතිය තහවුරු කළා පමණක් නොව දළදා වහන්සේ තමා සතුකර ගැනීම හා දළදා සෙවනේ විසීම ද සිය රාජ්‍යත්වයේ අභිමානනීයත්වය තීව්‍ර කිරීමට හේතු කාරකයක් ලෙසින් ද ශ්‍රී ලාංකේය පාලන ස්තරායනය තුළ මුල් බැස ගනිමින් දොළොස්වැනි සියවසින් පසු දශක ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක මට්ටමින් පැවැති බව ඓතිහාසික තොරතුරු විමර්ශනය කරන විට ඉස්මතු වන වැදගත් කරුණකි. දළදා වහන්සේ ලක්දිවට වැඩම කිරීමෙන් පසු රාජ්‍යයේ පාලකයාගේ දැහැමි බවේ සංකේතය ලෙසින් මෙන්ම රාජ්‍යත්වයේ උරුමයෙහි හා හිමිකමේ එක් ප්‍රධාන සංකේතයක් බවට ද පත් වේ.

මුල් අවධිවල දළදා පෙරහර පාලකයාගේ දැහැමි බව හා සිය අනන්‍යතාව ඉස්මතු කළ අවස්ථාවක් වූයේ දළදා පෙරහරය. කිත්සිරිමෙවන් රජු සිය දළදා පෙරහර පවත්වා මතුවට ද මෙලෙසින් දළදා වහන්සේ වෙත මෙබඳු ආකාරයෙන් නව ලක්‍ෂයක් වියදම් කොට වාර්ෂික පූජා කළ යුතු යැයි සිරිත් ලිවීමක් ද (චාරිත්තලෙඛං) ද රජු විසින් කරවනු ලැබූ අතර ඒ බව ෆාහියන් හිමියන් දක්වන තොරතුරු තුළින් සනාථ වේ.

ශ්‍රී දළදාවේ අයිතිය හෙවත් උරුමය රාජ්‍යත්වය හිමිකම මෙන්ම රාජ්‍යත්වය ඔපවත් කළ සංකේතය විය. පොළොන්නරු යුගයෙන් පසු මෙම තත්ත්වය වඩාත් පැහැදිලි ය. පළමුවැනි පරාක්‍රමබාහු රජු කළ ලක්දිව නිරවුල් කොට කළ ව්‍යායාමය ද නිෂ්ඵල වන බවත් සියලු රත්නයන්ගේ රශ්මියෙන් මාගේ කිරීටය බබළවන නමුදු මහාර්ෂි වූ දළදා ස්වාමින්වහන්සේගේ උත්තම වූ ස්පර්ශයෙන් එය පවිත්‍ර කරන ලද්දේ වේ යැයි, යන ප්‍රකාශයෙන් පැහැදිලිය. පළමුවැනි පරාක්‍රමබාහු රජු සිය දෙඅතින් පිළිගෙන හිසමත තබා පෙරහරකින් දළදා වහන්සේ වීදි සංචාරය කරමින් ගෙන යනු ලබන්නේ ද සිය දැහැමි බව මෙන්ම රාජ්‍යත්වයේ නීත්‍යානුකූලත්වය මහජනයා වෙත ප්‍රදර්ශනාත්මකව පෙන්වීමක් ලෙසටය. නිශ්ශංකමල්ල රජු සිය පුතනුවන් හා දියණිය දළදා වහන්සේ වෙත පූජා කරනුයේ ද අනාගත නායකත්වයට නීත්‍යානුකූල බවක් ලබාදීමේ එක් අපේක්‍ෂාවෙන් ය. දළදා වහන්සේ ඉන්පසු බෙලිගලට, දඹදෙණියට, යාපහුවට, කුරුණෑගලට, ගම්පොලට, කෝට්ටේට හා මහනුවරට දළදා වහන්සේ වැඩම කිරීම හා දළදා මාලිගාවන් සිය රාජමාලිගය අසලම ගොඩනැංවීමත් දළදා වහන්සේගේ භාරකාරීත්වය මෙන්ම එහි ලෞකික නායකත්වයත් පාලකයන් විසින්ම දැරීම තුළින් පැහැදිලිවන්නේ පාලකයාගේ නීත්‍යානුකූල භාවය මෙන්ම නීති ගරුක බව හා මෙන්ම දැහැමි බව වඩාත් ප්‍රදර්ශනාත්මකව ජනතාව වෙත දැක්වීමක් ලෙසටය. උඩරට අල්වාගත් ඉංගී‍්‍රසීන් ද දළදා වහන්සේගේ භාරකාරත්වය ලබා ගැනීම තමාට ලංකාවේම බලය නීත්‍යානුකූලව ලබා ගැනීමක් ලෙසින් කල්පනා කළ බව ඔවුන්ගේ ලිපි ලේඛන විමසන විට පෙනීයන කරුණකි.

