Print this Article


ගැටලු මනාව විසැඳූ මහා කාරුණිකයාණෝ

ගැටලු මනාව විසැඳූ මහා කාරුණිකයාණෝ

ගැටලු නිවැරැදි අන්දමෙන් වටහාගෙන ඊට නියමාකාර විසැඳුම් නිසිකලට ලබාදීමට බුදුපියාණන් වහන්සේ ක්‍රියා කළ සේක. උන්වහන්සේ විශිෂ්ට ඝනයේ සමථකරුවාණ කෙනකු බව බුද්ධචරිතය විමසා බලන විට අපට මැනැවින් පසක්වෙයි. පුද්ගලයකු තුළ ද පවුලක හා ගමක ද රටක ද සහ ලෝකයෙහි ද පැන නඟින අනේකවිධ ගැටලු විසඳා සාමය රජකරවීමට බුද්ධචරිතයේ මේ ආදර්ශ අතිශය උපකාර වේ. ගැටලු විසැඳීම සම්බන්ධයෙන් ‘සමථකරණය’ නමින් වත්මනෙහි හැඳින්වෙන යහකාර්යය සමාජගත කිරීමට බුදුන්වහන්සේ එදවස කෙසේ ක්‍රියාකළ සේක් දැයි මේ ලිපිය ඔස්සේ අපි විමසා බලමු. ජූලි 18 වැනිදාට යෙදෙන ජාතික සමථ දිනය අපි ඉන් අර්ථවත් කර ගනිමු.

පුද්ගලයා තුළ අභ්‍යන්තරික වශයෙන් ඇතිවන්නාවූ ගැටුම්ද පුද්ගලයා හා සමාජය අතර ඇතිකරගන්නා වූ ගැටුම් ද වශයෙන් අභ්‍යන්තර හා බාහිර වශයෙන් ගැටුම් දෙයාකාර වෙයි.වරෙක එක් දිව්‍ය පුත්‍රයෙක් බුදුපියාණන් වහන්සේ ගෙන් මෙසේ විමසූ සේක.

අන්තො ජටා බහි ජටා
ජටාය ජටිතා පජා
තං තං ගෝතම පුච්ඡාම
සො ඉමං විජටයෙ ජටං’ති

ඇතුළත් පිටත් අවුල් ආදි වශයෙන් වන්නාවූ අවුල ලිහීමට කවරකු සමත්වේද යන්න එහි අරුතයි.මීට පිළිතුරු ලෙසින් බුදුන් වහන්සේ මෙසේ වදාළ සේක.

සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො
චිත්තං පඤ්ඤඤ්ච භාවයං
ආතාපි නිපකො භික්ඛු
සො ඉමං විජටයෙ ජටං

සීලයෙහි පිහිටා සමාධියෙන් යුතුව ප්‍රඥා විදර්ශනා වඩන නුවණැති භික්ෂු තෙම එම අවුල් ලිහා දමන බව වදාළහ. පුද්ගල අභ්‍යන්තරයේ පවත්නා ගැටලුව නිරාකරණය කළ හැකි මඟ බුද්ධදේශනයෙහි මෙසේ දැක්වෙන අතර බාහිර වශයෙන් ඇතිවන ගැටුම් විසඳාලීම සම්බන්ධයෙන්ද බුදුහිමියෝ මාර්ගෝපදේශය සැපයූහ.

