Print this Article


සදාකාලික සැනසීම ලබන පිළිවෙත මාර්ග සත්‍යය

සදාකාලික සැනසීම ලබන පිළිවෙත මාර්ග සත්‍යය

රාගාදී කෙලෙස් කිලිටි සියල්ලේම නිමාව හෙවත් අවසානය වශයෙන් පෙන්වා දී ඇති නිර්වාණය සදාකාලික (ධුව) වශයෙන්ද, සුවදායී වශයෙන් ද (සුබ) පි‍්‍රය සංවේදනීය වශයෙන් ද (සුඛ) බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වනු ලැබ ඇත. ඒ උත්තමාර්ථය වෙත ළඟාවන ක්‍රමවේදය ‘මාර්ග සත්‍යය’ ලෙසින් චතුරාර්ය සත්‍යය විග්‍රහයේ දී පෙන්වා දෙනු ලැබේ.

සුප්‍රසිද්ධ ධම්මචක්ක සූත්‍ර දේශනාවේ මේ මාර්ග අංගය හඳුන්වා දී ඇත්තේ මැදුම් මඟ (මජ්ඣිම පටිපදා) හෙවත් මධ්‍යම ප්‍රතිපදාව ලෙසයි. සම්මා සම්බුද්ධ දේශනාවේ සම්පූර්ණ පැවැත්ම, නැතිනම් ධර්මචක්‍ර ප්‍රවර්තනය, රැඳී තිබෙන්නේ මේ මාර්ගාංගය මතය. වසර 2600 ක බුද්ධශාසන ඉතිහාසය යනු මේ මාර්ග අංගය අනුගමනය කිරීමට මේ ලෝකයේ මිනිසුන් විසින් ගන්නා ලද අනවරත උත්සාහය පිළිබඳ කතන්දරය මිස වෙනකක් නොවේ.

සිය ප්‍රථම දේශනාවේ දී සරල ලෙස සැකෙවින් ඉදිරිපත් කෙරුණු මේ මාර්ගයන් පිළිබඳ විස්තරාර්ථ විවරණ විභජන සහිතව පැහැදිලි කරදීම ශාස්තෘන් වහන්සේ විසින්ම භාර කරනු ලබන්නේ මහා ප්‍රඥ වූ සැරියුත් මහරහතන් වහන්සේටය. අපේ ත්‍රිපිටකයේ මජ්ඣිම නිකායේ තෙවැනි කොටසේ එන ‘සච්චවිභංග සූත්‍රයේ’ දැක්වෙන්නේ ඒ විග්‍රහයයි.

මධ්‍යම ප්‍රතිපදාව නම් වූ මේ මාර්ගය අංග අටකින් යුක්තය. නිවැරැදි අවබෝධය (සම්මා දිට්ඨි), නිවැරැදි කල්පනා (සම්මා සංකප්ප), නිවැරැදි වචන භාවිතය (සම්මා වාචා), නිවැරැදි ක්‍රියාකාරකම් (සම්මා කම්මන්ත), නිවැරැදි ජීවනෝපාය මාර්ග (සම්මා ආජීව), නිවැරැදි උත්සාහය (සම්මා වායාම), නිවැරැදි සිහිය පවත්වා ගැනීම (සම්මා සති) සහ නිවැරැදි චිත්ත ඒකාග්‍රතාව (සම්මා සමාධි) යනු ඒ අංග අටයි. මෙය ආර්ය අෂ්ටාංගික මාර්ගය, අරි අටඟි මඟ යනාදී ලෙසින් ද හැඳින්වෙයි.

මේ සමස්ත මාර්ගයම ප්‍රධාන කොටස් තුනකට බෙදා දක්වනු ලැබේ. එයට හේතුව ඒ අංග අනුගමනය කිරීමේ අනුපිළිවෙළ ඒ මඟින් පැහැදිලිවන නිසයි. මේ බෙදීම ‘ත්‍රිශික්ෂා’ යනුවෙන් හැඳින්වේ. හික්මිය යුතු, අනුගමනය කළ යුතු ක්‍රම තුන, පියවර තුන යනු තේරුමයි. එනම් සීල, සමාධි, ප්‍රඥා යන අවස්ථා තුනයි.

