Print this Article


පේරාදෙණියේ සිරි සුජාත නා හිමි

උඩරට අමරපුර මහා නිකායේ සාසනජෝතිකා කාරක මහා සංඝ සභාව වෙතින් කර්මවාක්‍යභාණකාචාර්ය ධුරය හා “ත්‍රිපිටකභාරතීශ්වර සිරි ධම්මාවාසවංශාවතංස” ගරු නාම සම්මුතිය සහිත උතුරු ඇමෙරිකාවේ අභිනව ප්‍රධාන සංඝ නායක ධුරයෙන් පිදුම්ලද ඇමෙරිකාවේ බ්ලූලෝටස් බෞද්ධ විහාරාධිපති

පේරාදෙණියේ සිරි සුජාත නා හිමි

 

පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය

උඩරට අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත තෙරිපැහැ සෝමානන්දාභිධාන මහා නායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ සාසනජෝතිකා සානුනායක කාරක මහා සංඝ සභාව වෙතින් කර්මවාක්‍යභාණකාචාර්ය ධුරය හා “ත්‍රිපිටක භාරතීශ්වර සිරි ධම්මාවාස වංශාවතංස’යන ගරු නාම සම්මුතිය සහිත උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලද ඇමරිකාවේ බ්ලූලෝටස් බෞද්ධ විහාරධිපති පේරාදෙණියේ සිරි සුජාත නා හිමියන් පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය ජුලි 14 වනදා පස්වරු 2 ට පේරාදෙණිය ශ්‍රී‍්‍ර සුබෝධාරාමයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.


 


ශාසනික මෙහෙවරට මහත් රුකුලක්

පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වත්තේගම ධම්මාවාස නායක ස්ථවිරයන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ඇමෙරිකාවේ බ්ලූලෝටස් බෞද්ධ විහාරාධිපති පේරාදෙණියේ සුජාත ස්ථවිරයන්ට උඩරට අමරපුර නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව මගින් ත්‍රිපිටකභාරතීෂ්වර සිරි ධම්මාවාස වංසාවතංස” යන ගෞරව නාම සම්මුතිය සහිතව උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානෝත්සවය නිමිත්තෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරණු ලබන්නේ ඉතාමත් සංතෝෂයෙනි.

දේශීය හා විදේශීය වශයෙන් ධර්මප්‍රචාරක කටයුතු වල නිරතවෙමින් ආගමික සංස්කෘතික හා සමාජයීය සේවාවක නියැලී සිටින සුජාත ස්ථවිරයන්ට මෙවැනි පදවියක් පිරිනැමීම කාලෝචිත පියවරක් වන අතර, එය උන්වහන්සේගේ ශාසනික මෙහෙවරට මහත් රුකුලක් වන නොඅනුමානය.

බුදුදහම ලොව ප්‍රචාරය කිරීමේ පුරෝගාමී ධර්මදූත මෙහෙවරක යෙදෙමින් පේරාදෙණියේ සුජාත ස්ථවිරයන් ප්‍රථමයෙන් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාරාම විහාරය කේන්ද්‍ර කර ගනිමින්ද අනතුරුව 1997 සිට මේ දක්වා ඇමෙරිකාවේ චිකාගෝ නුවර බ්ලූලෝටස් බෞද්ධ විහාරය ආරම්භ කර එම විහාරස්ථානාධිපතිත්වය උසුලමින්ද ඇමෙරිකාවේ විවිධ බෞද්ධ හා සමාජ සේවා ආයතනයන්හි ප්‍රධානත්වය දරමින්ද ලොව පුරා විසිරී සිටින බෞද්ධ මහජනතාවට ඉටු කරනු ලබන වටිනා සේවාව ගිහි පැවිදි හැමදෙනාගේම ගෞරවය හා ප්‍රශංසාව හිමිවිය යුතු කරුණකි.