සමාජයේ ගැටුම් බෙහෙවින් ඇතිවන්නේ මවුපිය ,ඥාති හිත මිත්‍රාදි සමීප වූ,දන්නා හඳුනන අය අතරය.ආරවුල් නැතිව ජීවත්විය හැකි නම් වාසනාවන්තය. කෙතරම් අකැමැති වුවත් ආරවුල් අපේ ජීවිතයේ අංගයක් බවට පත්ව ඇත. විසඳා ගත යුතු නමුත් සැකය, කලකිරීම සහ කෝපය ආදි කරුණු මත එය කෙසේ කළ යුතු දැයි සිතා ගැනීමට පවා අපහසු ය. හරි වැරැද්ද තෝරා ගැනීමට තරම් හැකියාවක් නැති කල තවත් පාර්ශවයක් සම්බන්ධව සාමකාමීව, සාධාරණව සහ දෙපාර්ශවයටම හානි නොවනසේ, දෙපාර්ශවයම ජය ගන්නා ආකාරයට ගැටුම්, ආරවුල්, විසඳා ගත හැකිනම් ඒ වැදගත්ය. බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය සමාජයේ ගැටුම්, ආරවුල් විසඳීමේදී තුන්වැනි පාර්ශවයක් වශයෙන් සම්බන්ධව සැබෑ සමථකරුවාණ කෙනකු ලෙසින් දෙපාර්ශවයටම ජයග්‍රහණය අත්පත් කර දෙන අයුරු පෙනී යයි.

ඝෝෂිතාරාමයේදි වැසිකිළි බඳුනේ ජලය පිළිබඳ භික්ෂූන් දෙපළක අතර ඇතිවූ විවාදය දිග් ගැසී ගොස් පැවිදි පක්ෂය මෙන්ම ගිහිපක්ෂයද දෙපසකට බෙදී ගිය කල්හි බුදුරජාණන්වහන්සේගේ අවවාද පවා ඔවුහු නො පිළිගත්හ. උන්වහන්සේ අසමඟියෙහි දුර්විපාක පෙන්වා දෙමින් දහම් දෙසුව ද ඔව්හු සමඟියට නොපැමිණියහ.

පරෙච න විජානත්ති
මය මෙත්ථ යමා මසෙ
යෙච තත්ථ විජානන්ති
තතො සම්මන්ති මේධගා

සඟ මැද කලහ කරන්නෝ නොවැරැදීම තමන් මරුමුවට යතැයි නොදනිති. යමෙකු එසේ දැන කලහ නවතාලන්නට තැත් දරයිද හෙතෙම කලහ සන්සිදවයි.උනුනුන් මරාගන්නා, රටවල් යටත් කර ගන්නා රජවරු පවා සමඟි වෙති. කවර හෙයින් තෙපි සමඟි නොවන්නාහුදැ’යි දෙපාර්ශවයටම කරුණු පෙන්වා දුන් සේක.

රෝහිණී නදීි ජල ප්‍රශ්නයේ දී වඩා වටින්නේ මිනිස් ජීවිතද ගංගා ජලයදැයි අසමින් සමඟි කළහ. එහිදී උන්වහන්සේ අත්තදණ්ඩ සූත්‍රය, චන්දන, ලටුකික, වට්ටක ආදි ජාතක දේශනා කරමින් දහම් දෙසීමෙන් සටන් නැවතිණි.

කුමාර කාශ්‍යප මාතාව පැවිදිව මාස කිහිපයකින් ගැබිනි ලකුණූ පහළ කළෙන් පැන නැඟි බරපතළ ප්‍රශ්නයේදි එතුමිය සිවුරු හැරවිය යුතු යයි දෙව්දත් තෙරහු ප්‍රකාශ කළහ. එහෙත් කරුණු කාරණා දත්තවුන් මැද කරුණු විමසා අපවාදයෙන් එතුමිය මුදවනු පිණිස බුදුපියාණන් වහන්සේ ක්‍රියා කළ සේක.දෙව්දත් තෙරුන්ගේ නොදැනුම නිසා සිදුවන්නට ගිය විපතින් බුදුරජාණන් වහන්සේ මෙහෙණිය මුදා ගත් සේක.

බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේදි ලංකාවේ චූලෝදර, මහෝදර රජුනගේ මිණිපලඟ අරභයා සිදුවන්නට ගිය යුද්ධය බුදුපියාණන් වහන්සේ මෙහි වැඩම කර දහම් දෙසා ඊට මැදිහත්වෙමින් වළකාලූසේක. කාකෝලුත ,වට්ටක,ජාතක දේශනා කරමින් වෛර බැඳීම් හි දොස් හා සමඟියේ අනුසස් පහදා දී සටන් නවතාලූ සැබෑ සමථකරුවාණෝ වූහ.

