UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

8 වන වරටත් පවත් වන අසිරිමත් සෝමවතියේ ශ්‍රී දකුණු දළදා පෙරහර

8 වන වරටත් පවත් වන අසිරිමත් සෝමවතියේ ශ්‍රී දකුණු දළදා පෙරහර

සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයා අභියස පවත්වනු ලබන, ශ්‍රී දකුණු දළදා පෙරහර 8 වන වරටත් මෙම ඇසළ පුරපසළොස්වක් පොහෝ දින රාත්‍රි 8.00 ට පමණ පැවැත්වේ.

ක්‍රි.පූර්ව දෙවන සියවසේ දී සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු විසින්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඉදි කරන ලද මෙම සෝමවතී චෛත්‍ය රාජයා අභියස රාජ්‍ය වර්ෂ 112 දී ගජබා රජතුමා විසින්, සොලීන් විසින් ලක්දිවින් පැහැරගෙන ගිය 12000 ක් සිංහල ජනතාවත් පාත්‍රධාතුන් වහන්සේත්, දේවාභරණත් සමඟ සොලීන් 12000 ක් ද මහා විජයග්‍රහණයකින් ලබාගෙන ශ්‍රී ලංකාද්වීපයට පැමිණ සෝමවතී චෛත්‍යරාජයා අභියස දළදා පූජා හා පෙරහර පවත්වමින්, දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගන්නා මොහොතේ දී සෝමවතී විහාරස්ථානයේ වැඩ විසූ භික්‍ෂූන් වහන්සේ ගජබා රජතුමාට ‘යුද්ධ ජයග්‍රාහක ගාමිණී අභය’ යන ගෞරව නාමය පිරිනැමූ බව සෝමවතී චෛත්‍ය රාජයා සමීපයේ ඇති දිග්ගලේ ‘ගාමිණී අභය යුදජි රජ අඩියගම මණි අගිය විහරට දිනි’ (රා.ව. 112 සිට 134) යනුවෙන් මීන්විලු පර්වත ලිපියෙහි රජතුමාට ‘ගාමිණි අභය යුදජි’ (යුද්ධ ජයග්‍රාහක ගාමිණි අභය) යන ගෞරව නාමය පිරිනැමූ බවත්, රජතුමා අපමණ සතුටට පත්ව රාජකීය ඇළක් සාදවා එම ඇළෙන් වැඩ කරන කුඹුරු සියල්ලම සෝමවතී හෙවත් මණි අගිය විහාරයට පිරිනැමූ බව එම සෙල්ලිපියේ සඳහන් වෙයි.

එදා ගජබා රජතුමාට එවන් ගෞරව නාමයක් සෝමවතී විහාරස්ථානයෙහි වැඩ විසූ භික්‍ෂූන් වහන්සේ පිරිනැමූ ආකාරයෙන්ම, වර්තමානයෙහි තිස් අවුරුදු මහා ත්‍රස්තවාදය නැති කිරීමේ සේනාධිනායකයාණන් වූ අතිගරු ශ්‍රී රෝහණ ජනරංජන මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුමාණන්ට ‘විශ්ව කිර්ති ශ්‍රී ත්‍රී සිංහලාධීශ්වර’ යන ගෞරව නාමය අපේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ අතිගෞරවාර්හ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන ගරුතර කාරක සංඝ සභාව, මගින්, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී වාම ශ්‍රී දළදා වහන්සේ අභියස පිරිනැමීමෙන්, එදා රාජධි රාජ ජනනායකයන්ට පිරිනැමූ ගෞරව නාමය අද ද ඒ අයුරින් සිහිපත් කරවයි.