එබැවින් උසස් ශාසනික පදවියකින් පිදුම් ලබන පේරාදෙණියේ සුජාත ස්ථවිරයන්ට උන්වහන්සේගේ මාහැඟි ශාසනික සාමාජික සත්කාර්යයන් තවදුරටත් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගැනීමට තෙරුවන් සරණින් හා ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිටෙන් ශක්තිය හා ධෛර්ය ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරම්හ.


මෙහෙවර සිදුකිරීමට ශක්තිය ලැබේවා

මහනුවර, පේරාදෙණිය සිරි සුබෝධාරාමය ජාත්‍යන්තර කීර්තියට පත් ආයතනයකි. එහි අධ්‍යාපනය ලබන දෙස් විදෙස් භික්‍ෂූන් වහන්සේ නිසා එම ආයතනය බෞද්ධ ලෝකයේ ප්‍රසාදයට පත් වී ඇත. එහි අධිපති මධ්‍යම පළාතේ හා ඕස්ට්‍රේලියා මහද්වීපයේ ප්‍රධාන සංඝනායක, පණ්ඩිතාචාර්ය වත්තේගම ධම්මාවාස මහා ස්ථවිරයන් වහන්සේ වර්තමාන භික්‍ෂු පරපුර උදෙසා ඉටුකළ විශිෂ්ට ශාසනික මෙහෙවරට කදිම සාක්‍ෂ්‍යක් ලෙස උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පේරාදෙණියේ සිරි සුජාත ස්ථවිරයන් වහන්සේ හැඳින්වීම උචිතය.

භෞතික වශයෙන් ඉතා දියුණු ඇමරිකාවට බෞද්ධ දර්ශනය අවශ්‍යම මොහොතක සුජාත ස්ථවිරයන් වහන්සේ සිදුකරන ශාසනික මෙහෙවර මේවන විට ප්‍රාන්ත පහක් දක්වා ව්‍යාප්ත වී එහි ආරාම පහක් ඉදිකොට ඇත.

විශේෂයෙන් ඇමරිකානු ජාතිකයන් සඳහාම ගෙන යනු ලබන ධර්මප්‍රචාරක කටයුතු නිසා චිකාගෝ නුවර වසර 105 ක් පැරැණි අන්‍යාගමික ස්ථානයක් “බ්ලූලෝටස්” නමින් බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත්කරගන්නට හැකිවීම ප්‍රශංසනීයයි.

සුජාත ස්ථවිරයන් වහන්සේගෙන් ඉටුවෙන ලෝක ශාසනික මෙහෙවර පිළිබඳ ප්‍රසාදයට පත් සාසන ජෝතිකා කාරක සංඝ සභාව මගින් කර්මවාක්‍යභාණකාචාර්ය ධුරය හා ත්‍රිපිටක භාරතීශ්වර සිරි ධම්මාවාස වංසාවතංස යන ගරු නාම සම්මුතිය සහිත උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත්කොට ඇත. ඒ පිළිබඳ අප ද සතුටට පත්වන අතර ත්‍රිවිධරත්නයේ ආරක්‍ෂාව සැලසීමෙන් සිරි සුජාත ස්ථවිරයන්ට කායචිත්ත පීඩාවන්ගෙන් තොරව උතුම්සාසනික මෙහෙවර තවදුරටත් සිදුකිරීමට ශක්තිය හා ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනය කරමි.


ඉමහත් ප්‍රසාදයට හේතුවේ

උඩරට අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය තෙරිපැහැ සෝමානන්දාභිධාන ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සාසන ජෝතිකා කාරක මහා සංඝ සභාව ඇමෙරිකාවේ බ්ලූ ලෝටස් බෞද්ධ විහාරාධිපති පේරාදෙණියේ සුජාත ස්ථවිරයන් වහන්සේ වෙත “ ත්‍රිපිටක භාරතීස්වර සිරි ධම්මාවාස වංසාවතංස” යන ගරු නාම සහිතව උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම අපගේද ඉමහත් ප්‍රසාදයට හේතු වේ.

