UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

අපවත් වී තෙමසක් සපිරෙන මෑල්ලකැටිගොඩ සද්ධානන්ද නා හිමි

රුහුණු ගිරුවාපත්තුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන මෑල්ලකැටිගොඩ නම් සුන්දර ගම්පියසේ ගම්පතිව සිටි විදානගමගේ ඩිංගිඅප්පුහාමි රත්නායකගේ ලොකුහාමි දම්පතින්ට දාව 1931 ජුනි 30 මෙලොව එළිය දුටු විදානගමගේ පියසේන නම් වූ පින්වත් කුමරුවා උලහිටියාව කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබමින් සිටිය දී 1946 මැයි 28 වෙනි දින පැවිදිව කැප්පිටියාව පුරාණ විහාරාධිපතිව වැඩ සිටි වීදිකන්දේ පඤ්ඤානන්ද මාහිමියන් වෙතින් උගතමනා බණ දහම් වත්පිළිවෙත් සපුරා 1951 දී ගාල්ල මහමෝදර ශ්‍රී ගුණෝදය පිරිවෙණට ඇතුලත්ව ජාතික ආගමික දේශපාලනික සේවාවන්හි නිරත වෙමින් අධ්‍යාපනය ලැබීය. 1951 මැයි 28 වෙනි දින මහනුවර මල්වතු මහා විහාරිය උපෝෂථාගාරයේ දී එවකට මල්වතු මහ නාහිමිව වැඩි සිටි අතිපූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත ශෝභිත මහ නාහිමියන් ඇතුලු සංඝ සභාව වෙතින් උපසම්පදාව ලැබූ අතර ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය හමාර කොට සිය කැප්පිටියාව පුරාණ විහාරස්ථානයට පැමිණ ලෝවැඩ සසුන් වැඩ කටයුතු ඇරඹීය.

වීදිකන්දේ නාහිමියන් අපවත්වීමෙන් පසු විහාරාධිපතිත්වයට පත් අප නාහිමියන් විහාරස්ථානය දියුණු කිරීම සඳහා ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කළහ. දායක දායිකාවන්ට වැඩි බරක් නොපටවා විහාරාංග රැසක් ඉදිකර ඇත. දායක දායිකාවන්ගේ දුකේ දී සැපේ දී අවශ්‍යතා සොයා බලමින් කටයුතු කළ නිහතමානී ගුණයෙන් හෙබි ශ්‍රේෂ්ඨ හිමිනමක් බව සඳහන් කළ යුතුමය. වීරකැටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හිමි ලෙස නිතරගයෙන් වසර 30කට අධික කාලයක් සේවය කර ඇත. නාහිමියන් විසින් කරන ලද සාසනික, සාමාජික, දේශපාලනික සේවයට උපහාරයක් ලෙස ප්‍රදේශයේ වගකිවයුතු මහා සංඝයා වහන්සේලා ගේ හා ප්‍රභූන්ගේ ඉල්ලීම පරිදි මහනුවර ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක සානුනායක මහා සංඝ සභාව විසින් මාතර වැල්ලබඩපත්තුව ඇතුළු හම්බන්තර දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය සහිත කීර්ති ශ්‍රී ධම්මදින්න රතනපාලාභිධාන යන ගෞරව නාමය පිරිනමා ඇත.

නාහිමියන් ප්‍රදේශයේ සමිති සමාගම්වල විවිධ නිලතල දරමින් සුවිශාල සේවයක් ඉටු කර ඇත. දරුවන්ගේ ධර්මඤාණය දියුණු කිරීමට ශ්‍රී රතනපාල ධර්ම විද්‍යාලය කේන්ද්‍ර කොට ගෙන ද විශාල සේවයක් සිදු කළහ. භේදයක් කිසිවිට නොසැලකූ අතර තම සේවය අවශ්‍ය කොතැනට ද කවරකුට ද ඒ සැමට නිහතමානීව උපකාර කිරීමට උන්වහන්සේ පසුබට නොවූහ. දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්වූ අප නාහිමියන් තමා ලත් දැනුමෙන් තමා පමණක් නොව ප්‍රදේශවාසීන්ට ද උපකාර කිරීමට දිවා රාත්‍රි නොබලා කටයුතු කළහ.

