Print this Article


දැක බලා වැඳ පුදා ගත යුතු අසිරිමත් දඹදිව

දැක බලා වැඳ පුදා ගත යුතු අසිරිමත් දඹදිව

ඛෝ බුද්ධානං උප්පාදෝ - බුදුවරුන්ගේ පහළවීම සැබැවින්ම විශ්වයටම සැපයකි. සියල්ල දෙස යථාර්ථවාදීව බලමින් මානව වර්ගයාට සසර කතරින් එතෙරවීම පිණිස මඟ පාදා දෙන්නට මෙලොව පහළ වූ ශාස්තෘවරයාණන් වහන්සේ නමක් වෙත්නම්, ඒ අප මහා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම ය.


බුද්ධගයාව

සිය උපතේ දීම සත්පියුම් මත ඇවිද යමින්, සිංහනාද පවත්වා ප්‍රාතිහාර්ය පෑ මොහොතේ පටන් අසූ වසරක් දිවි ගෙවා පිරිනිවන් මංචකයට වැඩම කරවන මොහොත තුරාවටම මෙම උත්තමායණන් වහන්සේ කළ කීදෑ සියල්ලක්ම සැබැවින්ම අරුත්බර ය. එමෙන්ම ප්‍රඥා සම්පන්න ය.

පිරිනිවන් පාන්නට මොහොතකට මත්තෙන් එදා අප තථාගතයාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා වදාළ පරිදි” බුදුරජාණන් වහන්සේගේ උපත සිදුවූ ස්ථානයත්, බුදුබව ලබා ගත් ස්ථානයත්,පළමුවන ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානයත්, පිරිනිවන් පෑ වදාළ ස්ථානයත්” යන මේ සිව් මහා ස්ථානයන් සැදැහැති බෞද්ධයෙකු විසින් දැක බලා ,වැඳ පුදාගෙන සිත පහදා ගත යුතු පරම පූජනීය සිද්ධස්ථානයන් ලෙස නම් කෙරිණි.

මේ දිග හැරෙන්නේ ඒ අසිරිමත් බුද්ධ දේශයේ පූජනීය කථා පුවතයි.

නේපාලයේ ලුම්බිණිය

භාරතයේ කෝසල රාජධානියට අයත් ශාක්‍ය ජනපදයේ බොහොම සරු සාරවත් පුරවරයක් තිබිණි. ඒ ...කිඹුල්වත් පුරයයි. කිඹුල්වත් නුවර එකල රජකම් කළේ සුද්ධෝදන හෙවත් සුදොවුන් රජතුමායි. එතුමන්ගේ දේවිය වූයේ කෝලිය වංශික මහාමායා දේවියයි.


කුසිනාරාව

සිය කුළුදුල් දරු ප්‍රසූතිය සඳහා දේවියගේ මව්පියන්ගේ නිවෙස බලා යාම එකළ භාරතයේ චාරිත්‍රයක්ව පැවතිණි. ඒ අනුව මහාමායා දේවියත් කිඹුල්වත් පුරයේ සිට දෙව්දහ නුවර සිටින තම දෙමාපියන්ගේ මාලිගාව බලා පිටත්වූවාය. එදා වෙසක් පුරපසළොස්වක පොහො දිනයකි.

ගමනේ විඩාව හේතුවෙන් මහාමායා ද්විය මේ සුන්දර ලුම්බිණි සල් උයනට වී මඳක් ගිමන් හරින්නට වූවාය. ගිමන් හරින අතරතුරේ දී දරු ප්‍රසූතිය සඳහා පුණ්‍යවන්ත කාල හෝරාව උදාවිණි.