අනුගමනීය ක්‍රියා මාර්ගය ආරම්භ වන්නේ නිවැරැදි අවබෝධයත් සමඟය. (සම්මා දිට්ඨි) ඒ අවබෝධය දෙආකාරය. සාමාන්‍යයෙන් හොඳ නරක, යහපත, අයහපත පිළිබඳ පුද්ගලයකු තුළ ඇති කර ගන්නා අවබෝධය එකකි. එය ලෞකික සම්මාදිට්ඨියයි. දෙවැන්න ආර්ය සත්‍යය අවබෝධය හෙවත් බෞද්ධ දර්ශනය පිළිබඳ ගැඹුරුම අවබෝධයයි.

මේ කියන සාමාන්‍ය බුද්ධිය (Common Sence) බුදුදහමේ ආරම්භක පියවර ලෙසින් හඳුනාගත හැකිය.එනිසාම ‘පඤ්ඤාවන්තස්සායං ධම්මො, නායං ධම්මො දුප්පඤ්ඤස්ස’ යනුවෙන් දේශනා කොට තිබේ. එහි තේරුම, සාමාන්‍ය සමාජ අවබෝධයවත් නැති මෝඩ මිනිසුන්ට බුද්ධ ධර්මයෙන් වැඩක් ගත නොහැකිය යන්නයි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු ප්‍රායෝගික සත්‍යයක් මිස මනෝමූලික න්‍යාය ධර්මයක් නොවේ. එනිසා එය කළ හැකිය. අනුගමනය කළ හැකිය. ඒ බව දැක්වෙන තවත් සුන්දර ගාථාපාඨයක් මෙසේ ය.

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියො දපනං
එතං බුද්ධානසාසනං

අයහපත් දේ කිරීමෙන් වැළැකීමත්, සියලු යහපත් දේ කිරීමත් සිත පිරිසුදුව තබා ගැනීමත් යන මේ තුන් පිළිවෙත බුදුරදුන්ගේ දේශනාව බව එයින් කියැවෙයි. ඒ නම් වෙනත් කිසිවක් නොව අප මේ කතා කරන ආර්ය මාර්ගයමයි. උතුම් වූ ද ප්‍රායෝගික වූද මැදුම් පිළිවෙතයි.

නරක, වැරැදි දේ කිරීමෙන් අත් විඳින්නේ වේදනාවයි. හොඳ, යහපත් දේ කිරීමෙන්මයි සතුට උපදවා ගත හැක්කේ. මිනිසා වපුරන දේ අනුව අස්වනු ද නෙළාගන්නේ ය. මේ සාමාන්‍ය සත්‍යය අවබෝධ කරගන්නා තුළ පහළ වන්නේ සම්මා දිට්ඨියයි. ඒ මත සිට ඔහු තවදුරටත් කරුණු අවබෝධ කරගනියි. එවිට ලෝක ස්වභාවය වූ කර්මය ගැනත් පුනර්භවය ආදී ගැඹුරු දහම් ගැනත් ඔහු තුළ ක්‍රමානුකූල අවබෝධය පහළ වෙයි. චතුරාර්ය සත්‍යය අවබෝධය දක්වා ඒ අනුව පුද්ගලයා මෙහෙයවනු ලබන්නේ මේ කියන ප්‍රථම මාර්ගාංගයයි.

සමස්ත ආර්ය මාර්ගයම පැහැදිලි ක්‍රියාකාරී වැඩපිළිවෙළක් බවට පත්වන්නේ සම්මා දිට්ඨියේ ප්‍රථම කොටස වූ ලෞකික සම්මා දිට්ඨිය පාදක කරගෙනය. හෙවත් ‘සමාන්‍ය දැනීම’ මුල් කරගෙනය. ඒ තත්ත්වයට පත්වන, හොඳ, නරක, ගැන වැටහීම ඇති තැනැත්තා සියලු ජීවීන්ගේ ජීවිතවල වටිනාකම අවබෝධ කොට ගන්නේ සත්ව හිංසාවෙන් වළකියි. සියලුදෙනාගේ දේපළ අයිතිය පිළිගන්නේ අන්සතු දේ ගැනීමෙන් වළකියි. පවුල් ජීවිතයේ වටිනාකම දන්නේ පරදාර සේවනයෙන් වළකියි. සත්‍යයේ වටිනාකම දන්නේ මුසාවෙන් වළකියි. මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන්ද හේ වැළැකුණේ වෙයි.

