Print this Article


ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් දින චරියාව

ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් දින චරියාව

බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය පිණිස ගමකට හරි නියම් ගමකට පිවිසෙද් දී හරිම අපූරු සිදුවීම් සිදුවෙනවා. සිහිල් සුළං රැළි බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයේ වඩින පෙරමඟට හමනවා. ඒ සිහිල් සුළං රැළිවලින් මග දෙපස ඇති දූවිලි ඉවත් කරලා මාර්ගය පිරිසුදු කරලා දෙනවා. අහසේ වළාකුළු වලින් වැසි බිඳු එක දෙක ඇදැහැලෙමින් පොළොව තෙත් කරනවා. එතකොට මාර්ගයේ දූවිලි ආදිය ඇවිස්සෙන්නේ නැහැ. ශාන්තයි. පැහැදිලිව තියෙනවා. වළාකුළු වියනක් වගේ උන්වහන්සේ සිරසට ඉහලින් ගමන් කරනවා

අප සරණ ගිය අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් දින චර්යාව දැන ගැනීමට ඔබත් කැමැති ද?

සාමාන්‍ය මනුෂ්‍යයෙකුට හිතාගන්නවත් බැරි තරම් සුන්දර වූ මේ වැඩපිළිවෙල තුළ බුදුරජාණන් වහන්සේ වසර හතළිස් පහක්ම ගතකළ ආකාරය සැබැවින්ම විස්මය ජනක යි.

බුදුරජාණන් වහන්සේගේ් දින චරියාව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි පෙර බත්කිස. අනිත් එක තමා පසු බත්කිස.

පෙර බත්කිස කියන්නේ උන්වහන්සේ උදෑසන පිබිදී මොහොතේ පටන් දානය වළදින වේලාව දක්වා කාලය. උන්වහන්සේ දවස ආරම්භ කරන්නේ උදෑසනින්ම අවදිවෙලා. එක්ට හේතු කීපයක් තියෙනවා. උපස්ථාන කරන අයගේ පහසුව පිණිසත්, ශරීරය සෞඛ්‍යය මනාව පවත්වා ගැනීම පිණිසත් සඳහා.

උදෑසනම අවදි වී මුව සෝදා ගෙන පිණ්ඩපාතයට වඩින්න කාලය පැමිණෙන තෙක් භාවනානුයෝගීව කල්ගත කරනවා. පිණ්ඩපාතය පිණිස කල් පැමිණි විට පාත්‍ර සිවුරු රැගෙන ඇතැම් විට තනියම පිණ්ඩපාතයේ වඩිනවා. සමහර විට පිණ්ඩපාතයේ වඩින්නේ භික්ෂුන් වහන්සේලා සමඟයි.

සමහර දවස් වලට පිණ්ඩපාතයේ වඩිනවිට මෙන්න මේ වගේ මහා ආශ්චර්යමත් දේ සිදුවෙනවා.

ඒ වගේ දවස්වලට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය පිණිස ගමකට හරි නියම් ගමකට පිවිසෙද් දී හරිම අපූරු සිදුවීම් සිදුවෙනවා. සිහිල් සුළං රැළි බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයේ වඩින පෙරමඟට හමනවා. ඒ සිහිල් සුළං රැළිවලින් මග දෙපස ඇති දූවිලි ඉවත් කරලා මාර්ගය පිරිසුදු කරලා දෙනවා. අහසේ වළාකුළු වලින් වැසි බිඳු එක දෙක ඇදැහැලෙමින් පොළොව තෙත් කරනවා. එතකොට මාර්ගයේ දූවිලි ආදිය ඇවිස්සෙන්නේ නැහැ. ශාන්තයි. පැහැදිලිව තියෙනවා. වළාකුළු වියනක් වගේ උන්වහන්සේ සිරසට ඉහලින් ගමන් කරනවා.

ඒ වගේ සිහිල් සුළං රැල්ලේ පාවී ගෙන එන ලස්සනම ලස්සන මල් උන්වහස්සේ වඩින මාර්ගයේ විසිරෙනවා. අමුතුම සුවඳක් ඒ මුළු පළාත පුරාම පැතිරී යනවා. පොළොවේ තියෙනව විෂම තැන් ඒ කියන්නේ වළ ගොඩැලි ආදිය නැතිවෙලා පොළොව සම වෙනවා. උස් තැන් පහත් වෙනවා. පහත් තැන් උස් වෙනවා. මාර්ගය හරියටම සමතලා වෙනවා. එතකොට උන්වහන්සේ පා තබා වඩිද්දී මුළු පාදයම ඒ සමතලා පොළොවේ මනාව ස්පර්ශ වෙනවා.