තිලොව ට ම සෙතක් ශාන්තියක් උදා කරලමින් පින්වත් පුත් රුවනක් මෙලොව එළිය දුටුවේය. කුළුඳුලේ උපන් පුතුට “ සිදුහත් හෙවත් සිද්ධාර්ථ “ යන නම තැබිණි. මහා ප්‍රඥාවකින් ලෝකය දෙස බලා සුවහසක් අසරණයින්ට පිළිසරණක් වූ අප මහා තථාගතයන් වහන්සේගේ උපත සිදුවූ ස්ථානය මෙය වන අතර, එය සිදුව ඇත්තේ ක්‍රි.පූ. 623 දී ය.

පුරාණයේදී දඹදිව සිද්ධස්ථානයන් එකම දේශයකට අයත් වූවත්, පසුකාලීනව ඇති වූ දේශපාලනමය හා දේශසීමා සාධකයන් හේතුවෙන් වර්තමානය වනවිට ලුම්බිණිය නේපාලයටත්, සෙසු දඹදිව සිද්ධස්ථානයන් ඉන්දියාවටත් උරුමව පවතී. ඉන්දියාවේ සිට ගොඩබිම් මාර්ගයෙන් නේපාලයේ ලුම්බිණිය බලා ගමන් ගන්නේ නම්, සුනෝලි දේශ සීමා හරහා යා යුතුව ඇති අතර, සුනෝලි දේශ සීමාවේ සිට සැතපුම් 12 ක දුරකින් මෙම අභිමානවත් ලුම්බිණිය පිහිටා තිබේ.

සිදුහත් කුමරුන්ගේ උපත සිදු වූයේ මෙම ස්ථානයේ දී ම වන බවට පැහැදිලිවම හඳුනා ගන්නට හැකියාව ලැබී ඇත්තේ මෙම ස්ථානයේ තිබී පසුකලෙක සොයාගත් අශෝක කුලුන නිසාවෙනි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර 218ක් ඉක්මවා ගියපසු ධර්මාශෝක රජතුමා ලුම්බිණියට ගොස් වන්දනා මාන කර ගැනීමෙන් අනතුරුව මෙම කුලුන ස්ථාපිත කළ බවට ඉතිහාසය විසින් සාක්‍ෂි දරයි. එමෙන්ම අශෝක ස්ථම්භයට අනෙක් පසින් විශාල පොකුණක් දක්නට ලැබෙන අතර, සිදුහත් කුමාරයා උපතලද පසු එම පොකුණෙන් දෝවනය කළබැව් ද කියැවේ. පතපොතේදී සඳහන් වන පරිද්දෙන් ලුම්බිණි සල් උයනේ එදා තිබූ අලංකාරවත් සල් ගස් අද නැතත්, ඒ තුරුලතා ඒ ඒ පුෂ්පයන් මෙන්ම සියොතුන්ගේ ගීත රාවයන් අද දක්නට නැතත්,නේපාල රජය විසින් මෙම පින්බිම මැනැවින් සංරක්‍ෂණය කර තිබේ.

බුද්ධගයාව

ලෝකවාසී බොදු සැදැහැවතුන් සිය පරම පූජනීයතම ස්ථානය වශයෙන් සළකනු ලබන්නේ අප මහා තථාගතයාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ පෙරුම් දම් පුරමින් සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත් වූ ඉන්දියාවේ දඹදිව මේ බුද්ධගයාවයි. සසරේ අනන්ත අප්‍රමාණ දුක් සමුදායක් විඳිමින් ගිය ගමනේ කෙළවර විජයග්‍රහණය කළ උතුම්ම පින්බිම මෙයම වේ.


ඉසිපතනාරාමය

බිහාර් ප්‍රාන්තයේ පිහිටි බුද්ධගයා විහාරය, විශිෂ්ඨත්වයෙන් පිරිපුන් අපූර්වතම නිර්මාණයකි. මෙම ගර්භය වටා ඇත්තේ බුද්ධ රූප සහ බෞද්ධ දර්ශනය පාදක කරගත් ආකෘතීන් ය. අඩි 170 ක් උස් වූ මෙම ගර්භය කහ සහ දුඹුරු පැහැයෙන් දිස්වේ.

