Print this Article


පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

හේන්පිටගෙදර ඤාණසීහ නා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය දර්ශන චක්‍රවර්ති රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන් අපවත් වී අගෝස්තු 01 වන දිනට වසර 32 ක් ගතවේ.

දෝන ඇලිස් ජයසිංහ හාමිනේ, දොන් බස්තියන් පෙරේරා සකලසූරිය රාළහාමිගේ තෙවෙනි පුත්‍ර රත්නය වශයෙන් 1909.12.18 දින ජන්මලාභ ලැබූ සමරවීර සකලසූරිය ලාබාල වියේදීම මුඪගමුවේ මාහිමියන් හට භාර කෙරුණි. සාමණේර බණ දහම් සහ වත්පිළිවෙත් ආදිය පුරුදු පුහුණු කිරීම සඳහා බලගල්ලේ සරස්වතී පරිවේණාධිපති හිස්වැල්ලේ ශ්‍රී ඥාානෝදය මාහිමියන් භාරයට පත් කරන ලදී.

හේන්පිටගෙදර බෞද්ධ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලබමින් සිටි සකලසූරිය කුමරා අධ්‍යාපන විෂයෙහි මහත් කුසලතා දැක්වූවෙකි.මේ කාලයේ දක්‍ෂතම ශිෂ්‍යයන්ගේ උසස් අධ්‍යාපනයට අතහිත දීමට පිහිටුවා තිබූ “බෙන්හැම්” ශිෂ්‍යත්වයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරුනු එකම ශිෂ්‍යයා වූයේ මොහුය. එහෙත් තමාට ලැබුණු එංගලන්තයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයෙන් අවසන් වන එම ශිෂ්‍යත්වයට කැමැත්තක් නොදැක්වූ සමරවීර සකලසූරිය ශිෂ්‍යයා 1919.01.18 වන දින හේනේපිටගෙදර ඤාණසීහ නමින් පැවිදිවි බලගල්ලේ සරස්වතී පිරිවෙනෙහි අධ්‍යාපනය ලැබූහ. උන්වහන්සේ තුළ සහජයෙන් පිහිටා තිබූ දක්‍ෂතා ඔප මට්ටම් කරමින් ප්‍රාචීන ප්‍රාරම්භක හා මධ්‍යම පරීක්‍ෂණවලදී විශිෂ්ටතා පළ කරමින් 1939 අවසාන විභාගයේ දී උභයසේකර ස්වර්ණ මුද්‍රිකාව සහිතව රාජකීය පණ්ඩිත උපාධිය දිනාගැනීමට සමත්විය.අනතුරුව බලගල්ල සරස්වතී පිරිවෙනෙහි ආචාර්යවරයෙකු වශයෙන් සිටියදී තම මව්බිමේ උන්නතිය වෙනුවෙන් හා ශාසනයේ දියුණුව වෙනුවෙන් ක්‍රියාකළ ආකාරය බලගල්ලට පැමිණි භික්ෂූන්වහන්සේලාගේ දෙනෙත් වලට ලක්විය. සරස්වතී පිරිවෙනෙහි ආදි ශිෂ්‍යයෙකු වූ රත්නපුර තිරිවානකැටියේ මූල මහාවිහාරාධිපති එළමල්දෙණියේ සුමේධාලංකාර හිමියන්ගේ ඉල්ලීමට පමණක් ලැබූ ප්‍රතිචාර නිසා 1934 දී හේන්පිටගෙදර නාහිමියෝ රත්නපුරයට වැඩම කළහ.