සමහර දවස්වලට උන්වහන්සේ පිණ්ඩපාතය පිණිස ගමට වඩිද්දී ඒ ශ්‍රී ශරීරයෙන් සවණක් ඝන බුදුරැස් විහිදෙනවා. ඒ බුදුරැස්් වලිින් මාර්ගය දෙපස මැදුරු මාලිගා ආදිය රන්වන් පැහැයෙන් දීප්තියෙන් බබලනවා. ඇතුන්, අශ්වයන්, කුරුල්ලන් ඒ ඒ තැන්වලම සිටිමින් මිහිරි නාදයන් පවත්වනවා. ඒ වගේම බෙර, වීණා ආදි පංච තූ®ර්ය භාණ්ඩයන්ගෙන් මිහිරි නාදයන් නිකුත් වෙනවා.

ඔය ලකුණු මඟ දෙපස ඇතිවෙද්දී ඒ ප්‍රදේශයේ මිනිස්සු අද නම් ‘බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය පිණිස මේ ප්‍රදේශයට වඩින සේක’ කියලා දැන ගන්නවා. ඔවුන් පිරිසුදු ඇඳුමින් සැරසිලා සුවඳ මල් ආදිය අරගෙන සැදැහැ සිත පෙරට අරගෙන පෙරමඟට එනවා. ඔවුන් රැගෙන ආ මල් සුවඳ විලවුන් ආදිය බුුදුරජාණන් වහන්සේට පූජා කරලා වන්දනා කරලා අප්‍රමාණ විදිහට පින් රැස්කර ගන්නවා.

බුදුරජාණන් වහන්සේ දැකීමෙන් සිත් පහන් වෙන ඒ උපාසක උපාසිකාවෝ ‘ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, අද අපේ ගෙදරට දානයට ස්වාමින් වහන්සේලා දස නමක් , විසි නමක් , සියක් නමක් ආදි ලෙස වඩම්මලා දෙන්න’ කියා ඉල්ලා සිටිනවා. උන්වහන්සේලාට දානෙ හැන්දක් පූජා කරගන්න ලැබෙනවා නම් ඒක ජීවිතයට කොයිතරම් වාසනාවක් ද?

තථාගතයන් වහන්සේ කිසිම කලබලයක් නැතුව ඒ දානය පිළි අරගෙන වළඳනවා. දානය වැළඳුවායින් පස්සේ අනුමෝදනා බණ දේශනා කරනවා.ඒ ධර්ම දේශනය අසන පින්වත් උදවිය එක්කො තෙරුවන් සරණ යනවා. එහෙම නැත්නම් සෝවාන් වෙනවා. නැතිනම් සකදාගාමි, අනාගාමි වෙනවා. සමහර උදවිය මේ බුදු සසුන ගැන පැහැදිලි ගිහි ජීවිතය අත්හැර දමා උතුම් පැවිදි ජීවිතයට පත්වෙනවා. ඒ අයට මේ සසර දුකින් සදහටම නිදහස් වෙන්න පවා වාසනාව උදාවෙනවා.

මේ විදිහට තමන් වහන්සේට දන් පිළි ගැන් වූ පිරිසට අනුමෝදනා කරලා ආසනයෙන් නැගිටලා ආපසු විහාරයට වඩිනවා. ඉන්පසු අනෙක් ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතය අවසන් කර නැවත විහාරයට වඩින තුරු ශාලාවේ පනවා ඇති ආසනයේ වාඩි වී සිටිනවා. ස්වාමින් වහන්සේලා වළදා අවසන් කළ බව අවස්ථාවක ස්වාමීන් වහන්සේ උන්වහන්සේට දැනුම් දීමෙන් පසුව තමා උන්වහන්සේ ගන්ධ කුටියට පිවිසෙන්නේ.

මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ පෙර බත්කිස අවසන් වෙන්නේ ලෝකයේ බොහෝ දෙනෙකුට යහපත සළසමින්. පෙරබත් කිසෙන් අනතුරුව පා දෝවනය කරගෙන ගන්ධ කුටියේ පනවන ලද අසුනේ වාඩ වී සිටින ලෝකනාථ වූ ඒ බුදුජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා මෙන්න මේ විදිිහට අනුශාසනා කරනවා.

“පින්වත් මහණෙනි, බුදු කෙනෙකුගේ උපත අතිශයින්ම දුර්ලභයි. මනුෂ්‍ය ජීවිතයක් ලැබීමත් අතිශයින්ම දුර්ලභයි. පැවිදි ජීවිතයක් ගත කරන්නට ලැබීමත් දුර්ලභයි. සද්ධර්මය අසන්නට ලැබීමත් අතිශයින්ම දුර්ලභයි. එනිසා පින්වත් මහණෙනි අප්‍රමාදී මේ ශාසනයේ යෙදෙන්න’’

ඉතින් ඒ වෙලාවේ ස්වාමින් වහන්සේලා තම තමන්ට විසඳා ගන්න තියෙන ධර්ම කාරණා භාවනා කරණ ආකාරය ගැන උන්වහන්සේගෙන් විමසනවා. බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රාවක පුතුන්ට ධර්ම මාර්ග දියුණු කරගන්න ඕන විදිහට අනුශාසනා කරනවා.

බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබා ගැනීමෙන් පසුව ඒ ස්වාමීන් වහන්සේලා තම තමන් කැමැති පරිදි කැලයට හෝ රුක් සෙවණකට හෝ ගල් ගෙයකට හෝ වඩිනවා. ඒ වගේම සමහර ස්වාමින් වහන්සේලා වඩින්නේ චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයට. ඇතැම් ස්වාමින් වහන්සේලා භාවනා කරන්නෙ පරනිම්මිත වසවත්තී දිව්‍ය ලෝකයටත් වඩිනවා.

මේ විදිහට පිණ්ඩපාතයෙන් පස්සේ දවසේ පළමු කොටස අවසන් වෙන්නේ භික්ෂූන් වහන්සේලාට උතුම් ධර්ම මාර්ගය තුළ හික්මවීමෙනු යි.

භික්ෂූන් වහන්සේලා වැඩමවීමෙන් පස්සේ උන්වහන්සේ කැමැති නම් මනා සිහියෙන් යුතුව සිංහ සෙය්‍යාවෙන් මදක් වෙලා සැතපී විවේක ගන්නවා. ඉන්පසු නැවත වරක් සමාධි සුවයෙන් යුක්තව මහා කරුණාවෙන් මුළු ලෝකය දෙසම විමසා බලනවා.

හවස් කාලයේ ඒ ප්‍රදේශයේ සිටින සැදැහැවත් උපාසක උපාසිකාවන් සුවඳ මල් ආදිය රැගෙන විහාරයට පැමිණෙනවා. දම් සභා මණ්ඩපයට රැස්වෙනවා. ඒ පිරිසට සුදුසු වෙන ධර්ම දේශනයක් පවත්වනවා. කුසලයෙහි පිහිටුවනවා. පිනෙහි යොදවනවා. මේ විදිහට තමන්ගේ ශ්‍රාවක වූ ගිහි පිරිසටත් ධර්මය කියා දෙන්නට ඒ කාලය බුදුරජාණන් වහන්සේ යොදවනවා.

ඉන් අනතුරුව තමන් වහන්සේගේ ශ්‍රී දේහය සිසිල් කිරීමට කැමැති සේක්නම් එසේ කරනවා. ඉන්පසු මොහොතක් විවේකීව ගත කරනවා. ඉන්පස්සේ ස්වාමින් වහන්සේලාට තම තමන්ගේ ධර්ම මාර්ගය දියුණු කරගන්නට අවශ්‍ය දහම් කාරණා වදාරණවා. ඒ වගේම භාවනා ආදියත් කියා දෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ තමන්ගේ දෛනික දින චරියාවේ රැයේ මුල් කොටසත් ලෝකයාටම හිත සුව පිණිසම යොදනවා.

ඉන්පසුව එළැඹෙන්නේ රාත්‍රියේ මධ්‍යම යාමයි. දස දහසක් සක්වලින් පැමිණෙන දෙව් බඹුන් බුදුරජාණන් වහන්සේගෙන් දහම් කාරණා විමසන්නේ මේ වෙලාවටයි. උන්වහන්සේත් ඒ දෙවියන්හට දහම් දෙසනවා. අඩු ගණනේ සතර පද ගාථාවකින් හෝ දහම් දෙසනවා. ඒ ධර්මය ශ්‍රවණය කරන දෙවිවරු මගඵල, නිවන් අවබෝධ කරනවා. දෙවි මිනිසුන්ට ශාස්තෘ වූ ඒ බුදුරජාණන් වහන්සේ මේ විදිහට දෙවියන් කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් තමන් වහන්සේගේ කාලය කැප කරනවා.

රාත්‍රියේ අවසන් කාලය කොටස් හතරකට බෙදාගන්නා උන්වහන්සේ එක් කොටසක් සක්මනින් ගත කරනවා. දෙවෙනි කොටස ගන්ධ කුටියට පිවිස සිහි නුවණින් යුතුව සිංහ සෙය්‍යාවෙන් සැතපෙනවා. තුන්වෙනි කොටසේ දී සමාධි සුවයෙන් ගත කරනවා. දවසේ අළුයම කාලය ගතකරන්නේ මහා කරුණා සමාපත්තියට සමවැදී පිහට විය යුතු ලෝක සත්ත්වයන් දෙස බලමිනුයි. මෙය ලෝකාවලෝකනය නමින් හැඳින්වෙනවා.

බුදුරජාණන් වහන්සේගේ දින චරියාවේ පසු බත්කිස මේ විදිහට ගතවෙනවා.

සම්බුද්ධත්වයට පත්වීමෙන් පසුව පිරිනිවන් පානා තෙක් වසර හතළිස් පහක කාලයක් පුරාවට දෙවි මිනිසුන්ගේ යහපත උදෙසාම කැපකළ මහෝත්තම චරිතාපදානයක දින චරියාව සැබැවින්ම අසිරිමත් නොවේ ද?

සටහන : නයනා නිල්මිණි