Print this Article


ගම්පළ, උඩගම ශ්‍රී සුධර්මානන්ද පුරාණ විහාරය

ගම්පළ, උඩගම ශ්‍රී සුධර්මානන්ද පුරාණ විහාරය


විහාරාධිකාරී නුගගොල්ලේ විමලසාර හිමි

ගම්පළ, උඩගම ශ්‍රී සුධර්මානන්ද පුරාණ විහාරස්ථානය සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයට අයත්ය. වසර තුන්සියයකට වැඩි ඉතිහාසයක් ඇති මේ විහාරය ප්‍රදේශවාසී ජනතාව ගේ මහත් ගෞරවාදරයට ලක්වන පුණ්‍ය භූමියකි.

විහාර ඉතිහාසය සැලකූ විට, යතිවරයාණන් වහන්සේ කිහිප නමකම විහාරාධිපතිධුරය දැරූ අතර උන්වහන්සේ සියලු දෙනාම ජනතාවට හිත වැඩ පිණිස ඇපකැප වී කටයුතු කළහ. කෙහෙල්ගමුවේ සීලරතන හිමි,කළුගල සරණපාල හිමි, පොල්ගහඅංග සුදස්සි හිමි සහ උලපනේ පඤ්ඤානන්ද හිමි යනුවෙන් එහිමිවරුන්ගේ නාමයන් සදා අමරණීය වේ.

ශ්‍රී සුධර්මානන්ද පුරාණ විහාරයේ වත්මන් විහාරාධිපතිත්වය දරන්නේ කිරිදිවත්නේ සුමනසාර හිමියන්ය. විහාරාධිකාරිත්වය නුගගොල්ලේ විමලසාර හිමියෝ උසුලති. කිරිදිවත්තේ සුමනසාර හිමියෝ 2006 වර්ෂයේදී විහාරාධිපති ධුරය භාර ගනිමින් විහාරයේ ගරාවැටෙමින් තිබූ ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය ද ඇරැඹූහ.

 

නුගගොල්ලේ විමලසාර හිමියන් ට විහාරාධිකාරිත්වය පවරමින්, දායක සභාවද ඒකරාශි කර ගනිමින් සියලු කාර්යයන්හිලා අනුශාසකත්වය උන්වහන්සේ ලබා දුන්හ. විහාරයේ අභාවයට යමින් තිබූ විහාරාංග අලුත්වැඩියා කරමින්ද නව විහාර කර්මාන්තයෙහි නියැළෙමින්ද ප්‍රදේශවාසීන් කුසලයෙහි උනන්දු කරවමින්ද විහාරවාසි භික්‍ෂූන් වහන්සේ මහත් මෙහෙවරක් ඉටු කරති. විහාරස්ථානය ඇසුරෙහි නිතිපතා, සතිපතා සහ මාසිකව සංවිධානය කෙරෙන පින්කම් බොහෝ දෙනා සදහම් ඇසුරට නැඹුරු කිරීමට පිටිවහලක්ව තිබේ. දානමය පින්කම්, ධර්මදේශනා, ශීල සමාදාන සහ භාවනා වැඩසටහන් මඟින් වැඩිහිටියන්ට මෙන්ම බාල හා තරුණ පිරිසටද සැලසෙන සෙත අතිමහත්ය. උඩගම, ඡාපාවත්ත, උඩගමකන්ද, ඉන්දාවිට, සිංහපුර ජන උදානගම සහ වරකාපිටිය ඇතුළු ගම් රැසක ජනතාව විහාරයේ ඇසුර ලබමින් නොයෙක් සමාජීය කටයුතුවලදීද ඉදිරිපත්ව ක්‍රියා කරති. සංඝමිත්තා කුලඟන සමිතිය ඇතුළු විහාරස්ථ සමිති සමාගම් ඒ බවට සැපයිය හැකි එක් නිදසුනකි.