එදා මුද්දුවේ තිබූ අම්බලම හා කුඩා බිම්තීරුව 1934.08.26 දී රත්නපුර ශ්‍රී සුමන පිරිවෙන බවට පත්විය.ශ්‍රී සුමන මහා විද්‍යාලය,ශ්‍රී සුමන බාලිකා විද්‍යාලය, ඇහැලියගොඩ, බුළුගහපිටිය ශ්‍රී සුමන විද්‍යාලය,තෙප්පනාව ශ්‍රී සුමන විද්‍යාලය, තුම්මෝදර ශ්‍රී සුමන විද්‍යාලය, ඉඟිනියාගල විද්‍යාර්ථ පිරිවෙන, වතුපිටිය සාරිපුත්ත පිරිවෙන, මුවගම්කන්ද විද්‍යාලය, පාතකඩ බෞද්ධ විද්‍යාලය,, සර්වෝදය ප්‍රජා නායකත්ව භික්‍ෂු පුහුණු ආයතනය ආදි ගිහි පැවිදි අධ්‍යාපන ආයතන තවත් එවැනි ආයතන ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළහ. ශ්‍රී සුමන බාලිකා විද්‍යාලය දැනට ජාතික පාසලකි.

ජාතික ප්‍රශ්න වලදී අභිනව අදහස් ප්‍රකාශ කිරීම නිසා රටේම අවධානය උන්වහන්සේ වෙත යොමු විය.1956 දේශපාලන පෙරලියේ අදෘශ්‍යමාන හස්තයක් බලවේගයක් වූයේ උන්වහන්සේ ලෙස ඉතිහාසයට එක්වී තිබේ. එබැවින් 1960 ගණන්වල පැවති එක්සත් ජාතික පක්‍ෂ රජය යටතේ වසර 4 කට වැඩි කාලයක් සිර ගත වී සිටින්නට සිදුවිය. ග්‍රන්ථකරණයට පිවිසි උන්වහන්සේගේ මුල්ම කෘතිය වූයේ 1946 දී එළිදැක්වූ “දෙවියෝ” නම් කෘතියයි.පිළිවෙලින් සිංහල මේඝ දූතය,අභිධර්ම පරික්‍ෂණය සද්ධර්ම ගතකම් , සිංහල රඝු වංශය මහ රහතන් වහන්සේ, සියබස්ලකර විස්තර වර්ණනා, විඥප්තිමාත්‍රය,සිද්ධීවාදය,බෞද්ධ දර්ශනය සාහිත්‍ය ග්‍රන්ථ ප්‍රකාශයට පත්කරන ලදී.බන්ධනාගාරගතව සිටි කාලය තුල දී ගාමිනි ගීත නාම, ජෙට්ඨගාමිනි වර්ග, මහා පැරකුම්බා සිරිත, මිනිසා සහ ජීවිත පරමාර්ථය ලෝකය , සසර ඛන්දක විනය, කලාව කුමක් පිණිසද, ශූන්‍යතා දර්ශනය සත්වයා පිරිසුදු වන්නේ කෙසේ ද? හැඩගැසෙන චරිතය, ගැටලු තැන්, බුද්ධර්මය හා බෞද්ධ සභ්‍යත්වය දර්ශනය, විද්‍යාව සහ බුද්ධාගම උපාධියෙන් පසු බුද්ධර්මයට,සත්වයා අභිධර්මය ප්‍රශ්න හා පිළිතුරු බෞද්ධ සමාජවාදය සිරකූ®ඩුවක් තුලදි ඇතුලු විශාල පොත් සංඛ්‍යාවක් ලියා රටට පමණක් නොව මානව වර්ගයා වෙනුවෙන් දායාද කළහ.

සබරගමු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෘත්‍යාධිකාරි බුළුගහපිටියේ සුමංගල හිමියෝ හා විහාරස්ථදායක සභාව අගෝස්තු 01 වන දින සිට රත්නපුර ශ්‍රී සුමන මහා පිරිවෙන් විහාරස්ථානයේ දී පින්කම් මාලාවක් සංවිධානය කර ඇත.

අපවත් වී වදාළ හේන්පිටගෙදර ඤාණසීහ මාහිමිපාණන් වහන්සේට නිවන්සුව පතමු.


බේරතුඩුවේ ඤාණවිසුද්ධි නා හිමි

ගාල්ල වැලිවත්ත විජයානන්ද පිරිවෙන් මහා විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත බේරතුඩුවේ ඤාණවිසුද්ධි නාහිමිපාණෝ, සුපේෂල ප්‍රවෘජ්‍යා ගුණාංග වලින් පරිපූර්ණ හිමිනමකි.

