UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පසන් නිවහනක සුන්දරත්වය

පසන් නිවහනක සුන්දරත්වය

ගෘහ ජීවිතයේ සාමය සතුට බොහෝ දුරට රඳා පවතින්නේ, කාන්තාව හෙවත් ගෘහණියගේ කැපවීම මත බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. කාන්තාව විසින් කළ යුතු නොකළ යුතු නොයෙක් දේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින් දී ඇති උපදෙස් බෙහෙවින්ම ප්‍රායෝගිකය. බිරිඳක් ස්වාමිපුරුෂයාට ආදරය දැක්විය යුතු ය. කිසි විටෙකවත් ඔහුට එරෙහිව හැඟීම් මාත්‍රයක් වත් ඇකිකර නොගත යුතු ය. පර පුරුෂ සේවනයට ගමන් කිරීමෙන් වැළකීම ඇය සතු සුවිශේෂී කාර්යයක් ලෙස සිඟාලෝවාද සූත්‍රයේ දී දේශනා කර ඇත්තේ එබැවිනි. නපුරු ලෙස කටයුතු නොකළ යුතු ඇය සැමියාට මිත්‍රශිලීව, පි‍්‍රයශීලීව මෙන්ම දයාබර අන්දමින් සැළකිලි සංග්‍රහ කළ යුතුය.

ස්වාමි පුරුෂයකු විසින් ස්වකීය බිරිඳගෙන් තම මවගෙන් ලැබුණු ආදරය, කරුණාව නිරන්තරයෙන්ම මානසිකව අපේක්‍ෂා කරන බව වටහා ගන්නට බිරිඳක් විසින් ඥානාන්විතව කටයුතු කළ යුතු ය. නපුරු සැර පරුෂ බස් නොදොඩා මිහිරි වදනින් නිරන්තරයෙන් ස්වකීය ස්වාමිපුරුෂයා ආමන්ත්‍රණය කිරීමත් ස්වාමියාගේ අදහස්වලට කන් දෙමින්, අවනත වෙමින් කටයුතු කිරීමත් සැමදා, සැමවිට, පති භක්තියෙන් සිටීමත්, බිරිඳකගේ උතුම් ගුණාංගයන් ය. මෙම ගුණාංගයන් තම අධ්‍යාත්මය තුළ වර්ධනය කරගැනීම නිසා ප්‍රධාන වශයෙන් කාන්තාවට ආරක්‍ෂාව ගෞරවය සහ කාන්තාව පිළිබඳව පිරිමියාගේ මනස තුළ විශාල විශ්වාසයක් ගොඩනැඟීම අනිවාර්යෙන්ම සිදුවන කාරණයකි. ඒ වගේම අර පරිස්සමින් කටයුතු කරමින් විය පැහැදම් සීමා කරමින් සැමියා වෙහෙසී උපයන ධනය රැක ගැනීම යහපත් බිරිඳකගේ වගකීම යි. නූතනයේ බිරිඳ විසිනුත් ආර්ථික කටයුතු සඳහා යම්කිසි ආකාරයක සුවිශේෂි මැදිහත් වීමක් කරනා බව සත්‍යයකි. නමුත් තමන් විසින් හම්බ කරනා ධනයත්, ස්වාමි පුරුෂයා විසින් හම්බ කරනා ධනයත්, ආරක්ඛසම්පදාව මත පදනම් වෙමින්, නාස්ති වී යා නොදී ආරක්‍ෂා කරගනිමින් රැක ගැනීම යහපත් බිරිඳකගේ වගකීමකි. ඇය වචනයෙන් හා ක්‍රියාවෙන් යන දෙකෙහිම සංවරව කටයුතු කරමින් සැමියාගේ සිත දිනාගැනීමට කටයුතු කළ යුතු ය. සැමියා අභිබවා ඔහු යටත් කොට පාලනය කිරීමට තැත් නොකොට අරිය භාර්යා හෙවත් සැමියාටත් වඩා ඉහළින් සිටීමට උත්සාහ කරනා භාර්යාවක් බවට පත් නොවී නිහතමානීව ඔහුට නිසි ගරු සැළකිළි දක්වමින් ආදරය දයාව කරුණාව දක්වමින් නිතර දෙවෙලේ ඔහුගේ යහපත ගැන සොයා බලමින් කටයුතු කිරීමට යහපත් බිරිඳක් උනන්දු විය යුතු ය. ඇය බිරිඳක් පමණක් නොව මාතෘ භාර්යා මවක් ද විය යුතු ය. භගිණි භාර්යා සොයුරියක් ද විය යුතු ය. මිතුරියක් ද විය යුතු ය. එපමණක් ද නොව අවශ්‍ය වූ විටෙක උපදේශිකාවක් සේ ද කටයුතු කළ යුතුව ඇත.

