Print this Article


දෙවියන් සහ බුදුදහම අතර ඇති සබැඳියාව

දෙවියන් සහ බුදුදහම අතර ඇති සබැඳියාව

කතරගම ඇසළ මහා පෙරහර අගෝස්තු 7 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වේ. මේ ලිපිය ඒ වෙනුවෙන් සකස් වූවකි.

ක්‍රි.පූ. 6 වැනි සියවස භාරතීය සමාජය බ්‍රාහ්මණ වංශිකයන්ගේ ආධිපත්‍යයට යටත් වූ යුගයකි. බමුණු දහමට අනුව, සමාජය කොටස් සතරකට වර්ග කරන ලදී. ඒ අනුව බ්‍රාහ්මණ,ක්ෂත්‍රිය, වෛෂ්‍ය, ශුද්‍ර යන කුල සතරට මුළු මහත් සමාජයම බෙදා ඇතැමුන්ට සියලු වරප්‍රසාදත් ඇතැම් කුලයන්ට වරප්‍රසාදවලින් තොර වහල් මෙහෙවරත් දේව නියමයක් ලෙස හිමි කර දී තිබුණි. එය ඊෂ්වර නිර්මාණවාදය ලෙස සැලකේ. මෙවන් වූ පසුබිමක පහළ වූ අපේ බුදුරජාණන් වහන්සේ දේවත්වයක් යනු කුමක්දැයි පැහැදිලිව විග්‍රහ කර දුන් සේක.

දේවත්වය යනු අන් කිසිවක් නොව, මහත් සේ කුසල් කරන ලද පුද්ගලයා මිය යෑමෙන් පසු පත්වන ඉහළ තත්ත්වයකි. දෙවියන් අතරද ඒ ඒ පුණ්‍ය ශක්තීන් මත මහේශාක්‍ය සහ අල්පේශාක්‍ය දෙවියෝ සිටිති.මිනිසුන් කුසල් දහම්හි යෙදී ඒ පින් දෙවියන්ට අනුමෝදන් කරන කල්හි සම්මා දිට්ඨික දෙවිවරුන්, පින් අනුමෝදන් වන බව බුදුදහම අනුව පැහැදිලිය. බුදුරජාණන් වහන්සේ සහ දෙවියන් අතර ඇති සබඳතාව ප්‍රධාන තැනක් ගෙන ඇත.

මහබෝසතාණන් වහන්සේ සිදුහත් කුමරුන් ලෙස මනුලොව උපත ලැබීමට පෙර තුසිත දිව්‍යලෝකයේ උපත ලබා සිටි බව ද සඳහන් වේ.තවද බෝසතාණන් වහන්සේ ගිහිගෙය අතහැර දමා බුදුවීමට ගොස් එදා සමාජයේ පැවැති අත්තකිලමතානුයෝගීව නැතහොත් ශරීරයට අධික දුක් දීමේ පිළිවෙත අනුගමනය කරද්දී බෝසතුන් පවත්ත ඵල භෝජනයෙන් එනම් තමන් වාඩි වී සිටින විට එම පාත්‍රයට වැටෙන කොළයක් හෝ ජල බිංදුවක් පමණක් ආහාරයට ගැනීමේ පිළිවෙතෙහි යෙදී කටයුතු කරන විට සිහිසුන් වූ ආකාරය සඳහන් වේ.මෙම අවස්ථාවේදී දෙවිවරුන් බෝසතුන්ගේ රෝම කූප හරහා දිව්‍යමය ආහාර යුෂ මුදා හරිමින් උන්වහන්සේගේ ජීවිතය රැක ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දරා ඇති බව සදහන් වේ. එසේම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පස්වග මහණුන් සහ දෙවිවරුන් දහස් ගණනින් පැමිණි බව ධම්මචක්කප්පවත්තන සූත්‍රය විමසීමේදී පැහැදිලි වේ.

‘සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ්මකෙ සස්සමන බ්‍රාහ්මණියා පජාය සදෙව මනුස්සානං සම්මා සම්බෝධි අභිසම්බුද්ධො” යනුවෙන් එම සූත්‍රයේ සඳහන් වේ. මෙහි සිංහල තේරුම නම් දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකයෙහි තමන් සම්මා සම්බුද්ධත්වය ලබාගත් බවයි. එම සූත්‍රයේ තවදුරටත් විස්තර කරන පරිදි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා චාතුර්මහා රාජිකය, යාමය, තුසිතය, නිම්මානරතිය යනාදි දිව්‍යලෝකවල දෙවිවරුන් මහත් වූ සාධුකාර දුන් බවත් සඳහන් වන්නේ මෙසේය. “තුසිතානං දෙවානං සද්ධං සුත්වා නිම්මානරති දෙවා සද්ධං මනුස්සාවෙසුං “

බුදුරජාණන් වහන්සේ ප්‍රථම භික්ෂු හැටනම අමතා කළ ප්‍රකාශය දෙවියන් ඇත යන්න තවදුරටත් සනාථ කරන්නකි. ‘චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දෙව මනුස්සානං’ යනාදි වශයෙන් දේශනා කොට ඇත්තේ බොහෝ ජනයාගේ හිතසුව පිණිස, සැපය පිණිස දෙවි මිනිසුන් සහිත ලෝකයාට අර්ථවත් දහම් දෙසන ලෙසයි.

