Print this Article


අක්‍ෂිදාන සංගමයේ නව සභාපති මහාචාර්ය ආරියපාල පෙරේරා

අක්‍ෂිදාන සංගමයේ නව සභාපති මහාචාර්ය ආරියපාල පෙරේරා

සිවි ජාතකයේ සඳහන් වන මහ බෝසතුන් සිදු කළ ඇස් දන්දීම අද අපටත් කළ හැකි යැයි ප්‍රවෘත්තියක් මුල්වරට පළවූයේ නවසිය පනස් අටේ වසරේ දී හඩ්සන් සිල්වා වෛද්‍ය ශිෂ්‍යයා පුවත්පතකට ලියූ ලිපියකිනි. ඒ ලිපිය කියවා ඇස් දන් දීම පිළිබඳව අප උනන්දු කරවූයේ එදා ශිෂ්‍යයෙකු ලෙස සිටි ආරියපාල පෙරේරා හිතවතා ය.

ටික කලකට පසුව, අප සම වයසේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සේ සිටිද්දී 1965 වසරේ කළුබෝවිල රෝහලේ දී මිය ගිය සිය මෑණියන්ගේ දෙනෙත වීදුරු භාජන දෙකක බහා ආරියපාල පෙරේරා මහතා අතින් දොස්තර හඩ්සන් සිල්වා මහතා අතට පරිත්‍යාග කළ අවස්ථාවේ ගත් ඡායාරූපයක්, “විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු සිය මෑණියන්ගේ දෙනෙත් සුරතින් දන් දෙයි” යන සිරස්තලය යටතේ පුවත්පතක පළ වී තිබෙනු දුටු අපි මවිතයට පත්වීමු. අපට ලොකු සතුටක් ඇති වූයේ වසර කීපයකට පෙර පළ වූ “ මල නෙතට පණ” සංකල්පය සක්‍රීය වී තිබෙනු දැකීමෙනි.

තවත් වසර කීපයකට පසුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවයට බැඳුනු ආරියපාල පෙරේරා මහතා අක්‍ෂි තාක්‍ෂණික නිලධාරියෙකු ලෙස පුහුණු වී, ගංගොඩවිල ප්‍රදේශයේ මරණයක් සිදු වූ විට නොපමාව, ඇස් ගැලවීමට පාවිච්චි කරන මෙවලම් පෙට්ටියත්, ඇස් බහාලන රිජිපෝම් පෙට්ටියත් රැගෙන “මම යනවා ඇස් දෙකක් ගන්නැයි” කියමින් විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිවාසයෙන් පිටවී යන අවස්ථා රාශියක් දැක ඇත්තෙමි. රැයේත් දවාලේත් ඒ සඳහා ඔහු කැප වී සිටි අයුරු පුදුම සහගතය.

එපමණකින් නො නැවතුණු ආරියපාල මහතා ගංගොඩවිල ප්‍රදේශයේ අක්‍ෂිදාන ශාඛා සමිතියක් පිහිටුවා එහි සභාපති හා තාක්‍ෂණික නිලධාරියා ලෙසත්, මවු සංගමයේ ගරු යාවජීව සාමාජිකයෙක්, විධායක සභිකයෙක්, කෘත්‍යාධිකාරී සභිකයෙක් හා උප සභාපතිවරයෙක් ලෙසත් ගතවූ වසර හතළිස් ගණනක් පුරා නොකඩවා සේවය කර තිබීම සාමාන්‍ය කෙනෙකුට කළ හැකි කැපවීමක් නො වේ.

