Print this Article


පරම සත්‍ය වූ දුක්ඛාර්ය සත්‍යය

ඇතිවීමත්, පැවැතීමත්, විනාශයත් ඇති සියල්ල සංඛත ධර්ම වශයෙන් සලකනු ලැබේ. සංඛත සෑම දෙයකම මේ ලක්‍ෂණත්‍රය දක්නට ඇත. “යං අනිච්චං තං දුක්ඛං” යමක් අනිත්‍ය නම් එය දුකෙකි. “ යං දුක්ඛං තදනත්තා” යමක් දුක නම් එය අනාත්මයෙකි. ලෝකයෙහි ඇති පරම සත්‍යය මෙයයි. මෙම ආර්ය සත්‍යය දුකම පදනම් කොට දේශිත ය.

ආත්මය පිළිබඳ විශ්වාසය තරම් දාර්ශනිකයන් අවධි කළ වෙනත් දෙයක් නැති තරමය. මිනිස් චින්තනය දුර්වල වූ අවස්ථාවල මායාමය ස්වරූපයක් ඒ තුළට රිංගා ගත්තේය.වේදාන්ත මුනිවරු ආත්මය බ්‍රහ්ම සංකල්පය තුළ පිහිටා විශ්වයේ සම්භවය උපකල්පනය කළහ. ආත්මය බ්‍රහ්මත්වයට එකතු වී අවසන් වන බව ඔව්හු ඉගැන්වූහ. ජෛන ධර්මය ජීව,අජීව දෙක පරම සත්‍යයයි කියයි. මිනිසා වනාහි දෙවියන් වහන්සේගේ නිර්මාණයක් බව කිතුදහම උගන්වයි. දෙවියන් සතුටු කිරීමෙන් දේවත්වයටත්, දේව උදහසින් අපායටත් වැටෙන බව කිතු දහමේ ඉගැන්වෙයි.

අත්දැකිම් තුළින් නොව බුද්ධියෙන් සත්‍යය දැකිය හැකි යැයි බුද්ධිවාදීහු කීහ. සත්‍යය ඇත්තේ ඉන්ද්‍රිය අනුභූතිය (අත්දැකීම) තුළය යන මතය ඉදිරිපත් කළ අනුභූතිවාදීහු අනුභූතිය පරම සත්‍යය ලෙස සැලකූහ. විද්‍යාඥයනට අනුව, විෂය තුළින් උපදින ප්‍රත්‍යක්‍ෂ ඥානය සත්‍යයයි. අපෝහකවාදය මාක්ස්වාදීහු ඉදිරිපත් කරති. බලශක්තිය තුරන් කිරීම සත්‍යය ලෙස ඔවුහු සලකති. පංචමහා භූතයන්ගෙන් සෑදුණ සත්වයා මැරුණු විට එම පදාර්ථයටම එකතුවන බවත් නැවත ඉපදීමක් නැති බවත් චාර්වාක දර්ශනයෙන් ඉදිරිපත් කරයි.

මෙම දර්ශන කිසිවක් බෞද්ධ දර්ශනය හා නොසැසැඳෙයි. බෞද්ධ දර්ශනයෙන් ඉදිරිපත් කෙරෙන්නේ සසර පැවැත්මට හේතුව තණ්හාව බවයි. තණ්හාව නැත්නම් සසර පැවැත්මක් නැත. සසර නැත්නම් දුකක් ද නැත. “ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානං” යනුවෙන් හඳුන්වා ඇත්තේ තෘෂ්ණාව නැති කිරීමෙන් නිවන ලද හැකි බව ය.

සත්වයන් ලොව පහළ වන ක්‍රම සතරෙකි. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ , ඕපපාතික , වශයෙනි. අණ්ඩජ යනු බිත්තරයෙන් උපදින සත්වයන්ය. ජලාබුජ යනු සිවියක් තුළ පහළවන සත්වයන්ය. සංසේදජ යනු පල්වන ස්ථානයන්හි ඇතිවන මැසි, මදුරු, ආදි සත්වයන්ය. ඕපපාතික යනු ඉබේ පහළවන සත්වයන්ය.ජලාබුජ සත්වයන් පහළ වන ක්‍රමය මජ්ඣිම නිකායෙහි මහාතණ්හා සංඛය සූත්‍රයෙහි දක්වා ඇත්තේ “යථෝ ච ඛෝ භික්ඛවේ මාතාපිතරො සන්නිපතිතා හොන්ති. මාතා ච උතුනී හොති. ගන්ධබ්භො ච පච්චුපට්ඨීතො හොති එවං තිණ්ණං සන්නිපාතා ගබ්භස්සාවක්කන්ති” මහණෙනි, මවුපියන්ගේ එක්වීම, මව ඍතුවීම හා විඤ්ඤාණයාගේ පහළවීම නිසා දරුගැබක් හටගනී. උපතට මුල අවිද්‍යාවයි. යමක් ඉපදවීමේ ශක්තිය සංඛතයයි හඳුන්වනු ලැබේ. සංස්කාර බවට පත් වන්නේත් එයම ය. සංස්කාරයෙන් විඤ්ඤාණයත් විඤ්ඤාණයෙන් නාම රූපත් පහළ වේ.