පූජ්‍යපාද වත්තේගම ධම්මාවාස නායක ස්ථවිරපාදයන් වහන්සේගේ ශිෂ්‍යවරයෙකු ලෙස උතුම් ප්‍රවෘජ්‍යා භූමියට පත්ව ශ්‍රී සුබෝධාරාමස්ථ ඤාණාලංකාර භික්‍ෂූ අභ්‍යාස ආයතනයෙන් හා මහරගම වජිරඥාන ධර්මායතනයෙන් ධර්ම ශාස්ත්‍ර ඥානය හා අවශ්‍ය භික්‍ෂූ ශික්‍ෂණයද මනාව ප්‍රගුණ කොට පූජ්‍ය පේරාදෙණියේ සුජාත ස්ථවිරයන් වහන්සේ සුබෝධාරාම භික්‍ෂු අධ්‍යාපනායතනයේ ආචාර්ය වරයකු වශයෙන්ද සේවය කොට ඇත.

පසුව තම ආචාර්යවරයාණන් වහන්සේගේ මගපෙන්වීම අනුව විදේශීය ධර්ම දූත සේවයට නැඹුරු වූ පේරාදෙණියේ සුජාත ස්ථවිරයන් ගොඩ නැගු බ්ලූලෝටස් බෞද්ධ විහාරය ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථාන කිහිපයක්ම ඇමරිකාවේ ප්‍රාන්ත කීපයක ආරම්භ කර ඒවා කේන්ද්‍ර කරගෙන බෞද්ධ ධර්මය ව්‍යාප්ත කිරීමට සිදු කළ, කරන මෙහෙය අති ප්‍රසංසනීයයි. “සනාථ සුවය පදනම” නම් සමාජ සත්කාරක ආයතනය පිහිටුවා ඒ මගින් මෙරට අසරණ ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකර දීම, දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය,වෛද්‍ය උපකරණ ලබා දීම ආදි සද්කාර්ය රැසක්ද උන්වහන්සේ සිදු කර ඇත.

උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම්ලද පේරාදෙණිය සුජාත ස්ථවිරයන්ට තම සේවාව තවත් විශිෂ්ට ලෙස සිදු කිරීමට තෙරුවන් සරණ හා දෙවි රැකවරණ ලැබේවායි මෙත්සිතින් ආශිර්වාද කරමි.


ලෝ සසුන් වැඩ වඩන්නට ආශිර්වාදය

උඩරට අමරපුර මහානිකායේ සම්භාවනීය මහ තෙර නමක් ලෙස ගෞරවයට පාත්‍රව සිටින පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාමාධිපති වත්තේගම ධම්මාවාස නායක මහ ස්ථවිරපාදයන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යයන් වහන්සේ වන පේරාදෙණියේ සිරි සුජාත මහ ස්ථවිරයන් වහන්සේ පේරාදෙණිය ශ්‍රී ඤාණාලංකාර ජාත්‍යන්තර භික්‍ෂූ අභ්‍යාස ආයතනයෙන් ශබ්ද ශාස්ත්‍රය හදාරා ප්‍රාචීන පණ්ඩිතෝපාධිය දක්වා පෙනී සිට එම පිරිවෙණෙහි ආචාර්යවරයෙකු ලෙස ධර්ම ශාස්ත්‍රීය සේවය අර්ථ සම්පන්නව ඉටුකරන්නට ක්‍රියා කළ බව සිහිපත් කළ යුතුය.