දේශපාලනික වශයෙන් යථාර්ථවාදී පිළිවෙතක් අනුගමනය කළ අප නාහිමියන් ගතානුගතිකත්වයෙන් තොරව බුද්ධිගෝචරව කටයුතු කළහ. ගිරුවායේ දේශපාලන නායකයන් වන ඩී. ඒ. රාජපක්ෂ, ඩී. එම්. රාජපක්‍ෂ, ජෝර්ජ් රාජපක්‍ෂ, ලක්ෂ්මන් රාජපක්ෂ වරුන් ද ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක චමල් රාජපක්ෂ, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නියෝජ්‍ය, අමාත්‍ය, නිරූපමා රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්තී, අධිනීතිඥ ජානක බණ්ඩාර මහතා ඇතුළු සියලුම දෙනා සහය කරගනිමින් ප්‍රදේශයට මහඟු සේවාවක් ඉටුකර ඇත. තම දේශපාලන දර්ශනය වර්තමාන සිරිලක ක්‍රියාත්මක වන ආකාරය දැක අප නාහිමියන් සතුටුවනු මම ද දැක ඇත.

බුදු සසුනේත්, සමාජයේත් අනාගත සුබසිද්ධිය පතා රටට වැඩදායී බුද්ධිමත් ශිෂ්‍යයන් විශාල පිරිසක් දායාද කර තිබීම ද උන්වහන්සේගෙන් ඉටු වූ උතුම් ශාසනික සේවයකි. තම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හා ගිහි ශිෂ්‍යයන් කෙරෙහි පිය සෙනෙහසින් කටයුතු කළ අපගේ නායක හාමුදුරුවෝ හැමවිටම තම ශිෂ්‍යයන් පිළිබඳ මහත් සතුටින් හා අභිමානයෙන් යුතුව කටයුතු කිරීම තුළින් වර්තමාන භික්ෂූන්වහන්සේලාට පවා අප නාහිමියන්ගේ චරිතයෙන් ආදර්ශ සපයා ගත හැකි වේ.

රටට දැයට සාසනයට දායාද කර ඇති ශිෂ්‍යයන් අතර ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පාලි භාෂා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශනපති රාජකීය පණ්ඩිත ගෝනදෙනියේ පඤ්ඤාරතන හිමි, පිළියන්දල කහපොළ සිළුමිණිසෑ විහාරාධිපති කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ජුලම්පිටියේ පඤ්ඤාලෝක හිමි, බෙලිඅත්ත හාල්පන්දෙනියේ ශ්‍රී රතනපාල පිරිවෙණේ ආචාර්ය ශාස්ත්‍රපති පස්ගොඩ ධම්මාලෝක හිමි, මාතර කොට්ටගොඩ බඹරැන්ද ශ්‍රී රතනපාල පිරිවෙනේ අධ්‍යාපනය ලබන දම්පහළ සුමේධ හිමි, බෙලිඅත්ත හාල්පන්දෙනියේ ශ්‍රී රතනපාල පිරිවෙණේ අධ්‍යාපනය ලබන දේවාලේගම ගෝතම හිමි, බෙලිඅත්ත හාල්පන්දෙනියේ ශ්‍රී රතනපාල පිරිවෙණේ අධ්‍යාපනය ලබන තණමල්විල රාහුල හිමි ද ගිහි ශිෂ්‍යයන් අතර වීරකැටිය අත්තනයාල විද්‍යාලයේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී සනත් රූබසිංහ මහතා, ශාස්ත්‍රවේදී දයා රාපක්ෂ මහතා, ශාස්ත්‍රවේදී පී. ජයසේකර මහතා, ශාස්ත්‍රවේදී ආරියදාස වික්‍රම මහතා ආදීන් හැරුණු කොට වෛද්‍යවරුන්, නීතිඥයන්, ගුරුවරුන්, ඉංජිනේරුවරුන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම වැදගත් රැකියාවල නියුතු බොහෝ ගිහි ශිෂ්‍යයන් පිරිසක් ද වෙති. මෙම ගිහි පැවිදි ශිෂ්‍යයන්ගෙන් වර්තමාන සාසනයට හා රටට ජාතියට සිදුවන සේවාව නිසා අතිපූජ්‍ය මෑල්ලකැටිගොඩ සද්ධානන්ද හිමි යන ශ්‍රී නාමය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත.

