UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 ගරු කිරීම ගැන මතවාද කුමටද?

ගරු කිරීම ගැන මතවාද කුමටද?

බුදුරජාණන් වහන්සේ පා ගමනින් වැඩම කරද්දී ඇතැම් රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් වැඩම කර තිබෙනවා. එවිට උස් පහත් භේදය මනින්නේ කොහොමද ? බුදුරජාණන් වහන්සේට ඒ කිසිවක් ප්‍රශ්න නෙමෙයි. ප්‍රශ්න තිබෙන්නේ ප්‍රශ්න හදාගන්නේ අප විසින්මය. බුදුරජාණන් වහන්සේට නැති ප්‍රශ්න ඇයි අප හදාගන්නේ

අපේ සමාජයේ ගරු කිරීම සම්බන්ධව විවිධ මති මතාන්තර තිබෙනවා. මේ මතවාද අදහස් ඇතැම් විට වාද විවාද දක්වා ඇදි යනවා. බුදු දහමට ගරු කිරීමට ගොස් අවසානයේ ගැටුම් ඇති කර ගන්නවා නම් එහි ඇති ගුණධර්මය කුමක්ද ? මෛත්‍රී බව නැත්නම් සාමය ඇගැයෙනවා ද?

මෙහිදී විශේෂ තැනක් ගන්නේ සීවලී මහරහතන් වහන්සේගේ පිළිරුව තබන ස්ථානය ගැන ඇති මති මතාන්තරයයි.

බොහෝ නිවාසයන්හි අපට දක්නට ලැබෙන්නේ නිවසට ඇතුළුවන ප්‍රධාන උළුවස්සේ, ඉහළින් ඇතුළු පැත්තෙන් සීවලී මහරහතන් වහන්සේගේ රූපයක් ( ඇතැම් විට පිළිරුවක් ) දක්නට තිබෙනවා.

ඇතැම් විට මේ පිළිරුවට පහනක්වත් දල්වන්නේ නැහැ. උදේ සවස තමන් බුදුන් වඳින බුදු පහන තබන්නේ සීවලී පිළිරුවට පහළ ස්ථානයක ය. ඇතැමුන් තර්ක කරන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසා කරනු ලබන වත් පිළිවෙත් උසස් ස්ථානයක තබා කළයුතු බවත් අනෙක් පුද පූජා ඊට වඩා පහළින් සිදුකළ යුතු බවත් ය.

බුදුරජාණන් වහන්සේ ලාභීන් අතර අග තැන්පත් මහරහතන් වහන්සේ ලෙසින් සීවලී මහ රහතන් වහන්සේ නම් කළා.

එමෙන්ම භික්ෂූන් වහන්සේ සමඟ කුමන හෝ ගමනක් වඩින අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ‘ කෝ සීවලී ඉන්නවාදැ’ යි විමසා බැලුවා. ඒ සීවලී මහ රහතන් වහන්සේගේ ගුණ මහිමය සෙසු භික්ෂූන් වහන්සේටත් බලපානු ලබන නිසා.

අප කළයුත්තේ පුද සත්කාර කරනු ලබන ස්ථානය උසද පහත ද කියා සෙවීම නෙමෙයි. එම ස්ථානයේ පිරිසුදුකම ගැනය. බුදුරජාණන් වහන්සේට හෝ සීවලී මහ රහතන් වහන්සේට හෝ වේවා පුද සත්කාර කිරීමේදී ඒ සඳහා පවිත්‍ර ස්ථානයක් තෝරාගත යුතුවනවා.

ඒ හැරෙන්නට එම ස්ථානය සුදුසු උසකින් යුක්තවීමත් වැදගත්. එසේ නොමැතිව තමන්ගේ සිත සමඟ තරග කරමින් වඩා උසස් රහතන් වහන්සේ ගේ පිළිරුව තැබිය යුතු ස්ථානය ගැන තර්ක කිරීම නැත්නම් කරුණු සෙවීම අනුවණකමක්.

බුදුරජාණන් වහන්සේ සියලු දෙනාටම වඩා උසස් ලෙසින් අප සලකනවා. උන් වහන්සේගේ පුද සත්කාර සියල්ල උස් ස්ථානයක තබා කළයුතු යැයි සිතනවා නම් එසේ කිරීමයි වැදගත් වන්නේ. එසේ නොමැතිව අනෙක් අය කරන කියන දේ ගැන සෙවීම අනුමත කරන්න බැහැ. එමෙන්ම එය නිශ්ඵල ඛ්2යාවක්.

බුදුරජාණන් වහන්සේ පා ගමනින් වැඩම කරද්දී ඇතැම් රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් වැඩම කර තිබෙනවා. එවිට උස් පහත් භේදය මනින්නේ කොහොමද ?

බුදුරජාණන් වහන්සේට ඒ කිසිවක් ප්‍රශ්න නෙමෙයි. ප්‍රශ්න තිබෙන්නේ ප්‍රශ්න හදාගන්නේ අප විසින්මය. බුදුරජාණන් වහන්සේට නැති ප්‍රශ්න ඇයි අප හදාගන්නේ.