විහාරයේ පහළ අභ්‍යන්තරයේ භූමි ස්පර්ශ මුද්‍රාවෙන් යුක්ත රන්වන් පැහැයෙන් දිස්වෙන ශාන්ත බුදු පිළිමයකි. විහාරය පසුපසට වන්නට සිද්ධාර්ථ තවුසාණන් බුද්ධත්වයට පත් වජ්‍රාසනයත්, බුද්ධත්වය පිණිස සෙවන සළසා දුන් උතුම් වූ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේත් අපට දැක ගත හැකිවේ. අතුපතර දළු දා හොඳින් වැඩි ඇති මෙම බෝධින් වහන්සේගේ නිල්වන් බෝ පත්‍රයන්ගෙන් මුළු පරිසරයම සිසිල් බවකින් නහවා තිබේ.

බුද්ධගයාවේදී සම්මා සම්බුද්ධත්වයට පත් අප තිලෝගුරු අමාමෑණි බුදුරජාණන් වහන්සේ, කළ ගුණ සැළකීමේ උතුම් ආදර්ශය ලොවට කියා පාමින් බුද්ධගයාව අවට පරිසරයෙහිම සති හතක් ගත කළ සේක.

ඒ අනුව පළමු සතියේදී තමන් වහන්සේ අවබෝධ කර ගත්තා වූ සත්‍ය ධර්මය යළි යළිත් මෙනෙහි කළ පෙර කියූ වජ්‍රාසනයත්, බුදු බව ලබන්නට උපකාර කළ බෝධින් වහන්සේට කෘතවේදීත්වය පළ කරමින් දෙවන සතියේදී අනිමිස ලෝචන පූජාව පැවැත්වූ ස්ථානයත්, තුන්වන සතියේදී රුවන් සක්මනෙහි නිරත වූ ස්ථානයත්, සිව්වෙනි සතිය ගතකළ රුවන්ගෙයත්, පස්වෙනි සතිය ගතකළ අජපල් නුගරුක පිහිටි ස්ථානයත්, මිදෙල්ල තුරු සෙවණේ සමවත් සුවයෙන් හයවෙනි සතිය ගත කරන අතරතුර මුචලින්ද නාගයා දරණ ලාගෙන සිටි ස්ථානයත්, සත්වන සතියේදී අරහත් ඵල සමාපත්තියෙන් වැඩ සිටි රාජායතන කිරිපලු නුග රුකත් බුද්ධගයා පරිශ්‍රයේදීම අපට දැක ගත හැකිවේ.

මීට අමතරව ගංගා නම් ගඟත්, සුජාතා සිටුදේවිය සිදුහත් තවුසාණන්ට කිරිපිඬු පූජා කළ ස්ථානයත්, බුදුරජාණන් වහන්සේට සොත්ථිය බ්‍රාහ්මණයා කුස තණ අට මිටක් පූජා කළ ස්ථානයත් බුද්ධගයාව ආසන්නයේම පිහිටා තිබේ.

බරණැස ඉසිපතනාරාම මිගදාය

සියලු ලෝ වැසියනට සසර කතරෙන් මිදෙන්නට මඟ පාදා දුන් අසිරිමත් බුදු දහම ලොව පුරා පැතිර යන්නට මංපෙත් විවර වූයේ මෙම පුද භූමියෙනි. සම්මා සම්බුද්ධත්වයට පත් අප තථාගතයාණන් වහන්සේ මහත් වෙහෙසක් දරා තමන් වහන්සේ විසින් අවබෝධ කර ගත්තා වූ ඒ උතුම් ශ්‍රී ධර්මස්කන්ධය ප්‍රථමයෙන්ම දේශනා කළ යුත්තේ කා හට දැයි බුදු නුවණින් විමසා බැලු කල පස්වගමහණුන් අරභයා එය දේශනා කරන්නට සුදුසු යැයි තීරණය කෙරිණි. ඒ සඳහා සැතපුම් 290 ක් දුර ගෙවා බුදුරජාණන් වහන්සේ බරණැසට වැඩි සේක.