එමෙන්ම දළදා වහන්සේ සාක්‍ෂියට තබා යම් නීත්‍යානුකූල පැවරීම් කළ බවට ඓතිහාසික සාක්‍ෂි තිබේ. තෙවැනි විජයබාහු රජු තමා ජීවමාන අවධියේදීම රාජ්‍යත්වය සිය පුත් පරාක්‍රමබාහු කුමරුට පැවරීමේ දී දළදා වහන්සේ හා පාත්‍රා ධාතුව ද ඉදිරියෙන් තබා එම කාර්යය ඉටු කොට ඇත. පළමුවැනි විමලධර්ම සූරිය රජු සිය පුත් කුමරු තිදෙනට පාලනය කිරීමට භාර කරන අවස්ථාවේ තමන්ට අයත් රට බෙදා පත්‍ර තුනක ලියා දළදා වහන්සේ ඉදිරිපිට දී ගන්නට සලස්වා ඇත. භික්‍ෂූන් ඉදිරියේ දී දළදාව හා පාත්‍ර ධාතුව ලබාදීම තුළින් රාජ්‍යත්වයේ නියම හිමිකාරිත්වයට සාක්‍ෂියක් ලෙසින් මෙම පූජාවස්තුන් දෙක මුල්තැන්හිලා සැලකූ බව එම කාර්යය දළදා වහන්සේගේ ආශිර්වාදය මැද මෙන්ම දළදා වහන්සේ සාක්‍ෂියට තබා එම තීරණය කිසිවකුටත් වෙනස් කළ නොහැකි මට්ටමින් කළ බවත් මෙම සිද්ධීන් එකිනෙක විමසා බලන විට පෙනීයන කරුණකි.

එමෙන්ම දළදා වහන්සේ අති පූජනීය වස්තුවක් ලෙසින් උපහාර ලද අතර නීතිමය තත්ත්වය තහවුරු කරමින් ඒ තුළින් සදාචාරාත්මක බව වර්ධනයට අදාළ කරගත් බව සාක්‍ෂි තිබේ. “නිරිඳුනි බිහි වූ මඟුල් හි ද වනුවක් මඟුලෙහි ද දළදා පමුණුවක් දෙනුව ඉසා” යනුවෙන් දළදා සිරිතේ දක්වනුයේ රජෙකු සිය උපන් දවස ද අභිෂේක ලද දිනය ද සමරමින් වාර්ෂිකව පමුණු ඉඩම් දෙකක් දළදා මාලිගයට පිදිය යුතු වූ බව මෙමඟින් නියම කර තිබේ. ඒ ඔස්සේ රජෙකුගේ දැහැමි බව නීති ගරුක බව මෙන්ම ඔහු කෙතෙක් දුරට සදාචාරවත්ව ආචාර ධර්මවලට ගරු කරනු ලබන පුද්ගලයෙකු ද යන්න ආදර්ශමත්ව ප්‍රදර්ශනය කිරීමක් බව පැහැදිලිය. බෞද්ධාගමට අනුව තම පාලන තන්ත්‍රය මෙහෙය වන්නේය යන අදහසක් ද ව්‍යාංගාර්ථවත්ව මෙන්ම දළදා වහන්සේගේ අණසක ක්‍රියාකරන්නෙකු වේ යන පණිවිඩය ද මෙම ප්‍රදානයන් ඔස්සේ ජනතාව වෙත ලබාදීමක් මෙමඟින් අදහස් කෙරේ.

