Print this Article


බුදුරදුන් දකින්නට නම්...

බුදුරදුන් දකින්නට නම්...

ලොව පහළ වූ ශාස්තෘන් අතරින් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨය. උන්වහන්සේ දෙසූ ධර්මය වඩාත් ප්‍රායෝගිකය. සියලු ආගම් එකය යන මිථ්‍යා මතය අප දුරුකළයුතු ය. බුද්ධ ධර්මය හැර අන් සියලු ධර්මයන් නිර්මාණ වාදය පදනම් කරගෙන දෙසූ දහම්ය. දේවවාද හෝ නිදහස්ව හේතුඵල න්‍යායට යටත්ව මිනිසා සතු බුද්ධි ශක්තිය ප්‍රයෝජනයට ගෙන සිතා මතා නිගමන ගැනීමට උගැන්වූ දහමක් නිසා අන් ආගම්වලින් පැහැදිලිව වෙනස් ය. බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ අවධියේ සතර පෙරනිමිති දැක ගිහිගෙය අතහැර තමන් වහන්සේ විසින්ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් නිසා අන් රහතන් වහන්සේලාගෙන් ද උන්වහන්සේ වෙනස්ය.

බෝධි සත්ව සමයේ දීර්ඝකාලයක් විවිධ ආත්මභාවවල ඉපදී පාරමිතා සම්පූර්ණ කර උතුම් බුදුපදවියට පත් වූ නිසාම කිසිදු වෙනසකින් තොරව හැම දෙනාටම පොදුවේ භාවිතා කළ හැකි ධර්මයක් ඉදිරිපත් කිරීමට උන්වහන්සේට හැකිවිය. උන්වහන්සේගේ ධර්මයේ ඇති මූලිකම ලක්‍ෂණය වන්නේ හැම දෙනාටම පොදුවීමයි. කරණීය මෙත්ත සූත්‍රයේ දැක්වෙන “සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා” යන්නෙන් සියලු සත්වයන් සුවපත් වෙත්වා ලෙස මෙත් වැඩීමෙන්ම ඒ බව පැහැදිලි වෙයි.

“අනිච්චා වත සංඛාරා” ‘සබ්බේ සත්තා මරිස්සන්ති’ ආදී දේශනා පාඨවලින් උන්වහන්සේගේ දේශනාවල ඇති විශ්වසනීත්වය සත්‍යය පැහැදිලි වේ. හේතුඵල ධර්මය අනුව හටගන්නා සියලු දේ වෙනස් වන බව උන්වහන්සේ ඉගැන්වූහ. තාක්‍ෂණය, විද්‍යාව කොතරම් දියුණු වූනත් මෙම දේශනාව වෙනස්කළ නොහැකි බව කාටත් පැහැදිලිය. සියලු සත්වයෝ මැරෙන්නාහ යන්න කොයිතරම් ප්‍රායෝගික දේශනාවක් ද? කොයිතරම් උපකරණ දියුණුවුනත්, ඖෂධ බහුල වුනත් කිසියම්ම කෙනෙකුට නොමැරී ඉන්නට නොහැකිය. එබඳු විද්‍යාත්මක සාමාන්‍යකරණ, න්‍යාය බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කර තිබීමෙන් උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය මැනවින් වටහාගත හැකිය.

වසල සූත්‍රයේ දී උපතින් වසලයෙක් හෝ බමුණෙක් නොවන බව ක්‍රියාවෙන්ම පමණක් වසලයෙක් හෝ බමුණෙක් වන බවත් උන්වහන්සේ දේශනා කළහ. ඒ අනුවම බෞද්ධයෙක් හෝ වෙනත් ආගමිකයෙක් හෝ උපතින් එසේ නොවන බවත් තෙරුවන් සරණ යෑමෙන් අවබෝධයෙන් කටයුතු කිරීමෙන් පමණක් බෞද්ධයෙක් වන බවත් පැහැදිලි ඉගැන්වීමයි. වර්තමානයේ පරම්පරාවෙන්, දෙමව්පියන්ගෙන් උරුම වූ තත්ත්වයක් ලෙස බෞද්ධකම සැලකීමට උත්සාහ දරන බව පෙනේ. බෞද්ධයා නිතැතින්ම අවබෝධයෙන් ක්‍රියා කරන්නෙක් විය යුතු ය. තෙරුවන් සරණ යා යුතු ය. ඒ සඳහා නිරතුරුවම බුදුරජාණන් වහන්සේ කවරෙක්දැයි සොයා බැලීම වැදගත් වේ.