කෙටි කාලයක් රෝගාතුරව කොළඹ මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන්ගේ හා සාත්තු සේවයේ විශේෂ කැපවීමත් ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලාගේත් දායක දායිකාවන්ගේත් විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රාජපක්ෂ පවුලේ සෘජු මැදිහත්වීමෙන් හා අධීක්ෂණයෙන් ප්‍රතිකාර ලබමින් වැඩ විසූ අප නාහිමියන් වහන්සේ 2013.04.18 වෙනි දින සවස අපවත්වී වදාළ සේක. මෑල්ලකැටිගොඩ සද්ධානන්ද නාහිමියන් වහන්සේ අපවත් වී 2013.07.18 දිනට තෙමසක් සම්පූර්ණ වේ. එදින රාත්‍රි ධර්ම දේශනාවක් පවත්වා පසුදින සියක් නමකට අධික මහා සංඝයා වහන්සේ විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු ප්‍රදේශයේ මහා සංඝ රත්නයත් සතර පේරුවේ දායක සභාවත් කටයුතු සංවිධානය කර ඇත.


මාඹුල්ගොඩ සුමනරතන මාහිමි

බස්නාහිර පළාතේ පන්නිපිටිය මාඹුල්ගොඩ නම් ගම්පියසේ පුණ්‍යවන්ත පවුලක 1960 අපේ‍්‍රල් 11 වැනි දින පින්වත් කුමරෙකු ලෙස ජන්ම ලාභය ලද මුන්වහන්සේ නියදගල කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූහ. හෝමාගම ශ්‍රී සුගතබිම්බාරාමය හා බ්‍රාහ්මණගම දූව පුරාණ විහාරය යන උභය විහාරාධිපති හේවාගමකෝරළයේ ප්‍රධාන සංඝනායක අපවත් වූ වදාළ ආභිධම්මිකාචාර්ය කිරිගම්පමුණුවේ චන්ද්‍රානන්දාභිධාන නායක මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1975 ජුනි මස 26 වන දින මාඹුල්ගොඩ සුමනරතන නමින් සසුන් ගතවූහ.

ඉන් අනතුරුව පැපිළියානේ සුනේත්‍රාදේවි මහ පිරිවෙනින් හා ගංගොඩවිල සුභද්‍රාරාම විද්‍යායතන මහා පිරිවෙනින් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපන කටයුතු සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් විය.එහිදී බුද්ධ ධර්මය විෂය පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධියද (ප්‍රථම පන්ති සාමාර්ථ) එම විශ්ව විද්‍යාලයෙන්ම දර්ශනසූරි (PhD) උපාධියද ලබා ගත්හ. දූව පුරාණ විහාරය ක්‍රමිකව සංවර්ධනය කරමින් අද වන විට බොදු ජන සිත් පහන් කරන මනරම් ස්ථානයක් බවට පත්කර ඇත. විහාරස්ථානයේ ගොඩනගා ඇති දර්ශනීය බුද්ධ මන්දිරය චෛත්‍ය රාජයාණන් වහන්සේ,රන්වැට සහිත බෝධිරාජයාණන් වහන්සේ හා අලංකාර දේව මන්දිර සංකීර්ණය නව සංඝාවාසය සහ මකර තොරණ,පොහොය ගෙය දහම් පාසල් ගොඩනැගලි හා දක්ෂිණ අධිවේගි මාර්ගයට මුහුණලා නිර්මාණය කර ඇති අලංකාර අවුකන පිළිම වහන්සේගේ අනුරු බුද්ධප්‍රතිමාව ආදි අංගයන්ගෙන් වඩාත් ඔපවත් වෙයි.