ස්වාමිදුවගේ තාඩන පීඩන ඉවසුම් නොදී දිවි තොර කරගන්නට තැත්කළ රජ්ජුමාලාවගේ ද දරුවන්ගේ සැලකුම් නොලැබ සැරයටියත් සිඟන භාජනයත් රැගෙන බුදුහිමියන් හමුවූ බමුණාගේද එමෙන්ම තිරිසන් සතකු වූ භද්‍රාවතිකා ඇතින්නගේද ප්‍රශ්නය කරුණූ හොඳින් වටහාගෙන විසඳාලු අයුරු මෙහිදී අපගේ සිහියට එයි. අංගුලිමාල ,ආලවක, අජාසත්, අම්බපාලි ආදින් සුවපත් කළේ මෙසේ කළ යුතුය,නොකළහොත් නිරයට බහාලමි යයි යන නියෝග ක්‍රමයකින් නොවේ. පටාචාර සහ කිසාගෝතමී ආදින්ගේ ප්‍රශ්න විසැඳුවේ මහා මනෝ වෛද්‍යවරයකු ලෙසින් කරුණු කාරණා අවබෝධ කරවමිනි. නැඟෙණිය, ඔය මළ කඳකි. විසිකරන්නැ’යි නොවදාළ උන්වහන්සේ කිසිවකුත් නොමළ ගෙයකින් අබ මිටක් ගෙනෙන ලෙස පවසමින් කිසාගෝතමියට විසැඳුම ළං කළේ උපක්‍රමශීලිවය. එබඳු පියවර ඔස්සේ ගැටලුව ඇත්තාටම එහි යථා ස්වභාව අවබෝධ කරවමින්, පිළියම ලබාදීමේ වැදගත්කම උන්වහන්සේ පෙන්වා දුන් සේක.

ගැටුමක් මතු වූ විට කලබල වීම සාමාන්‍ය ස්වභාවයයි. කවර ප්‍රශ්නයකදි වුවද කම්පිත නොවී ඉවසිලිවන්තව, බුද්ධිමත්ව ක්‍රියාකිරීම උදාර මිනිස් දහමක් බවත්, බොහෝ දෙනා තුළ එය දකින්නට නො හැකි බවත් සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයේ සත්ත ජටිල සූත්‍රයේ පැහැදිලි කරති.

කිසියම් සිද්ධියකින් අනුන්ට ඇතිවිය හැකි සිතුවිලි, වේදනා කෙබඳුවේදැයි එබඳු සිද්ධියකින් තමනට ඇතිවන සිතුවිලි,වේදනා ආදිය හා ගළපා බැලීම නම්වු අත්තුපනායික ධර්ම වේළුද්වාර බමුණන්ට පැහැදිලි කළ සේක. තමන් විඳීමට අකැමැති වේදනාවක් අන් අයට විඳීමට සැලැසීමෙන් වැළැකීම එහිදි පෙන්වාදෙන යහගුණයකි. මේ වනාහි ගැටුම්, ප්‍රශ්න නිරාකරණයේ යෙදෙන සමථකරුවකුට ආදර්ශයට ගත හැකි කදිම දහමකි.

ව්‍යාකූල සිතින් පෙළෙන පුද්ගලයින්ගේ ඒ ප්‍රශ්නය විසැඳීමේදි තුන්වැනි පාර්ශවයක් ලෙසින් සම්බන්ධ වන තැනැත්තා ඔවුනගේ පුද්ගල ස්වභාව මනාව හඳුනාගෙන ක්‍රමානුකූලව ඔවුනට කරුණු අවබෝධ කරවමින්, ඔවුන්ටම නිරාකූලතාව මනාව පෙනෙන ආකාරයට කටයුතු කළ යුතුය. බුදුන්වහන්සේ ඇතැම් අවස්ථාවක සමහරකුගේ ප්‍රශ්නයකට පිළියම මේ යැයි එක එල්ලේම නොදක්වා සුහදව, සංවාදශීලිව ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් යනාදි නොයෙක් අයුරින් සැබෑ නියම පිළිතුර ඔහුටම අවබෝධවනසේ කටයුතු කළ සේක. කාලාම සූත්‍රය ඇතුළු සූත්‍ර ගණනාවක පෙන්වන නිදහස් චින්තනයට ඇති ඉඩකඩ බුදුසමයේ ප්‍රශ්න විසැඳීමේදි දක්නට ලැබේ. කර්මවාදය පිළිබඳ තමන්ටම කරුණු අවබෝධකර ගැනීමට උපාලි ගෘහපතින්ට අවකාශ සැලසූ අයුරු අපූර්වය.

