Print this Article


ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ18 වැනි උපාධි ප්‍රදානෝත්සවය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 18 වැනි උපාධි ප්‍රදානෝත්සවය

ජූලි 9 සහ 10 වැනි දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී

සුවිශේෂී කාර්යභාරයක් පැවරී ඇත

බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රේෂ්ඨ වූ දර්ශනය පිළිබඳව ලෝකවාසීන් විශාල උද්යෝගයකින් ක්‍රියා කරන මෙවැනි යුගයක ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය, පාලි භාෂාව ආදී විෂයයන් පිළිබඳ උපාධිය ලබා ඇති විද්‍යාර්ථීන්ට උපාධි සහතික ප්‍රදානය කරන මෙම අවස්ථාවේ දී මහා මහෝපාධ්‍යායයන් වහන්සේ ලෙස සුභාශිංසන එකතු කිරීමට ලැබීම පිළිබඳව මම සතුටට පත්වෙමි.

මහින්දාගමනය නිසා මෙරට බෞද්ධ අධ්‍යාපන ක්‍රමවේදයක් බිහි විය. එතුළින් ලක්වැසියන් ජීවිත පරිඥානය හා ජීවිත ශික්‍ෂණය ලබාගත් බව ඓතිහාසික සාක්‍ෂි අනුව සනාථ වේ. එම බෞද්ධ අධ්‍යාපනයේ ප්‍රතිඵල ලෙස පිරිවෙන් රාශියක් ලංකාව පුරා ස්ථාපිත විය. විදේශීය ආක්‍රමණ මඟින් බෞද්ධ අධ්‍යාපනය පසුබෑමකට ලක් වුව ද භික්‍ෂූන් වහන්සේලා පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය ආරක්‍ෂා කරගනිමින් බෞද්ධ අධ්‍යාපන ක්‍රමවේදය දියුණු තත්ත්වයකට පත් කර ගැනීමට කටයුතු කර ඇත. ශ්‍රේෂ්ඨ පිරිවෙන් දෙකක් අතීතයේ විශ්වවිද්‍යාල දෙකක් බවට පත් කරන ලදී. නමුත් පසුකාලීනව එම විශ්වවිද්‍යාල තුළ බෞද්ධ අධ්‍යාපන ක්‍රමවේදය පවත්වාගෙන යාමට දුෂ්කර වූ බැවින් විද්‍යාලංකාර පිරිවෙන, විද්‍යෝදය පිරිවෙන, පානදුර පිංවත්ත සද්ධර්මාකර පිරිවෙන, බලගල්ල සරස්වතී පිරිවෙන මුල් කරගෙන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නමින් ආයතන 4ක් පවත්වා ගෙන යන ලදී. 1996 දී එම ආයතන 4 ම එක්කර එක් විශ්වවිද්‍යාලයක් බවට ස්ථාපිත කර හෝමාගමට ගෙන එන ලදී. එමඟින් බලාපොරොත්තු වූයේ එක ම ආයතනයක ගුණගරුක ශික්‍ෂාකාමී, උගත් ගිහි පැවිදි පරපුරක් ලෝකයට දායාද කිරීමයි. එම අරමුණ ඉටු කර ගැනීමට විශ්වවිද්‍යාලයේ සියලු ම අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය කටයුතු කරනු ඇත යන්න මාගේ පූර්ණ විශ්වාසයයි.

ථෙරවාදී බුදුදහම ආරක්‍ෂා කර ගනිමින් පරපුරෙන් පරපුරට එය දායාද කිරීමට භික්‍ෂූන් වහන්සේලා හා බෞද්ධ ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර ඇත.අද දින උපාධිය ලබා විශ්වවිද්‍යාලයෙන් පිටව යන භික්‍ෂූන් වහන්සේලා සහ ගිහි විද්වතුන්ටත් සුවිශේෂී කාර්යය භාරයක් පැවරී ඇති බව මාගේ විශ්වාසයයි. එනම් නිර්මල ථෙරවාදී බුදුදහම ආරක්‍ෂා කර ගනිමින් එය අනාගත පරපුරට ද දායාද කිරීමයි. එය තරයේ සිතට ගන්නා ලෙස ද ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 18 වැනි උපාධි ප්‍රදානෝත්සවයට කැප වී ක්‍රියා කරන සියලු දෙනාට මාගේ පුණ්‍යානුමෝදනාව පිරිනමන අතර රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු කටයුතු සාර්ථක වේවායි පතමි.