ආචාර්ය මාඹුල්ගොඩ සුමනරතන හාමුදුරුවන් වහන්සේ තමන් පැවිදි බවට පත් කරනු ලැබු ගුරු පියාණන් වහන්සේ ආරක්‍ෂා කරමින් අපවත්වන තුරුම ඉතා අදරින් පෝෂණය කළහ. 1988 දෙසැම්බර් මස 26 දින අධ්‍යාපන සේවයට පා තබන ආචාර්ය මාඹුල්ගොඩ සුමනරතන හිමියන් පන්නිපිටිය විද්‍යාලංකාර මහා පිරිවෙනේ ගුරුවරයෙකු ලෙසද හෝමාගම ජනාධිපති විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙස ද නියඳගල කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රථම ආදි ශිෂ්‍ය විදුහල්පතිවරයා ලෙසද හෝමාගම මත්තේගොඩ විද්‍යාදීප මහ විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙසද පත්වූහ. උන්වහන්සේ ශ්‍රී‍්‍ර ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ බුද්ධ ධර්මය විෂය අධ්‍යක්‍ෂවරයා ලෙසද උසස්වීම් ලැබූහ. මීට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස කලක් සේවය කළේය.

2005.10.05 දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ ආගම් දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති නිලධාරිවරයෙකු ලෙසද 2007 දී එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ලෙසද පත්වූ උන්වහන්සේ වර්තමානයේ ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස රාජකාරි භාරගෙන ඇත. උන්වහන්සේ ඉන්දියාව, චීනය, ජපානය, තායිලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය හා ස්වීඩනය, ඕස්ට්‍රේලියාව වැනි රටවල අධ්‍යාපන සම්මන්ත්‍රණ වලට මෙන්ම විදේශ ධර්ම දූත සේවාව සඳහා වැඩම කරමින් ලෝක ශාසනික සේවාවක් ද සිදුකර ඇත. මෙම ශාසනික ජාතික ආගමික සේවාවන් අගය කරමින් ශ්‍රී ලංකා අමරපුර සිරි සද්ධම්මවංස නිකායේ සංඝ සභාව මගින් ත්‍රිපිටක ධර්ම විශාරද ශාසන කීර්ති ශ්‍රී යන ගෞරව නාම සම්මුතියද පිරිනමා ඇත.


වරකාපිටියේ සද්ධානන්ද නා හිමි

වැලිගම් කෝරළේ වරකාපිටිය නම් ගම්පියසේදී ලියනපල්ලියගේ ජනෝරිස් අප්පුහාමි හා කනංකෙ ගමගේ සාදිනාහාමි යන පින්වත් මව්පිය දෙපළට දාව මෙලොව එළිය දුටුවේ 1953 පෙබරවාරි මස 04 වැනි දිනය.

නව හැවිරිදි පමණ වියේදී එවකට ඉමදුව දිවෙලේගොඩ පුරාණ විහාරාධිපතිව වැඩ විසූ කෝදාගොඩ පඤ්ඤානන්ද හිමියන්ගේ හා තල්පේ පත්තුවේ ප්‍රධාන සංඝනායක කෝදාගොඩ සංඝානන්ද නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් 1962 ජුනි මස 07 වැනි දින පැවිදි දිවියට ඇතුළත් වූයේ වරකාපිටියේ බක්කුල යන නාමයෙනි. මූලික අධ්‍යාපනය ලැබ උගත යුතු බණ දහම් ආදිය මනාව සම්පූර්ණ කළ උන්වහන්සේ 1972 ජුනි මස 22 වැනි දින මහනුවර මල්වතු මහා විහාර උපෝසථාගාරයේදී උපසම්පදාවට පත් වූයේ වරකාපිටියේ සද්ධානන්ද යන නාමයෙනි. කලක් වාහල කනංකේ කුඩාගොඩ ශ්‍රී සංඝාරාමයෙහි වැඩ වෙසෙමින් එහිදී වැල්ලානේ ගුණරතන වෙද හාමුදුරුවන් වහන්සේ මගින් ඇස් වෙදකම මනාව හදාරා හැම දෙනාටම සුවිශාල වූ සේවාවක් ඉටු කරති. මේ කාලය තුළ තම ගුරු දේවයාණන් වූ කෝදාගොඩ සංඝානන්ද නාහිමියන් ගිලන් වීමෙන් පසු නැවත වරක් දිවෙලේගොඩ පුදබිමට වැඩම කළ සද්ධානන්ද හිමියන් උන්වහන්සේට ඇප උපස්ථාන කරමින් සියලු කුදු මහත් ආගමික හා සාමාජීය සේවාව ද ඉටු කරන්නට විය. 1988 වසරේදී සංඝානන්ද නාහිමියන් අපවත් වීමෙන් පසු විහාර ගණයෙහි අධිපති ධුරයට පත්වූ වරකාපිටියේ සද්ධානන්ද මාහිමිපාණන් වහන්සේ එදා සිට අද දක්වා වු වසර 25 ක කාලයක් තුළ සිදුකරන ලද්දේ අමිල වූ ජාතික ආගමික සේවාවකි.

බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් පුරා වසර 50 කට වඩා කාලයක් තුළ උන්වහන්සේ සිදු කරනු ලැබූ ජාතික ආගමික සේවාව අගය කළ ස්‍යාමෝපාලි වංශික මල්වතු මහාවිහාර සංඝ සභාව විසින් “ශාසන කීර්ති ශ්‍රී‍්‍ර සංඝානන්ද ” යන ගෞරව නාමය සහිත තල්පේපත්තුව ඇතුළු මාතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය වරකාපිටියේ සද්ධානන්ද මාහිමියන්ට පිරි නැමීමට තීරණය කොට ඇත. ඒ නිමිත්තෙන් වූ විශේෂ සංදේශය මෙම මස 19 වන දින මහනුවර මල්වතු මහා විහාර උපෝසථාගාරයේදී මහා නා හිමියන්්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීම සඳහා නියමිතය. අභිනව නා හිමියන් පිළිගැනීම හා උත්සව සභාව මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක ශාස්ත්‍රපති නියංගොඩ විජිතසිරි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා මහා සංඝරත්නයේ සහාගිත්වයෙන් ආරම්භ කිරීම සඳහා කටයුතු යොදා ඇත. මෙම උතුම් අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක චමල් රාජපක්‍ෂ , නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි යන සම්භාවනීය ගිහි පින්වතුන්ගේ සහභාගිත්වයෙන් සිදු වන අතර එදින සිට 29 වැනි දින දක්වා ශ්‍රී සංඝානන්ද නාහිමි 25 වන ගුණ සමරු පින්කම් මාලාව සිදු කිරීම සඳහා කටයුතු යොදා ඇත.

වරකාපිටියේ සද්ධානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය හා චිර ජීවනය ලැබේවා ‘යි ප්‍රාර්ථනා කර සිටින්නෙමු.


මාපලානේ ධම්මාලෝක නා හිමි

මාතර කඹුරුපිටිය මාපලාන ග්‍රාමයේ විසූ ධර්මදාස කොඩිකාර සහ ජේන්නෝනා කොඩිකාර දම්පතීන්ගේ දරුවන් 7 දෙනාගෙන් 4 වන දරුවා ලෙස 1958 මාර්තු 20 වෙනි දින නිහාල් කොඩිකාර නමින් මෙලොව එළිය දුටු කුමරුවා නිසි වයස් එළඹීමෙන් පසු ඉහළ විටියල විද්‍යාලයෙන් සහ අකුරුගොඩ ශ්‍රී රතනජෝති විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය.

1971 මාර්තු 31 වෙනි දින ගාල්ල දඩල්ල මහමුදලින්දාරාමය සහ කොළඹ මරදාන ශ්‍රී මහින්දාරාමාධිපතිව වැඩ විසූ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක රත්ගම සිරි සුමන ජෝති නායක ස්වාමින් වහන්සේගේ සහ රත්ගම සිරි සුමනවංස නායක ස්වාමින් වහන්සේ, තුඹේ ඤාණාලංකාර ස්වාමින් වහන්සේ, තුඹේ සෝරත ස්වාමීන් වහන්සේගේත් ආචාර්යත්වයෙන් ශ්‍රී මහින්දාරාමයේදී පැවිදි වූහ.