උන්වහන්සේ සත්ව වර්ගයාගේ සියලු ප්‍රශ්න දත්හ. පිළිතුරු ද දත්හ. එහෙත් ඒ පිළිතුරු දැක්වුයේ ආඥා ස්වරූපයෙන් නොවේ. විනිශ්චයකරුවකු දෙන තීන්දුවක් ලෙස නොවේ. සුහදශීලිව, සංවාදශීලිව කරුණු මැනැවින් අවබෝධ කරවමින් ප්‍රත්‍යක්ෂ කරවමින් සැබෑ ජයක් සියල්ලන්ටම ලබා දෙමිනි. සැබෑ සමථකරුවකුගේ ලක්ෂණය වන්නේ කරුණු හොඳින් අසා, ඒක පාර්ශවීය නොවී, මෙසේකළ යුතුය නොකළ යුතුයැයි තීරණ නොදී මඟ පෙන්වන්නකු ලෙසින් ක්‍රියා කිරීමයි. “තුම්මේහි කිච්චං ආතප්පං අක්ඛාතාරො තථාගතා” යනුවෙන් වදාළ පරිදි උන්වහන්සේ මඟ කියා දෙන ශාස්තෘවරයාණෝ වූහ.

සමථකරුවා ගැටලුවේ ස්වභාව, එම ගැටලුව මතුවීමට හේතුව,එම හේතු ඉවත්වුවහොත් යළිගැටලුව ඇති නොවන බව සහ ඊට බුද්ධිමත් ක්‍රියාපිළිවෙළක් අනුගමනය කළ යුතු බව යන කරුණු තේරුම් ගත්තෙකි. රෝගය, රෝග නිදානය, නිරෝගි බව හා ප්‍රතිකාරය යන ක්‍රියා පිළිවෙළ සේය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍යය වන දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ නිවන් මඟ යන්න ගැටලුව, ගැටලුවට හේතුව, විසැඳුම හා විසැඳුමට මඟ යන්න සේද ගළපා ගත හැකිය.

මමත්වය මත සියලු ගැටීම් වන්නේය. මමත්වය පිළිබඳ ප්‍රශ්නය විසැඳීම මත ගැටීම පිළිබඳ ප්‍රශ්නය විසැඳීම රැඳී ඇත. මමය, මාගේය මටය යනාදි දාෂ්ඨිය අඩුකරගත හැකිනම් ලෝකය කෙතරම් සුන්දර වනු ඇත්ද? තම සතුට සඳහා අනෙකාගේ සතුට කැප කර ගන්නා තුළ සතුටක් වේද? සමඟියක් සාමයක් වේද? තමා තුළ ගැටුමක් නැත්නම් ලොව සමඟ ද තමාගේ ගැටුමක් නොමැත. තමා, තමා අවට සමාජය ,හොඳ නරක, සහ ලෝකය පිළිබඳ අවබෝධය අතිශයින් අවශ්‍යය.

ලොව ගැටලු ඇති කරනුයේ මිනිසාය. ඒවා විසැඳිය හැක්කේද ඔහුටමය. එහිදී තමා යන හැඟුම ගැන තමන් පුළුල්ව සිතිය යුතුය. යථාර්ථය හඳුනාගත යුතු ය. තමා තමන් අවබෝධ කර ගැනීමෙන් අනෙකා අවබෝධ කර ගැනීමත් ඉන් මුළු ලෝකයා සමඟම සාමය සතුට, ඇතිකර ගැනීමත් කළ හැක්කේය.