එමෙන්ම පාලකයන් යම් ප්‍රදානයන් කිරීමේ දී දළදා වහන්සේ සාක්‍ෂියකට තබා එම කාර්යයේ නිරත වූ බව ගඩලාදෙණිය සෙල් ලිපියෙන් සනාථ වේ.එහි එක් සෙල්ලිපියක සේනාසම්මත වික්‍රමබාහු රජු විසින් කළ ප්‍රදානයන්හි දළදා වහන්සේගේ ආඥාය යනුවෙන් දක්වමින් දළදා වහන්සේ අණසක නැතහොත් දළදා වහන්සේ සාක්‍ෂි වශයෙන් තබා ගනිමින් එම ප්‍රදානය කර ඇති බවක් පෙනේ. දළදා වහන්සේ සාක්‍ෂි වශයෙන් තබා ගත් කළ එම නියමයනට යමෙකුට උද්ධරණයක් කිරීමට හෝ පැහැර හැරීමට හා නැති කරලීමට නොහැකි බවක් එමඟින් හැඟ වේ.

සදාචාරාත්මක බවේ සංකේතය බවට ද දළදා වහන්සේ අතීතයේ සිටම පත්වූ බවට සාක්‍ෂි තිබේ. කළිඟුරට බ්‍රහ්මදත්ත රජුට පළමුවෙන් දළදා වහන්සේ හිමිවන විට ඔහු සම්‍යදෘෂ්ටිකයෙකු නොවීය. ඛේම රහතන් වහන්සේ දළදා වහන්සේ රජුට ලබාදීමෙන් අනතුරුව මිසදිටු අදහස් බිඳ එම රජ තෙමේ රත්නත්‍රය කෙරෙහි පැහැදිණි. කලිඟු පරපුරට අයත් ගුහසීව රජු මිථ්‍යාදෘෂ්ටික මතධාරියකු වුව රටවැසි ජනයා විසින් දළදා වහන්සේ විෂයෙහි මහත් පූජා පැවැත්වීම අරබයා තොරණ බැඳ ධජ පතාකාදිය එල්වා රන්රිදී මලින් ද නානාවිධ සුගන්ධයන්ගෙන් ද ස්තුති පූර්වක ගී ගයමින් ද නෘත්‍යගීතාදිය තුළින් ද පූජාවන් පවත්වනු ලැබූ අයුරු ඇමැතියන් අතින් විචාර ඔහු ද තුනුරුවන් විෂයෙහි භක්තියක් ඇති පුද්ගලයෙකු වූ අතර දැහැමි පාලකයෙකු බවට ද පත් වූ ආකාරය දාඨාවංසය පෙන්වා දෙයි. දැහැමි පාලකයන් පිළිබඳව කරන ලද කතාවෙන් සිත් පහදවා ගනු ලබන මිසදිටු පණ්ඩු රජු ද තීර්ථක සමාගමෙන් මිදී රත්නත්‍රය සරණ ගිය පුද්ගලයකු මෙන්ම සුචරිතවත් පුද්ගලයෙකු බවට පත්වීය.