බෞද්ධ ඉගැන්වීම් අනුව සලකා බලන විට සැමියකුට බිරිඳකගෙන් බලාපොරොත්තු විය හැකි ගුණාංග මෙසේ දැක්විය හැකි ය. ඔහුට ඇයගෙන් ආදරය බලාපොරොත්තු විය හැකිය. ආදරය නම් ඔව්නොවුන්ගේ ජීවිත කාලයක් පවතින සමීප සබැඳියාවටත් එමෙන්ම, ඔවුන්ගේ ජීවිත කාලයක් මුළුල්ලේ තම පණමෙන් සුරකින දරුවන් බිහිකර ගැනීමටත්, සිතැඟි මුදුන් පමුණුවා ගැනීමටත්, පාදක වන ස්නේහ බැම්මකි. එය හුදු ප්‍රේමයම නොව අවංකවම තම සැමියාගේ යහපත පතන බිරිඳකගේ මුළු හිතින්ම පැන නගින හැම මොහොතකම පැතිරෙන අධ්‍යාත්මික වූ සෙනෙහසකි. සුවච බවත් ඔහුට ඇයගෙන් බලාපොරොත්තු විය හැකි ය. නිතර අප්‍රමාදව තමන්ගේ අවශ්‍යතාවයන් සොයා බලමින් යුහුසුළුව කටයුතු කිරීමට බිරිඳකගේ යුතුකමක් සේ සැලකීම බෞද්ධ ඉගැන්වීම් මගින් අනුමත කෙරේ. බිරිඳක් තම පවුලේ කටයුතුවල වගකීම බාරගත යුතු යැයි සැමියා සිතීම සාධාරණ ය. දරුවන් මනාව හදාවඩා ගෙන නෑසිය ආදීන්ගේ හිත් දිනාගෙන ඔවුන්ට හොඳින් සංග්‍රහ කරමින් සේවක සේවිකාවන් කරුණාවෙන් යුක්තව පාලනය කරමින් පවුල් ජීවිතය සාර්ථක කරගැනීමට බිරිඳක් බෙහෙවින් හවුල් විය යුතු යැයි සැමියා බලාපොරොත්තුවක් තබා ගැනීම සිඟාලෝවාද සූත්‍රයේ බිරිඳකගේ යුතුකම් වගකීම් පිළිබඳව සිදුකර ඇති ඉගැන්වීම්වලින් දැක ගත හැකි ය. පති භක්තිය ඔහු ඇගෙන් බලාපොරොත්තු වේ. සැමදා හැමවිටම ඔහුටම කැපවුණු බැඳුණු යොමුවුණු සිත් ඇතිව සිටීය යුතුයැයි ස්වාමියා අනිවාර්යයෙන්ම බිරිඳකගෙන් බලාපොරොත්තු වේ. මවක් වශයෙන් ඇය දරුවන්ගේ යහපත පිණිස ඇප කැප වී කටයුතු කරණු ඇතැයි ස්වාමිපුරුෂයා ස්වකීය බිරිඳකගෙන් අපේක්‍ෂා කළ හැකි ය. අරපරෙස්සම බිරිඳක් සතුව තිබිය යුතු ගුණාංගයක් බව ස්වාමිපුරුෂයා බලාපොරොත්තු විය හැකි කරුණකි. මෙම සෑම අංශයෙන්ම සැමියකු වශයෙන් ස්වකීය බිරිඳකගෙන් බලාපොරොත්තු වන මේ යහපත් ගති පැවතුම් නිරතුරුවම බිරිඳක් විසින් තම ජීවිතය තුළ ආරක්‍ෂා කරගෙන ජීවත් වීමට උත්සාහ දරනවා නම් ගෘහස්ත ජීවිතය සාර්ථක කර ගැනීම එතරම් ගැටලුවක් බවට පත් නොවේ.