මේ අයුරින් ගජබා රජතුමා විසින් විජයග්‍රහණය සිහිපත් කරමින් ආරම්භ කළ පෙරහර, පොළොන්නරු යුගයේ අවසානය දක්වාම පවත්වාගෙන අවුත්, පොළොන්නරු යුගය අවසන්වීමත් සමගම අභාවයට පත් විය. නැවත 1947 දී මල්වතු මහා විහාරයීය ගරුතර කාරක සංඝ සභික සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමි සහ පහමුණේ ශ්‍රී ගුණානන්ද මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියන් විසින් සැදැහැවත් ජනතාව සමඟ පැමිණ රශ්මි මාලාව හා ශබ්ද පූජාවන් සියැසින් දකිමින් හා සිය කණින් අසමින් සොයා ගැනීමෙන් පසු මෙම චෛත්‍යස්ථානය සංවර්ධනය කිරීමට පටන් ගනී. 1966 දී චෛත්‍ය රාජයාට මුල්ගල් තබා, 1981 දී රශ්මි මාලා මධ්‍යයේ කොත් පැළඳවීමෙන් පසු නැවතත් ඇති වූ ත්‍රස්තවාදය නිසා මෙම ස්ථානයට සම්බන්ධ සියලු දෙනාම 1986 දී ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමත් සමඟ චූඩා මාණික්‍යය ගැල වූ ත්‍රස්තවාදියා ද සිය ගිනි අවිය පත්තුවීමෙන් මරණයට පත්විය. චෛත්‍යරාජයා සමීපයෙහි බිමදමා තිබී හමුදා නිලධාරීන්ට හමුවූ මෙම චූඩා මාණික්‍යය නැවත අප වෙත ලැබී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ සුරක්‍ෂිතව තැබිණි.

වසර 17 කින් පසු නැවතත් 2002 පෙබරවාරි 27 දින පසුගිය රජයේ සම්බන්ධතාවය ඇතිව, ඝන කැලයෙන් වැසී තිබූ මෙම ස්ථානය, මහවැලිය, පොලිසිය, යුද හමුදාව සම්බන්ධ කරගෙන එවකට රජයේ හා සැදැහැවතුන්ගේ ආධාරයෙන් ජල පහසුකම් හා ජෙනරේටරයකින් විදුලිය ද තාවකාලික ගොඩනැගිලි පහසුකම් සලසාගෙන දින 112 ක් ඇතුළත, 2002 ජූනි 19 වන දින රශ්මි මාලා මධ්‍යයේ චූඩාමාණික්‍යය පැළඳවීමෙන් අනතුරුව, අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන වත්මන් රජය මගින් ප්‍රධාන විදුලි පද්ධතිය ලබා දෙමින්, මාර්ග පහසුකම් සලස්වන මොහොතේ, සැදැහැවතුන්ගේ ආධාර ඇතිව අදාළ ස්ථිර ගොඩනැගිලි ආදිය ඉදිකරවමින් සංවර්ධන කටයුතු සිදු කරන කාලයේ දී ගල් ගැලවී විනාශයට පත්වෙමින් පැවති ඇතුළ් මළුව සෑදීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් කොළඹ ජිනසේන සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ තිස්ස ජිනසේන මහතා අතින් මුල්ගල් තබන මොහොතේ චෛත්‍ය රාජයාගේ විහිදුනු රශ්මි මාලාවන් දැක අපමණ සතුටට පත් කුරුණෑගල කුලියාපිටිය නැදලගමුව ප්‍රදේශයේ දීගල්ල ධම්මදාන පදනම ඇතුළු එම පිරිස සම්බන්ධ කරගෙන දකුණු දළදා පෙරහර පැවැත්වීමට තීරණය කොට අලි ඇතුන් රහිතව, සධාතුක කරඬුව වාහනයක තබාගෙන වර්ෂ තුනක් පෙරහර පැවැත්වීමෙන් අනතුරුව බෝධීන් වහන්සේගේ රන්මල් හා රන්දළු හටගත් අතරම, ත්‍රස්තවාදීන්ගෙන් රට මුදාගත් මොහොතේ 04 වන දළදා පෙරහර පැවැත්වීමට 2009 ජූනි 07 වැනි පොසොන් පොහෝ දින සාකච්ඡා කරමින් වනයේ සිටින අලි ඇතුන් නිසා පෙරහර අලි රහිතව පැවැත්වීමටත් රන්සිවිගේ සහිත කරඬුව වාහනයක තබා වැඩම කරවීමටත් තීරණය කරන ලදී.