වරක් මරණීය දණ්ඩනයට නියම වූ සිරකරුවෙකු වැලිකඩ හිරගෙදර දී එල්ලා මරණ ආකාරය මුල සිට අග දක්වාම ළඟින් සිට නිරීක්‍ෂණය කරන්නටත්, මරණය සහතික කිරීමෙන් පසුව, දොස්තර හඩ්සන් සිල්වා මහතා විසින් ඔහුගේ දෙනෙත් ලබාගත් ආකාරයත්, දොස්තර මහතාගේ සහායකයා ලෙස සහභාගී වූ ආරියපාල පෙරේරා මහතාගේ අත්දැකීම් අතරට එක් විය. එම සිද්ධියේ සම්පූර්ණ විස්තරයක් මීට දෙවසරකට පෙර මුද්‍රණය කළ “දොස්තර හඩ්සන් සිල්වා චරිතාදර්ශ” ග්‍රන්ථයේ එතුමා විසින්ම ලියා පළ කරවා තිබේ.

ශ්‍රී ලංකා අක්‍ෂිදාන සංගමය හුදෙක් ඇස් දන්දීමට පමණක් සීමා වූ පුණ්‍යායතනයක් නොවේ. ලංකාවේ සියලුම රෝහල්වල අක්‍ෂි කුණිත බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා අක්‍ෂි ශල්‍ය වෛද්‍යවරුන් ඉල්ලා සිටින හැම විටකම ඉතා හොඳ තත්ත්වයේ අක්‍ෂි කුණිත දහස් ගණනින් නොමිලයේ ලබාදීම බෝසත් පාරමිතා පිරීමක් බව කිව යුතුය. මා දැනගත් පරිදි විදේශීය රෝහල් 150කට පමණ ශල්‍යකර්ම සඳහා අක්‍ෂි කුණිත නොමිලයේ පරිත්‍යාග කරන්නේ “ ශ්‍රී ලංකාවෙන් ලබාදෙන ත්‍යාගයකි” යනුවෙන් සඳහන් ලේබලය ද සහිතව ය.

මේ මහා ඇස් දන්දීමට අමතරව, කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටි අක්‍ෂිදාන සේවා මූලස්ථානයේ ඉතා ඉහළ තත්ත්වයේ ශල්‍යාගාර සහිත ඇස් රෝහලක් හා බාහිර රෝගී අංශයක් ද ක්‍රියාත්මක වේ. දෙවසරකට පෙර ගිනස් ලෝක වාර්තාවක් වූ එක් දිනක දී එක් ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් රෝගීන් 254 දෙනෙකුගේ ඇසේ සුද කපා ඉවත් කර අක්‍ෂි කාච දැමීමේ ශල්‍යකර්ම නොමිලයේ ම සිදුකරන ලද්දේ ද අක්‍ෂිදාන සංගමය සතු දොස්තර හඩ්සන් සිල්වා අනුස්මරණ ඇස් රෝහලේ දී විශේෂඥ අක්‍ෂි ශල්‍ය වෛද්‍ය ශමින්ත අමරතුංග මහතා විසිනි. ඉදිරියටත් වසරකට දුප්පත් රෝගීන් දහසකගේ ශල්‍යකර්ම නොමිලයේ කිරීමට එතුමා අපේක්‍ෂා කරයි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ක්‍රියාත්මක වන ඇස් බැංකුවක් ද, රටේ පැවති ත්‍රස්තවාදී යුද්ධයෙන් හා හදිසි අනතුරුවලින් ආබාධිත වූ දහස් ගණනකගේ ශල්‍යකර්ම සඳහා මිනිස් ශරීර පටක නොමිලයේ ලබාදුන් ආසියාවේ එකම මිනිස් පටක බැංකුව ද, ඇසේ සුද කපා ඉවත් කරන රෝගීන්ට සවිකරන ඉතා ඉහළ තත්ත්වයේ අක්‍ෂිකාච නිපදවන අංශයක් ද අක්‍ෂිදාන මූලස්ථාන සේවාවන් ලෙස අද ද ක්‍රියාත්මක වේ.

පසුගියදා පැවති 52 වන සංවත්සරික මහා සභාවේ දී ප්‍රධාන සභාපති ධුරයට මහාචාර්ය ආරියපාල පෙරේරා මේ සියලු සේවාවන් මෙහෙයවීමේ නියාමකයාණන් ලෙස නිතරගයෙන් තෝරා ගැනීම සුදුස්සාට තැන ලැබීමකි.