“දුක්ඛෙ ලොකො පතිට්ඨිතො” දුකෙහි ලොව පිහිටියේ ය යන්නෙන් පැහැදිලි කෙරෙන්නේ පංචස්කන්ධය පහළවීම දුකක් බවය. එය ප්‍රථම ධර්ම දේශනාවේදීම “සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්දා දුක්ඛා” යනුවෙන් උපාදානස්කන්ධ පංචකයේ පහළවීම දුකක් යැයි වදාළ සේක.

දම්සක් පැවැතුම් සූත්‍රයේ දුක පැහැදිලි කරන තැන “මහණෙනි, දුක්ඛාර්ය සත්‍යය නම් කවරේද? ඉපදීම දුකය, ජරාවද දුකය, ලෙඩවීම දුකය, මරණයද දුකය, අපි‍්‍රයයන් හා එක්වීම දුකය, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකය, කැමැතිදේ නොලැබීම දුකය, දුක්ඛ දෝමනස්ස උපායාස දුකය, කෙටියෙන් කියතොත් පංච උපාදානස්කන්ධය ම දුකය” යනුවෙන් දක්වා තිබේ.

ඉපදීම නම් කාය, භාව,වස්තු යන දශක තුන මවුකුස කළලයෙහි පහළවීමයි. එම මවුකුස පිරිසුදු තැනක් නොවේ. ඉඩකඩ ඇති තැනක් නොවේ. මව විඳින දුක් පීඩා සියල්ලක්ම දරුවාටද විඳින්න සිදුවෙයි. ජරාව නම් මහලු වයසට පත්වීමයි. මහලු වනවිට තරුණ කාලයේ පැවැති සවිශක්තිය නැතිවෙයි. අතපය වාරු නැතිව යනවිට මහා දුකකි. සමහර විට පොඩි දරුවකු මෙන් මළමුත්‍ර ගොඩේ සිටීමට සිදු වෙයි.කෙස් පැසීම, දත් වැටීම ආදියෙන් ජරාවට පත්වීම පැහැදිලි වෙතත් උප්පාද, ඨිති, භංග යන ධර්මතාව යටතේ ඇසිල්ලක් පාසාම සිදුවන වෙනස්වීම මසැසට පැහැදිලි නැත. මරණය සත්වයන්ට ඇති ලොකුම දුකය. ආයුෂය, ඌෂ්ණය හා විඥානය ශරීරයෙන් පහව ගිය විට මැරුණා යැයි කියති. එවිට ශරීරය දිරාගිය දරකඩක් හා සමානය.අපි‍්‍රය සම්ප්‍රයෝගය, පි‍්‍රය විප්‍රයෝගය දුකකි. කැමැති දේ නොලැබීම ද දුකෙකි. තමාත් ලෝවැසියනුත් විඳින දුක දැක මේ දුක් විඳීනවාට වඩා නොඉපදුනා නම් හොඳ යැයි සිතෙන අවස්ථා ඇතිවෙයි. එහෙත් එසේ නොවෙයි. දුක් විඳීමට සිදු වෙයි. ශෝකය යනු විශාල කරදරයකින් පෙළෙන විට සිතේ ඇතිවන වියැළීමයි.

පරිදේවය නම් තමාගේ දුක වචනයෙන්ම කියමින් වැළැපීමයි. දුක්ඛය නම් ශාරිරික වේදනාවන්ය. දෝමනස්ස නම් මානසික පීඩනයයි. උපායාසය නම් ඤාති ව්‍යසනාදියෙන් ඇතිවන ද්වේෂයයි. දවාලීම එහි ස්වභාවයි. මෙසේ බලන විට පංචස්කන්ධයම දුකකි.