තවද බුදුරජාණන් වහන්සේගේ දිනචර්යාව කාලසටහනක් අනුව සිදුකළ බව පැහැදිලිය. එනම් පෙරබත්කිස, පසුබත්කිස, පෙරයම්කිස, මැදියම්කිස, පැසුළුයම්කිස, වශයෙනි. මෙහි මැදියම් කිස හෙවත් මධ්‍යම රාත්‍රිය වෙන්කර ඇත්තේ දෙවියන්ට දහම් දෙසීම සඳහාය. මංගල,පරාභව වැනි සූත්‍ර දෙවියන් උදෙසා දේශනා කර ඇත්තේ එවන් අවස්ථා වලය. එම සූත්‍රවලට අනුව, දහම් ඇසීමට දෙවියන්ගේ පැමිණීම එහි විස්තර කර ඇත්තේ “අභික්ඛන්තවන්නා කෙවල කප්පං ජෙතවනං ඕභාසෙත්වා’ ආදි වශයෙන් විශිෂ්ට වර්ණයෙන් යුක්ත දෙවියන් ජේතවනය ආලෝකවත් කරමින් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි වග සඳහන් කරමිනි. පරාභව සූත්‍රය පුරාම දක්නට ඇත්තේ ප්‍රශ්නෝත්තර ක්‍රමයට කරන ලද දේශනාවකි. දෙවියන් ප්‍රශ්න අසන අතර බුදුරජාණන් වහන්සේ ඒවාට දහම් කරුණු මත පිළිතුරු දුන් සේක.

කරණීයමෙත්ත සූත්‍රය දේශනා කිරීමට පසුබිම්ව ඇත්තේද දෙවියන් සම්බන්ධ කරුණකි. භික්ෂූන් වහන්සේ පන්සිය නමක් කමටහන් ගෙන වනයට වැඩම කළ අතර එහි වෘක්ෂාධිපති දෙවිවරුන්ට භික්ෂූන් වහන්සේගේ සීල සමාදානය නිසා රිසිසේ ජීවත් වීමට නොහැකි විය. පසුව එම දෙවිවරු භයානක රූප, භයානක ශබ්ද, දුර්ගන්ධ මවා එම භික්ෂූන් වහන්සේ බියට පත් කළහ.මේ නිසා භික්ෂුන් වහන්සේ කායික සහ මානසික වශයෙන් ගිලන් බවට පත් වූහ. දින පහළොවකින් පසුව මෙම පිරිස වනය අතහැර ගොස් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන්නේ, මෙම වනයේ ජීවත්වීම අතිශය දුෂ්කර බවයි. පසුව බුදුරජාණන් වහන්සේ විසින් එම භික්‍ෂූන්ට දේශනා කරන ලද්දේ ඉහත සඳහන් දෙවියන් මෙම කරදර පීඩා සිදු කළ බවත් ඔවුන්ට පින්දෙමින් මෛත්‍රිය වඩමින් කටයුතුකිරීම හරහා එම පිරිස වෙනස් වන බවත්ය. ඒ අනුව, නැවත වනයට ගිය භික්ෂූන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රය දේශනා කරමින් භාවනා කළ අතර දෙවිවරුන් භික්ෂූන් වහන්සේගේ දායකයන් වූ බව එම සූත්‍රය විමසීමේදී දැකිය හැකිය.

දෙවියන්ගේ සැබෑ ස්වභාව තවදුරටත් මෙත්තානිසංස සූත්‍රය ඇසුරින් ද විග්‍රහ කළ හැකිය. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා මෛත්‍රියේ ආනිශංස මෙසේ දක්වා ඇත. “මනුස්සානං පියො හොති අමනුස්සානං පියො හොති දේවතා රක්ඛන්ති “ ආදි වශයෙන් මෙහි සඳහන් වන අන්දමට මෛත්‍රි සහගත පුද්ගලයා අමනුෂ්‍යයන් විසින්ද දෙවියන් විසින්ද ආරක්ෂා කරනු ලබන බව ඉතා පැහැදිලිව සඳහන් කර ඇත. එහි තවදුරටත් සඳහන් කරන්නේ එවන් වූ මෛත්‍රි ධ්‍යාන මට්ටමේ උසස් මානසිකත්වයකින් මිය පරලොව ගිය අය බ්‍රහ්ම ලෝකයේ උපදින බවයි. (“බ්‍රහ්ම ලොකොපගො හොන්ති”)