කොළඹ මාලිගාකන්ද විදෝ්‍යදය පිරිවෙන කොළඹ හුණුපිටිය ගංගාරාම ශ්‍රී ඤාණේස්වර පිරිවෙන හා තම විහාර පරම්පරාවේ මූලස්ථානය වන ගාල්ල දඩල්ල මහමුදලින්දාරාමයේ වැඩ වසන කාලය තුළ ගාල්ල පුණ්ණසාර පිරිවෙනින් පිරිවෙන් අධ්‍යාපනය ලබා ගත්හ.

1981 ජුනි මස 23 වෙනි දින බලපිටිය මාදුගෙග් උදකුක්ඛේප සීමාමාලකයේදී උපසම්පදාව ලැබූහ.

තම ගුරුවරුන්ට කීකරුව අවවාද අනුශාසනා පිළිපදිමින් ඇප උපස්ථාන කරමින් වැඩ සිටි. උන්වහන්සේ තුඹේ සෝරත ස්වාමින් වහන්සේ අපවත් වීමෙන් 1996 වර්ෂයේ සිට විහාරත්‍රයාධිපති ධුරයට පත්විය.

තුඹේ සෝරත ස්වාමීන් වහන්සේ ආරම්භ කරන ලද ඉහළ පුලියන්කුලම ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයද අද දර්ශණීය විහාරස්ථානයක් පවට පත්ව ඇත. සෝරත ස්වාමින් වහන්සේ අපවත්වන විට අඩක් නිමකර තිබූ චෛත්‍ය සම්පූර්ණයෙන් නිම කිරීම බෝධින් වහන්සේ නමක් රෝපණය කිරීම, ධර්මශාලාවක් ඉදිකිරීම සියලු පහසුකම ද සහිත දෙමහල් විශ්‍රාම ශාලාවක් ඉදිකිරීම, අඩක් නිමකර තිබූ දේව මන්දිරයෙහි වැඩ අවසන් කිරීම ආදි කටයුතු මාපලානේ ධම්මාලෝක නායක ස්වාමින් වහන්සේගේ කැපවීම බව කිව යුතුය.

එම විහාරස්ථානය පිහටි පුලියන්කුලම ගමටද කරන සේවාවද ඉමහත්ය. විහාරාධිපති පදවියට පත්වු 17 වසර කාලය තුළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේදී අභයදානය ලබා දුන් ගවයන් ගණන 800 කට වැඩිවිය. එම ගවයන් පුලියන්කුලම දායකයන් කලාඔය පන්සලට කල්තොට මැදබද්ධ ගමට වැඩිප්‍රමාණයක් ලබාදී ඇත.

මෙවැනි මහගු ශාසනික සේවාවන් සිදුකරනු ලබන මාපලානේ ධම්මාලෝක නායක ස්වාමීන් වහන්සේට අමරපුර සිරි සද්ධම්මවංස මහ නිකාය මගින් 2002 ශාසන සෝන ධර්මකීර්ති ශ්‍රී විනයාචාර්ය ගෞරව නාමයද 2003 දී ශ්‍රී සුමනජෝති වංසාලංකාර කීර්ති ශි‍්‍ර ගෞරව නාමය සහිත කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ උප අධිකරණ සංඝනායක පදවියද මෙයට වසර කීපයකට පෙර නිකායේ සුධර්මා කාරක සංඝ සභාවේ කාරක සභික පදවිය ද පිරිනමන ලදහ.

බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු සුධර්මා කාරක සංඝ සභාවේ තීරණය අනුව මාපලානේ ධම්මාලෝක නායක ස්වාමීන් වහන්සේට පිරිනැමීමට තීරණය කළහ. එම අක්තපත්‍ර ප්‍රදානය 2013 ජූලි 12 වෙනි දින බලපිටිය සීමාමාලක විහාරස්ථානයේ දී අතිගරු මහානායක අහුංගලලේ සිරි සීලවිසුද්ධි මහා නායක ස්වාමින් වහන්සේ විසින් පිරිනැමීමට නියමිතව තිබිණි.

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 15 වැනි දා සඳුදා අපරභාග 09.05 ට ලබයි.
16 වැනි දා අඟහරුවාදා අපරභාග 08.15 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 16 වැනිදා අඟහරුවාදාය.

මී ළඟ පෝය
ජූලි 22 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]