UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුනරුප්පත්ති ලිපි මාලාව - 29

පුනරුප්පත්ති ලිපි මාලාව - 29

සැදැහැ සිතින් මල් පිදීමේ අනුසස් පවසන

පිණ්ඩෝල භාරද්වාජ ථෙර චරිතාපදානය

පසුගියදා අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ ගෞතම බුදු සසුනෙහි දිවැස්ලාභීන් අතර අගතැන්පත් අනුරුද්ධ මහරහත් ථෙර අපදානය යි. අද අප විමසා බලන්නේ ගෞතම බුදු සසුනෙහි සීහනාද පවත්වන්නවුන් අතර අගතැන්පත් පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේගේ චරිතාපදානය යි. පදුමුත්තර සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ අභීත සිංහයෙක්ව උපන් මෙතුමාණන් පැහැදුණු සිතින් යුක්තව ඒ සම්බුදුරජාණන් වහන්සේට මනාව පිපුණු පියුමක් පුදා ඇත. ගෞතම බුදු සසුනෙහි සීහනාද පවත්වන්නවුන් අතර අගතැන් ලැබීමට හේතු වී ඇත්තේ එම කුශලය යි. මෙතැන් සිට පිණ්ඩෝල භාරද්වාජ ථෙර චරිතාපදානය විමසා බලමු.

සියල්ල තමන් වහන්සේම අවබෝධ කොටගත්, සියලු දෙනාටම අග්‍ර වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ කාලයේ හිමාල පර්වතය ඉදිරිපිට වූ චිත්‍රකූට පර්වතයෙහි වැඩ විසූ සේක. එකල්හි මම බොහෝ සත්වයන් බිය කිරීමට සමත් වූ, කැළඹීමට සමත් වූ, අභීතව සිව් දිගම යෑමට සමත් වූ සිංහයෙක්ව උපත ලදිමි.

මම මනාව පිපිණු පියුමක් ඩැහැගෙන ගොස් චිත්‍රකූට පර්වතයෙහි සමාධියෙන් නැගී සිටි ඒ තථාගතයන් වහන්සේ වෙත එළඹ, ඒ පියුම පිදුවෙමි.

සුඵුල්ලං පදුමං ගය්හ
උපගච්ජි නරාසනං
වුට්ඨිතස්ස සමාධිමහා
බුද්ධස්ස අභිරෝපයිං

“මම සිව් දිගෙහිම මිනිසුන්ට උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට සිත පහදවා සිංහනාද කළෙමි. පූජා සත්කාර පිළිගැනීමට අතිශයින් සුදුසු වූ ඒ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ආසනයෙහි වැඩහිඳ මේ ගාථාව වදාළ සේක. සියලු දෙවිවරු තථාගතයන් වහන්සේගේ වචන හැඳින ධර්මය දේශනා කිරීමට සූදානම් වන බව දැන ‘අපිත් ධර්මය අහමු’ යැයි එහි රැස් වූහ. අනාගතය දැකීමට සමත් වූ ලෝකනායක වූ බුදුරජාණන් වහන්සේ, ඒ පී‍්‍රතියෙන් යුක්ත වූ ඔවුන් ඉදිරියෙහි මාගේ ශ්‍රද්ධාව ප්‍රකාශ කළ සේක.”

“යමෙකු විසින් ශ්‍රද්ධාව පෙරටු කොටගෙන පියුමක් පුදන ලද ද, සිංහ නාද කරන ලද ද, ඔහුගේ තොරතුරු මෙසේ කියන්නෙමු. එය අසන්න.”

හෙතෙම මෙයින් අටවන කල්පයෙහි සත් රුවන් සහිත වූ සතර මහ දිවයිනෙහි අධිපති වූ සක්විති රජෙක් වන්නේ ය. හැටහතර වරක් පෘථිවියෙහි අධිපති වූ මහ බල ඇති රජෙක් වන්නේ ය. හැට පස්වන වතාවෙහි පදුම නමින් මහත් බල ඇති සක්විති රජෙක් වන්නේ ය. මෙයින් කල්ප ලක්‍ෂයක් මත්තෙයි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම වන්නා වූ ශාස්තෘන් වහන්සේ ලොව පහළ වන්නාහ. එකල්හි හෙතෙම බ්‍රාහ්මණයෙක්ව උපදින්නේ ය. ඒ ගෞතම ශාස්තෘන් වහන්සේ විසින් දේශනා කරන ලද දහම් අසා බ්‍රාහ්මණ කුලයෙන් නික්ම ගෞතම බුදු සසුනෙහි පැවිදි වන්නේ ය.

වීර්ය කිරීම පිණිස මෙහෙයවන ලද සිත් ඇතිව උපශාන්ත වූ හෙතෙම සියලු ආශ්‍රවයන් ප්‍රහීණ කොට ආශ්‍රව රහිත වූයේ ය. නැවත නූපදින ලෙස පිරිනිවන් පාන්නේ ය. චණ්ඩ මෘගයන්ගෙන් ගැවසීමෙන් ජනයාගේ බැඳීම්වලින් තොර වූ වනයෙහි ඉතා දුර වූ සෙනසුන්වල වැඩවසමින් අරහත් තත්ත්වයට පත් වූයේ ආශාව රහිත වූයේ පිරිනිවන් පාන්නේ ය. යනුවෙන් ඒ පදුමුත්තර ලෝකනායකයන් වහන්සේ මගේ අතීත ජන්මයන් දේශනා කළහ.

ඒ අනුව මා අවසන් අත් බවෙහි ගෞතම බුදුරදුන් කල බ්‍රාහ්මණ කුලයක ඉපිද, ඒ ශාන්ති නායකයාණන් වහන්සේගේ ධර්මය අසා අනගාරික වූයේ, බ්‍රහ්මචාරී වූයේ, එම සසුනෙහි පැවිදි වුණෙමි.

මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයන් නසන ලදිමි. හස්ති රාජයෙකු මෙන් බැඳුම් සිඳ ආශ්‍රව රහිතව වාසය කරමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීම යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ලැබුවෙමි. මේ සිව්පිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්ෂයෝ ද, ෂඩ්අහිඥාවෝ ද, සාක්‍ෂාත් කරන ලදිමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටු කරන ලදිමි.


පුනරුප්පත්ති ලිපි මාලාව - 28 පහන් පිදීමෙහි අනුසස් පවසන අනුරුද්ධ ථෙරාපදානය

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 22 වැනි දා සඳුදා පූර්වභාග 03.33 ට ලබයි.
22 වැනිදා සඳුදා අපරභාග 11.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි 22 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
ජූලි 29 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]