Print this Article


සිසු නිපුණතා අගයා ත්‍යාග පිරිනැමේ

සිසු නිපුණතා අගයා ත්‍යාග පිරිනැමේ


අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමිපාණන්ගේ ඡායාරූපයට පුෂ්පෝපහාර දැක් වූ අවස්ථාව

පරිගණක ප්‍රදානය සිදු කළ අවස්ථාව. හක්මන සුමනසිරි හිමියෝ ද මෙහි වෙති.

2011 වසරේ අ.පො.ස (සා/පෙළ) විභාගයෙන් දිස්ත්‍රික් මට්ටමින් ප්‍රථම 200 දෙනා අතරට පැමිණි සහ 2011 වසරේ දහම් පාසල් අවසාන විභාගයෙන් සමත් සිසු සිසුවියන්ට “අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමි ප්‍රණාම සහතික” පිරිනැමීමේ ත්‍යාග ප්‍රදානෝත්සවය ජුනි මස 15 සෙනසුරාදා ධර්මවිජය පදනමේ දී සිදුකැරිණි. උත්සවයට අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත නිකායේ අනුනායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද අනුනාහිමියෝ සහ ධර්මවිජය පදනමේ අනුශාසක ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය රාජකීය පණ්ඩිත හක්මන සුමනසිරි හිමියෝ සහ ධර්මවිජය පදනමේ සභාපති දේශබන්ධු ඕල්කට් ගුණසේකර, ලේකම් එච්.බී. පේ‍්‍රමරත්න යන මහත්වරු සහභාගි වූහ.

විශේෂ දේශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා විසින් පවත්වන ලදී. ආරාධිත දේශනයට සහභාගි වූ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා, ස්ථිරසාර ගුණ දියුණු කරගැනීමේ වගකීම පැවරී ඇත්තේ සිසු පරපුරට බව සඳහන් කර සිටියේය. දරුවන්ගේ කුසලතා අගැයීම සහ නිපුණතා අගය කිරීම ජාතික වගකීමක් බවත් දරුවාගේ හැකියාව සහ නිපුණතාව ප්‍රදර්ශනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද දින ධර්මවිජය පදනමේ ත්‍යාග ප්‍රදානය කරමින් ඉටු කරන්නේ ජාතික වගකීමක් බව ද කීය. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සුවිශේෂ අවධානයක් යොමුකොට පෞද්ගලිකවම දරුවන්ට යහපත් අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු මහින්ද චින්තනය තුළ හඳුන්වා දී ඇත. දරුවන්ගේ දාර්ශනිකත්වය, ගතිගුණ මුවහත් කිරීම අධ්‍යාපනයේ අරමුණ විය යුතු බවද කීය. එම ත්‍යාග ප්‍රදානෝත්සවයට දිස්ත්‍රික්ක 19 ක් නියෝජනය කරමින් පාසල් දරු දැරියන් 53 දෙනෙකු සහභාගි වූ අතර එහි පිරිනමන ලද සහතිකපත් හා මුදල් ත්‍යාගවලට අතිරේකව මෙම සහතිකපත් අතරින් ප්‍රථම, දෙවන හා තෙවන ත්‍යාග තුන සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකම පාසලෙන් තේරී පත්වීම අගැයීම්වස් එවැනි පාසල් හතරකට පරිගණකය හා සිංහල ඉංගී‍්‍රසි ශබ්දකෝෂය බැගින් ප්‍රදානය කෙරිණි.