ලක් පාලකයන් බොහෝ දෙනෙකු බෞද්ධාගම තුළින් දැහැමි පාලකයන් බවට පත්ව සිටි බැවින් ඔවුන් සෑම දෙනා තමා දැහැමි බව වඩාත් අර්ථවත් කර ගැනීමට මෙන්ම තම සුචරිතවත් බව මතු කරලීම පිණිස දළදා වහන්සේ වෙත පූජෝපහාරයන් දැක්වීමට නිරතුරුව ඉදිරිපත් වූහ. මෙහි එක් අංගයක් වූයේ රට ව්‍යසන අවස්ථාවලදී තමා ගේ දැහැමි බව වඩාත් අර්ථවත් කරලීම පිණිස දළදා ප්‍රදර්ශනයන් පවත්වමින් සත්‍ය ක්‍රියා කරමින් නියං සාය වැනි උවදුරුවලින් රට මුදා ගැනීමට ක්‍රියා කිරීමය.

පොළොන්නරු හා දඹදෙණි යුගවල දී දළදා ප්‍රදර්ශනවලින් අනතුරුව වර්ෂාව ලැබුණු අවස්ථා කීපයක්ම සාහිත්‍ය මූලාශ්‍ර වාර්තා කර ඇත. දළදා ප්‍රදර්ශනය යනු හුදෙක් දළදා වහන්සේ නැරඹීමට පමණක් ජනතාවට අවස්ථාව සලසාදීමකට පමණක් සීමා වූවක් නොවීය. රජුගේ පටන් සාමාන්‍ය වැසියා දක්වා සියලු දෙනම සීලවන්තව සදාචාරාත්මක ගුණාංගවල නියලෙමින් ඇති වූ ව්‍යසනයෙන් රටත් ජනතාවත් මුදා ගන්නා ලද දළදා වහන්සේගෙන් සෑම දෙන එක්ව අයැද සිටීමක් වේ. ඒ තුළ පාලකයාගේ සිට ජනතාව දක්වා සදාචාරවත් බව ඇගයීමට ලක් කරමින් සහ දළදා වහන්සේ ඉදිරිපස වන්දනය කරමින් තමා දැහැමි පුද්ගලයකු බව ඔප්පු කරමින් වර්ෂාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කිරීමකි. දළදා වහන්සේගේ පිහිටාධාරය ලබා ගැනීමට තමා දැහැමි සුචරිතවත් පුද්ගලයෙකු විය යුතුය යන ආකල්පයක් මේමඟින් ජන සමාජය වෙත එත්තු ගැන්වීමක් ද සිදු වූ බව කරුණු විමසන විට අණාවරණය වේ. 1829 වර්ෂයේ එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයා හට දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට සිදු වූයේ එය වැසි ලබා ගැනීමේ මගක් බව ජනතාව තුළ වූ දැඩි විශ්වාසය මත කෙරුණු ඉල්ලීම හේතුවෙනි.

දළදා මැදුර ආශි‍්‍රතව පවත්වනු ලබන වාර්ෂික උත්සව හතරකි. එනම් අලුත් සහල් මංගල්‍යය, අවුරුදු මංගල්‍යය, ඇසළ මංගල්‍යය, හා කාර්තික මංගල්ල්‍යයයි. මෙහි ‘අවුරුද්දේ’ යන්නෙන් අලුත් අවුරුදු උත්සවය ද ‘කාන්තියේ’ යන්නෙන් කාර්තික උත්සවය ද (ප්‍රදීපෝත්සවය) හැඟවේ. මෙකී අවස්ථා දෙකෙහිදීම ඒ ඒ නිලධාරීන් දළදාවට හා රජුට පඬුරු පිරිනැමිය යුතු බවටත් පළමුව පිරිනැමිය යුත්තේ දළදා වහන්සේට බවත් ඉන් නියම කර තිබේ. මෙම මංගල්‍ය අවස්ථාවන්හි කරනු ලබන ක්‍රියාදාමයන් සමස්තයක් ලෙසින් ගෙන සලකා බලන විට එම උත්සව තුළින් දළදා වහන්සේ මූලිකත්වයේ තබා ගනිමින් රටේ සශ්‍රීකත්වය හා ජන සාමුහිකත්වය මෙන්ම නීති ගරුක බව සාම්ප්‍රදායිකත්වයට නිසි තැන ලබාදීම යන ගුණාංග එමඟින් මතු කරලීමට උත්සාහ ගෙන තිබේ.