1993 දී උන්වහන්සේ විහාරාධිපතිත්වයට පත්වූහ. බේරතුඩුවේ ඤාණවිසුද්ධි නාහිමිපාණන්වහන්සේ මෙම මස 13 දින 74 වන වියට පා තැබූහ. ගාලු නගරය මධ්‍යයෙහි පිහිටි විජයානන්ද මහා විහාරය බොදු දනන්හට අධ්‍යාපන තක්‍ෂලාවක් බවට පත් කිරීමෙහි පුරෝගාමී මෙහෙවරක් ඉටු කළහ. විජයානන්ද මහා විහාරයේ ගොඩනැගිලි සංකීර්ණය පුනරුත්ථාපනය කොට දහම් පහස ලබන්නට විවර කරදීම, විහාරස්ථ කෞතුකාගාරය පුස්තකාලය සහ පිරිවෙන සංවර්ධනය අදියර වශයෙන් වැඩි දියුණු කිරීම ඇතුළු සංවර්ධන කාර්යාවලියන් රැසක් නාහිමිපාණන් වහන්සේ විසින් සිදු කරන ලදී. ඊට අමතරව අවට විහාරස්ථාන සමග සමීප සබඳතාවයක් ගොඩනගමින් ඒවායේ විවිධ වූ සමාජ, ආගමික තලයන් සංවර්ධනයටද, ප්‍රදේශයේ පොදු සමිති සමාගම් මෙන්ම රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනයන්ගේ වැඩි දියුණුවටද අනුශාසනා උපදෙස් ලබා දෙමින් නිරතුරුවම සිදු කළාවූ සේවාව අමතක කළ යුතු නොහේ. 1939 ජූලි මස 13දින හික්කඩුවේ බේරතුඩුව ග්‍රාමයේ විසූ ගම්මැද්දේගොඩ ලියනගේ සියදෝරිස් අප්පුහාමි හා ගොඩමුණ විතානගේ සිසිලියාහාමි යුවලට දාව උපන් නාහිමිපාණන් එකුන් දහ හත් වසරක් පිරුනු දා සසුනට අරුණාලෝකයක් ලබාදෙමින් උතුම් වූ ප්‍රවෘජ්‍යාව ලැබූහ.

පනස් අට වසරෙක සසුන් දිවි මගෙහිදී නාහිමිපාණන් විසින් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය පේරාදෙණිය සරසවියෙන්ද, ශාස්ත්‍රපති උපාධිය ඇතුළු පශ්චාත් උපාධි රැසක් ද ලබා ගත් අතර පිරිවෙන් අධ්‍යාපනය සපුරමින් පණ්ඩිත හා ත්‍රිපිටක ධර්ම උපාධි ඉහළ අයුරින් සපුරාලමින් ස්වකීය ණැන ගුණ බලය ප්‍රගුණ කළේය.

උපාධි පුහුණු ගුරුවරයකු වශයෙන් සිසුන් දහස් ගණනකට සිප්සතර හා මඟ පෙන්වීම ලබා දෙමින් ඉටු කළ අධ්‍යාපනික හා ශාස්ත්‍රීය සේවය මෙහිලා අගනේ වෙයි. විශ්‍රාමික දිවියට පිවිසෙන අවස්ථාව වන විට ගාල්ලේ ඕල්කට් මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වශයෙන්ද ස්වකීය වෘත්තිය සේවාවට විරාමය තැබිය. ඉසිඹු ලැබූ ඤාණවිසුද්ධි නාහිමිපාණන් නිරතුරුවම පි‍්‍රය කළේ අපිස් දිවියකටය. උන්වහන්සේ පසුගියදා දඹදිව බලා වැඩම කළහ.