ධර්මධර හා විනයධරයන් බිහිකිරීම මුඛ්‍ය පරමාර්ථයයි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 18 වැනි උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් මහෝපාධ්‍යායයන් වහන්සේ ලෙස මෙම පණිවුඩය ඉතා සතුටින් නිකුත් කරමි.

1995 අංක 37 දරන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනතින් සංශෝධිතව 1981 අංක 74 දරන පනතට අනුව 1982 අපේ‍්‍රල් මස 22 දින මෙම විශ්වවිද්‍යාලය ප්‍රතිෂ්ඨාපිත කරන ලදී. ආයතන 4 ක් ලෙස මුලින් ආරම්භ වුව ද අද වන විට එක් ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලෙස ස්ථාපිත කර ඇත.අභ්‍යන්තර අධ්‍යයන පරිශ්‍රය හෝමාගම පිටිපන ස්ථානයේ ද, බාහිර විභාග හා පශ්චාද් උපාධි අධ්‍යයන පරිශ්‍රය කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ ද පිහිටා ඇත.

ගුරුළුගෝමී මාවතේ වසා දමා තිබූ පාසලක ආරම්භ වූ විශ්වවිද්‍යාලය ඉන්පසු ඊට යාබද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් අක්කර 5 ක පමණ භූමිප්‍රදේශයක් රජය විසින් විශ්වවිද්‍යාලයට ලබා දෙන ලදී. එහි පුස්තකාලය,බෞද්ධ අධ්‍යයන පීඨය, භාෂා අධ්‍යයන පීඨය,දේශන ශාලා සහ ශ්‍රවණාගාරය ඉදි කර ඇත. මේ වන විට සියලු සිසුන් සඳහා අංග සම්පූර්ණ නේවාසිකාගාර ද ඉදි කර ඇත. එම නිසා පූර්ණ නේවාසික විශ්වවිද්‍යාලයක් බවට අද ශ්‍රී ලංකා බෞද්ධ හා පාලිවිශ්වවිද්‍යාලය පත් ව ඇත. විදේශීය සිසුන්ට නේවාසික පහසුකම් සලසාදීම සඳහා ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය මූලික කාර්යයන් මේ වන විට ආරම්භ කර ඇත.

බෞද්ධ අධ්‍යයන හා භාෂා අධ්‍යයන යන පීඨ දෙකකින් සමන්විත මෙම විශ්වවිද්‍යාලයේ දේශීය හා විදේශීය සිසුහු බුද්ධ ධර්මය හා පාලි, සංස්කෘත ආදි භාෂාවන් ගැඹුරින් හදාරති. බුදුදහම ප්‍රචාරය කිරීම සහ ධර්මදූත කටයුතු පෝෂණය කිරීමට අවශ්‍ය ධර්මධරයන් මෙන් ම විනයධරයන් බිහි කිරීම මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීමේ මුඛ්‍ය පරමාර්ථයයි.එම කටයුත්ත සඳහා අවැසි පාලි භාෂාව බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය, සංස්කෘත, සිංහල, ඉංගී‍්‍රසි වැනි විෂයයන් ගැඹුරින් හැදෑරීමට අවශ්‍ය පසුබිම දේශීය හා විදේශීය සිසුන්ට ලබා දී ඇත. එය විශ්ව විද්‍යාලය ලද ජයග්‍රහණයකි.

අප රටට පැමිණීමට අපහසු විදේශීය සිසුන්ට තම රටේ දී ම බුදුදහම ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට අනුබද්ධ විදේශීය ආයතන සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව, ජර්මනිය,ඔස්ට්‍රියාව, ස්කොට්ලන්තය,එංගලන්තය,නේපාලය,බංග්ලාදේශය සහ ඇමෙරිකාව යන රටවල ආරම්භ කර ඇත.අන්තර්ජාල භාවිතයෙන් විදේශිකයනට බුදු දහම හැදෑරීම සඳහා අවශ්‍ය කටයුතු ද සම්පාදනය වෙමින් පවතී.

බෞද්ධ විශ්වවිද්‍යාලයක් ලෙස ශ්‍රී ලංකා බෞද්ධ හා පාලිවිශ්වවිද්‍යාලය නඟාසිටුවීම සඳහා ජනාධිපතිතුමා ඇතුළු රජය මගින් විශාල සහයෝගයක් ලබා දෙන බව ද මෙහිදී සිහිපත් කරමි.

