Print this Article


බහුජන හිත සුව සලසන ඕමල්පේ පුරාණ ටැම්පිට විහාරස්ථානය

ඕමල්පේ පුරාණ ටැම්පිට විහාරස්ථානයේ සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍ය රාජයාණන් වහන්සේ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය අගෝස්තු 8 වැනිදා සිදු කිරීමට නියමිතය. ඒ නිමිත්තෙන් පින්කම් රැසක් ඊයේ (5 වැනිදා) සිට 8 වැනිදා දක්වාම විහාරස්ථානය ඇසුරු කරගෙන සිදු කෙරේ.


අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ

රත්නපුර දිශාවේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඕමල්පේ පුරාණ ගම්මානය මෙකල රුහුණු සංවර්ධනයත් සමඟ දියුණු වෙමින් පවත්නා ප්‍රදේශයකි. මහා මාර්ග, විදුලිය, සෞඛ්‍ය, අධ්‍යාපනය මෙන්ම ගැමි ජනතාවගේ ආර්ථික පසුබිම ද යහපත්ය. ඇඹිලිපිටිය නගරයේ සිට පනාමුර හරහා ඌරුබොක්ක මාර්ගයේ සැතැපුම් 15 ක් පමණ දුරකින් මෙම පෞරාණික ඕමල්පේ ගම්මානය සහ දෙමහල් ටැම්පිට විහාරස්ථානය පිහිටා ඇත.

මිහිඳු සංස්කෘතියට අනුව ලක්දිව පුරාණ ගම්මාන සංවර්ධනය වූයේ වැවයි, දාගැබයි, කෙතයි, පදනම් කරගෙනයි. ඕමල්පේ ගම තුළද මෙකී පදනම පිහිටියේය. සරුසාර කෙත් යායට ඉහත්තෑවේ කුඩා කඳු ගැටයක් මත ගමේ පන්සල, පිහිටා ඇත.

මෙකල ඕමල්පේ ගමට වැවක් නොතිබුණද, පුරාණයේ පැවැති ලොකු වැවක නටබුන් දක්නට ලැබේ. එදා මෙම වැවෙහි ඕලුමල් බහුලව පැතිරී පැවැතීම හේතු කොට ගෙන මෙම ගමට ඕමල්පේ (ඕලු මල් පේ ) යන්න වහරන්නට ඇතැයි කිව හැකිය. තවද පිරිසුදු උල්පත් ජලය බහුලව පැවැතීම ඕමල්පේ සහ කැම්පනේ, දොරපනේ යන යාබද ගම්මානවල විශේෂ ලක්ෂණයකි. ඕමල්පේ ගම මධ්‍යයේ පිහිටි ‘ගමරාළගේ ළිඳ’ නමින් හැඳින්වෙන ඉපැරැණි ළිඳෙන් උතුරා පිටාර ගලන වේල්ලෙන් දකුණූ දිශාව පෝෂණය වන නිල්වලා ගංගාව ආරම්භ වන්නේ යැයි ජනප්‍රවාදයක්ද පවතී. මෙම ජල උල්පත් පදනම් කරගෙන ඕමල්පේ ගමේ නම නිර්මාණය වන්නට ඇතැයි ද පිළිගැනේ.

මහනුවර යුගයේදී ප්‍රචලිත වූ දේශීය ගෘහ නිර්මාණ ලක්ෂණ කියාපාන නිර්මාණයක් ලෙස ටැම්පිට විහාර හැඳින්වේ. උඩරට මෙන්ම සබරගමු දිශාවේ ටැම්පිට විහාර තැනීම 17,18 සියවස්වල සිට විහාර නිර්මාණයේ අංගයක් විය. රත්නපුර දිස්ත්‍රික්කය තුළ ටැම්පිට විහාර මන්දිර හතක් හඳුනාගෙන ඇත. එයින් දැනට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ප්‍රතිසංස්කරණය කරනු ලැබ ඇති, ඕමල්පේ දෙමහල් ටැම්පිට විහාර මන්දිරයට ප්‍රමුඛත්වයක් හිමිවේ.