මෙසේ ආර්ය මාර්ගය ඇතුළත් ත්‍රිශික්ෂාවේ ප්‍රථම පියවර වන සීල ශික්ෂාව ඔහු වෙතින් සම්පූර්ණ වෙයි. ඊළඟට කියැවෙන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව යන මාර්ගාංග තුනයි. මෙහි එන යහපත් දිවි පැවැත්ම හෙවත් හොඳ ජීවනෝපායක යෙදී ම (රැකියාවක යෙදීම) යනුවෙන් අර්ථවත් වන්නේ, සතුන් විකිණීම (සත්ත වනිජ්ජා), මස් මාංශ වෙළෙඳාම (මංස වණිජ්ජා), අවි ආයුධ වෙළෙඳාම (සත්ථ වණිජ්ජා), මද්‍යසාර වෙළෙඳාම (මජ්ජ වණිජ්ජා) සහ වස විෂ පළිබෝධ නාශක ආදිය වෙළෙඳාම (විසවණිජ්ජා) ආදියෙන් තොරව සමාජයට, අනුන්ට මෙන්ම තමන්ටත් හානිදායක වෘත්තීන්හි නොයෙදී සාධාරණ අහිංසක ක්‍රමවේදයන් අනුව ජීවිකාව කරගෙන යෑමයි. මේ අංගය ද සීල කොටසටම අයත්වන බව සැලකිය යුතු ය.

සම්මාවායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග තුන අයත් වන්නේ සමාධි යන ශික්ෂාවටයි. එහි වායාම හෙවත් වෑයම පුද්ගලයා තුළ අතිමහත් චිත්ත ශක්තියක් උපදවයි. එයට අයත් කරුණු සතරෙකි. මෙතෙක් කළ වැරැදි දේවල් තවදුරටත් නොකර සිටීමටත්, කරගෙන ආ හොඳ කටයුතු තවදුරටත් කරගෙනයෑමටත්, මෙතෙක් කරන්නට නොහැකිවූ හෝ අතපසු වූ හෝ හොඳ ක්‍රියා ඉදිරියේ ආරම්භ කිරීමටත්, මෙතෙක් නොකළ නරක පාපී ක්‍රියාවන් තවදුරටත් නොකර සිටීමටත්, අධිෂ්ඨාන කරගැනීම සම්මා වායාම හෙවත් හොඳ වෑයම ලෙසින් දක්වා තිබේ.

සත්වැනි මාර්ගාංගය වන සම්මා සතිය හෙවත් යහපත් නිවැරැදි සිහිය පිහිටුවා ගැනීම, කය, වචන දෙක හික්මවීම නම් වූ සීල ශික්‍ෂාවෙන් අනතුරුව මානසික සංවර්ධනය වෙතට පුද්ගලයා යොමු කරයි. නිවැරැදි ලෙස සිහිය පිහිටුවා ගැනීමේ ප්‍රථම පියවර වන්නේ වැරැදි සහගත සිහිය පිහිටුවීමේ පුරුද්දෙන් මිදීමයි. ඒ සඳහා යොදා ගැනෙන ක්‍රමවේදය ‘සම්පජානකාරී’ ලෙසින් දැක්වෙයි.

අප ඉතා අමාරුවෙන් පවත්වාගෙන යන මේ ශරීරය පිළිබඳ පවත්නා මිථ්‍යා විශ්වාස හා පිළිගැනීම් පළමුව ඉවත් කර ගැනීම කළයුතුවෙයි. ශරීරය පවත්වාගත යුත්තේ නිවැරැදි ‘ජීවිතයාපනය’ හෙවත් අවිහිංසා පූර්වක ජීවිතයක් ගත කිරීම සඳහාය. කායානුපස්සනාව වඩන තැනැත්තා තුළ වැඩෙන ඒ අවබෝධය මඟින් ඔහු බාහිර ආටෝපයට මෙන්ම තම සිරුර දේවත්වයෙන් අදහමින් කරන කාලය හා ධනය වැනසීමට ද වැට බඳියි. වේදනානුපස්සනා , චිත්නානුපස්සනා හා ධම්මානුපස්සනා යනාදී වශයෙන් සතර සතිපට්ඨානය මඟින් ඉගැන්වෙන්නේ නිවැරැදි ලෙස සිත, කය දෙකම කෙරේ සිහිය පිහිටුවා ගන්නා ආකාරයයි.