ලුම්බිණිය

ඒ අනුව ඇසළ පුන්පොහෝ දිනෙක බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාම මිගදායේදී පස්වග මහණුන් උදෙසා “ ධම්මචක්කප්පවත්තන සූත්‍රය” හෙවත් දම්සක් පැවැතුම්සූත්‍රය “දේශනා කළ අතර, ප්‍රථම දහම් දෙසුම ශ්‍රවණය කරන්නට දෙව් බඹුන් ද එක්ව සිටියහ.

ධර්ම දේශනාව අවසන් වත්ම පස්වග මහණුන්ගෙන් කොණ්ඩඤ්ඤ තවුසාණෝ පළමුව සෝවාන් ඵලයටත්, දෙවිවරුන් මහත් සතුටට පත්වූහ. එමෙන්ම බුදුරජාණන් වහන්සේ සිය පළමු වස් කාලය වශයෙන් තෙමසක් ගත කිරීමත් යසකුල පුත්‍රයා සහ සිය මිතුරන් පනස් හතරදෙනා ධර්මය ශ්‍රවණය කිරීමත් මෙන්ම තවත් ශාසනික වටිනාකමක් ඇති බොහෝදේ සමඟින් බෝසත් චරිතවලදී සහ සම්බුදු චරිතයේදීද වැදගත් සිද්ධීන් රැසකට බරණැස ඉතා වටිනා සන්ධිස්ථානයක් වූයේය.

නව මූලගන්ධ කුටි විහාරයත්, ධම්මික ස්ථූපයත්, ධර්මරාජික, ස්ථූපයත්, පැරැණි මූලගන්ධකුටි විහාරයත්,අශෝක ස්ථම්භයත්, සම්මුඛ චෛත්‍යයත් ඇතුළුව ඉසිපතන භූ®මි පරිශ්‍රයේ ආරාම, භාවනා කුටි, ස්ථූප, විහාර මන්දිර සක්මන් මළු සහ තවත් පෞරාණික නටබුන් රැසක්ම අද දැක බලා වන්දනා කර ගත හැකිවේ.

වර්ෂ 1931 දී ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් විසින් ඉදිකරන ලද නව මූලගන්ධකුටි විහාරයේ පසුපස ඇති බෝධි වෘක්‍ෂය ධර්මපාලතුමා විසින් රෝපණය කරන ලද්දක් වන අතර, එය ඉදිරිපස බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ට ධර්මය දේශනා කරන අයුරු දැක්වෙන ප්‍රතිමාවක් ද ස්ථාපිත කර තිබේ.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටි යුගයේ පටන් මෙම සුන්දර උද්‍යාන පියසේ,බොහෝ ඍෂිවරුන් මෙන්ම තවුසන් ද වාසය කළ නිසා “ ඉසිපතන නමින් හඳුන්වනු ලැබූ අතර, මුවන් සඳහා අභය භූමියක් වූයෙන් “මිගදාය” වශයෙන්ද හැඳින්වේ. වර්තමානයේ දී මෙම ස්ථානය හඳුන්වනු ලබන්නේ “වාරාණාසී “යනුවෙනි.

කුසිනාරාව

කුසිනාරාව හෙවනත් කුෂිනගර් යනු, තිලෝගුරු අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ ස්ථානයයි. අසූ වසරක් දිවි ගෙවු අප මහා තථාගතයාණෝ ආදර්ශයන්ගෙන් පිරුණු දහමක් ලොව පුරා පතුරුවා පිරිනිවන් පෑ වදාළේ මල්ලව රජදරුවන්ගේ උපවත්තන නම්වූ මෙම සල් උයනේ දීය.

