UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෝසත් සිරිත හා අසිරිමත් බුදුසිරිත

බෝසත් සිරිත හා අසිරිමත් බුදුසිරිත

තුසිත දිව්‍ය ලෝකයෙහි අපගේ බෝසතාණන් වහන්සේ වැඩ වාසය කරන කාලයෙහි බුද්ධ කෝලාහලය නමින් එක් අවස්ථාවක් ඇති විය.

ලොව කෝලාහල තුනක් පිළිබඳව දැක්වේ.

එය කල්ප කෝලාහල බුද්ධ කෝලාහල සහ චක්කවත්ති කෝලාහල නම් වේ.

වසර ලක්ෂයකට පසු කල්ප විනාශ වනවා යැයි ඇතිවන තත්වය කල්ප කෝලාහලය යැයි කියනු ලැබේ. කාමාවචර දෙවිවරු හිසකෙස් කඩාගෙන හිස පහතට දමාගෙන බොහොම වේදනාවෙන් හඬමින් කඳුළු සලමින් අතින් අත අඹරමින්, රතු වස්ත්‍ර ඇඳගෙන ඉතා විරූප වේෂධාරින මනුෂ්‍ය ලෝකයෙහි හැසිරෙමින් යහලුවනි,අවුරුදු ලක්ෂයකට පසු කල්පය අවසන්වේ.මේ ලෝකය විනාශවේ. මහ සමුදුර වියැලී යයි. ඒ නිසා මේ මහ පොළොව මහා සිනේරු පබ්බතය ආදි සියල්ල විනාශයට පත්වේ. ඒ නිසා මෛත්‍රි‍්‍ර සහගතව කරුණාව, උපේක්‍ෂාව වඩන්න, මවට උපස්ථාන කරන්න. පියාට උපස්ථාන කරන්න. කුල දෙටුවන්ට සලකන්න ආදි ලෙස කියමින් ඔවුන් මේ ලෝකයෙහි ඇවිදිනු ලැබේ.

ඒ කල්ප කෝලාහලය පිළිබඳව සම්මත කථාවයි.

වර්ෂ දාහකට පසු සර්වඥයන් වහන්සේ ලොව පහළ වන බව කියමින් ලෝක පාලක දෙවිදේවතාවුන් වහන්සේලා තැන් තැන්වල ඇවිදිනු ලැබේ. එය බුද්ධ කෝලාහලය ලෙස සඳහන් වේ.

එමෙන්ම වසර සියයකට පසු චක්‍රවර්ති රජු පහළවන බව කියමින් දෙවිවරු ලොව හැසිරීම චක්කවත්ති කෝලාහලය ලෙස සඳහන් වේ.

මේ අයුරින් වසර දහසකට පසු බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළවන්නේ යැයි දස දහසක් සක්වළ දෙවිදේවතාවුන් වහන්සේලා අසවල් උත්තමයා බුදුවන්නේයැයි දැනගෙන බෝසතාණන් වහන්සේ ළඟට පැමිණ බුදුවීමට පෙර නිමිති පහළ වී ඇතැයි ආයාචනය කරනු ලැබේ.

මේ සියලු දෙවිවරුන් එක් භවනකට රැස්වී තුසිත දෙව්ලොව වැඩ වසන බෝසතාණන් වහන්සේ ළඟට ගොස් නිදුකාණනි! දසපාරමි දම් පූරණය කළේ චක්කවත්ති සම්පත්තිය සඳහා නොවේ. මාර සම්පත්තිය සඳහා නොවේ. බ්‍රහ්ම සම්පත්තිය සඳහා නොවේ.ලෝකවාසීහු දුකින් මුදා ගැනීමට සර්වඥතා ඤාණය ලබන්නයැයිද එබැවින් දැන් බුදු වීමට කාලය යැයි බෝසතාණන් වහන්සේට ආරාධනා කරනු ලැබේ.

මහා සත්වයන් වහන්සේ ඒ දෙවිවරුන් වෙත ප්‍රතිඥා නොදීම කාලය, දීපය, දේශය, කුලය, මව යන පංච මහා විලෝකනය බලනු ලැබේ.

මිනිසුන්ගේ ආයු කාලය ලක්ෂයකට වඩා වැඩි නම් එකලට බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්නොවේ. ඊට හේතුව නම් දිර්ඝායුෂ නිසා ජාති, ජරා, ව්‍යාධි මරණ නොපෙනෙන බැවිනි.

බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනය ත්‍රිලක්‍ෂණය මතු කරවන දේශනාවක් වේ.අනිත්‍ය දුක්ඛ,අනාත්ම යනුවෙන් සඳහන් කරන්නේ කුමක්දැයි මිනිසුන්ගේ කල්පනාවට ගනු ලැබේ. ඒ නිසා එසේ නොවුවහොත් එය ඇසිය යුතු වටිනා දෙයක් ලෙස මිනිසුන් නොසිතනු ඇත. අවබෝධ වන්නේ නැත. ඒ නිසා ශාසනය අවශ්‍ය නොවේ යැයි කල්පනාවනට නැගෙනු ඇත. ඒ නිසා මිනිසුන්ගේ ආයුෂය අවුරුදු ලක්ෂයකට වඩා වැඩිනම් ඊට බුදුවරයකු පහළවීමට සුදුසු කාලය නොවේ.

කෙලෙස් උත්සන්න වූ මිනිසාට අවවාද දුන්නද? එය අවවාද ලෙස නොපිළිගනී. එය අවවාදයක් ලෙස නොව දොස් නඟනවා යැයි සිතනු ලැබේ.

ජලයට දමන ලද ලීයකින් ඉරක් ඇන්දා මෙන් මැකී යනු ඇත. අවුරුදු ලක්ෂයකට වඩා අඩු අවුරුදු සියයකට වඩා වැඩි ආයු කාලය බෝසතාණන් වහන්සේ කාලය ලෙස බලනු ලැබ්.

”දීපය” යනු හතර පැත්තේම ඈත සියලු දීප දෙස බලා දීප තුනක බුදුවරු නොඉපදෙන අතර ජම්බුද්වීපයේ පමණක් බුදුවරු පහළවන බව දක්නා ලදී. ජම්බුද්වීපය යනු යොදුන් දස ලක්‍ෂයකට ප්‍රමාණ වූ ප්‍රදේශයකි. කවර ප්‍රදේශයේද මධ්‍යම ප්‍රදේශයේය.පෙරදිග දිසාවෙන් කජංගලා ගමද බටහිර දෙසින් මහාසාර භූ®මියද,ආදි වශයෙන් කපිලවස්තු පුර ඉපදිය යුතු යැයි තීරණය විය.

බෝසතාණන් වහන්සේ වෛශ්‍ය කුලයේ හෝ ශුද්‍ර කුලයෙහි නූපදි. ලෝක සම්මතය නම් ක්‍ෂත්‍රිය කුලයෙහි හෝ බ්‍රාහ්මණ කුලයෙහි උපදී. ක්‍ෂත්‍රිය කුලයෙහි සුද්ධෝදන මහ රජතුමා පියා වන බව දැක කුලය දකින ලදී.මව ගැන බලමින් බුද්ධ මාතාව කල්ප ලක්ෂයක සිට පාරමි පුරා උත්තමාවක් වේ. උපතින්ම ප්‍රකෘති වශයෙන් සිල් ආරක්‍ෂා කරන තැනැත්තියකි. මහාමායා දේවිය එබඳු උත්තමාවියකි. ඇයට ආයුෂ තව කෙතෙක්දැයි බැලීය. දස මාසයකුත් දින හතක් බව දක්නා ලදී.

සිදුහත් කුමරාගේ උපත නිසා මහාමායා දේවිය කළුරිය නොකරන අතර ආයුෂ බලා උපදී.

කාලය, දීපය,දේශය,කුලය, මව යන පංච මහා විලෝකනය බලා සියලු සක්වළ වලින් පැමිණි දෙවිවරුන් වෙත ප්‍රතිඥාවක් දෙන ලදී. ඒ අයුරින් මහාමායා දේවිය කුස තුළ පිළිස¼ිද ගැනීමට තීරණය විය.

එදා කපිලවස්තු නගරයෙහි ඇසළපුර පසළොස්වකදා සියලු නැකැත් කෙළි අනුව යමින් කටයුතු යෙදී තිබුණි. සුදුසු භෝජන අනුභව කර අලංකාර කරන ලද සිරියහනට පිවිස නින්දට ගිය කල මහාමායා දේවිය සිහිනයක් දකින ලදී.කුමක්ද ඒ සිහිනය, සිව්වරම් දෙවිවරු සිරියහන පිටින්ම අරගෙන හිමවතට රැගෙන ගොස් හැර යොදුනක් වූ මනෝ ශිලා තලයෙහි සත් යොදුනක් වූ මහා සල්රුකක් යට තබා එක් පැත්තකට විය.

දෙවිවරුන් පැමිණ අනවතප්ත විලට දේවිය රැගෙන ගොස් මනුස්ස මළ හරණය කර නහා දිව සළු පොරවා, සුවඳවලින් විලෝපනය කර ළඟම ඇති රජත පර්වතය ඇතුළේ රත්තරන් විමානය තුළ හිස පෙරදිගට සිටින ලෙස දිව්‍ය සයනයක් පනවා එහි නිදිකරවන ලදී.

