UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැනසුම ගෙනෙන සද්පුරුෂ ඇසුර

නමොතස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
සබ්භිරෙව සමාසෙථ
සබ්හි කුබ්බෙථ සන්ථවං
සතං සද්ධම්ම මඤ්ඤාය
සබ්බ දුක්ඛා පමුච්චති
(සංයුක්ත නිකාය)

වාසනාවන්ත පින්වතුනි,

අද ධර්ම දේශනාව සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයට අයත් සබ්හි සූත්‍රය ඇසුරෙන් ඉදිරිපත් කරමි. ඔබගේ අවධානය මේ දහම් කරුණු කෙරෙහි යොමු කර එයින් දිවි මඟ ආලෝකමත් කර ගන්නා ලෙස කාරුණිකව සිහිපත් කරමි.

සූත්‍රයෙන් උපුටා ගත් ඉහත සඳහන් ගාථා ධර්මයෙහි සාමාන්‍ය අදහස මෙසේය. “සද්පුරුෂයන් සමඟ එක්වන්න. සද්පුරුෂයන්ම ඇසුරු කරන්න. ඔවුන්ගෙන් උතුම් ධර්මය දැනගෙන සියලු දුකින් නිදහස් විය හැකිය”.

අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම ධර්ම දේශනාව සතුල්ලපකායික නම් වූ දෙවියන් පිරිසකට දේශනා කළ සේක.

ඈත අතීතයේ එක්තරා වෙළෙඳුන් කණ්ඩායමක් නැවකින් ඈත රටකට වෙළෙඳාම සඳහා පිටත් වූහ. නැව මුහුද මැද දී අනතුරකට ලක් වී ඊට ජලය පිරෙන්නට විය. නැවෙහි සිටි සියල්ලෝම මරණ බියෙන් කෑ ගසන්නට වූහ. කණ්ඩායමේ නායකයා පමණක් එක් තැනක වාඩිවී නිහඬව සිටියේය. සෙසු අය පුදුමයට පත් ව ඔහුගෙන් ඒ ගැන විමසූහ. එවිට ඔහු මෙසේ ප්‍රකාශ කළේය . “මම මෙම ගමන පිටත් වීමට පෙර පන්සලට ගොස් තිසරණ පන්සිල් සමාදන්වී ආවෙමි. මම එම ශීලය ආවර්ජනා කළෙමි. ශීලයට අනතුරක් වී නොමැත. ඒ නිසා මට මිය යෑමට බියක් ඇති නොවේ.”

ඔහුගේ මෙම කරුණු අසා සතුටට පත් වූ සෙසු පිරිසද ඔහුගෙන් තිසරණ පන්සිල් සමාදන් වූහ. එසේ තිසරණ පන්සිල් සමාදන් වූ ඒ සියලු දෙනාම එම අනතුරින් මිය ගොස් තුසිත දෙව්ලොව සතුල්ලපකායික නමින් උපන්හ. තමන් තිසරණ පන්සිල් රකිමින් සෙසු පිරිස ද එයට යොමු කළ නායක වෙළෙන්දා ප්‍රධාන දෙවියකු විය.

සෙසු පිරිස ඔහුගේ විමානය ආසන්නයේම පහළ වූහ. තමන්ට මෙවැනි උසස් සැප සම්පත් සහිත දෙවියන් වීමට මඟ පෙන්වා දුන් ප්‍රධාන දෙවියාට ගරු බුහුමන් කළ මෙම දෙවියෝ ඔහුගේ උදාර ගුණය බුදුරදුන් හමුවට පැමිණ මෙසේ ප්‍රකාශ කළහ.

“බුදුරජාණන් වහන්ස,මෙවැනි සද්පුරුෂයකු ඇසුරු කරමින් ඔහුගෙන් දැනගන්නා ධර්මය අනුගමනය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන රාශියකි. පිරිහීම නැති වී දියුණුව ඇති වෙයි. ප්‍රඥාව වර්ධනය වෙයි. ශෝක කරන පිරිස අතර ශෝක නොවෙයි. තම ඥාතීන් අතර බබළන කෙනකු වෙයි. සුගතිගාමී ජීවිතයක් ලබාගෙන බොහෝ කල් සැපසේ ජීවත් විය හැකිය”.

එම දෙවියන්ගේ අදහස් වල නිවැරැදිතාව අගය කළ බුදුරජාණන් වහන්සේ සද්පුරුෂ ඇසුරෙන් ලැබෙන තවත් ප්‍රයෝජනයක් ඉහත ගාථාවෙන් පැහැදිලි කර දුන් සේක. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට සතුටු වූ දෙවියෝ උන් වහන්සේට නමස්කාර කොට අතුරුදන් වූහ.

පින්වත්නි, සද්පුරුෂයෙකු ඇසුරු කරමින් ඔහුගෙන් උතුම් ධර්මය අසා එය අනුගමනය කරන පුද්ගලයකුට මෙලොව හා පරලොව ජීවිතයේදී ලැබෙන උසස් ප්‍රතිඵල මෙම සූත්‍රයෙන් මැනැවින් පැහැදිලි වෙයි. නිවැරැදි ලෙස සිතන, නිවැරැදි වචන කියන, නිවැරැදි ක්‍රියාවන්හි යෙදෙන පුද්ගලයා සද්පුරුෂයෙකි. ඔහුගේ සිත, කය, වචනය යන තිදොරින් සමාජයට යහපතක් මිස අයහපතක් සිදුනොවෙයි. පස්පව්,දස අකුසල්වලින් ඉවත් වූ ඔහු තම ඇසුරට පැමිණෙන පුද්ගලයන් ද යහපතෙහි යොදවයි. ඔවුන්ට දෙලොව සැපත උදාකර ගත හැකි මාර්ගය පෙන්වා දෙයි. ධර්මයේ සඳහන් අන්දමට උතුම් නිවන් මඟ නිවැරැදිව හඳුනා ගැනීම සඳහා ද සද්පුරුෂ ඇසුර අවශ්‍ය වෙයි. බුදු,පසේබුදු, මහරහත් උතුමන් වහන්සේගේ ඇසුර ලබා නිවන අවබෝධ කරගත් පිරිස ඉතා විශාලය. එසේම කල්‍යාණ මිත්‍ර සද්පුරුෂ පෘථග්ජන උතුමන්ගේ මඟ පෙන්වීමෙන් මාර්ග ඵල අවබෝධ කර ගත් පිරිස අනන්තවත් ඇත. නූතන සමාජයේ ගිහි පැවිදි බොහෝ දෙනෙකු විවිධ කරදර විපත්වලට පත්ව ඇත්තේ සද්පුරුෂ ඇසුරින් ඈත් වී අසද්පුරුෂයන් ඇසුරු කිරීම නිසාය.

පින්වත, මෙම කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කර දිවි මඟට මහඟු සම්පතක් වන උතුම් සද්පුරුෂ ඇසුරෙන් දෙලොව ජයගෙන උතුම් නිවනින් සැනසීමට ඔබ ද උනන්දු වන්න.

තෙරුවන් සරණයි !

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 15 වැනි දා සඳුදා අපරභාග 09.05 ට ලබයි.
16 වැනි දා අඟහරුවාදා අපරභාග 08.15 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 16 වැනිදා අඟහරුවාදාය.

මී ළඟ පෝය
ජූලි 22 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]