Print this Article


මහනුවර ඇසළ පෙරහරට කප් සිටුවීම

මහනුවර ඇසළ පෙරහරට කප් සිටුවීම

වාර්ෂිකව පෙරහර පැවැත්වීම සඳහා දින වකවානු තීරණය කැර සංවිධාන කටයුතු නිම කිරීමෙන් පසු පෙරහරේ ආරම්භය සනිටුහන් කරමින් සිදුකරන්නාවු පළමු චාරිත්‍රය වන්නේ සුබ මුහුර්තියෙන් කප් සිටුවීමයි. මෙවර මහනුවර ඇසළ මංගල්‍යය සඳහා සතර මහා දේවාලයන්හි කප් සිටුවීම නිකිණි මස 07 දින පෙරවරු 07 පසු වී විනාඩි 59 ට උතුරු දිශාභිමුඛව කප් සිටුවීමට නියමිතය

දෙස් විදෙස් බෞද්ධ අබෞද්ධ ජනතාවගේ නොමඳ අවධානය ට පාත්‍ර වන්නාවු හෙළයේ මහාකලා මංගල්‍යය ලෙසින් සියවස් ගණනාවක් අඛණ්ඩව පැවැත එන්නා වූ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වන්නේ සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙනි.

වාර්ෂිකව පෙරහර පැවැත්වීම සඳහා දින වකවානු තීරණය කැර සංවිධාන කටයුතු නිම කිරීමෙන් පසු පෙරහරේ ආරම්භය සනිටුහන් කරමින් සිදුකරන්නාවු පළමු චාරිත්‍රය වන්නේ සුබ මුහුර්තියෙන් කප් සිටුවීමයි. මෙවර මහනුවර ඇසළ මංගල්‍යය සඳහා සතර මහා දේවාලයන්හි කප් සිටුවීම නිකිණි මස 07 දින පෙරවරු 07 පසු වී විනාඩි 59 ට උතුරු දිශාභිමුඛව කප් සිටුවීමට නියමිතය.

කප යනු කණුව, කැප කිරීම යන තේරුම ගෙන දෙන වචනයකි. වැදගත් කාර්යයක් ආරම්භයේ දී ඒ සඳහා පේවීමක්, කැපවීමෙන් එය සාර්ථක අවසානයක් තෙක් ගෙන යෑමත් මෙමඟින් අපේක්‍ෂා කරයි. ශි‍්‍ර දළදා මාලිගාව මගින් කප් සිටු වීම සඳහා සුදුසු නැකත් පිළියෙළ කැරදෙන නමුත් දළදා මැදුරේ කප් සිටුවීමක් සිදුකරනු නොලබයි. එය සිදු කරනු ලබන්නේ නාථ , විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාල යන්හිදීය.

කප ලබාගැනීම සඳහා තෝරා ගනු ලබන්නේ ඵල නොදරන පුරුෂ ලිංගික (වරකා) පණස වෘක්ෂයකි. අලුත්නුවර දේවාල භූමියෙන් මෙම කප සඳහා සුදුසු පණස වෘක්ෂය තෝරා ගැනීම පෞරාණික චාරිත්‍රයකි. එම දේවාලයේ ප්‍රධාන කපුරාළ ගස තෝරා ගැනීමෙන් පසු ඒ වටා පිරිසුදු කැර සුවඳ දුම් අල්වා, පැන් ඉස පහන් නවයක් දල්වනු ලබයි. බුලත් කොළ නවයක් මත මල් වර්ග නවයක් තබා පුද පූජා කිරීමෙන් පසු දේවාලයේ ගස් කපන්නා සුදුවතින් සැරසී පැමිණ නැගෙනහිර දෙසට වැටෙන සේ ඇති අත්තක් බිමට බා ගනු ලැබේ.

අනතුරුව ඉන් දිගින් අඩි 2 ක් පමණ වන කැබලි 04 ක් කපා ගනී. සඳුන් කිරිපැන් වලින් නහවා මෙම අතු කැබැලි වලින් පළමුවැන්න නාථ දේවාලයටත්, දෙවැන්න විෂ්ණු දේවාලයටත්, තෙවැන්න කතරගම දේවාලයටත්, සිව්වැන්න පත්තිනි දේවාලයටත් බෙදා දෙයි.

පංච තූර්ය නාද මධ්‍යයේ මෙම කප සතර මහා දේවාල වෙත වැඩම කරවීමෙන් පසු ශ්‍රී දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාල විසින් සකස් කැරදෙන සුබ මුහුර්තියකට අනුව ඒ ඒ දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය සිදුකරයි. වට තිර ඇද උඩුවියන් බැඳ දේවාලය ඉදිරිපිට මනාව සකසන ලද ස්ථානයක කප සිටුවීමත් සමඟ ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වෙයි. සුදුරෙදි කඩකින් ඔතා කුඩා වළක් තුළ ඍජුව සිටින සේ පණස වෘක්ෂ කොටස සිටුවන අතර පෙරහර මංගල්‍යය නිමවෙන තෙක් එය එලෙසින්ම පවතී. කප උදුරන තෙක් ඒ වටා ලෙලි පොල්ගෙඩි තුනක් තබා පහන් දැල්වීම අද ද නොනැසී පවත්නා චාරිත්‍රයකි.

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට හා සතර මහා දෙවිවරුන්ට පූජෝපහාර පිණිස මෙන්ම නිසි කාලයට වැසී ලැබී ගොවිතැන් කටයුතු සාර්ථක වී රට සෞභාග්‍යත්වයට පත්වේවායි ප්‍රාර්ථනය කැරමින් ඇසළ පෙරහර පවත්වන බව ඉතිහාසයේ දැක්වෙයි. වර්ෂාවට අධිපති ඉන්ද්‍ර දෙවියන් වෙනුවෙන් මෙම කප් සිටුවීම සිදුකරන බව ජනප්‍රවාදයේ එයි. කප් සිටුවීමෙන් පසු පුරා දින පහක් මෙම කප වටා දේව ආභරණ පෙරහරින් වඩමවයි. මෙය හඳුන්වන්නේ දේවාල අභ්‍යන්තර පෙරහර නමිනි.

පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වීමෙන් පසු කුඹල්පෙරහර දින පහක්ද, රන්දෝලි පෙරහර දින 05 ක්ද වීදි සංචාරය කරයි.අවසන් රන්දෝලි මහ පෙරහරින් පසු ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර අස්ගිරිය ගෙඩිගේ විහාරය වෙත ගමන් ගනී. පෙරහර කරඬුව එදින ගෙඩිගේ විහාරයේ තැන්පත් කැරෙන අතර සතර මහ දේවාල පෙරහර දිය කැපීමේ මංගල්‍යය සඳහා ගැටඹේ තොට බලා ගමන්ගනී. පෙරහර මංගල්‍යය ආරම්භ කැරෙමින් ඒ ඒ දේවාලයන්හි සිටවූ කප උගුල්වා පෙරහරින් වැඩම කර දියකැපීම් මංගල්‍යය අවස්ථාවේ එය ජලයේ පාකර හරී. එය අල්ලා ගැනීමට ගංඟාවේ පහළ විශාල පිරිසක් බලා සිටින අතර එයට හේතුවී ඇත්තේ ජලයේ පාවී එන කප අල්ලාගෙන තම කෙත්වතු වල සිටුවීමෙන් සශ්‍රීකත්වයත්, සෞභාග්‍යයත් උදාවේ යැයි පවතින විශ්වාසයයි.