බුදුරජාණන් වහන්සේට ගල් තලාවක සැතපීමට පුළුවන්නම් කටුක ගොරෝසු සිවුරු පොරවන්න පුළුවන්නම් ඇයි අපි අනවශ්‍යදේ සොයා යන්නේ.

බුදුරජාණන් වහන්සේ වයසින් බාල අයකු ලෙස සලකා කිඹුල්වත්පුර චාරිකාවේදී ශාක්‍යයන් විසින් උන්වහන්සේට වැඳ නමස්කාර කළේ නැහැ. ඒ අය තමන් උසස් යැයි සිතාගෙන සිටියා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ පුද්ගලයා එසේ මැන බැලීම වැරැදි සහගත බවයි. සැමවිටම යහපත් අරමුණේ පිහිටා කටයුතු කරන්නේ නම් මේ ගැටලු ඇතිවන්නේ නැහැ.

එමෙන්ම සීවලී මහ රහතන් වහන්සේට පුද සත්කාර කරමින් ඇතැම් අය ලාභ සත්කාර බලාපොරොත්තු වනවා. මෙයද එක් එක් අයගේ විවේචනයට ලක්වී තිබෙනවා.

සීවලී මහ රහතන් වහන්සේ හෝ වේවා බුදුරජාණන් වහන්සේ හෝ වේවා පුද සත්කාර කරමින් අප කවුරුත් යම් යම් ලාභ අපේක්ෂාවන් බලාපොරොත්තු වනවා. එසේ නොමැති බව කීමට කිසිවකුට හැකියාවක් නැහැ. අප සියල්ල කරන්නේ නිවන් දකින්නම නෙවෙයි. ලෞකික සැපයෙන් තොර නිවනක් නැහැ. නිවන් දැකීමට පෙර අප ජීවත් විය යුතු වනවා.

බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රය දේශනා කළේ කුමටද ? නිවන්ම දකින්නද ? සූත්‍රය අවසානයේ “ඵුට්ඨස්ස ලෝක ධම්මේහි” යනුවෙන් දක්වා තිබුණත් සෙසු සියලු කරුණු මෙලොව දියුණුව පිණිස බව අප තේරුම් ගතයුතු වනවා. පරාභව සූත්‍රය දේශනා කළේ කුමකටද ? ව්‍යග්ඝපජ්ජ සූත්‍රය දේශනා කළේ මෙලොව දියුණුව පිණිසය.

මේ බව අප අසා දැනගෙන තිබුණත් ඒ අනුව කටයුතු කරන්නේ නැහැ. ඒ කිසිඳු සූත්‍රයක් නිවන් දැකීම උදෙසා දේශනා කරන ලද ඒවා නෙමෙයි.

නිවන් මඟට යන අතරදී ලෞකික ජීවිතයක් සාර්ථකව පවත්වා ගතයුතු වනවා.

අනේපිඬු සිටුතුමා වැනි අග්‍ර දායකයක් සමඟ උන්වහන්සේ වැඩි සබඳතා පැවැත්වූයේ ඇයි ? උන් වහ්නසේ වනයට වී නොසිට වැඩි කලක් ජේතවනාරාමයේ වැඩ සිටියේ ඇයි ? ලෞකිකත්වය සාර්ථක නොවූ තැනක ලෝකෝත්තර බවක් නැහැ. අපායක සිට දිව්‍ය ලෝක බලාපොරොත්තු වන්නට බැහැ.

මේ නිසා අප මනස නිවැරැදිව හසුරුවා ගැනීමයි වැදගත් වන්නේ.

බුදුරජාණන් වහන්සේ කිසිදිනක ලාබාපේක්ෂාවෙන් තොරව මේ කටයුතු තමන් උදෙසා කරන ලෙස දැන්වුයෙත් නැහැ. නමුත් මනස නිසි ලෙස හසුරුවා ගැනීමත් ඒ සඳහා අනුගමනය කරන පිළිවෙත මෙහිදී වැදගත් වන්නේ.

එසේ නොමැතිව තමන් ආගමික පුද පූජා පවත්වන ස්ථානයේ ඉහළින්ම සිටිය යුත්තේ කවුදැයි යන්න තර්ක කිරීම නෙමෙයි.

බුදුරජාණන් වහන්සේ ඉහළින්ම සිටිය යුතුයැයි සිතනවා. එය එසේ කිරීමයි වැදගත් වන්නේ. එසේ නොමැතිව නිවසේ සමඟිය නැති කර ගැනීම හෝ අසල්වැසියන් සමඟ ඒ ගැන වාද කරනවා නම් අප සැබෑ බෞද්ධයන් නොවන බවයි තේරුම් ගතයුතු වන්නේ.

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 22 වැනි දා සඳුදා පූර්වභාග 03.33 ට ලබයි.
22 වැනිදා සඳුදා අපරභාග 11.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි 22 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
ජූලි 29 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]