නියමිත උපාධි පාඨමාලා සාර්ථක ව අවසන් කළ දේශීය විදේශීය සිසුන් 1000 ක් පමණ මෙවර උපාධිය ලබති. එම විද්‍යාර්ථින් සියලු දෙනා ද බුද්ධ ධර්මය සුරක්‍ෂිතකොට ආරක්‍ෂා කර ගැනීමේ සුවිශේෂි මෙහෙයට අද පටන් එක් වෙති. එම සියලු විද්‍යාර්ථින්ට විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යායයන් වහන්සේ ලෙස මම සුබාශිංසන පිරිනමමි. එම විද්‍යාර්ථින්ට උපාධිය පිරිනැමීමේ උපාධි ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහා මහෝපාධ්‍යාය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී 2013 ජූලි මස 09 සහ 10 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය.

මෙම උත්සවය සාර්ථකව පැවැත්වීම සඳහා සහයෝගය ලබාදෙන සැමට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පිරිනමමි.


ලොවටම ථෙරවාදී බුදුදහම පැතිරවීමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පත්වී ඇති බව සතුටට කරුණකි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 18 වැනි උපාධි ප්‍රදානෝත්සවය වෙනුවෙන් ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳ මම අතිශයින් සතුටට පත් වෙමි.

අධ්‍යාපනය සහ දැනුම නව ලොව සමඟ අපව සම්බන්ධ කරනා අදෘෂ්‍යමාන මාවතයි. අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ පන්සල ප්‍රධාන කොට ගත් සම්භාව්‍ය දියුණු අධ්‍යාපන ක්‍රමයක් පැවතුණි. එහි ක්‍රමික විකාශය වූයේ විද්‍යාර්ථින් සඳහා බෞද්ධ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන්ම වෙන්වුණු විශ්වවිද්‍යාල බිහිවීමයි.

වර්ෂ 1982 අපි‍්‍රයෙල් මස 22 වන දින විවෘත කළ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අද වන විට දේශ දේශාන්තරව ධර්මදූත මෙහෙවරෙහි යෙදෙමින්, රටට කීර්තියක් ලබා දෙන උගත් ධර්මධර, විනයධර භික්ෂූන් වහන්සේලා රාශියක් සිටීම රටටම ආඩම්බරයකි.

බුදු දහම හා පාලි භාෂාව පිළිබඳ නිවැරදි දැනුම ලබා තිබීම බුදුරජාණන් වහන්සේගේ ධර්මය සුරක්ෂිතව පවත්නා ශ්‍රී‍්‍ර ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වඩා ප්‍රයෝජනවත් වන බව මම විශ්වාස කරමි.

නිර්මල බුද්ධ වචනය සඳහන් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪව තිබෙනුයේ පාලි භාෂාවෙනි. මහා වංශය, චූල වංශය, දීප වංශය වැනි ශ්‍රී ලංකාවේ මාහැඟි පුරාතන සම්භාව්‍ය ග්‍රන්ථ රාශියක් රචනාවී තිබෙන්නේ පාලි භාෂාවෙනි.

වර්තමානයේ අප පාලි භාෂාවෙන් සංනිවේදනය නොකරන නමුදු පාලි භාෂාවෙන් තොරව බෞද්ධයන් වන අපට පැවැත්මක් නොමැත. අප බුදුරජාණන් වහන්සේට නමස්කාර පාඨය ප්‍රකාශ කරනුයේ, පන්සිල් සමාදන් වනුයේ,ත්‍රිවිධ රත්නය වන්දනා කරනුයේ සහ පිරිත් සජ්ඣායනා කරනුයේ ද පාලි භාෂාවෙනි. අතීතයේ සිට විකාශය වන අපගේ සංස්කෘතික හර පද්ධතියේ මුදුන් මුල වන්නේ බුදු දහම සහ බෞද්ධ දර්ශනයේ ආභාෂයයි. ශ්‍රද්ධාවෙන් සහ ප්‍රඥාවෙන් ධර්මය ඇසුරු කිරීම නිවැරදි ජීවිතාබෝධය පිණිසම වේ. මුලු ලොවටම ථෙරවාදී බුදු දහම පැතිරවීමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පත්වී ඇති බව සතුටට කරුණකි. දේශීය මෙන්ම විදේශීය විද්‍යාර්ථීන් හට ද බෞද්ධ දර්ශනය ගැඹුරින් හැදෑරීම සඳහා මෙහි සමාන අවස්ථා හිමිවීම ප්‍රශංසනීය වේ.