ඌරුමුත්තේ ශ්‍රී සෝමරතන නා හිමි

මාතර පහළ පීක්වැල්ල ශ්‍රී පන්‍ථාරාම පුරාණ විහාරාධිපති ,මහා විහාර වංශීක ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ විධායක කාරක සභික හා මහෝපාධ්‍යාය සද්ධර්මවාගීශ්වරාචාර්ය ,සරභඤ්ඤ විශාරද ඌරුමුත්තේ ශ්‍රී සෝමරතනාභිධාන මාතර පළාතේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේ අපවත් වී දෙවර්ෂ පූර්ණය නිමිත්තෙනි.

මාතර ඌරුමුත්ත ග්‍රාමයේ බබුන් අප්පුහාමි මහතාට දාව හීන් හාමිනේ මාතාවගේ කුසින් මෙලොව උපත පින්වත් කුමරු හේවාහල්පගේ සෝමදාස නම්විය. 1932 පෙබරවාරි මස 09 වන දින මෙලෙස උපත ලද කුමරු ඌරුමුත්ත කනිටු විදුහලින් මූලික අධ්‍යාපනය ලබන අතරම පුරා කෘත පුණ්‍ය මහිමය නිසාදෝ කුමරුගේ සිත සසුනට ඇලුම් කළේය. ඒ අනුව මාපිය අනුමැතියෙන් ඌරුමුත්ත ශ්‍රී සුදර්ශනාරාමයට බාර කරන ලද අතර තත් විහාරධිපතිව වැඩ විසූ හැව්ඕවිට ශ්‍රී ගුණරතන,කෙහෙල්වල ශ්‍රී ඛේමානන්ද මාහිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් 1943 පෙබරවාරි මස 25 වන දින ඌරුමුත්තේ සෝමරතන නමින් පැවිදි දිවියට පා තැබූහ.

අකුරැස්ස ගොඩපිටිය ශ්‍රී ජේතවන පිරිවෙණින් 1943 වසරේ මූලික සිප් සතර හදාරා උසස් අධ්‍යාපනය කිතුලේවෙල ජයමහා විහාර විද්‍යායතන පිරිවෙණින් ලබා ගත් අතර ප්‍රාචීන මධ්‍යම විභාගයද උසස් ලෙස සමත් වූහ. උගත මනා බණ දහමින් හා සපිරුණු විසි වයසින් යුක්ත වූයෙන් පහළ පීක්වැල්ල ශ්‍රී පන්‍ථාරාමාධිපතිව විසූ කිතලගම ශ්‍රී බුද්ධපි‍්‍රය මාහිමි ආචාර්යත්වයෙන් හා ඉහළ දොළොස්පත්තුවේ ප්‍රධාන සංඝනායක ඇඹෝගම ශ්‍රී ධර්මරක්‍ෂිත නාහිමි උපාධ්‍යායත්වයෙන් 1954 ජුනි මස 05 දින මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේදී උපසම්පදාව ලැබූහ.

1969 සිට 1975 වසර දක්වා හුණුපිටිය ශ්‍රී ඤාණේශ්වර විද්‍යායතන පිරිවෙණ, මාතර ශ්‍රී පුෂ්පාරාම පිරිවෙණ, වෙහෙරහේන සිරි රේවත මහ පිරිවෙන් ආදී විද්‍යාස්ථානවල පිරිත් දේශනා,ධර්ම දේශනා පුහුණු කිරීමෙහි නියුක්ත ආචාර්යවරයෙකු බවට පත් විය.මේ අතර 1970 දී හික්කඩුවේ ශ්‍රී සුමංගල ගුණ සමරු පදනම් විභාගයෙන් සමත්ව ‘සද්ධර්මාචාර්ය’ උපාධිය දිනා ගත්හ.