වර්තමානයේ දැකිය හැකි ලක්‍ෂණය වන්නේ දෙමව්පියන් බෞද්ධ නම ගත් පමණින් බෞද්ධ වීමත් කතෝලික නම් කතෝලිකවීමත් ඉස්ලාම් නම් ඉස්ලාම් වීමත්ය. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව තමන් වහන්සේ දැකීමට අවශ්‍ය නම් තම ධර්මය, දැකිය යුතු බවය. ‘යො ධම්මං පස්සති, සො මං පස්සති’ යන්නෙන් එය පැහැදිලි වේ. උන්වහන්සේගේ ධර්මය දකින්න කැමැත්තක් ඇතිකරගන්නට නම් උන්වහන්සේ පිළිබඳව විශ්වාසයක් ගෞරවයක් ඇතිවිය යුතු ය. එසේනම් බුදුරජාණන් වහන්සේ කවරෙක් දැයි වටහාගත යුතු වේ. ඒ නිසාම උන්වහන්සේ හඳුනා ගැනීමට උන්වහන්සේ විසින්ම දේශනා කළ අනු දේශනාවක ඇතුළත් ගාථාවක් ඉදිරිපත් කිරීම සුදුසු ය.

මජ්ඣිම නිකායට අයත් සේල සූත්‍රයේ දී සේල බමුණා අරමුණු කරගෙන තමන් වහන්සේ බුද්ධ නාමයෙන් හඳුන්වා දීමට හේතු පෙන්වා දී ඇත. එම සූත්‍රය ගාථා පන්තියකින් සමන්විත වුවත් උන්වහන්සේ කවරෙක් දැයි හඳුනා ගැනීමට එක් ගාථා ධර්මයක් ප්‍රමාණවත් වේ.

අභිඤ්ඤෙයං අභිඤ්ඤාතං
භාවෙතබ්බං ච භාවිතං
පහාතබ්බං පහීණං මෙ
තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ

මෙම ගාථාව අනුව කරුණු තුනකින් යුක්ත වීම නිසා තමන් වහන්සේ බුද්ධ යන නාමය හිමිකරගෙන තිබෙන බව ප්‍රකාශ වේ. සේල බමුණා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ දැක පුදුමයට පත් වී ඔබවහන්සේ හුදකලාව වනයට වී කුමක් කරන්නේ දැයි “සේල” ප්‍රශ්න කළා. ඔබවහන්සේ රජෙක් වීමට සුදුසුයි. එවිට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ සේල එක්තරා අංශයකින් මා රජෙක් තමා, මගේ රාජ්‍යය ධර්ම රාජ්‍යයයි. එය පාලනය කරන්නේ ධර්ම චක්‍රයෙන්. එහෙත් බමුණාගේ සිත එම පිළිතුරෙන් පැහැදීමට පත් නූන නිසා සේලට අනු දේශනාවක් කිරීමට සිදුවිය. එහි අන්තර්ගත ගාථා ධර්මයක් තමා මුලින් සඳහන් කළේ,

දැනගත යුතු සියලු දේ දැනගත් නිසාත්, වැඩිය යුතු සියලු දේ වැඩූ නිසාත්, දුරු කළයුතු සියලු දේ දුරුකළ නිසාත් මම බුදුරජාණන් වහන්සේ වන බව එම ගාථාවෙන් පැහැදිලිය. එමනිසා සෑම බෞද්ධයෙක්ම බුදුරජාණන් වහන්සේ කවරෙක්දැයි? විමසුවහොත් අවම වශයෙන් විස්තර දැන නොගත්තත් මෙම කරුණු තුනෙන් යුක්ත උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වන බව ප්‍රකාශ කරන්නට සමත්කමක් ඇතිකර ගත යුතු ය.

අන් ගුරුවරුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ගුරුවරයෙක් වන්නේ තම ධර්මය ජාති, ආගම්, කුල වශයෙන් කිසියම්ම කෙනෙකුට වෙනසක් නැතිව සැමදෙනාටම අනුගමනය කොට ප්‍රතිඵල ලැබිය හැකි නිසාය. අදෘෂ්‍යමාන බලවේගවලට තම ආත්ම ශක්තිය පාවා නොදී තම හැකියාව උත්සාහය මත ප්‍රතිඵල ලබා ගැනීමට මාර්ගය නිදහස ලබා දී ඇත. ‘අත්තාහි අත්තනො නාථො ‘සුද්ධී අසුද්ධී පච්චත්තං නාඤ්ඤමංඤෙඤාවිසෝධයේ’ ආදී පාඨවලින් එය මනාව තහවුරු වේ. කිසිදු භේදයකින් තොරව පාරමිතා පූරණය කිරීමෙන් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පත්ව නිවන සාක්‍ෂාත් කරගත හැකිය.

එසේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය කිසියම්ම කෙනෙකුට පසුතැවිලි වීමට ඉඩ තබා නැත. කිසියම් වැරැද්දක් සිදුවීද එය නැවත සිදුනොකොට ආයති සංවරයෙහි පිහිටා ධෛර්යයෙන් යුතුව ජීවිතය සාර්ථක කර ගත හැක. මිනිස්ගති මැනවින් අවබෝධ කරගෙන වැරැද්ද නිවැරැදි කරගෙන ජීවත්වීමට න්‍යාය ධර්ම ඉදිරිපත් කොට මිනිසා දෙස සහනශීලී ලෙස බලා දහම් දෙසා ඇති බව මෙම ගාථාවෙන් පැහැදිලි වේ.

අත්තානං චෙ පියං ඡඤ්ඤා
රක්ඛෙයිය නං සුරක්‍ඛිතං
තිණ්ණ මඤ්ඤතරං යාමං
පටිජග්ගෙයිය පණ්ඩිතො

මෙම දේශනාවෙන් පැහැදිලි කර ඇත්තේ හොඳ නරක දෙකම කාලීන වශයෙන් ඉවත්වීමෙන් හා ක්‍රියාත්මක කිරීමෙන් සම්පූර්ණ කරගත හැකි බවයි. මිනිස් ජීවිතය අවස්ථා තුනකට බෙදයි. ඒ කුඩා, තරුණ, මහලු යනුවෙනි. මිනිසා එම අවස්ථා තුනෙන් එකකදීවත් ආරක්‍ෂා විය යුතු බවක්ම ගාථාවෙන් පැහැදිලි වේ. කුඩා කාලයේ නොදන්නාකම නිසා වැරැදි සිදුවේ. තරුණකාලයේ නොදන්නාකම නිසා නොව හිතුවක්කාරකම නිසා වැරැදි සිදුවේ. මහලු කාලයේ දී දන්නාකම, සැලකිලිමත්කම නිසා වැරැද්දෙන් නිදහස් විය හැක. හොඳ දෙයක් ගත්තද එසේමය. ශීලය උදාහරණ ලෙස ගනිති. නොදන්නාකම නිසා සිල් සමාදන් වන්නේ නැත. ඒ කුඩා කාලයේ ය. තරුණ කාලයේ දී දැනගත්තත් නොසැලිකිලිමත්කම නිසා සිල් සමාදන් වන්නේ නැත. එහෙත් මහලු වියේ දී සිල්වන්තකමේ ආනිශංස දන්නා නිසාත් ඒ පිළිබඳව සලකන නිසාත් ආරක්‍ෂා විය හැක. මෙබඳු සර්වකාලීන වශයෙන් වැදගත් වූත්, ප්‍රායෝගික වූත් ඉගැන්වීම කවර දහමකවත් දැකිය නොහැකි ය. මව්පියන්ගේ අගය පෙන්නා දී ඇත. එය කවර ආගමික අම්මා කෙනෙකු තාත්තා කෙනෙකු වුවද සාධාරණය.

අන් අයගේ ප්‍රයෝජනය සඳහා තමන් අවබෝධ කරගත් ධර්මය බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග තවුසන්ට දෙසූ දවස ඇසළ පුර පසළොස්වක පෝය දිනයයි. එම නිසා බුදුරජාණන් වහන්සේට ගරු කරන හැම දෙනා විසින්ම ඒ උතුම් ධර්මය අවබෝධ කරගැනීමට උත්සාහවත් වී බුදුරජාණන් වහන්සේ දකින්නට පාරමී ධර්ම පිරිය යුතු බව සඳහන් කරමි. උන්වහන්සේ දෙසූ මාර්ගයේ ගමන් කිරීම කඩිනමින් එකවර නොව ටිකින් ටික සිදුකොට සසර කෙටිකරගෙන නිවන් දකින්නට අධිෂ්ඨාන කර ගැනීම අද වගේ දවසක අපගේ පරම වගකීමක් ලෙස සලකමු.