එනමුත් පසුදින උදයේ 6.30 ට පමණ කිරි ආහාර පූජාව රැගෙන යන මොහොතේ දී චෛත්‍ය රාජයා දෙසින් බෙරහඬක් ඇසී බලන විට චෛත්‍ය රාජයා තුළින් කරඬුවක් තබා ගත් අලි ඇතුන් සහිත පෙරහරක් එන බව පෙණින. හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට ඡායාරූප ගත කිරීමට ද හැකි විය. නැවත එම ජූනි මස 28 දින රාත්‍රී 7.45 ට පමණ ගිලන් පස පූජාව තබන මොහොතේ පූජාවට සහභාගි වූ පිරිස අතර, මිරිහානේ සිට පැමිණි මේනක තසිඳු නම් කුඩා දරුවෙක් බියට පත්වනු දැක අතේ තිබූ දුරකථන කැමරාවෙන් ඡායාරූපයක් අහඹුලෙස ගන්නා ලදී. ‘තාත්තේ මගේ ඇඟේ රත්තරන් මාල වළලු දැමූ ලස්සන ඇඳුමක් ඇන්ද වූ සුදු ඇත් පැටියෙක් හැපීම නිසා මා බියට පත්වූයේ යැයි’ කුඩා දරුවා ප්‍රකාශ කළ ද අසාසිටි පිරිස එය පිළිගත්තේ නැත. එනමුත් සිදු වූයේ අනිකකි. ගත් ඡායාරූපය දෙස බලන විට ඒ සියල්ලම සැබෑ විය.

මේ අවස්ථා දෙකම සිදුවීම නිසා පෙරහර සඳහා ඇතෙක්ම යොදා ගත යුතු යැයි තීරණය කොට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මැතිතුමාගේ ද සම්බන්ධතාවය ඇතිව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමා මගින් මහනුවර ශ්‍රී දළදා පෙරහරේ කරඬුව වැඩම වන ඉන්දිරාජා හස්තිරාජයා රැගෙන ගොස් 2009 ජූලි 06 වන දින දළදා පෙරහර චෛත්‍ය රාජයා වටා ප්‍රදක්‍ෂිණා කොට ගෙවදීමත් සමඟම රාත්‍රී 01.00 ට පමණ එක් දළක් ඇති ඇත්පැටියෙක් චෛත්‍ය රාජයා වෙත පැමිණ පැයක් පමණ සිට කැලයට ගියේ ය.

පසුදින 07 වැනි දා ප.ව. 05.00 ට පමණ එක් දළක් සහිත අවුරුදු හයක් පමණ වයසැති ඇත් පැටවෙක් චෛත්‍ය රාජයා දෙසට පැමිණෙනු දැක මා ඉදිරියට යන විට මා සමීපයට පැමිණ හොඬවැල ඔසවා මා දෙස බලා සිටියේ ය. මවිතයට පත් මා කැමරාව ගෙන ඡායාරූප ගත් අතරම, පලතුරු දෙනවාත් සමඟම හුරු පුරුදු ඇත් පැටියෙක් මෙන් මා ඉදිරියට පැමිණ පලතුරු සියල්ලම අනුභව කොට පැය කීපයක් ම චෛත්‍යරාජයා වටා ඇවිදිමින් සිට කැලයට ගිය නමුත් එදා සිට මේ දක්වාම චෛත්‍ය රාජයා පෙනෙන දුරින් හැසිරෙමින් දකින කාටත් විනෝදයක් දනවන අයුරින් චෛත්‍ය රාජයට අවට හැසිරෙමින් අද දක්වාම සිටී. ඉන් අනතුරුව චෛත්‍ය රාජයාගෙන් එළියට පැමිණි සුදු ඇත් පැටියාට සමාන ඇති ඇත් පැටියෙක් මෙම ඒක දන්තනම් ඇත්පැටවා සමඟ සිටින අයුරු කැමරාවට හසු විය. මේ අතර 2012 නොවැම්බර් 04 දින සීමාමාලකය සම්මත කර අවසන් වනවාත් සමඟම සුදු ඇත්පැටවෙක් චෛත්‍යරාජයාට ඉහළින් අහසේ දිස්වනු ඡායාරූපයට ගැනීමට හැකි වූ අතර, 2010 අගෝස්තු 22 දින පෙ.ව. 07.00 ට පමණ ෂඩ්වර්ණයෙන් දිස්වන දළදා වහන්සේ සහිත කරඬුව චෛත්‍යරාජයාණන් වහන්සේගේ ගර්භය මත දිස්වීමත්, 2013 පෙබරවාරි 04 දින පෙ.ව. 01.30 ට දහස්පෙතියාමල් ලක්‍ෂයක් පූජා කොට පිරිත් දේශනා කරන මොහොතේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරය හෙවත් බුද්ධ කාය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයෙන් ඉහළට මතු වීමත් ඡායාරූපයට ගැනීමට ද හැකි විය.

එසේම කිහිපවතාවක් ආශ්චර්යමත් සිද්ධීන් හා අලි ඇතුන්ගේ ද වන්දනා පවා දකින මෙම ආශ්චර්යමත් සිද්ධීන් හා අලි ඇතුන්ගේ ද වන්දනා පවා දකින මෙම ආශ්චර්යයමත් සිද්ධීන්ගෙන් ගහණ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති මෙම සෝමාවතී චෛත්‍යරාජයා අභියස මේ අයුරින් විශ්මයජනක සිද්ධීන් ඇතිවීමෙන් ඉතිහාසයේ ද මීට පෙර සඳහන් වූ අයුරින් අදෘශ්‍යමාන බලවේග තුළින් පෙරහරක් පැවැත්විය යුතු ආකාරය පෙන්වූයේ මෙම සෝමවතී චෛත්‍යරාජයා සමීපයෙහි ශ්‍රී දළදා පෙරහර අනිවාර්යයෙන් පැවැත්විය යුතුයැයි යන පණිවුඩය ලෝකයාට පෙන්නුම් කිරීම බව ඔබ අප හැම දෙනාටම වැටහී යන කාරණයක් හෙයින්, සකල ජනතාවටම ඉමහත් ශාන්තියක් සැලසෙන මෙම දළදා පෙරහර පැවැත්වීමේ අත්‍යවශ්‍යතාවය මැනවින් හැඟීගිය නිසාම අපමණ සතුටට පත් සැදැහැවත් පිරිසද නන් අයුරින් පෙරහරට සම්බන්ධ වෙමින් පෙරහර දර්ශනීය අන්දමින් වාර්ෂිකව සිදු කිරීමටත් පටන් ගන්නා ලදී.

08 වන වරටත් පවත්වන මෙම පෙරහර ද සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාත්, නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මැතිතුමාත්, පොළොන්නරු මහදිසාපති තුමා, අතිරේක දිසාපතිනි, ලංකාපුර ප්‍රාදේශීය මහලේකම් තුමා හා ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු එම ආයතනයන් හි නිලධාරී පිරිසත්, ලංකාපුර, පොළොන්නරුව, හිඟුරක්ගොඩ ආදී ප්‍රදේශවල සැදැහැවත් පිරිසත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු කුරුණෑගල, කුලියාපිටිය නැදලගමුව, සැදැහැවත් පිරිසත් එකතුව ඉමහත් සහ සම්බන්ධතාවයකින් මෙම ඇසළ පොහෝ දින ශ්‍රී දකුණු දළදා පෙරහරත් ඊට සමගාමීව සිදු කෙරෙන සියලුම ආගමික කටයුතු හා කොළඹ මැනින් වෙළඳපොල සම්බන්ධ වී දේශබන්ධු ආර්.ඒ. ආරියදාස මහතා හා සුනිල් මුතුමාල මහතා ඇතුළු ආර්යය සිද්ධි සමාජ පදනම මගින් පවත්වනු ලබන ප්‍රඥා ප්‍රදීප පූජා මහෝත්සවයක් මහා මුළුතැන් දළදා පූජාව ආදී ඇසළ පොහෝ දින සිදු කෙරෙන මෙම පින්කම් මාලාව ශ්‍රී ලංකා ජාතික රූපවාහිනි සංස්ථාව මගින් විසුරුවා හැරීමට සියලු කටයුතු සූදානම් කරන මේ මොහොතේ මෙම පෙරහර හා ආගමික කටයුතු වලට සහසම්බන්ධ වන විශ්වකීර්ති ශ්‍රී ත්‍රී සිංහලාධීශ්වර අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාටත්, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ට හා සියලු රණවිරුවන්ටත්, පොලිස්පති තුමා ඇතුළු සියලු පොලිස් නිලධාරීන්ටත්, සිවිල් ආරක්‍ෂක බලකායටත්, ශ්‍රී ලංකා ජනතාවටත් ශ්‍රී දකුණු දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබීමෙන් නිසිකලට වැසි ලැබී සකල ප්‍රාර්ථනා සමෘද්ධිමත් වී ඉමහත් යහපතක්ම සැලසේවායි ප්‍රාර්ථනා කරමි.

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 22 වැනි දා සඳුදා පූර්වභාග 03.33 ට ලබයි.
22 වැනිදා සඳුදා අපරභාග 11.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි 22 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
ජූලි 29 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06

First Quarterපුර අටවක

අගෝස්තු 14


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]