Print this Article


පිරිනිවුනි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 11 - 12 මහාචුන්ද මහරහතන් වහන්සේ

පිරිනිවුනි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 11 - 12


මහාචුන්ද මහරහතන් වහන්සේ

අපගේ ශාස්තෘන් වහන්සේ මේ ලෝකයේ පහළ වී උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරද්දී නිකෙලෙස් රහතුන්ගෙන් නිකෙලෙස් රහත් තෙරිණියන්ගෙන් දඹදිව් තලය සෝබමානවත් වුණා. තථාගත හඳමඬලේ උපන් ඒ ශ්‍රාවක පුතුන්ගේ, ශ්‍රාවිකා දියණියන්ගේ විමුක්ති සුවයේ අසිරිමත් බව කැටි වූ සුන්දර උදානයන් ථෙර ථෙරි ගාථා නමින් ශ්‍රී සද්ධර්මයට එක් වී තිබෙනවා. බුද්ධ ශාසනයේ වැඩසිටි ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේලා ගැන අසිරිමත් තොරතුරු මේ ථේර ථෙරී ගාථා ග්‍රන්ථය තුළින් අපට මුණ ගැසෙනවා.

ඒ කාලයේ මිහිඳු මහරහතන් හන්සේ ලක්දිව වැඩසිටිද් දී අනුරාධපුර මහමෙව්නාව ඉතාමත් ලස්සන යි. භික්ෂූන් වහන්සේලා රුක් සෙවණ යට භාවනා කරනවා. තැන්තැන්වල ධර්ම සාකච්ඡා කරනවා. කුටිවල වත් පිළිවෙත් කරනවා. සමහර භික්ෂූන් වහන්සේ ධර්ම විනය කටපාඩම් කරනවා. මේ ලක්දිව බුද්ධ ශාසනයට පූජා කරන තරමට රජවරුන් තුළ ශ්‍රද්ධාව ඇතිවුණේ ඒ රහතන් වහන්සේලා කෙරෙහි පැහැදීම නිසා යි. ඒ නිසා රහතුන් වැඩසිටිය ඒ යුගය අතිශයින්ම සුන්දරයි. එවන් නිකෙලෙස් සිතක් ඇති තවත් රහතන් වහන්සේ නමක් මහාචුන්ද මහරහතන් වහන්සේ.

උන්වහන්සේලා පෙර විසූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ කාලයේ කළ පින්වල ප්‍රාර්ථනා ඇති ඒ ඒ භවයන්හි පින් රැස්කර ගනිමින් පැමිණ “විපස්සී භාගවතුන් වහන්සේ”ගේ කාලයේ දී කුම්භකාර කුලයෙහි මහාචුන්ද මහරහතන් වහන්සේ ඉපදුනා.

කුඩා කාලයේ දී පටන් කුඹල් කර්මාන්තය ඉගෙනගෙන වැඩිවියට පත් වූ පසු ඔහු කුඹල් කර්මාන්තයෙන් ජීවත්වුණා. එක් දිනක් ශාස්තෘන් වහන්සේ දැක පැහැදුණු සිතින් එක් මැටි පාත්‍රයක් මැනවින් ඔපකර නිමකරවා සාදා එය විපස්සී භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කළා. ඒ පින්කමේ බලයෙන් දෙව් මිනිස් දෙ ගතියෙහි උප්පත්තිය ලබා අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී ‘මගධ’ රට ‘නාලක’ ගමෙහි රූපසාරි බැමිණියගේ පුතුව සැරියුත් මහ තෙරුන්ගේ බාල සොහොයුරාව උපන්නා. චුන්ද නමින් ප්‍රකට වූ මෙම කුමරු දම්සෙනෙවි සැරියුත් තෙරුන් අනුවම පැවිදි වී උන්වහන්සේ ඇසුරු කරමින් ජීවත් වී පසුකලෙක විදසුන් වඩා වෑයම් කර නොබෝ කලිත්ම ෂඩ් අභිඥා උපදවා රහතන් වහන්සේ නමක් බවට පත්වුණා.

