Print this Article


ගිහි පැවිදි සබඳතාවය තහවුරු කරන නිකිණි පෝය

ගිහි පැවිදි සබඳතාවය තහවුරු කරන නිකිණි පෝය

උප වසථ උපෝසථ යනුවෙන් වස ධාතුවට උප යන උපසර්ගය එක්වීමෙන් උපෝසථ යන වචනය සෑදී ඇත. එහි තේරුම ළඟ වාසය කිරීම යන්න යි. එයින් කියැවෙන්නේ දෙවියන් ළඟ වාසය කිරීම යනුයි. වෛදික යුගයේදී බ්‍රාහ්මණයෝ පවා උපෝසථ දිනවලදී දෙවියන් මිනිසුන් ළඟට පැමිණෙන බව විශ්වාස කළහ. එනිසා බමුණෝ උපෝසථ දිනයන්හි ශුද්ධ ස්ථානයන්හි ගත කළහ. ත්‍රිපිටක ධර්මයෙහි ද පොහෝ දිනයන්හි සතර වරන් දෙවිවරු පින් කරණ මනුෂ්‍යයන් සොයා බැලීම පිණිස පැමිණෙන බව සංයුත්ත නිකායෙහි දේවතා සංයුත්තයේ දක්වා ඇත.

නිකිණි පෝය ශාසනික වශයෙන් වැදගත් කරුණු දෙකක් සිදුවී ඇති බැවින් විශේෂිත පොහෝ දිනයක් ලෙස සලකනු ලැබේ. බුදුරදුන් පිරිනිවන් පෑමෙන් තෙමසක් ගතවීමෙන් පසු ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට ආරම්භ කොට ඇත්තේ නිකිණි පොහෝ දිනයේ දී ය. එම සංගායනාව ධර්මය සුරක්‍ෂිත වීමට මහෝපකාරී විය. බුදුරදුන් පිරිනිවීමෙන් අඬන, වැළපෙන භික්‍ෂූන් දුටු බුඩ්ඪ පබ්බජිත සුභද්‍ර භික්ෂුව කී : “අලං ආවුසෝ මා සෝචිත්ථ, මා පරිදේවිත්ථ, සුමුත්තා මයං තෙන මහාසමණේන.” ඇවැත්නි සෝක නො කරන්න. නො වැලපෙන්න අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුණෝ වෙමු “ යන්න ඇසූ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ බුදුන් පිරිනිවීමෙන් තෙමසකට පසු ධර්ම සංගායනාවක් පැවැත්වීමට කල්පනා කළහ.

සුභද්‍ර වැනි බුඩ්ඪ පබ්බජිතයකුගේ වචනයට ධර්ම සංගායනාවක් බඳු බැරෑරුම් කටයුත්තක් කරන ලද්දේ ඔහුට පිටුපස විරුද්ධ බලවේගයක් පැවති නිසා යයි සිතිය හැකිය. බුදු දහමින් ප්‍රධාන වශයෙන් පහර වැදුණේ බ්‍රාහ්මණ ධර්මයන්ට ය. එහෙත් බුදුරදුන්ගේ අසාමාන්‍ය පෞරුෂත්වය මැඩ පැවැත්වීමට බමුණන්ට නො හැකි විය. බුදු රදුන් පිරිනිවීමත් සමගම බමුණු බලය හිස එසවූ බව සුභද්‍රගේ කථාවෙන් පැහැදිලි වෙයි.

බුදුරදුන් පිරිනිවීමට ප්‍රථම නිගණ්ඨනාථ පුත්‍රගේ අභාවය සිදුවිය. එතුමන්ගේ පිරිනිවීමත් සමගම නිගණ්ඨ ශාසනය සී සී කඩ විසිර ගියේය. එයත් ආදර්ශයට ගත් ශාසන භාර ධාරී මහතෙරවරු ධර්ම සංගායනාවක් කිරීමට සූදානම් වූහ. එම පළමුවැනි ධර්ම සංගායනාව නිකිණි පුර පසළොස්වක් පොහෝ දින සප්තපර්ණි ගුහාවෙහි ආරම්භ කොට තෙමසකින් නිමාවට පත් කළහ.

නිකිණි පුර පසළොස්වක දී පොහෝ විනය කර්ම කොට නිකිණි අව පෑලවිය දා පසුවස් එළඹිය යුතුය. වස්සාන සෘතුවෙහි භික්‍ෂූන් වහන්සේලා පෙරවස් හෝ පසුවස් එළඹිය යුතු ය. එසේ වස් නො එළඹුනහොත් උපසපන් භික්‍ෂුවකට දුකුළා ඇවැත් වන බව මහාවග්ගපාළියෙහි වස්සුපනායිකක්ඛන්ධයෙහි දක්වා ඇත. භික්ෂූන් වහන්සේලා පෙර වස් සමාදන් විය යුතුය. පෙර වස් වසන දිනයේ දී යම්කිසි කරදරයකට පත්ව වස් එළඹීමට නො හැකි වූ භික්ෂූන්ට පසුවස් විසීමට අනුදැන ඇත. පසුවස් සමාදන් වූ භික්‍ෂූන්ට කඨින චීවරයක් ලබා ගැනීමට අවස්ථාවක් නැත. හේතුව චීවර මාසය ඉක්මගොස් ඇති බැවිනි.

පෙරවස් විසීමට හෝ පසුවස් විසීමට හෝ වහලක් හා දොරක් ඇති ගෙයක් ම සොයාගත යුතුය. ගස්යට, එළිමහනෙ, කුඩ යට, ගස් දෙබලවල, ගස් බෙනවල, සොහොන් ගෙවල, ගාල, කරත්තවල වස් නො එළඹිය යුතු ය.