මුල් කාලයට වඩා පසුකාලය වන විට කිරි දරුවන් භාර කිරීමේ සම්ප්‍රදායක් ද දළදා වහන්සේ මුල් කොට ගෙන ඇති වේ.

කිරි දරුවන් දළදා වහන්සේට බාර කිරීමේ චාරිත්‍රයක් වර්තමානයේ දී ද ජනතාව අතර පවතී. දරුවා දළදා කරඬුව අසල තේවාවේ යෙදී සිටින වට්ටෝරුරාල අතට දුන් විට ඔහු බිලිඳා කරඬුව ඉදිරිපිට තබා දළදා හිමියන්ගේ රැකවරණයත් ආශිර්වාදයත් පතයි. මෙහිදී මව්වරුන් පෙරළා බිලින්දන්ව බලාගන්නේ කිසියම් පඬුරක් පූජා කිරීමෙන් පසුව බව හෝකාර්ට් සඳහන් කර තිබේ. පූජා කරන්නාගේත් පූජාවට බඳුන්වන්නාගේත් අපරිමිත ගෞරවය මෙහි දී ප්‍රකාශ වන අතරම, පෙරළා ආරක්‍ෂාව හා ආශිර්වාදය ලබාගැනීම ද ඉන් සිදුවෙයි. එසේම ආගමික ආයතනයකට සෘජුව වස්තු සම්පත් ප්‍රදානය නොකොට වක්‍රව පිදීම, ඇපයක් ලෙස ධන සම්පත් පවරා පූජාවට ලක් වූ තැනැත්තා ගලවාගැනීමේ දී සිදුවන බව කිව හැකි ය. එමෙන්ම සිය දරුවා දළදා සමිඳුන්ට බාරදීමක් ද මෙම අවස්ථාවේ සිදුවන අතර එමඟින් දරුවාට උපද්‍රවයක් ඇතිවීම ද වළකාලයි. තව ද සදාචාරවත් දරුවකු බවට සිය දරුවා පත්කිරීමේ අරමුණක් ද දෙමාපියන්ට මෙම අවස්ථාවේ ඇති වීම නොවැළැක්විය හැකි කරුණකි. සිය දරුවා දළදා සමිඳුගේ පිහිට ලබන බැවින් ඔහු හෝ ඇය සුචරිතවත්ව හැදිය යුතුය යන ආකල්පයක් ද නිතැනින්ම දෙමාපියනට ඇතිවීම හා ඒ ඔස්සේ දරුවා හදාවඩා ගැනීම තුළින් සමාජයට යහපත් දරුවකු ලබාදීමට හැකි වේ.

තවද දළදා සමිඳුන් කේන්ද්‍ර කොට දිවිරිල්ලක් ද සමාජය තුළ ඇතිවීම ඔස්සේ සත්‍ය අසත්‍ය විනිශ්චයේ දී එහි නිරවද්‍යතාවය පසක් කරලීම ද වැදගත් වේ. ගැමි සමාජය තුළ ‘දළදා හාමුදුරුවන් පල්ල’ යන්න හා ‘දළදාව පල්ල’ යන්නෙන් ඔවුන් දිවුරුම් ක්‍රමවේදය සකස් කොට ඇති අතර තමා කළ හෝ කී දෙය සත්‍ය බව පසක් කරලීමට මෙම වදන් භාවිත කිරීම වත්මන දක්වාම සමාජගතව පවතියි. සමාජයේ සත්‍ය අසත්‍ය බව මෙන්ම පුද්ගලයින් නීති ගරුක බව මෙන්ම සදාචාරවත්ය යන්න පසක් කරලීමට මෙලෙසින් සමාජය තුළ ගොඩනැඟී ඇති ආකල්ප වැදගත් වන බව පැහැදිලි කරුණකි.