සිය පරිනිර්වාණය සඳහා ලොව්තුරා බුදුරජාණන්වහන්සේ විසින්ම තෝරාගත් ස්ථානය කුසිනාරාවයි. දඹදිව සියලුම සිද්ධස්ථානයන් වන්දනා කරගෙන මෙම ස්ථානයට පැමිණෙන ඕනෑම සැදැහැතියෙකුගේ දෙනෙතට කඳුළු උනන්නේ නිරායාසයෙනි.

ඒ මන්ද යත්, මුළුලොවම එළිය කළාවූ අප මහා උත්තමයාණන් වහන්සේගේ පිරිනිවීම මෙම ස්ථානයේදී සනිටුහන් වී තිබීමය.

බොහෝ වෙහෙසකට පත්ව කුසිනාරාව බලා පැමිණි බුදුරජාණන් වහන්සේ කුකුත්ථා ගංතෙර අභියස සිට අද දිනයේ තමන් වහන්සේ පිරිනිවන්පාන බව ආනන්ද හාමුදුරුවන්ට වදාළහ.ලොවම කම්පා කරවූ මෙම වදන් පෙළ වදාළ බුදුරජාණන්වහන්සේ, කෙතරම් අපහසුවෙන් වුවත් තමන්වහන්සේ විසින්ම ගඟට බැස සිය ශරීරය දෝවනය කරගත්හ.

සල් උයනක උපත ලද අප තථාගතයාණන් වහන්සේ සල්උයනක දීම පිරිනිවන් පාන්නටත් අදහස් කළ සේක. සියලු සංස්කාර ධර්මයන්,අනිත්‍ය බවත්,අප්‍රමාදව කුසලයෙහි පිහිටා කටයුතුකර නිවනට අවැසි මාර්ගය සකසා ගන්නා ලෙසත් වදාළ බුදුරජාණන් වහන්සේ, තමන්වහන්සේගේ ධර්මය ගුරුවරයා වශයෙන් සළකා සැමදා සැමවිට කටයුතු කරන ලෙසත් වදාළහ.

කුසිනාරා පිරිනිවන් මංචකයේ ඇති බුද්ධප්‍රතිමා වහන්සේගේ විශේෂත්වයන් රැසකි. විශ්වයේ අපූර්වතම නිර්මාණයක් වශයෙන් ලෝක පූජිත මූර්ති ශිල්පීන් පවා පිළිගෙන ඇති මෙම පිළිමයේ සතර පැත්තට ගොස් බලනකළ එකිනෙකට විවිධාකාරවූ ඉරියව්වන්ගෙන් දැක ගත හැකිවේ. මෙම පිළිම වහන්සේගේ දෙනෙත් වැසීද නැත.විවරවී ද නැත. බුදුරජාණන්වහන්සේගේ වයස ශරීරයේ වෙනස්කම් මෙන්ම පිළිමයේ විශාලත්වය ද මෙම පිළිමය වටා ගමන් කරන ඕනෑම උවැසි උවැසියකටම පැහැදිලිව දැක ගත හැකිවේ.

මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයනේදී බුදුරජාණන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය සිදු කෙරුණු අතර, චිතකයේ තිබු සඳුන් අඟුරු සියල්ල තැන්පත් කර ‘අංගාර’ නමින් චෛත්‍යරාජයාණන්වහන්සේ නමක් ගොඩනගන ලදී

මහා කරුණා මහා සමාපත්තියෙන් පිරුණු තිලෝගුරු අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු දිවිය හා බැඳුණු ඒ පරම පූජනීය සිද්ධස්ථානයන් සෑම මොහොතකම ලෝකවාසි බොදුනුවන්ගෙන් පිරී පවතී.

අසිරිමත් සම්බුද්ධ දේශයේ පින්වත් සිද්ධස්ථානයන් මෙත් සිත් පෙර දැරි දෑසින් යුතුව දකිමින්, දොහොත් මුදුන් දී වැඳ පුදා ගැනීමම උපනූපන් ජාති ජාතිත් පින් ගෙන දෙන පුණ්‍යකර්මයක් වන බව මනාව පසක්වේ.