උපාධි පාඨමාලාව සාර්ථකව නිම කළ ගිහි පැවිදි සියලුම විද්‍යාර්ථීන් වෙත මාගේ සුබ පැතුම් පිරිනමන අතර මෙම උපාධි ප්‍රදානෝත්සවය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා! යි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.

මහින්ද රාජපක්ෂ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය


ලෝක ප්‍රජාවට කළ මහඟු සත්කාරයක්

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ දහ අට වන වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය නිමිත්තෙන් සුබ පැතුම් එක් කිරීමට ලැබීම මා ලද භාග්‍යයකි.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අතුරින් විශේෂිත අරමුණු ඇතිව ආරම්භ කරන ලද මෙම විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් බවට පත්වීම ඔබ සියලු දෙනා ලද භාග්‍යයකි. මෙවර උපාධි ලබන ශාස්ත්‍රවේදී හා පශ්චාත් උපාධිලාභීන්ට අද දින සිය ජීවන ගමනේ අමරණීය දිනයක් වනු ඇතැයි මාගේ විශ්වාසයයි.

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මෙරට පමණක් නොව විදේශීය රටවලට පවා ව්‍යාප්ත කිරීම සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය දරන ප්‍රයත්නය මහත් ඉහළින් අගය කළ යුත්තකි.

සමස්ත මානව වර්ගයාට කරුණාව, දයාව, මෛත්‍රිය දැක්වීම වැනි උතුම් මානුෂීය ගුණ ධර්ම වර්ධනය කරගත යුතු යුගයක එම ගුණ ධර්මවලින් පිරිපුන් විද්‍යාර්ථින් පිරිසක් බිහි කිරීම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලෝක ප්‍රජාවට කළ මහඟු සත්කාරයකි.

බෞද්ධ ධර්මයේ සඳහන් එම මානුෂීය ගුණාංග සිය ජීවිතයට ප්‍රායෝගිකව ඇතුළත් කොට ආධ්‍යාත්මයෙන් පිරිපුන් පුද්ගලයන් රටට දායාද කිරීම අපගේ වගකීම ද යුතුකම ද වේ. යහපත් ගුණගරුක සමාජයක් බිහි කිරීම උදෙසා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් අඛණ්ඩව ඉටු කරනු ඇතැයි මාගේ විශ්වාසය වේ.

ධර්මධර, විනයධර, උගතුන් පිරිසක් ලෝකයාට දායාද කෙරෙන වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අතර, උප කුලපති මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමළියේ ඉන්දසර ස්වාමීන් වහන්සේට සහ සංවිධායක මණ්ඩලයට මාගේ කෘතවේදීත්වය පළකරමි.


සම්මාන ආචාර්ය උපාධිය ලබයි

ඉන්දීය මධ්‍ය ප්‍රදේශයේ

මහ ඇමති

ශ්‍රී ශිවරාජ් සිනග් චව්හාන්



 


ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලබා ඇති ගෞරවය පිළිබඳ සතුටු වෙමි

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඍජු අධීක්‍ෂණය යටතේ පිහිටුවා ඇති ශ්‍රී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 18 වැනි උපාධි ප්‍රදානොත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරීමට අවස්ථාවක් ලැබීම භාග්‍යයක් සේ සලකමි. ශ්‍රී ලංකාව ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානයක් ලෙස පත්කිරීමට කටයුතු කරන මෙවන් යුගයක උපාධි පාඨමාලා සාර්ථකව නිම කළ විද්‍යාර්ථීන් සියලු දෙනාට මාගේ සුබ පැතුම් පිරිනමමි.

මෙරට බෞද්ධ අධ්‍යාපනයේ පුරෝගාමියා මහා මහින්ද මහ රහතන් වහන්සේ ය. බුදුදහම රැගෙන මෙරටට පැමිණි උන්වහන්සේ මහා විහාරය නමින් මුල්ම බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානය අරඹන ලද අතර ඉන් පසු අභයගිරිය, ජේතවනාරාමය මුල් කර ගෙන බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථාන බිහි විය. එතැන් පටන් විශිෂ්ට තත්ත්වයේ බෞද්ධ අධ්‍යාපන ආයතන බිහි වී එමඟින් ජගත් කීර්තිධර උගතුන් රැසකට සිය දැනුම වර්ධනය කර ගැනීමට අවස්ථාව උදා විය.