උන්වහන්සේ අපදාන පාලියේ මෙසේද වදාළා

මම එකල්හි හංසවති නුවර කුඹලෙක්ව උපන්නේ. ආශ්‍රව රහිත වූ කෙලෙස් දූවිලි පිස දැමූ බුදුන් වහන්සේ මම දුටුවා. මම මනාව සෑදු මැටි පාත්‍රයක් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට පිදුවා. සෘජු වූ තාදි ගුණැති උන්වහන්සේට මැටි පාත්‍රය පිදීමේ අනුහසින් මම සසර භවයන්හි ඉපිද රන්තලි ලැබුවා. මම කීර්තිය ද ධන ධාන්‍යා දී සැප ද ලැබුවා.

එනිසා පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා! එකම පාත්‍රයක් පූජා කළ මම අචල වූ නිවනට පැමිණියා. මෙයින් කල්ප අනු එකකට පෙර යම් පාත්‍රයක් දුන්නෙම් ද එදා සිට මේ දක්වා දුගතියක ඉපදුනේ නැහැ. පාත්‍ර දානයේ විපාක මෙය යි. මම තථාගතයන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළා යැයි උන්වහන්සේ මෙසේ ගාථා ප්‍රකාශ කරමින් උදානයක් ප්‍රකාශ කළා.

සුස්සුසා සුතවඩ්ඪනී සුතං පඤ්ඤාය වඩ්ඪනං
පඤ්ඤාය අත්ථිං ජානාතී ඤාතො අතේථා සුඛාවහො

බණ අහන්නට කැමැති කෙනා තුළ ධර්ම ඥාණය වැඩෙනවා. අන්න ඒ ධර්ම ඥානය තුළින් තමයි ඔහුගේ ප්‍රඥාව වැඩෙන්නේ. යථාර්ථය අවබෝධ කර ගන්න ඒ ප්‍රඥාවෙන් පු‍්‍රළුවන්. යථාර්ථය අවබෝධ කළාම තමයි සැප ලැබෙන්නේ.

සෙවෙථ පාන්‍ථානි සෙනාසනානි
වරෙය්‍ය සංයෝජන විප්පමොක්ඛං
සචෙ රතිං නාධිගචෙඡය්‍ය තත්‍ථ
සංඝ වසෙ රක්ඛිතතේතා සතීමා

දුර ඈත වන සෙනසුන්වල ඉන්න ඕන. ධර්මයේ හැසිරෙන්ට ඕන සංසාර බන්ධනයන්ගෙන් නිදහස් වෙන්නට හිතාගෙනම යි. නමුත් ඈත වනයේ වාසය කරන්නට අකැමැතිනම්, එයා තමගේ ඉඳුරන් හොඳින් රැකගෙන හොඳින් සිහිය පිහිටුවාගෙන උතුම් ස්වාමින් වහන්සේලා සෙවනේ වාසය කරන්නට ඕන.


ජෝතිදාස මහරහතන් වහන්සේ

ලෝකයේ අසිරිමත් උතුමන් බිහිවන්නේ බුද්ධ ශාසනයක පමණයි. එයට හේතුව සෝවහාන්, සකදාගාමි, අනාගාමි, අරහත් යන මාර්ගඵල අවබෝධය ඇතිවන ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන කියවෙන්නේ බුද්ධ ශාසනය තුළ පමණක් නිසා. සියලු කෙලෙසුන් නසා සනාතන පාරිශුද්ධත්වය ලබා ගත් ඒ රහතන් වහන්සේලාගේ ජීවිත අතිශයින්ම සුන්දරයි. මිනිස් ලොව මිනිසුන් අතර සිටිමින් මහපොළොව මත පා තබා ඇවිද ගිය උන්වහන්සේලා අයත් වන්නේ ආශ්චර්යවත් මිනිසුන්ගේ ගණයට යි. එදා වැඩසිටි එවන් නිකෙලෙස් මුනිවරයෙක් වූ ජෝතිදාස මහරහතන් වහන්සේගේ ථෙර ගාථා මෙසේයි.

උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හිදී පින් රැස් කර ගනිමින් ඇවිත් “සිඛී”නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටු ගෙයක උපන්නා.

තරුණ වියට පත් මේ සිටුකුමරු දිනක් එරමිණිය ගෙඩියක් තථාගතයන් වහන්සේට පිදුවා. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේ දී ‘පානීයත්ථ’ ජනපදයේ මහත් සම්පත් ඇති බමුණකුගේ පුතෙකුව ඉපිද ‘ජෝතිදාස’ නමින් ප්‍රකට වුණා.

එක් දිනක් තම නිවසේ සිටින විට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිඬුසිඟා වඩින දුටු ජෝතිදාස පැහැදුනු සිතින් යුතුව දානය පූජා කළා. පැහැදුනු සිතින් යුතුව උන්වහන්සේ එය වැළදුවා. ඉන්පසු උන්වහන්සේ සමීපයේ සිටම ධර්මය ශ්‍රවණය කළ ජෝතිදාස තම ගම සමීපයේ වූ පර්වතයක මහත් වූ විහාරයක් සාදවා තෙරුන් වහන්සේ එහි වැඩ හිඳුවා සිවු පසයෙන් ඇප උපස්ථාන කරමින් නිතර ධර්මය ශ්‍රවණය කළා. නිතර බණ ඇසූ මෙම තරුණයාට ශ්‍රද්ධාව ඉපදුනා. ගිහිගේ පිළිබඳ සංවේග ඇතිව විදසුන් භාවනාව වඩමින් නොබෝ දිනකින්ම ෂඩ් අභිඥා උපදවා ගත්තා. පසුකලක දී උන්වහන්සේ මෙසේ උදානයක් වදාළා.

යෙ ඛො තෙ වෙසමිසේසන නානෙත්‍ථන ච කම්මුනා
මනුසේස උපරුන්‍ධන්ති ඵරුසුපක්කමා ජනා
තෙපි තෙත්‍ථව කිරන්ති නහි කම්මං පනස්සති

ඔළුවට පහර දීලා නොයෙක් විදියට වද දීල මහ දරුණු විදිහට වද දීලා මිනිසුන් මරණ උදවිය ඉන්නවා. හැබැයි ඒ ගොල්ලන්මයි ඒ දුක්වලට ආයෙත් ඇද වැටෙන්නෙ. කර්මය නම් විපාක නොදී නැති වෙන්නෙ නැහැ.

යං කරොති නරො කම්මං කල්‍යාණං යදි පාපකං
තස්ස තසේසව දායාදො යං යං කම්මං පකුබ්බතී

ඉතින් මනුස්සයෙක් හොඳ කර්මයක් හෝ පාප කර්මයක් හෝ කරන කොට ඒ ඒ විදියටයි කර්ම රැස්වෙන්නෙ. ඒ ඒ කර්ම තමයි එයාට දෑවැද්ද වශයෙන් තියෙන්නේ.

ඔබත් මේ රහතන් වහන්සේලා කෙරෙහි සිත පහදවා ගන්න. තථාගතයන් වහන්සේ වදාළ වැඩපිළිවෙලෙහි සම්පූර්ණයෙන්ම දමනය වූ ශ්‍රේෂ්ඨ ජීවිත පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙසේ සඳහන් වෙනවා. ‘පින්වත් මහණෙනි, යම්තාක් සත්ව සන්නිවාස තිබේද යම්තාක් භවාග්‍ර තිබේද ඒ සියල්ලට ඉහලින් අග්‍ර වන්නේ රහතන් වහන්සේලා ය. ශ්‍රේෂ්ඨ වන්නේ රහතන් වහන්සේලා ය.

සටහන : නයනා නිල්මිණි


පිරිනිවුනි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 09 - 10 ගෝතම මහ රහතන් වහන්සේ.  වසභ මහ රහතන් වහන්සේ