පසු කලෙක විදේශ ධර්ම දූත සේවයට යොමු කළ අදහස් ඇති සුජාත ස්ථවිරයන් වහන්සේ ඕස්ටේ‍්‍රලියාව ,ජපානය, ආදී විවිධ විදේශීය රටවල් දක්වා ගමන් කරමින් පසුව ඇමරිකා එක්සත් ජනපදයට වැඩම කළහ. එහි විහාරස්ථාන හා සමාජ සුභසාධක සේවාවන් රැසක් ඉටුකරමින් සිදුකළ ශාසනික සේවයේ විශිෂ්ට අවස්ථාවක් ලෙස චිකාගෝ නුවර බෞද්ධ විහාරයක් ඉදිකරවීම විශේෂයෙන් සඳහන් කළ යුතු ඓතිහාසික සිද්ධියකි. එම සිද්ධස්ථානය අද ‘බ්ලූලෝටස්’ විහාරය නමින් හැඳින්වේ.

එහි විහාරාධිපති පේරාදෙණියේ සිරි සුජාත ස්ථවිරයන් වහන්සේ සිදුකරන ශාසනික හා සමාජික සේවය සලකා බැලු අප ද ඇතුළුව සාසන ජෝතිකාකාරක සංඝසභාව මඟින් ‘ත්‍රිපිටක භාරතීශ්වර ධම්මාවාස වංසාවතංස’ යන ගෞරව නාම සම්මුතිය සහිත කර්මවාගාචාර්ය ධූරයෙන් හා උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමන්නට යෙදුනි. සුජාත සථවිරයන්ගේ ජන්ම භුමිය වන පේරාදෙණියේදී 2013.07.14 දින උන්වහන්සේ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කොට ඇත.


සේවාවන් වඩ වඩාත් ප්‍රශංසනීය වේ

ඇමෙරිකාවේ චිකාගෝ නුවර බ්ලූ ලෝටස් බෞද්ධ විහාරාධිපති ගෞරවාර්හ පේරාදෙණියේ සුජාත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට උඩරට අමරපුර මහා නිකායේ මහානායක, සානුනායක, නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ ශාසනජෝතිකා කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් ත්‍රිපිටකභාරතිෂ්වර සිරි ධම්මාවාස වංසාවතංස යන ගෞරවනාම සම්මුතිය සහිතව, ‘උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක’ පදවිය පිරිනැමීම නිමිත්තෙන් උන්වහන්සේට දක්වනු ලබන පූජෝපහාර වශයෙන් පවත්වන උපහාර උත්සව අවස්ථාව සඳහා ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳව මම අතිශයින් සතුටට පත් වෙමි.

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පතා සුජාත ස්වාමින්ද්‍රයාණන් වහන්සේ විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරනු ලබන සුවිශේෂී වූ ජාතික හා ජාත්‍යන්තර ශාසනික සද්කර්තව්‍යයන් මෙන්ම සමාජීය හා අධ්‍යාපනික සේවාවන් වඩවඩාත් ප්‍රශංසනීය වේ. වර්ෂ 1967 ජූලි මස 18 වෙනි දින පේරාදෙණියේ දී උපත ලබා වර්ෂ 1982 නොවැම්බර් 10 වෙනි දා පැවිදි දිවියට පා තැබූ අපේ සුජාත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, ඓතිහාසික සෙංකඩගල පුරවරය පුරා තම සදහම් සේවාව ව්‍යාප්ත කළ අතර මීට දෙවසරකට පෙරාතුව එනම්, වර්ෂ 2011 දී ඇමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ චිකාගෝ නුවර පිහිටි සුප්‍රකට සිද්ධස්ථානයක බ්ලූ ලෝටස් බෞද්ධ විහාරය හා භාවනා මධ්‍යස්ථානය ආරම්භ කරමින් උතුරු ඇමෙරිකාවේ වාසය කරනු ලබන සුවහසක් ශ්‍රී ලාංකේය බොදුනුවන්ට මෙන්ම ධර්මය පිළිබඳ උනන්දුවක් දක්වන උතුරු ඇමෙරිකානුවන්ට ද දහම් අධ්‍යාපනය ලබා දීමේ උදාරතර මෙහෙවර ඇරඹූහ.