වරක් විඩූඪහ සහ සංඝාරව යන දෙපළ බුදුන් වෙතට පැමිණ දෙවියන් සිටීද යනුවෙන් ප්‍රශ්න කර ඇත. මෙහිදී උන්වහන්සේගේ පිළිතුර වන්නේ,දෙවියන් ඇති බව ගුණවන්තයන් විසින් පිළිගනු ලැබිය යුතු බවයි. මජ්ඣිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයේ දේශනාකර ඇත්තේ දිව්‍ය සැප අසීමිත බවයි. එසේම අභිධර්මය දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේ තෝරා ගත්තේද තුසිත දිව්‍ය ලෝකයේ ජීවත් වූ තම ආදරණීය මෑණියන්ය. මහා පරිනිබ්බාන සුත්‍රයේ සඳහන් පරිදි දහම් ඇසීමට ලක්ෂ සංඛ්‍යාත දෙවිවරුන් රැස්වූ බව පැහැදිලිය. එක්තරා භික්ෂූන් වහන්සේ නමක් බුදුරජාණන්වහන්සේට පවන් සළමින් සිටින විට බුදුන් වහන්සේ භික්ෂුව එම ස්ථානයෙන් ඉවත් කළ පසුව අනඳ හිමියන් විමසන්නේ, එසේ කිරීමට හේතුව කුමක්දැ’යි කියාය. එයට බුදුන් වහන්සේගේ පිළිතුර වන්නේ, දෙවියන් පැමිණ ඇතිබැවින් දෙවියන්ට වන්දනාමාන කිරීමට එසේ කළ බවයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු උන්වහන්සේගේ ශ්‍රී දේහයට මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ උපහාර ලැබෙන තෙක් චිතකය ගිනි දැල්වීමට කෙතෙක් උත්සාහ දැරුවද දෙවියන් එයට ඉඩ ලබා නොදුන් බව පැහැදිලි කරුණකි.

දේව පණ්ඩිත සූත්‍රයේ සදහන් වන්නේ දිව්‍ය සැපත අතිවිශාල බවයි. එය මෙසේ සඳහන් කර ඇත. “යාවංචිදං භික්ඛවේ උපදාපි හාසු කරා යාව සුඛා සග්ගති ” එහි අදහස වන්නේ දෙව්ලොව සැපත හිමාලය පර්වතය තරම් වේ නම් මනුලොව සක්විති සැපත ගල්කැටයක් තරම් කුඩා වන බවයි.

රතන සූත්‍රය විමසීමේදී ද දෙවියන් පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් දැකිය හැකිය. “යානීධ භූතානි සමාගතානි ....”යන ගාථාවේ තේරුම වන්නේ,පොළොවෙහි හෝ අහසෙහි හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් රැස්වේද ඒ සැම අයෙක්ම සතුටු සිතැත්තො වෙත්වා යනුවෙනි.එහි තවත් තැනක සඳහන් “මෙත්තං කරොථ මානුසියාපජාය...”යන්නෙහි අදහස වන්නේ දිවා රෑ දෙකෙහි දෙවියන්ට පුද පූජා දෙන අය ආරක්ෂා කර දෙන බවයි. රතන සූත්‍රය අවසානයේ එන “යානීධ භූතානි සමාගතානි...” යන ගාථාවේ සඳහන් වන්නේ පොළොවෙහි, අහසෙහි ජීවත්වන යම් අමනුෂ්‍ය කෙනෙකු වේද බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයට ගරුකරන ලෙසත් සත්වයාට ආශීර්වාද කරන ලෙසත් සඳහන් වන ඉගැන්වීමකි.

ඉහත සඳහන් කරුණු අනුව, අපට ඉතා පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ පුනර්භවය පිළිබඳ සිදු කළ ඉගැන්වීම හා සමඟම දෙවියන් පිළිබඳ දක්වා ඇති වැදගත් අදහස නම් දේවත්වය යනු කුසල් දහම්වල ප්‍රතිඵලයක් වන බවයි.

කතරගම දෙවියන් ද ලෝකයේ සිටින මහා බලසම්පන්න දෙවි කෙනෙකි. බුදුරජාණන් වහන්සේ සියැසින් දුටු දෙවියන් අතරට කතරගම දෙවියන්ද එක් වූ බව දැකගත හැකිවන්නේ කතරගම ඉතිහාසය පිළිබඳ විමසීමෙනි. බුදුරජාණන් වහන්සේ තෙවැනි වරට ලංකාවට වැඩි දවසේ කතරගම මහාසේන නොහොත් මහාඝෝෂ නමැති රජුගේ කිහිරි උයනෙහි උන්වහන්සේ සමවත් සුවයෙන් වැඩසිටි සේක. එහිදී ප්‍රදේශය පාලනය කළ මහසේන රජතුමන් ඇතුළු පිරිසට ධර්මදේශනා කළ බවත් මහසේන රජු විසින් කිරිවෙහෙර වහන්සේ කරවන ලද බවත් ඉතිහාසගත තොරතුරුවලින් හෙළි වේ. කුලුණුබර පියකු මෙන් ජනතාවට ආදරය කළ එතුමා මිය පරලෝ යෑමෙන් පසු මහාසේන නමින් දේවත්වාරෝපණයෙන් පිදුම් ලබන්නට විය.