බෝධි සත්වයන් වහන්සේ සුදු පැහැති උස් ඇතෙක් ලෙස එතන නුදුරෙහි ස්වර්ණ පර්වතය අසල හැසිරිලා පා රජත පර්වතයට නැග උතුරු දිසාවෙන් පැමිණ රිදී සො¼ඩින් සුදු පියුමක් ගෙන කුංච නාද කර රත්තරන් විමානයට පැමිණ මවගේ සයනය තුන්වරක් පැදකුනු කර දකුණු ඇළය පළාගෙන කුසට පිවිසෙනු දුටුවාය. ඒ අයුරින් උතුරුසැල් නැකතින් පිළිසිඳ ගන්නා ලදී.

දෙවන දා පිබිදුනු දේවිය පෙරදා දුටු සිහිනය රජතුමාට දැන්වීය.රජතුමා බ්‍රාහ්මණයන් ප්‍රමුඛ කොට හැට දහසක් දෙනා කැඳවන ලදී.

සොඳුරු ආසන පනවා ඒවායෙහි බ්‍රාහ්මණයන් වාඩිකරවා ගිතෙල් මී, සකුරු ආදි ආහාර පාන සකසා රත්තරන් පාත්‍ර පුරවා ආහාරපාන පිරිනමා සිහිනය ගැන කීය.

මහරජතුමනි,දේවියගේ කුස ගර්භයක් පිළිසිඳ ගත්හ.එය පිරිමි ගැබකි. පුතෙක් ඔබට පිළිසිඳ ගෙන ඇත. ඒ පුතා චක්‍රවර්ති රජ වේ.ඒ ගිහිව වාසය කළ හොත්ය. පැවිදි වුවහොත් බුදු වන්නේ යැයි ලොව සියල්ලන්ටම උතුම්වු බුද්ධත්වයට පත්වන බව කීය.

බෝධිසත්වයන් වහන්සේ මව්කුස පිළිසිඳ ගත් කෙනෙහිම දස දහසක් ලෝක ධාතු කම්පාවට පත්විය.පෙර නිමිති තිස්දෙකක් ඇති විය. දසදහසක් සක්වළ අප්‍රමාණ ආලෝකයක් ඇති විය.අන්ධයන්ට ඇස් පහළ විය. බිහිරි අයට ඇසීමට පටන්ගත්හ. කථා කළ නොහැකි අය කථා කළ හැකි අය බවට පත් විය. කුදු ගත් අය ඍජු විය. බන්ධනාගාර ගත සත්වයෝ බන්ධනාගාරවලින් මිදුණාහ. සියලු නරකයන්හි ගින්න නිමිනි. පේ‍්‍රත ලෝකයෙහි සාපිපාසාව දුරු විය. තිරස්චාන ගත සත්වයන්ගේ බියදුරු විය.

සියලු සත්වයන්ගේ රෝග දුරුවිය. සියලු සත්වයෝ ප්‍රයෝජන කථා කරන අය බවට පත් විය. අශ්වයෝ මිහිරි හඬින් කෑ ගසන්නට විය. ඇත්තු ගර්ජනා කළහ. සියලු තුර්යවාද තම තමන්ම හඬ නිකුත් කළහ. මිනිසුන්ගේ ආභරණ නොගැටී හඬ නැගීමට පටන්ගත්හ. දිසාවන් ප්‍රසන්න වූහ. සත්වයාට සැප සදවමින් මෘදු සීතල වායුව ගලාගෙන යාමට පටන් ගත්හ.නොකල් වැසි වසින්නට වූහ.

පොළොවෙන් මතුපිට ජලය විදීමට පටන් ගත්හ.කුරුල්ලෝ ආකාශ ගමන නතර කළහ. නදීහු ගලා නොබැස්සාහ. සමුදුර ජලයෙන් මිහිරි බවට පත්විය. පංච වර්ණ පුෂ්පයන්ගෙන් වැසීගියහ.ගොඩ දිය දෙක්හිම මල් පිපුණි. ගස්වල කෙඳ් කඳ මල්, අතුවල අතුමල්, වැල්වල වැල්මල් පිපුණි.පොළොවේ ගල්තල පළාගෙන සත්පියුම් පිපුණි.අහසේ මල් එල්ලෙන්නට පටන් ගත්හ. හාත්පසින් මල්වැහි වහින්නට පටන් ගත්හ. ආකාසයෙහිද දිව්‍යමය තුර්යවාදන හැම දස දහසක් සක්වළ මල්ගුලාවක් වැන්න.මේ ආකාරයට එකම මල්මාලාවන්ගෙන් පිරී ගොස් හැම අතින්ම සෞභාග්‍ය සම්පන්න වූහ.

ඉතිරි කොටස ජූලි 29 වන දා පත්‍රයේ

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 22 වැනි දා සඳුදා පූර්වභාග 03.33 ට ලබයි.
22 වැනිදා සඳුදා අපරභාග 11.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි 22 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
ජූලි 29 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]