ව්‍යාධිය නම් කායික වශයෙන් ඇතිවන දුකයි. සාමාන්‍යයෙන් ව්‍යාධිය අටාකාරයකින් හඳුන්වා ඇත. විභංග ප්‍රකරණයේදී දොළොස් ආකාරයකින් හඳුන්වා ඇත. දුක්ඛ සංකල්පයට නියම අර්ථයක් සපයා ඇත්තේ බුදුදහමෙහි පමණි. බුදුදහම ආනාත්ම දර්ශනයෙකි. ආත්මවාදය පිළිගත් දාර්ශනිකයන්ට දුක්ඛ සංකල්පයට නිසි පිළිතුරක් දීමට නොහැකි විය. ’ආත්ම’ ශබ්දය බුදුදහමෙහි ද භාවිත කොට ඇතත් ඒ ‘ආත්මයද’ අනිත්‍යත්වයෙන් යුක්ත බව පැහැදිලිව දක්වා ඇත. අනත්ත ලක්ඛණ සූත්‍රයේදී එය මැනැවින් පෙන්වා දී ඇත.

’ආත්ම’ ශබ්දය දඹදිව දාර්ශනිකයන් අතර මහත් ආන්දෝලනයක් ඇතිකරන ලද්දකි. විවිධ මතධාරි දාර්ශනිකයන් ආත්මය පිළිබඳ ප්‍රශ්න නඟන්නට පටන්ගෙන ඇත.අචේල කාශ්‍යප ඔවුන් අතුරෙන් කෙනෙකි. ඔහු බුදුරදුන්ගෙන් ආත්මය පිළිබඳ ප්‍රශ්න සතරක් ඇසුවේය.

1. සයංකතවාද
2. පරන්කතවාද
3. සංයකත පරංකතවාද
4. අධිච්චසමුප්පන්නවාද

ඔහු මෙම වාදයන්ගෙන් කුමට ආත්මවාදය හසුවේදැයි බුදුරදුන්ගෙන් විමසීය. ආත්මය තමා විසින් කරන ලද්දක්වත්,,අනුන් විසින් කරන ලද්දක්වත් තමා හා අනුන් විසින් කරන ලද්දක්වත් එසේම අධිච්ච සමුප්පන්න හෙවත් ඉබේ හටගත්තක්ද නොවන බව බුදුපියාණෝ පැහැදිලි කර දුන්හ. මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් මේ සෑම ප්‍රශ්නයක්ම නිරාකරණය වන බව උන්වහන්සේ පැහැදිලි කළ සේක. ඒ බව සංයුක්ත නිකායේ එන තිම්බරුක සූත්‍රයෙන්ද පැහැදිලි කොට ඇත. දුක හේතු ප්‍රත්‍යයන්ගේ සමවායෙන් ඇතිවන බව උන්වහන්සේ පැහැදිලි කළසේක.

කම්මස්ස කාරකො නත්ථී
විපාකස්ස ච වේදකො
සුද්ධම්මා පවත්තන්ති
එවෙතං සම්මදස්සනං

විශුද්ධි මාර්ගයෙහි දක්වා ඇති මේ ගාථාවෙන් කියැවෙන්නේ මෙයයි. කර්මය කරන්නකු ද නැත. විපාකය විඳින්නකු නැත. පවතිනුයේ ශුද්ධ ධර්මයෙකි. මෙම ශුද්ධ ධර්මය නම් අවිද්‍යාදී හේතු ප්‍රත්‍යයන්ය. උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම හා ධම්ම නියාම යන නියාම ධර්මයන්ගේ එක්වීමෙන් සංස්කාර ඇතිවෙයි. මමය, මාගේය යැයි ගත හැකි දෙයක් නැති නිසා ශුද්ධ ධර්මය පමණක් පවතී.

අස්මිං සති ඉධං හොති
ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති
අස්මිං අසති ඉධං න හොති
ඉමස්ස නිරොධා ඉධං නිරුජ්ක්‍ධති

යන මූලික ප්‍රතීත්‍යසමුප්පාද දර්ශනය බුදුදහමෙහි දුක්ඛ සංකල්පය මනාව විග්‍රහ කොට ඇත. තමා තමාට පහනක් විය යුතුය. එවිට එම පහන් ආලෝකයෙන් දුක්ඛාර්ය සත්‍යය මනාව, පැහැදිලිව පෙනෙනු ඇත.