කතරගම දෙවියන් හැඳින්වීම සඳහා මහාසේන, ස්කන්ධ කුමාර,කන්ද සාමි ආදී නම් රාශියක් භාවිත වේ. නුවර යුගයේ ඇතිවූ දකුණු ඉන්දීය සබඳතා මත මහ දෙවොලටද හින්දුසිරිත් විරිත් බලපාන්නට ඇත. දුටුගැමුණු මහරජතුමා ඉන්දීය ආක්‍රමණිකයකුවූ එළාර රජු සමග යුද වැදීමට පෙර කිරිවෙහෙරටත් අෂ්ඨඵලරුහ බෝධින් වහන්සේටත් අධිගෘහිතව විසූ කතරගම දෙවියන් ඉදිරියේ භාරයක් වූයේ,ඉන් ජයග්‍රහණය ලැබුවහොත් වර්තමාන දේවාලය පිහිටි භූමියේ දෙවොලක් සාදා පූජාකරන බවටයි. එය ධාතු වංශයේ හා දේවාල ලේකම් පොතෙහි පැහැදිලිව සඳහන් වේ. නව දේව මන්දිරය ඉදිවීමත් සමඟ කතරගම දෙවියන් පිළිබඳ විශ්වාසය,ගෞරවය,කීර්තිය වඩ වඩාත් පැතිරෙන්නට වූ බව පැහැදිලිය. ඊට ප්‍රධාන සාධකයක් වූයේ, කතරගම දෙවියන් උදෙසා නියමිත පුද පූජා රටාවක් රාජාඥාව මගින් ස්ථාපිත කර එහි වගකීම තමන්ගේ ලේ නෑයකුට පැවැරීමට දුටුගැමුණු මහ රජතුමා කටයුතු කිරීමයි. එපමණක්ද නොව ඌව ප්‍රදේශයේ ඉඩම් අක්කර දහස් ගණනක් මහාදේවාලයේ පැවැත්ම සඳහා දුටුගැමුණූ මහරජතුමා විසින් පූජා කරන ලද අතර අදත් මේවා පවතින්නේ මහාදේවාලය සන්තකවය.එදා සිට අද දක්වා සියවස් ගණනාවක් තිස්සේ අවිච්ඡින්නව පවත්වාගෙන එනුයේ එදා රාජාඥාව පරිදි නිල කරනු ලැබූ පූජා චාරිත්‍රවිධින්ය.

දුටුගැමුණු රජතුමා එළාර රජු සමඟ කළ සටනේදී දුටුගැමුණු රජුට සහාය වූ කණ්ඩුල හස්තියාගේ දළදෙක පවා රුහුණු කතරගම මහාදේවාලයේ තැන්පත් කර තිබීම ඉතා වැදගත් සිද්ධියකි. ඇසළ උත්සව සමයේ එම දළදෙක ජනතාවට දැක බලා ගැනීමට ප්‍රදර්ශනය කිරීමද මෙහිදී සිහිපත් කළ යුතුය.

මේ අනුව බුදුරජාණන් වහන්සේගේ දහමට අනුකූලව විමසා බලන විට දෙවියන් සිටින බවත් දෙවියන්ගේ බලය අසීමිත බවත් සඳහන් කළ යුතුය.කතරගම දෙවියන්ද අසීමිත බලයෙන් යුත් දෙවි කෙනෙකි. එයට ප්‍රධාන හේතුව දහස් ගණන් බැතිමතුන්ගේ පින් ලබන මහානුභාව සම්පන්න දෙවියන් අතරෙහි කතරගම දෙවියන් අවිවාදයෙන්ම පළමුවන ස්ථානයට පත්වීමයි.

මෙම වර්ෂයේද ඇසළ මහා උත්සවය ඉතාමත් සාර්ථකව දෙවියන්ට උපහාර පිණිස දේශීය කලාවන්ගෙන් සමලංකෘතව පෞරාණික සම්ප්‍රදායට මුල් තැන දෙමින් පැවැත්වීමට කටයුතු කරන රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ජනාධිපති පෞද්ගලික ලේකම් ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ මහතා බැතිබර ජනතාවගේ ගෞරවයට පාත්‍රවිය යුතුය.