බිරිඳක් සාමාන්‍යයෙන් සන්සුන් ගති ඇති නිවුණු තැනැත්තියක විය යුතු ය. සැමියා කලබල වූ අවස්ථාවක ඔහු තැන්පත් කරවීමට, කලබල බව තුනී කොට නිවුන පසු නිවී සැනසිල්ලේ කරුණු පැහැදිලි කිරීමට බිරිඳක් විසින් කටයුතු කළ යුතු ය. එපමණක් ද නොව ඇය කරන කියන සියලු දේටම කිසියම් කලාවක් මිහිරියාවක් පැවතිය යුතුයි. බස මිහිරි විය යුතුයි. ක්‍රියාවන් ප්‍රසන්න විය යුතුයි. හැසිරීම පි‍්‍රය ශීලි විය යුතුමයි. නිතරම තරහයෙන් සැර පරුෂ බස් දොඩමින් සිටින බිරිඳක් සැමියකුට කිසිදිනක පි‍්‍රයශීලි නොවනු ඇත. මුහුණේ සතුට සිරියාව පිරී සිත්ගන්නා සුළු හැසිරීමෙන් යුතු බිරිඳක් අනිවාර්යෙන්ම සැමියකුගේ ප්‍රාර්ථනාව බවට පත්වීම ආසියාතික රටවලදී වැළැක්විය නොහැකිය. අතීත කාලයේ සිටම බොහෝ සමාජවල පැවතියේ පුරුෂාධිපත්‍යයකි බුද්ධ කාලීන භාරතයේ සමාජයීය පසුබිම විමසා බලන විට පවා පුරුෂාධිපත්‍ය තදින් පැවති ආකාරය දැකගත හැකිය. ඒනිසාම කාන්තාවට හිමි වන්නේ ඉතාමත් පහත් ස්ථානයක්. බුදුරජාණන් වහන්සේ පොදුවේ ගත්කළ කාන්තාවගේ තත්ත්වය විශේෂයෙන් බිරිඳකගේ තත්ත්වය ඉහළ නංවාගන්නට දාර්ශනිකව විශාල මඟ පෙන්වීමක් සමාජයට සිදු කර ඇති ආකාරය බෞද්ධ සමාජ දර්ශනය තුළින් මනාව පැහැදිලි වනු ඇත.

සැමියා බිරිඳට සම තත්ත්වයෙන් සහකාරියකට මෙන් ආදර ගෞරව සැළකිලි දැක්විය යුතුය යන්න උන්වහන්සේ දුන් ඔවදන විය. මෙයින් උන්වහන්සේ අදහස් කළේ බිරිඳට අවංක වීම, ඇයට ආදරයෙන් සැළකීම, අවශ්‍ය ඇඳුම් පැලඳුම් ආභරණ ආයිත්තම් ගෙනවිත් දීම, ගේ දොර පාලන කටයුතුවල වගකීම ඇයට පැවරීම, සිය සැමියා විසින් නොපිරිහෙළා ඉටු කිරීමෙන් ඇයට හිමි ස්ථානය පවරා දීමෙන් ඇයට ආදර ගෞරව සැළකිලි පෙන්විය යුතු බවයි. මීට වසර දෙදහස් පන්සියයකට පෙරාතුව සිඟාලෝවාද සූත්‍රයේ දී දේශනා කරනු ලැබූ සැමියකුගේ වගකීම පිළිබඳ දේශනාව අදටත් වලංගු වන නිවැරැදි මඟ පෙන්වීමකි.

