UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුනරුප්පත්ති ලිපි මාලාව - 31 විනයෙන් අග්‍ර වූ උපාලි මහ රහතන් වහන්සේ - 2

පුනරුප්පත්ති ලිපි මාලාව - 31

විනයෙන් අග්‍ර වූ උපාලි මහ රහතන් වහන්සේ - 2

පසුගියදා අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ ගෞතම බුදු සසුනෙහි විනයධර භික්‍ෂූන් අතර අගනැත්පත් උපාලි මහරහතන් වහන්සේගේ චරිතාපදානයේ පළමු කොටසයි. අද පළවන්නේ එහි දෙවන කොටසයි.

මා විසින් පිළිගන්වන ලද දානය වැළඳූ ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මනාව නිමවන ලද ඒ අරම ද පිළිගෙන මහ සඟන මැද මාගේ අනාගතය මෙසේ වදාළ සේක.

“යමෙක් මැනවින් කොට නිමවන ලද සංඝාරාමය බුදුරදුන් ප්‍රමුඛ මහ සඟනට පිදුවේ ද, මම ඔහු පිළිබඳ තොරතුරු කියන්නෙමි. එය මැනවින් අසන්න. ඇත් සේනාව ද , අස් සේනාව ද, රථ සේනාව ද, පාබල සේනාව ද යන මේ සිව්රග සේනාව නිතැතින්ම මොහු පිරිවරන්නාහු ය. මෙය සංඝාරාම පිදීමෙහි ආනිශංසයන් ය. සැට දහසක් තූර්ය භාණ්ඩ ද, මැනවින් අලංකාර වූ භේරීහු ද, නිතැතින් මොහු පිරිවරන්නාහු ය. මෙය සංඝාරාම පිදීමෙහි ආනිශංසයන් ය. මැනවින් අලංකාර කරන ලද විසිතුරු ආභරණ ඇත්තා වූ එල්වන ලද මිණිකොඩොල් ඇති, මහත් වූ දිගු ඇස් ඇති සතුට උපදවන ලීලා විලාස ඇති මනාවූ ශරීරාවයව ඇති සිහින් ඉඟ ඇති සොළොස් දහසක් ස්ත්‍රීහු නිරතුරුවම මොහු පිරිවරන්නාහු ය. මෙය සංඝාරාම පිදීමෙහි ආනිශංසයන් ය. කල්ප තිස් දහසක් මුළුල්ලෙහි දෙව් ලොව සිත් අලවා වාසය කරන්නේ ය. සක් දෙව්දුව දහස් වරක් දිව්‍ය රාජ්‍ය කරන්නේය. දෙව් රජ විසින් ලැබිය යුතු සියල්ලක්ම ලැබෙන්නේය. සියලු සම්පත් ඇත්තෙක්ව දිව්‍ය රාජ්‍ය කරන්නේය. දහස් වරක් රටෙහි සක්විති රජ වන්නේය. මහත් වූ පෘථිවි රාජ්‍ය ලබන වාර ගණන ප්‍රමාණ කළ නොහැක. “

කල්ප ලක්‍ෂයක් මත්තෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම වන්නා වූ ශාස්තෘන් වහන්සේ ලොව පහළ වන්නාහ. උන්වහන්සේගේ ඖරස පුත්‍ර වූ ධර්මයෙහි හිමිකම් ඇති, ධර්මයෙන් නිම් කළාක් වැනි වූ උපාලි නම් වූ බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය. විනයෙහි කෙළ පැමිණ කටයුතු නොකටයුතු දැනුමෙහි දක්‍ෂ වූයේ සම්බුද්ධ ධර්මය දරන්නේ අශ්‍රව රහිතව වාසය කරන්නේ ය. ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨ වූ ඒ බුදුරජාණන් වහන්සේ මේ සියල්ල දැන භික්‍ෂු සංඝයා මධ්‍යයේ දී හෙතෙම විනයෙහි අග්‍රස්ථානයේ තබන්නාහ.

අපමණ කලක සිට ඔබ වහන්සේගේ සසුනෙහි විනධාරීන් අතුරෙහි අග්‍රස්ථානය පතමි. සියලු සංයෝජනයන් ක්‍ෂය කිරීම නම් වූ ඒ අර්ථය මම විසින් ලබන ලදිමි. යම්සේ රාජ දඬුවමින් තැතිගත් පුරුෂයෙක් උලෙහි ඇමුණුනේ සැපයක් නොවිඳින්නේ ඉන් මිදීම කැමැති වන්නේ යම් සේද, මහා වීරයන් වහන්ස, මම ද එසේම භව නැමැති දඬුවමින් තැතිගත්තේ කර්මය නැමැති උලෙහි ඇමුණුනේ භව තෘෂ්ණාවෙන් මඩනා ලද්දෙමි.