අටවිසි බුදුමැදුර

මහනුවර යුගයේ චිත්‍ර, මූර්ති හා ටැම්පිට පිළිම ගෙවල් පිළිබඳ ගවේෂණය කරන කලාකරුවනට කදිම ස්ථානයකි ඕමල්පේ පුරාණ විහාරය. ටැම්පිට පිළිමගෙය යනුවෙන් අදහස් කරන්නේ ඔප මට්ටම් කරන ලද ගල් කණු චතුරශ්‍රව සිටුවා එහි මත කල්පවතින වටිනා දැව බාල්ක යොදා ඝණකම ලෑලි තට්ටුවක් මත පිළිමගෙය තැනීමයි. පෙති උළු සෙවෙණි කරන ලද වහළකින් යුක්තය. උඩ තට්ටුවට නැඟීම සඳහා ලී තරප්පු පෙළක් සවි කර ඇත. පිළිම ගේ තුළ බුද්ධ ප්‍රතිමා සහ ශ්‍රාවක ප්‍රතිමා නිර්මාණය කර තිබේ. බිත්තිවල බෝසත් චරිතය සහ බුද්ධ චරිතය ඇතුළත් විවිධ ජාතක නිරූපණය කරන සිතුවම් ඇඳීම සියලු විහාරවල පොදු ලක්ෂණයකි. සිවිළිමෙහි විවිධ මල්කම්වලින් සමන්විතය.ඕමල්පේ ටැම්පිට විහාරයේ එක් විශේෂත්වයක් වශයෙන් දක්නට ලැබෙන්නේ ද්වාරයෙහි ඇඳ තිබෙන පුන්කලසක් සහිත අලංකාර පොල්මලයි. බුද්ධ ප්‍රතිමාව අසල නෙළුම් මලක් අතින් ගත් ස්ත්‍රී රූපයක්ද දක්නට ලැබීම තවත් විශේෂත්වයකි. මෙම විහාරගෙයි බිම් මහල සංඝයා වහන්සේට පොහොය කර්ම ආදී විනය කර්ම සඳහා වෙන්ව තිබෙයි. ඕමල්පේ පුරාණ විහාරස්ථානයේ ආරම්භය කෙදිනකද යන්න දැන ගැනීමට ලිඛිත සාධක නැතත්, ඇහැළෙපොල අදිකාරම් සහ කැම්පනේ ජයසුන්දර මුදලි විසින්ද, ඕමල්පේ විසූ තෙන්නකෝන් මුදලි විසින්ද දෙන ලද ඉඩම් පූජා පත්‍ර දෙකක් විහාරස්ථානය සතුව පවතී. තවද පහත සඳහන් පද්‍යයෙන්ද මෙහි ඉතිහාසය තහවුරු වේ.

වසිණ එක්දහස් සත්සිය දෙසාලි ස
මසිණ පොසොන් පුර පසළොස් රිවිදව ස
නමිණ ගරු තෙන්නකෝන් අගමැති නොල ස
විසිණ නිම කෙරෙවු මුණි මැදුරය මෙව ස


ටැම්පිට විහාරය

ඕමල්පේ ටැම්පිට විහාර මන්දිරයේ පිළිම ගෙයට පිවිසෙන ප්‍රධාන දොර උළුවස්සට ඉහළින් බිත්තියෙහි මෙම පද්‍ය අදටත් දක්නට ලැබෙයි. මේ කවියට අනුව, මෙම ටැම්පිට විහාරය ඕමල්පේ විසූ තෙන්නකෝන් මුදලි විසින් වර්ෂ 1742 පොසොන් මස පසළොස්වන දින තනා නිමකර පූජා කරන ලද බව කියැවෙයි. වෙනත් නමක් මෙම පද්‍යයට ඇතුළත් නොවීමෙන් තහවුරු වන්නේ, තෙන්නකෝන් මුදලි මෙහි ප්‍රධානත්වය දැරූ බවයි. විහාර මන්දිරය තැනීමේදී වලල්ගොඩ ටැම්පිට විහාරය කරවූ අලහකෝන් මුදලිගේ ද දායකත්වය ලැබුණ බවට ජනප්‍රවාද තොරතුරු සටහන් දක්නට ලැබෙයි.

නුවර යුගයේ ශ්‍රී පාදස්ථානාධිපතිව විසූ වේහැල්ලේ ශ්‍රී ධම්මදින්න නාහිමි සඟපරපුරට අයත්, රොටුඹ රේවත මාහිමියන්ගේ පටන් අදවන තුරු සඟ පරපුරෙහි නාමයන් ලේඛනගතව ඇත. ඒ අනුව කෑල්ලේ ශ්‍රී සරණපාල සුනන්ද මාහිමි, බෙන්ගමුවේ සීලානන්ද හිමි, කෑල්ලේ ශ්‍රී සාරානන්දාභිධාන සබරගමු පළාතේ අනු නාහිමි, කර්මාචාර්ය දාපනේ ධම්මානන්ද මාහිමි සහ වත්මන් සබරගමු පළාතේ මල්වතු පාර්ශවයේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත කෑලිගම විජිතනන්ද නාහිමි යන මහා සංඝ නේතෘන් වහන්සේ ඕමල්පේ පුරාණ විහාර සංඝ පරපුරට අයත් වෙති.

ඕමල්පේ පුරාණ විහාරස්ථානය මූලික කරගෙන රත්නපුර දිස්ත්‍රික්කය පුරා පැතිරුණු විහාර ශාඛා රැසක් වේ. එමඟින් බිහිවූ පැවිදි, ගිහි සද්පුරුෂ උතුමන් වෙතින් ලක්දිව සම්බුදු සසුනටත්, සමාජ සංවර්ධනයටත් අතිමහත් සේවයක් සැලැසේ.

තවද විශේෂයෙන් ඕමල්පේ නමැති පුණ්‍ය ග්‍රාමයෙන් බිහිව ලක් සඟසසුන ආලෝකමත් කරමින් අතීතයේ සිටම අතිවිශාල භික්ෂු පිරිසක් වැඩ සිටි අතර දේශීය හා විදේශීය වශයෙන් උන්වහන්සේ ගේ සේවය පැතිර පැවතීම මහත් වාසනාවකි. ඒ අතර ශ්‍රී‍්‍ර ලංකා රාමඤ්ඤ මහ නිකායේ, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ද ප්‍රකට භික්ෂු චරිතයකි.

ඕමල්පේ පුරාණ ටැම්පිට විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති ප්‍රවීණාචාර්ය දාපනේ පඤ්ඤානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ දායක කාරකාදීන්ගේ සහායෙන් විහාරස්ථානයට නව අංග කිහිපයක් එක්කර ඇත. ඒ අතර 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම් වස් අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ගොඩනැඟීම විහාරස්ථානයට පැවති අඩුපාඩුවක් සපුරාලීමකි. අටවිසි බුදුමැදුරක් ඉදිකර, පැරැණි බෝධිඝරය ප්‍රතිසංස්කරණය කිරීම සහ ප්‍රාකාරාදිය බැඳවීම ආදිය තුළින් විහාරස්ථානයට නව ආලෝකයක් ලබාදී තිබීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි.

නව විහාර කර්මාන්ත කරවීමෙන්ද ලෝ සසුන් වැඩ සදාලීමෙන්ද ඕමල්පේ පුරාණ ටැම්පිට විහාරස්ථානයෙන් ඉටුවන මහාර්ඝ සේවය තුටුපහටු සිත් ඇතිව අපි අගය කරමු.