නිකායික අභිවෘද්ධිය ක්‍රියා කළ හෙයින් 1986.04.24 දින විධායක කාරක සභික ධුරය හා කර්මවාගාචාර්ය පදවිය පිරිනමන ලද අතර 1995 අගෝස්තු මස 27 වන දින “කීර්ති ශ්‍රී ස්වර්ණජෝති විචිත්‍රභාණක ගෞරව නාම සමුම්තිය සහිතව මාතර පළාතේ උප ප්‍රධාන සංඝනායක ධුරයටද පසුව ප්‍රධාන සංඝනායක ධුරයටද සෝමරතන හිමියෝ පත්කරන ලදී. 1997 දී සිය ගුරුදේව මාහිමි අපවත් වීමෙන් විහාරාධිපති ධූරයද 2001 වසරේ ජුනිමස 23 වන දින කැලිෆෝනියාවේ බෞද්ධ මහා සම්මේලනය “ බෞද්ධ දර්ශන විශාරද උපාධියත් 2001 දෙසැම්බර් 31 වන දින ජයවර්ධන ගුණ සමරු පදනම ශ්‍රී සද්ධර්මාවාගීශ්වරාචාර්ය සරභඤ්ඤ විශාරද පණ්ඩිත උපාධියත් 2004 අපේ‍්‍රල් මස 26 වන දින ශ්‍රී රෝහණ පාර්ශ්වය ‘මඤ්ජුස්සර ශිරෝමණී, යන ගෞරව නාමයද 2005දී අධිකරණ අමාත්‍යාංශය මුළු දිවයිනටම සාමවිනිසුරු පදවියක්ද ශ්‍රී රෝහණ පාර්ශ්වය 2006 මැයි මස 30 දින උපාධ්‍යාය ධුරයකින්ද සම්මානිත කරවූහ.

වත්මන් විහාරාධිපති කැනඩාවේ ඔටාවාහි හිල්ඩා ශි‍්‍ර ජයවර්ධනාරාමාධිපති කැකණදුරේ හේමාලංකාර හිමි, මාතර දන්දෙනිය දකුණ ශ්‍රී මිල්ලගිරි විහාර ධර්මායතනාධිපති ශ්‍රී රෝහණ පාර්ශ්වයේ විධායක කාරක සභික බෙලිඅත්ත, නිහිළුව ශ්‍රී ධම්මානන්ද මහ පිරිවෙන්පති ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත, දර්ශනපති හත්තොටුවේ ඉන්දරතන හිමි, ගෞරව ශාස්ත්‍රවේදී වරාපිටියේ මංගල හිමි සිසු පිරිස වේ.

ආදර්ශවත් පැවිදි දිවියක් ගත කළ නාහිමියෝ 2011 ජූලි මස 19 වන දින අපවත් වී වදාළහ. නාහිමි සමරා සිසු පිරිස, දායක සභාව විවිධ පින්කම් සිදු කරති.


විටියල චූලාලංකාර නා හිමි

රන් තරුවක්ව සුදිලුන සසුනඹර මැද
රැක ගත් සිල් සුවඳ ලොවුතුරු සුවය විද
චූලාලංකාර අප නා සමිඳු සඳ
පස් වසරක් පිරෙයි සුර ලෝකයට වැද

සිල් සුවඳින් යුතුව සදහම් මගෙහි යෙදී
සිසු පරපුරක් බිහි කර බොදු දමට ලැදී
මල්වතු මහා නාහිමිවරු සමඟ බැදී
උත්තම මෙහෙවරක් සසුනට කරන ලදී

මාතර මෙන්ම හම්බන්තොට දෙ දිසා වේ
අනු නා පදවි ලැබ කළ උපරිම සේ වේ
ගැමි දරු පිරිස් කර දහමට ලැදි බා වේ
ගෙන දුනි දහම් පාසල් වලට ද ජී වේ

පරිනත දැනුම හින්දා බණ දහම ගැන
අනුශාසනාවට මුළු රට පතල වින
පිරිතට වැඩිය තැන සදහම් සුවය දෙන
පතුරයි අමුතු මිහිරක් සනසවන මන

ගරු නා හිමි සඳුනි ඔබ වැඩ විසුව බිම
තවමත් ගුණ සුවඳ පැතිරෙයි නිබඳව ම
මහ සඟ රුවන හා දායක පිරිස ගම
පිං පෙත් පතයි ලැබ ගනු මැන නිවන අම