යම් සේ සර්පයෙකු විසින් දෂ්ට කරන ලද පුරුෂයෙක් ජීවත්වීම කැමැතිව ඒ විෂ නසන, ආයුෂ රකින බෙහෙතක් සොයනුයේ එසේ විෂ නසන බෙහෙතක් ලැබ ඒ බෙහෙත අනුභව කොට විෂෙන් මිදීම පිණිස ඒ බෙහෙත බී සුවපත් වන්නේ ද එසේම මහා වීරයන් වහන්ස, මම විෂයෙන් මඩනා ලද පුරුෂයෙකු මෙන් අවිද්‍යාව නමැති විෂයෙන් පෙළුණේ සදහම් බෙහෙත සෙවූයෙමි. සදහම් බෙහෙත් සොයන්නේ සියලු ඖෂධයන්ට අග්‍ර වූ, රාගාදී සියලු උල් දුරු කරන්නා වූ ඒ සම්බුද්ධ ශාසනය දුටුවෙමි. මම සදහම් ඔසුව බී, ඒ සියලු සසර විෂ දුරු කළෙමි. අජරාමර වූ සිහිල් වූ නිවන ප්‍රත්‍යක්‍ෂ කළෙමි.

යම් සේ භූතයන් විසින් පෙළනා ලද පුරුෂයෙක් භූත ග්‍රහණයෙන් පීඩිත වූයේ, භූතයාගෙන් මිදීම පිණිස භූත වෛද්‍යයෙකු සොයන්නේ ද එසේ සොයන ඔහුට භූත විද්‍යාවෙහි දක්‍ෂයෙකු හමු වී, ඒ අරක්ගත් භූතයා නසන්නේ ය. සහමුලින්ම වනසන්නේ ය. මහා වීරයන් වහන්ස එසේම මම ක්ලේශන්ධකාරයෙන් පෙළුණේ ඒ අඳුරින් මිඳීම පිණිස ඤාණාලෝකය සෙවූයෙමි. ඉක්බිති කෙලෙස් අඳුරු දුරු කරන්නා වූ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ දුටුවෙමි. උන්වහන්සේ භූත වෛද්‍යයෙකු භූතාවේශය දුරු කරන්නාක් මෙන් මාගේ ක්ලේශන්ධකාරය දුරු කළ සේක. භූත වෛද්‍යවරයා භූතයා නැසුවාක් මෙන් සසර සැඩපහර සින්දෙමි. සියලු භවය මුලින් නැසුවෙමි.

යම්සේ ගුරුළෙකු තමාගේ ගොදුරවන නාගයා වෙත වේගයෙන් බසී ද මහසමුදුර හාත්පස යොදුන් සියයක් කලඹා ද ඒ ගුරුළු රාජයා හිස යටිකුරු කොට නාගයා ගෙන පෙළන්නේ කැමැති තැනකට ගෙනයයි ද මහා වීරයන් වහන්ස, එසේම මම ගුරුළා බිලි සොයන්නාක් මෙන් අසංකත වූ නිර්වාණය සොයන්නේ සියලු දෝෂයන් සෝදා හැරියෙමි. නිරුත්තර ශාන්ත පද වූ උතුම් නිර්වාණ ධර්මය දක්නා ලද මම ගුරුළා නාගයෙකු මෙන් ගෙන වාසය කරමි.

යම්තාක් කල් වැසි නොවසී ද, ඒ තාක් දීර්ඝ කාලයක් නමුදු කෙකනියෝ ගැබ් දරත් යම් කාලයක වසීද ඒ එකල්හි ඔවුහු ගැබ් බරින් මිදෙති. ධර්මය නමැති මේඝයෙන් ගර්ජනා කරන්නා වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධර්ම මේඝයාගේ ශබ්දය කරණකොට මම දහම් ගැබ් ගතිමි. කල්ප ලක්‍ෂයක පටන්ම මම ඒ රැස්කළ පින් නැමැති ගැබ් දරමි. ධර්මය නමැති මේඝය ගර්ජනා නොකරන කල්හි එම ගැබ් බරින් නොමිදෙමි.

ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්ස, යම් කලෙක්හි ඔබ වහන්සේ රම්‍ය වූ කපිලවස්ථු නගරයෙහි ධර්ම මේඝයෙන් ගර්ජනා කළ සේක් නම් මම ඒ පින් නමැති ගැබ් බරින් මිදුනෙමි. ආත්ම දෘෂ්ටිය විරහිත බැවින් ශූන්‍ය වූ ක්ලේශ නිමිති රහිත වූ බැවින් අනිමිත්ත වූ තෘෂ්ණා ප්‍රණීධ රහිත බැවින් අප්පණීහිත වූ විමෝක්‍ෂ ධර්මය ද චතුර්විධ ශ්‍රමණඵල ද යන මේ සියලු ධර්මයන් මම ඉපිද වූවෙමි හෙවත් අවබෝධ කළෙමි.

සටහන: බණ්ඩාර පිළවල


පුනරුප්පත්ති ලිපි මාලාව - 30 බුදු ගුණ කීමෙහි අනුසස් පවසන පුණ්ණ ථෙර චරිතාපදානය

 

නිකිණි පුර අටවක පෝය

 අගෝස්තු මස 14 වැනි දා බදාදා පූර්ව භාග 05.10 ට ලබයි.
15 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 03.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 14 වැනිදා බදාදා ය.

මීලඟ පෝය
අගෝස්තු 20 වැනි දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 14

Full Moonපසෙලාස්වක

අගෝස්තු 20

Second Quarterඅව අටවක

අගෝස්තු 28‍

New Moonඅමාවක

සැප්තැම්බර් 04


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]