එවැනි ආයතන බුදුදහම ආරක්‍ෂා කර ගනිමින් ධර්මය ව්‍යාප්ත කරලීමේ කාර්යයෙහි නිරත වූ බව ඉතිහාසය සාක්‍ෂි දරයි. එම අධ්‍යාපන සම්ප්‍රදායේ එක් යුගයක් ලෙස ශ්‍රී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අපට හඳුන්වා දිය හැක. එහි අභ්‍යන්තර අධ්‍යයන පරිශ්‍රය හෝමාගම, පිටිපන ද බාහිර අධ්‍යයන පරිශ්‍රය කොළඹ, බෞද්ධාලෝක මාවතේ ද ස්ථාපිත කර ඇත.ශික්‍ෂාකාමී, ගුණවත් ගිහි පැවිදි උගතුන් ලොවට දායාද කිරීමේ අරමුණින් පිහිටුවා ඇති මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා වසරකට විදේශීය භික්‍ෂූන් වහන්සේලා සැලකිය යුතු ප්‍රමාණයක් පැමිණෙති. වර්තමානයේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ලබා ඇති ගෞරවය පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා මෙන්ම බෞද්ධයෙකු වශයෙන්ද මම අතිශයින් සතුටට පත් වෙමි. රජයක් ලෙස විශ්වවිද්‍යාලයට ලබා දියයුතු සියලු පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බව මෙහිදී සිහිපත් කරමි.

බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ධාර්මික ශික්‍ෂණයකින් හෙබි උගතුන් පිරිසක් බිහිකොට බෞද්ධ අධ්‍යාපනය දේශදේශාන්තර තුළ ප්‍රචලිත කිරීමේ ශක්තිය ශ්‍රී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට ලැබේවා’යි උපාධි ප්‍රදානෝත්සවයට සුබ පතමින් ප්‍රාර්ථනා කරමි.


සුවිශේෂ මෙහෙවරක

ශ්‍රී ලංකාව සහ විදේශීය රටවල බුදුදහම පතුරුවාලීම සහ ධර්මදූත කටයුතු පෝෂණය කිරීමට සමත් උගත් ධර්මදූතයන් ලොවට දායාද කිරීමේ උදාර මෙහෙවරක යෙදෙන ශ්‍රී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ දහඅට වැනි (18) උපාධි ප්‍රදානෝත්සවයේ උපාධි ලබන විද්‍යාර්ථින්ට මාගේ ශුභාශිංසනය පිරිනමමි.

පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාලයීය සාමාජිකත්වය දරන ශ්‍රී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නිර්මල බුදුදහම ලොව පතළ කිරීමේ සුවිශේෂ මෙහෙවරක යෙදී සිටී. මෙම අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් උපාධිලාභී ගිහි පැවිදි පරපුරක් බිහි කිරීම සඳහා දේශීය විදේශීය සිසුන්ට ශාස්ත්‍රීය ගවේෂණ සහ පර්යේෂණ කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් විශ්වවිද්‍යාලය විසින් සපුරා ඇත.

2013.07.09 සහ 2013.07.10 දෙදින තුළ පැවැත්වෙන මෙම විශ්වවිද්‍යාලයේ 18 වැනි උපාධි ප්‍රදානෝත්සවයේ දී දේශීය හා විදේශීය විද්‍යාර්ථින්ට ප්‍රථම උපාධි, පශ්චාද් උපාධි හා සම්මාන ආචාර්ය උපාධි ඇතුළුව උපාධිලාභීන් 819 දෙනෙකු වෙත උපාධි ප්‍රදානය කරනු ඇත.

ලෝකවාසි බෞද්ධ අබෞද්ධ ජනතාවට උදාරතර සේවයක් ඉටු කිරීමට මෙම විද්‍යාර්ථින්ට හැකිවේවා යන්න ප්‍රාර්ථනය කරන අතර මෙම උපාධි ප්‍රදානෝත්සවය සාර්ථක කර ගැනීම සඳහා කැපවෙන විශ්වවිද්‍යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයට මාගේ ස්තුතිය පුද කරමි.