Print this Article


වැලිකන්දගම සංඝශීලි ආරාමය

වැලිකන්දගම සංඝශීලි ආරාමය

සිල්මාතාවන්ගේ සැනසිලිදායක දිවිපෙවත තුළින් වඩාත් සෞම්‍යවන සංඝශීලි සිල්මාතා ආරාමය ප්‍රදේශවාසී බොහෝ පිරිසකට නිරතුරු හිත වැඩ සලසන්නේය.

මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වැලිකන්දගම අක්කර පනහවත්තේ මේ අරම පිහිටා තිබේ.


ආරාමාධිපතිනී හසලක සංඝශීලි සිල්මාතාව සහ කැන්දගොල්ල සුබෝධනී සිල්මාතාව

සංඝශීලි ආරාමය 2002 වර්ෂයේදී ආරම්භ කරන්නට යෙදුණේ නාවික ඉංජිනේරු කපිල ජයසිංහ මහතාගේ ඉඩම් පරිත්‍යාගයෙනි. එවක පටන් ආරාමාධිපතිනිය ලෙස හසලක සංඝශීලි සිල් මෑණියන් වහන්සේ කටයුතු කරන අතර කැන්දගොල්ල සුබෝධනී සිල් මෑණියන්ගෙන් ආගමික, සමාජීය කාර්යයන්හි ලා ආරාමාධිපති මෑණියන් වහන්සේට ලැබෙනුයේ වෙසෙස් සහායකි.

බෝධින් වහන්සේ, බුද්ධමන්දිරය, අටවිසි බෝධි ප්‍රාකාරය, ඝණ්ඨා කුලුණ සහ මෑණියන්වහන්සේ සඳහා වන වැඩසිටින ගෙය ඇතුළු ආරාමයේ අංග මැනැවින් ගොඩනගා පවත්වාගෙන යෑමට දායක සභාව වෙතින් ලැබෙනුයේ මහත් උපකාරයකි. අක්කර පනහ වත්ත, වැලිකන්ද, අලුගොල්ල, රන්තැටියාවත්ත සහ කෙසෙල්වත්ත ඇතුළු ගම්මානවල දිවිගෙවන ජනතාව සංඝශීලි ආරාමය නිරතුරු ඇසුරු කරන පිරිස වෙති.

විශේෂයෙන් මෙරට කාන්තා පරපුර කෙරෙහි බෞද්ධ හැදියාව, ලැදියාව ඇති කිරීමටත්, ඔවුන්ගේ ජීවිත ගමනට අවැසි නිසි මඟපෙන්වීම ලබාදීමටත් මෙබඳු සිල් මාතා ආශ්‍රමයන් වෙතින් ඉටුවනුයේ ඉහළ මට්ටමේ සේවයකි. එබැවින් මේ සා සමාජ සේවාවකට උරදී සිටින අප රටේ සිල් මෑණිවරුන්ගේ ධර්ම ශාස්ත්‍රිය සේවය වඩාත් ප්‍රශස්ත තත්ත්වයකට ගොඩනඟාලීමටත් එතුමියන්ගේ සුවදුක් නිරතුරු සොයා බලා පහසු ජීවන තත්ත්වයක් සලසාලීමටත් අපි ඇප කැප විය යුත්තෝ වෙමු.