තමන් වහන්සේ උපන් මාතෘභූමියෙන් සැතපුම් සිය දහස් ගණනක් දුරින් සිට වැඩවාසය කළ ද සුජාත ස්වාමින්ද්‍රයාණන් වහන්සේ, කිසිදා කිසිවිටෙකත් තමා උපන් ලක්මාතාව අමතක නොකළහ. විවිධාකාර වූ ස්වභාවික උපද්‍රවයන් ලක්දෙරණට පැමිණි විට ඉන් අසරණතාවයට පත්වන්නා වූ අපේම අහිංසක මිනිසුන් වෙනුවෙන් නිබඳවම කැපවූ උන්වහන්සේ තමන් වහන්සේ විසින් පිහිටවනු ලැබූ ‘සනාථ සුවය පදනම’ හරහා අනේකවිධ උදව් උපකාරයන් සිදු කළ බව මේ මොහොතේ දී මා මතක් කර සිටින්නේ අපේ සුජාත ස්වාමින්ද්‍රයාණන් වහන්සේ වෙත දක්වන ජාතියේ උපහාරයක් වශයෙනි.

තිලොවට තිලක වූ අප තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් එදා අනුදැන වදාරන්නට යෙදුණු පරිදි මේ ගෞතම බුදු සසුනේ චිරස්ථිතිය පතා බිහි කළා වූ සුරක්‍ෂිත පවුර වන්නේ සැදැහැති භික්‍ෂුවයි.

යො අග්ග දායි වරදායි සෙට්ඨ දායි ච යො නරො
දීඝායු යසවා හොති යත්ථ යත්ථුපපප්ජති

යමෙක් අගනා දේ දෙන්නේ ද, උසස් දේ දෙන්නේ ද, ශ්‍රේෂ්ඨ දේ දෙන්නේ ද හේ උපනූපන් තන්හි දීර්ඝායුෂයත්, කීර්තියත්, ප්‍රශංසාවත් නිරන්තරයෙන් ලබන්නේ ය යන උතුම් සම්බුදු වදන යථාර්ථයක් කළා වූ සුජාත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, වත්මන් ජන සමාජයේ සාරවත්භාවයට අවැසි අරුත්බර යතිවරයාණන් වහන්සේ නමකි. ශ්‍රී ලාංකේය ශාසන ඉතිහාසයේ වන්දනීය වූ මං සලකුණක් සනිටුහන් කරමින් උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ ගෞරවාර්හ පේරාදෙණියේ සුජාත ස්වාමින්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණින්, නිදුක් නීරෝගීව, චිරාත් කාලයක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ඒකාලෝක කිරීමට අවශ්‍ය කායික හා මානසික ශක්තිය ලැබේවා! යි මෙත් සිත් පෙරටුව මම ප්‍රාර්ථනා කරමි.


සුවිශේෂ කැපකිරීමක් කළ උගත් තෙරනමක්

පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වත්තේගම ධම්මාවාස හිමිපාණන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නමක වන පූජ්‍ය පේරාදෙණියේ සුජාත හිමියන් සම්බුද්ධ ශාසනයට ජීවය දී වසර විසිපහකට අධික කාලයක් තිස්සේ බුදු දහම දේශ දේශාන්තරයෙන්හි ව්‍යාප්ත කිරීමට උරදුන් හිමිනමකි.

ප්‍රාචීන හා ප්‍රතිචීන භාෂා ඥානයෙන් පිරිපුන් අප මහ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මහා සංඝරත්නයේ සහ දෙස් විදෙස් ගිහි ජනයාගේ සාමාජීය සහ ආගම් සුභ සිද්ධිය උදෙසා සුවිශාල කැප කිරීමක් කළ උගත් තෙර නමකි.