සැමියෙක් සෑම විටම ස්වකීය බිරිඳට ආර්ථිකමය වශයෙන් කෙතරම් පහසුකම් සැළස්සුවත් ඇයට මෘදු බවකින් මොළොක් බවකින් කටයුතු නොකරන්නේ නම් ඒ ගෘහය තුළ සතුට ගොඩනැංවීම අතිශයින් දුෂ්කර වනු ඇත. කතා බහෙන් ක්‍රියාවන් මගින් සෞම්‍ය බවක්, බිරිඳට දැක්වීම, පෙන්වීම ස්වාමිපුරුෂයා සතු වගකීමයි. ඇය හෙළා පෙලා කතා නොකිරීම පුද්ගලිකවත් ප්‍රසිද්ධියේත් ඇගේ ගුණ ඇගයීම කළ යුතු යි. ඇයට ආරක්‍ෂාව සැපයීම, ඇයගේ ආර්ථික සුරක්‍ෂිතතාවය තහවුරු කිරීම සැමියකු ලෙස ඔහුට පැවරෙන ප්‍රබල වගකීමක්. ඇයට පිහිටවීමට තමන් සිටිනා බව නිරන්තරයෙන්ම ඒත්තු ගැන්වෙන සේ කටයුතු කිරීමත් අවශ්‍ය ය. ඇයට තමන්ගෙන් බයක් ඇති නොවන බව, ස්වකීය ජීවිතය තුළින් ඔප්පු කර පෙන්වීම තුළ අභය දානය සැමියකුට ගෘහය තුළින් ආරම්භ කරන්නට පුළුවන්කම ඇත. බාහිරින් පැමිණෙන නොයෙකුත් කරදර, සතුරු උපද්‍රව ආදියට, ඇයට ආරක්‍ෂාව සලසා දීමට තමන් සිටිනා බව බිරිඳට හැඟී යන පරිදි කටයුතු කිරීමෙන් ස්වාමිපුරුෂයෙකුගේ පෞරුෂය පිළිබඳව මෙන්ම ස්වාමිපුරුෂයා සම්බන්ධව විශාල විශ්වාසයක් බිරිඳකගේ සිත තුළ ඇතිවීමටත් ඒ හැසිරීම් උපකාරයක් වන බව නොඅනුමානයි. තමන්ගේ පිහිටට උපකාරයකට අවශ්‍ය වූ විට බිරිඳ වෙනුවෙන් නොමසුරුව ඉදිරිපත් වී වෙන කෙනකුගෙන් එකී උදව් උපකාර ඉල්ලා අත දිගු කිරීමට පත් නොවන තත්ත්වයට ස්වකීය බිරිඳ ආරක්‍ෂා කිරීමත් ඒ වෙනුවෙන් කැපවීමටත් බිරිඳකගේ ආදරය වර්ධනය වීමට හේතුවනු අනිවාර්යයි. එමෙන්ම යහපත් පියකු මෙන් දරුවන්ගේ අවශ්‍යතාවයන් සොයා බැලීමටද, සැමියකු කෙරෙහි බිරිඳකගේ සෙනෙහස ආදරය ගෞරවය වැඩිවීමට ප්‍රධාන බලපෑමක් සිදු කරනා කාරණාවක්. බිරිඳට අවංක වීම අතිශයින් වැදගත්. ඇගෙන් පති භක්තිය බලාපොරොත්තු වන්නේ නම් සැමියා විසින් ඇයට පතිනි භක්තියෙන් යුක්තව ස්වකීය බිරිඳ වෙනුවෙන් ආරක්‍ෂා කළ යුතු ප්‍රබලම ශීලය වන කාම මිථ්‍යාචාරයෙන් හෙවත් පරදාර සේවනයෙන් වැළකිය යුතුයි. ස්වාමි පුරුෂයකු විසින් ස්වකීය බිරිඳ සමඟ ජීවිතය පුරාම එක්ව වසන්නට කල්පනා කරන්නේ නම්, අනිවාර්යෙන්ම ඒ සදහා ඇප කැප වී කටයුතු කළ යුතු ය. ඇය කල්‍යාණ මිතුරියක සේ සළකා ඇයට අවංක වීමත් පවුලේ හා දරුවන්ගේ යහපතට අනිවාර්යය හේතුවක් වනු ඇත. සැමියාගේ පුද්ගලික මෙන්ම සමාජ චර්යාවන් සමාජ හැසිරීම් යහපත් විය යුතු ය. පි‍්‍රය සල්ලාපයෙහි යෙදිය හැකි මිතුරු ඇසුර පවත්වාගෙන යා හැකි තැනට ඔබින සේ හැසිරීමට කටයුතු කිරීමට සමත් පි‍්‍රය ජනක හැසිරීමෙන් යුතු සැමියෙක් බිරිඳකගේ ප්‍රාර්ථනාව වන බව සෑම ස්වාමිපුරුෂයකු විසින්ම මතකයේ තබාගත යුතුය. සැමියා හා බිරිඳ පවුල් සංස්ථාව රැගෙන යන සම සහකරුවෝ ය.

එහෙත් සාමාන්‍ය පිළිගැනීම අනුව පවුලේ ප්‍රධානියා වන්නේ සැමියා යි. කිසියම් ආපදාවකට ගොදුරුව අසරණ තත්ත්වයකට පත්ව නැත්නම් පවුලේ ප්‍රධානියා සැමියා යි. මෙයින් අදහස් වන්නේ ඔහු බිරිඳට වඩා උසස් බව නොවෙයි, ඔහු සතු වන කාර්යය භාර්යය ඉතා විශාල බවයි. පවුල් බර වැඩි වශයෙන් ඉසිලිය යුත්තේ ඔහු ය. බිරිඳ රැකියාවක් කළත් පවුල නඩත්තු කිරීමේ කාර්යය ප්‍රධාන වශයෙන් පැවරෙන්නේ සැමියාටය. ආර්ථික ස්ථාවරයක් සැපයීමෙන් පමණක් නොවෙයි, ගේ දොර පාලනයේ දී මෙන්ම පවුල පවත්වාගෙන යාමේ දී එදිනෙදා කටයුතුවලදී ඔහු ප්‍රධාන වශයෙන් දායකත්වය දැක්විය යුතු වෙනවා. මේ ආකාරයට සළකා බලන විට බිරිඳ සහ සැමියා විසින් එකිනෙකාට ඉටුවිය යුතු යුතුකම් නොමසුරුව ඇප කැපවී වගකීමෙන් යුක්තව ඉෂ්ට කරන්නේ නම් ගෘහස්ත ජීවිතය තුළ ගැටුම් අවම කරගනිමින් යහපත් පවුල් සංස්කෘතියක් ඇතිකර ගැනීමට අනිවාර්යෙන්ම හැකියාවක් ලැබෙනු ඇත.

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 22 වැනි දා සඳුදා පූර්වභාග 03.33 ට ලබයි.
22 වැනිදා සඳුදා අපරභාග 11.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි 22 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
ජූලි 29 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]