බුදුසසුන ආරම්භ වූ මුල් කාලයෙහි භික්‍ෂූන් ගත කළේ සංචාරී ජීවිතයකි. එදා දඹදිව ප්‍රාග් බෞද්ධ යුගයේ සිට පැවත එන සිරිතකි, වැසි කාලය එක තැනක සිටීම. එහෙත් මුල් බෞද්ධ භික්‍ෂූහු මේ ප්‍රතිපදාවට ගරු නො කර වැසි කාලයෙහිත් සංචාරය කළහ. ඒ දුටු පොදුජනයා දොස් නැගූහ. කුරුල්ලන් පවා වැසි කාලයෙහි එක් තැනෙක සිටින අතර ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ නිල් තණ පාගමින් සංචාරය කරති යි චෝදනා නැගූහ. මෙසේ මහජන උද්ඝෝෂණයට සවන් දුන් බුදුපියාණන් වහන්සේ “ අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” මහණෙනි වස් කාලයෙහි වස් විසීමට අනුදනිමි” යි වස්සාන ශික්‍ෂා පදය පැනවූහ. සමහර භික්‍ෂූන්ට කරදර ඇතිවීම නිසා වස්සානයෙහි වස් එළඹීමට නො හැකි වුහ. එබඳු භික්‍ෂූන්ට පසුවස් විසීමට අනුදැන වදාළ සේක.

වස් කාලය වස් සමාදන් වන භික්‍ෂූන් වහන්සේලාටත් වස් වසවා ගන්නා දායක දායිකාවන්ටත් ඉතා වැඩදායක කාල පරිච්ඡේදයකි. සිව්පස පහසුව ලබන භික්‍ෂූහු තම ශ්‍රමණ ප්‍රතිපදාවන් මස්තක ප්‍රාප්ත කරගනිති. එසේම සුපේශල ශික්‍ෂාකාමී එම භික්‍ෂූන්ට සිව්පසයෙන් සංග්‍රහ කිරීමෙන් දෙලොව යහපත පිණිස පවත්නා අනන්ත පින් රැස්කර ගනිති. එදා භික්‍ෂූහු බුදුරදුන්ගෙන් කමටහන් රැගෙන මහණදම් සපුරා ගැනීම සඳහා වස් වසන තැන් සොයා ගියහ. උන්වහන්සේලා දකින උපාසක උපාසිකාවෝ ඒ භික්‍ෂූන් සමග කතාබස් කොට තොරතුරු විචාරා වස් විසීමට සුදුසු ආරාම පිළියෙල කර දෙති. සිව්පස පහසුකම් ලබන භික්‍ෂූහු උගත් කමටහන් වඩා මගඵල ලබා ගනිති. දායක දායිකාවෝ ද භික්‍ෂූන්ට සංග්‍රහ කොට පින් රැස්කරගන්නා අතර බණ දහම් අසා ධර්මානුකූලව ජීවිතය සකසා ගනිති. බුද්ධ කාලයෙහි බෙහෙවින් මගඵල ලබාගෙන ඇත්තේ වස්සාන කාලයන්හිදී ය.

වස් කාලයන්හි දී ගිහි පැවිදි සම්බන්ධතාවය වඩාත් තහවුරු විය. මේ නිසා ශාසනය සුරක්‍ෂිත විය. එසේම නිතර ගිහි යන්ගේ ඇල්ම බැල්ම ලැබීම නිසා, ශික්‍ෂාකාමිත්වය දියුණු තියුණු විය. සිව් පසයෙන් සංග්‍රහ කරන දායක පක්‍ෂයට ප්‍රත්‍යුපකාර කිරීම් වශයෙන් ගිහියන්ගේ දෙලොව යහපත සැලසීම පිණිස පාපයෙන් වළක්වාලීම, කල්‍යාණ මිත්‍රයන් ඇසුරට පත් කිරීම, ගිහියන් කෙරෙහි කරුණා මෛත්‍රිය උපදවා ගැනීම, නො ඇසූ දේ ඇස්සවීමට සැලැස්වීම, ඇසූ දේ පිරිසුදු භාවයට පත් කිරීම, ස්වර්ග මාර්ගය කියා දීම ආදී ශ්‍රමණ යුතුකම් ඉටු කරති.

එසේ යුතුකම් ඉටුකරන ගිහියෝ ද භික්‍ෂූන් වහන්සේලාට ගෞරව දැක්විය යුතු ය. ගෞරව සම්ප්‍රයුක්තව කතා බස් කළයුතුය. උන්වහන්සේලාගේ හිත සුව පැතිය යුතුය. ඇති දේ නො සඟවා දිය යුතු ය. දාන මානාදියෙන් සංග්‍රහ කළ යුතුය. මෙසේ ඔවුනොවුන්ගේ යුතුකම් ඉටුවන විට ශාසනයත් චිරස්ථායි වනු නො අනුමානය.

නිකිණි පොහොයෙන් ආරම්භ වූ ප්‍රථම ධර්ම සංගායනාව නිසා ත්‍රිපිටක ධර්මය නිසි ලෙස ආරක්‍ෂා වු අතර ශාසනය චිරස්ථායි විය. පසුවස් සමාදානයේ ආරම්භය නිකිණි පොහොය වීම නිසා ඉහත සඳහන් ගිහි පැවිදි සම්බන්ධතාවය දියුණු වීම නිසා ශාසනයේ පැවැත්මට මහත් රුකුලක් විය. මෙම වැදගත් කරුණු දෙකම සිදුවූයේ නිකිණි පුර පසළොස්වක් පොහෝ දිනෙක නිසා නිකිණි පොහෝ දිනය ද අතිශය වැදගත් පොහෝ දිනයක් බවට පත්වී ඇත.