ආගමික, සාමාජික, අධ්‍යාපනික හා ප්‍රජා සත්කාරයන් රාශියක් මේ දක්වා ඉටු කරමින් මව්බිම සමග සමීප සබඳතාවයක් පවත්වන උන්වහන්සේ මව්බිම වෙනුවෙන් සිය යුතුකම් නොපිරිහෙලා ඉටුකරන බව ද මෙහිලා සඳහන් කළ යුතුවේ.

සිය ලෝක ශාසනික සේවය තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා වර්ෂ 2011 දී චිකාගෝ නුවර “බ්ලූ ලෝටස් බෞද්ධ විහාරය සහ ආගමික මධ්‍යස්ථානය ආරම්භ කළ පූජ්‍යපාද පේරාදෙණියේ සුජාත හිමිපාණන් ලාස්වේගාස්, ඇරිසෝනා සහ පෙන්සිවිලියා ආදි ප්‍රාන්තවල ඉටුකරන බෞද්ධාගමික වැඩසටහන් අපගේ නොමද ප්‍රශංසාවට ලක්වන සත්කාරයයන්ය.

මේ සියලු සේවාවන් අගය කරමින්, උඩරට අමරපුර මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය තෙරිපැහැ සෝමානන්ද නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සාසන ජෝතිකා කාරක සංඝ සභාව මගින් පූජ්‍ය පේරාදෙණියේ සුජාත හිමිපාණන් වෙත “උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පදවිය” පිරිනැමීම පිළිබඳව මම බෙහෙවින් සතුටට පත්වන අතර, පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම විහාරයේදී පැවැත්වෙන අක්තපත්‍ර ප්‍රදානෝත්සවය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා! යි ප්‍රාර්ථනා කරමි.


ශාසනික සේවාවට පුද කළ පූජෝපහාරයක්

ඇමෙරිකාවේ චිකාගෝනුවර බ්ලූලෝටස් බෞද්ධ මධ්‍යස්ථානාධිපති පුජ්‍යපාද පේරාදෙනියේ සුජාත ස්වාමීන්වහන්සේට පිරිනමන “ත්‍රිපිටකභාරතීෂ්වර සිරි ධම්මාවාසවංසාවතංස” යන ගෞරව නාමය සහිත උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පදවිය අප හිමිපාණන් වහන්සේ විසින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉටු කරන මාහැඟි ශාසනික සේවාවට පුද කළ පූජෝපහාරයකි.

නිර්මල ථෙරවාදී බුදු දහම සුරකින ධර්මදීපය ලෙසත්, බුදු දහම ලොවට බෙදා දෙන කේන්ද්‍රස්ථානය ලෙසත් ශ්‍රී ලංකාව ලෝක පූජිත වී ඇත්තේ ධර්මධර, විනයධර සුපේශල ශික්ෂාකාමි මහා සංඝරත්නයේ ශාසන සේවාවේ බලමහිමයෙනි. මනුෂ්‍ය ගුණධර්ම දුරස්වෙමින් යන මානව සමාජයට බුදු දහමේ හරය අවබෝධ කොට දෙමින් මිනිස් සිත්සතන් සුවපත් කරවීමට සුජාත හිමියන් ගන්නා වෑයම ප්‍රශංසනීය වේ.

ධම්ම පීති සුඛං සේති – විප්පසන්නේන චෙතසා

අරියප්පවේදිතෙ ධම්මේ – සදාරමති පණ්ඩිතා

ලොව්තුරු දහම රසය විඳින මහණ තෙමේ සුවසේ වෙසෙයි.නුවණැති මහණ තෙමේ වෙසෙසින් ප්‍රසන්න සිතින් බුද්ධාදි ආර්යයන් විසින් දක්නා ලද ධර්මයෙහි හැම කල්හිම ඇලෙන්නේය.

නිකැලැල් භික්ෂුත්වයත්,ශ්‍රී ලංකාවේ අභිමානයත් සුරකිමින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් තව තවත් ශාසනික මෙහෙවර ඉටු කිරීමට අපේ සුජාත නාහිමියන් ට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමි.