Print this Article


කතරගම ඇසළ පෙරහර

කතරගම ඇසළ පෙරහර

බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පරම පවිත්‍ර තාවයට පත්වූ කතරගම පුදබිම බෞද්ධ සැදැහැවතුන්ගේ මෙන්ම හින්දු, ක්‍රිස්තියානි ඉස්ලාම් ආදි සෑම ආගමකටම ,ජාතියකටම අයත් බැතිමතුන්ගේ පූජෝපහාරයට පත් පුදබිමකි. සහෝදරත්වයෙන් යුතුව එකට එකතුවී පුද පූජාවන්ට සහභාගි වන ලෝකයේ ඇති සාම පුදබිම කතරගමයි.

බෞද්ධ සැදැහැවතුන් සාධු නාද දෙමින්ද හින්දු බැතිමතුන් හරෝ හරා කියමින් පූජාවන් පවත්වති.

දඹදිවින් වැඩම කළ ජය ශ්‍රී මහා බෝධි අංකුරය අනුරාධපුරයේ රෝපණය කරන ලද අවස්ථාවේදී හටගත් බෝ අංකුර අටෙන් එකක් කතරගම මහා දේවාලය සමීපයේ රෝපණය කර ඇත. අෂ්ඨඵල බෝධින් වහන්සේගේද එක් ස්ථානයක ඇසළ පෙරහර සඳහා කප් සිටුවන දිනවල දී ‘රන්වන් බෝපත්’ හටගැනීමද සිදුවෙයි.

කතරගම ඇසළ පෙරහර මතක් වන විට සිහියට නැගෙන්නේ මූණු සයක්, අත්දොළසක් ඇති, මයුරා පිට වැඩ සිටින තේජෝ බලැති ශ්‍රී ස්කන්ධකුමාර කතරගම දෙවියන්ය.

ඇසළ පෙරහර

රුහුණු පුරවරය ආලෝකමත් කරමින් පැවැත්වෙන ඇසළ පෙරහර සඳහා කප් සිටුවීම ජුනි මස 24 දින කතරගම මහාදේවාලයේ කපු මහත්වරුන් විසින් දේවාලයේ මිනිබැඳී මණ්ඩපයේදී සිදුකරන ලදී.

කප් සිටුවීම අනුව දින 44 ක් සම්පූර්ණ වන විට ඇසළ පෙරහර ඇරඹීම පෞරාණික චාරිත්‍රයකි.

ඇසළ පෙරහර ඇරඹීමට ප්‍රථම අගෝස්තු මස 06 දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් කතරගම මහා දේවාලය සමීපයේ ඇති විශේෂ පිරිත් මණ්ඩපයේදී රුහුණු, කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා සධාතුක කරඬුව වැඩම කරවීමෙන් ඇරඹෙයි.

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ඌව විශ්ව විද්‍යාලයේ කුලපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා සහභාගි වෙති.

අගෝස්තු මස 07 දින කතරගම ඇසළ මහා පෙරහර ඇරඹෙයි. ඇසළ පෙරහර ඇරඹීමට ප්‍රථම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ,නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය කතරගම මහා දේවාලයට වැඩම කර සෙත්පිරිත් දේශනා කර පිරිත් පැන්දී පිරිත් නූල් බැඳ පෙරහරේ ගමන් කරන බස්නායක නිලමේතුමා, අදිකාරම්, ලේකම්, කපු මහත්වරුන්ට ආශිර්වාද කිරීම සිදුකරනු ලැබේ.

කතරගම මහා දේවාලය දෙවියන් වැඩම කරවීමෙන් ඇසළ පෙරහර ඇරඹෙයි. කතරගම මහා දේවාලයෙන් ඇරඹෙන පෙරහර මහා වාසල් දොරටුවෙන් මහාවීදියට පිවිස එම වීදියේ ගමන්කර වල්ලිඅම්මා දේවාලයට පැමිණේ.

වල්ලිඅම්මා දේවාලයේදී පෞරාණික චාරිත්‍ර පුදසිරිත් ඉටුකිරීමෙන් පසුව පෙරහර මහාවීදියේ ගමන්කර මහා දේවාලයට ගෙවදිනු ඇත.

අගෝස්තු මස 08 දින සිට පෙරහර මහා දේවාලයෙන් ආරම්භ වී පිටවීදියේ ගමන්කර වල්ලිඅම්මා දේවාලයට ගොස් පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටුකිරීමෙන් පසුව මහාවීදියේ ගමන්කර මහා දේවාලයට ගෙවදිනු ඇත.

අගෝස්තු මස 12 දින පෞරාණික චාරිත්‍ර රැසක් පැවැත්වෙන 6 වන පෙරහර පැවැත්වේ.

මෙදින කතරගම මහා දේවාලය ඉදිරිපිට ඇති අතුපන්දලමට අලුතින් අතු දමා සකස්කිරීම, කඩොල් ඇතාගේ දළ දෙක කතරගම දේවාල තිරය දෙපස තැන්පත් කිරීම

බස්නායක නිලමේතුමාගේ නිල නිවාසයේ බස්නායක වලව්වේ මහා සංඝරත්නය වෙනුවෙන් දානමය පින්කමක් පැවැත්වීම රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා චාරිත්‍රානුකූලව ඇසළ පෙරහරේ ගමන්කිරීම ඇරඹෙයි.

ගිනි පෑගීම

ඇසළ පෙරහරේ උත්කර්ෂවත් අවස්ථාවක් වන ගිනි පෑගීම අගෝස්තු මස 17 වන දී ඇසළ පෙරහර වීදි සංචාරය කිරීමෙන් පසුව පැවැත්වේ. වාර්ෂිකව විශාල බැතිමතුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වෙති.

දෙවේලේ පෙරහර

අගෝස්තු මස 18 දින සිට ඇසළ පෙරහර වීදි සංචාරය කිරීමෙන් පසුව මධ්‍යම රාත්‍රියේ තවත් පෙරහරක් කතරගම මහා දේවාලයෙන් ආරම්භ වී පළමු පෙරහර ගමන්කළ වීදිවලම ගමන්කර වල්ලිඅම්මා දේවාලයට ගොස් පුද සිරිත් ඉටුකර මහා දේවාලයට ගෙවදිනු ඇත.මෙයට දෙවේල් පෙරහර යනුවෙන් හැඳින්වේ.

මහාපෙරහර

අගෝස්තු මස 20 දින ඇසළ මහා පෙරහරේ අවසාන මහා පෙරහර පැවැත්වේ. කතරගම මහා දේවාලයෙන් ඇරඹෙන ඇසළ පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරයේ බුදුපෙරහර පෙරටු කරගෙන වෙහෙර වීදියේ ගමන්කර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණේ.

කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයෙන් ඇසළ පෙරහර සමයේ ඉටුකරන ලද හා පිරිත් නිල රාජකාරිය වෙනුවෙන් පුද පඬුරු බස්නායක නිලමේතුමා විසින් කිරිවෙහෙර රාජමහා විහාරාධිපති නාහිමියන්ට පිළිගැන්වීම සිදුකෙරේ.

කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී ආගමික කටයුතු පැවැත්වීම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ඌව විශ්වවිද්‍යාලයේ කුලපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය විසින් සිදුකරනු ලැබේ.

ආගමික කටයුතු පැවැත්වීමෙන් අනතුරුව පෙරහර වෙහෙර වීදියේ ගමන්කර දේවාල මළුවෙන් පිටවීදියට පිවිස වල්ලිඅම්මා දේවාලයට ගොස් පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටුකර මහාවීදියේ ගමන්කර මහා දේවාලයට ගෙවදිනු ඇත.

දියකැපීම

අගෝස්තු මස 21 දින උදෑසන කතරගම මහා දේවාලයෙන් ඇරඹෙන දියකපන පෙරහර පිටවීදියේ ගමන්කර වල්ලිඅම්මා දේවාලයට පැමිණේ. එම දේවාලයේ සිට මැණික්ගඟට පිවිස මැණික් ගඟ ඉහළ “ජීවමැලි තොටුපළේදී දියකපා ශුද්ධවූ ජලය ගෙන මැණික් ගඟ පහළට ගමන්කර වල්ලි අම්මා දේවාලයට පැමිණේ. එම දේවාලයේදී දිය කපා ගෙනෙන ලද ශුද්ධ වූ ජලය බැතිමතුන්ට බෙදාදීම සිදුකෙරේ. දියකපන පෙරහර කතරගම මහා දේවාලයට ගෙවදීමෙන් ඇසළ පෙරහර කටයුතු අවසන් වෙයි.

පෞරාණික චාරිත්‍ර පුද සිරිත් වලට මුල්තැනක්දී උඩරට පහතරට සබරගමුව හා රුහුණු ප්‍රදේශයට ආවේණික මොනර,සිංහ, හනුමන්ත හා භක්ති කාවාඩි නැටුම් වලින්ද අලි ඇතුන්ගෙන්ද යුතුව ඉතාමත් අලංකාර පෙරහරක් පැවැත්වීමට රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කටයුතු සංවිධානය කර ඇත.