සම්මා සමාධි යන අට වැනි ආර්ය මාර්ගය මඟින් කියැවෙන්නේ සම්මා සතිය මඟින් පාලනය කරනු ලැබූ හා හික්මවනු ලැබූ සිත වඩාත් සියුම් ලෙස භාවනාවට යොමු කිරීම මඟින් ධ්‍යාන ප්‍රතිලාභය දක්වා නංවාලන ක්‍රමයයි. චතුර්ථධ්‍යානය දක්වා ඒ අනුව සිත වඩන යෝගාවචරයා ඊළඟට යොමුවන්නේ ප්‍රඥා ප්‍රතිලාභයටයි. එහිදී මාර්ග ප්‍රතිලාභියා නැවත යොමු වන්නේ සම්මා දිට්ඨි අංගය වෙතටයි. මීට පෙරද අප දැක් වූ පරිදි මාර්ගගාමිත්වයේ නිමාව දකින්නට ‘ලෝකෝත්තර සම්මා දිට්ඨිය’ සාක්ෂාත් කරගත යුතු වෙයි. අවිහිංසා සංකල්ප, අව්‍යාපාද සංකල්ප, නෛෂ්ක්‍රම්‍ය සංකල්ප යන තෙ කරුණින් පෝෂිත සම්මා සංකල්ප අංගයෙන් තීව්‍රකරගන්නා ආධ්‍යාත්මය, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම් වූ ත්‍රිලක්‍ෂණය වෙත යොමු කරනු ලබන්නේ ඒ කියන සම්මා දිට්ඨි අංගය මඟිනි.

ආර්ය මාර්ගයේ නිෂ්ඨාව දැක්වෙන චතුරාර්ය සත්‍යය අවබෝධය කරා පුද්ගලයා මෙහෙයවනු ලබන අනුපූර්ව ප්‍රතිපදාව නම් වූ මේ උත්තම ක්‍රියාදාමයේ කූඨප්‍රාප්තිය සනිටුහන් වන්නේ ඒ ආකාර වූ ක්‍රමවේදයකිනි.

ඕනෑම පරම අර්ථයක් සඳහා වූ උත්සාහය සාර්ථක වන්නේ ඒ සඳහා වන අනුගමනීය ක්‍රියා මාර්ගයක් තුළිනි.ඒ ක්‍රියාමාර්ගය වූ කලි පුද්ගලයා විසින් පෞද්ගලිකවම අනුගමනය කරනු ලැබිය යුතු වූවකි. එසේම ආර්ය සත්‍යය හතරේ උත්කෘෂ්ඨ අංගය වන නිරෝධය හෙවත් නිවීම පිණිසද පුද්ගලයාගේ කැපවීම මත වන අෂ්ඨාංගික මාර්ග ප්‍රතිලාභයම ඉවහල් වන්නේ ය.

මේ මාර්ග ප්‍රතිලාභය යාඥාවෙන් ලබා ගත හැක්කක් නොවේ. යන්ත්‍ර මන්ත්‍ර වැනි ගුප්ත ක්‍රමයකින් ළඟාකරගත හැක්කක්ද නොවේ.

පඤ්ඤානුයාතං විරියං වදන්ති
සබ්බත්ථ සිද්ධිග්ගහණ ගහත්ථං

යනුවෙන් දක්වා ඇති පරිදි ප්‍රඥාවෙන් පෝෂිත වූ වීර්යයම උපයෝගී කරගෙනයි මේ උත්තමාර්ථයට ළඟාවිය හැකි වන්නේ. එහෙයින්ම ඡත්තමානවක ගාථාවන්හි ද මෙපවත් මේ අයුරින් පෙන්වා දී තිබේ.

පාරගතො බල විරිය සමංගි

අධිෂ්ඨාන - වීර්යය බලය කොටගෙන දුකින් එතෙර වූ බුදුරජාණන් වහන්සේගේ මාර්ගයම අනුගමනය කරමු.