Print this Article


කෝකිලායි සම්බෝධි විහාරයේ පින්කම්

 කෝකිලායි සම්බෝධි විහාරයේ පින්කම්

මුලතිව් හි කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ ඉදිකර ඇති පිංතාලිය ජනතා සේවය වෙනුවෙන් කැප කිරීම හා ඉදිකෙරෙන චෛත්‍යය සඳහා මුල්ගල තැබීමේ උත්සවය මේ මස 10 වෙනිදා විහාර භූමියේදි පැවැත්විණි.

9 වෙනිදා විවෘත කරන ලද ආවාස ගෘහයෙහි සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පැවැති අතර පසුදා පෙරවරු 8. 30 ට පිංතාලිය ජනතාව වෙනුවෙන් කැප කිරීම සිදුවිණි. එදිනම පෙරවරු 11. 00 ට නව චෛත්‍යයට මුල්ගල තැබීම ද සංඝගත දක්‍ෂිණාවක් ද පිරිනැමිණි. විහාරස්ථ සංවර්ධන සමිතිය විසින් ගොඩනගන ලද පිංතාලිය හා එය ආවරණිත පැන් හල 1997 දී එල්. ටී. ටී. ප්‍රහාරයකින් මිය ගිය ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු වන වින්කමාන්ඩර් තිලින චන්දිම කළුආරච්චි හා ෆ්ලයිට් ලුතිනන් ධනේෂ තුෂාර ගුණසේකර යන මහත්වරු අනුස්මරණය කරනු වස් ගොඩනගන ලද්දකි.

පිංතාලිය විවෘත කිරීම හා චෛත්‍යයට මුල්ගල තැබීම ජනාධිපති සම්බන්ධීකාරක ලේකම්, දයා ගාල්ලගේ වීරතුංග මහත්මිය හා ඉතුරුම් බැංකුවේ වැඩ අධ්‍යක්‍ෂක සනත් වීරතුංග මහතා ආරාධිත අමුත්තන් ද, උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ මෙන්ම මුලතිව් හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක සභාපතිවරුන් හා ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදාව සහ පොලිස් ප්‍රධානීන්ගේ ද සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙම පිංතාලිය ත්‍රිකුණාමල මුලතිව් මාර්ගයේ ගමන් ගන්නා ජනතාවට මෙන්ම විහාරයට යාබද රජයේ රෝහලට පැමිණෙන රෝගීන්ට ද ඉමහත් සෙතක් සලසනු ඇති බව ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශ්‍රී තිස්ස පුර ගුණරතන හිමියෝ පවසති.