Print this Article


පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

නාත්තන්ඩියේ ශ්‍රී සද්ධානන්ද නා හිමි

වර්ෂ1934 ජූනි මස 24 වෙනි දින නාත්තන්ඩිය ග්‍රාමවරයෙහි ජන්ම දායාදය ලැබ 1949 අගෝස්තු මස 08 දින වීරහේනේගෙදර ශ්‍රී විජයසුන්දරාරාම රජ මහ විහාරයේ දී නාත්තන්ඩියේ සද්ධානන්ද නමින් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වූහ. දහර සමණේර නමක විසින් උගත යුතු ධර්ම විනය ශබ්ද ශාස්ත්‍රාදී මූලික බණ දහම් පණ්ඩිතාචාර්ය තම ගුරු දේවෝත්තමයාණන් වහන්සේ වෙතින් ඉගෙන රත්මලේ රතනසේල, කෝට්ටේ සිරි පැරකුම්බා, කුරුණෑගල මලියදේව යන පිරිවෙන් වලින් වැඩිදුර අධ්‍යාපනය ලැබීය.1959 මැයි මස 25 දින අස්ගිරි මහා විහාරිය රාජුපස්ථාන සීමාමාලකයේ දී උපසම්පදාව වූහ.

වීරහේනේගෙදර රජමහා විහාරය ඇතුළු තදනුබද්ධ පංච මහා විහාරයන් සකලාංග සම්පූර්ණ විහාරස්ථාන බවට පත්ව තිබේ. සංඝාවාස, පුස්තකාල, බෝධිප්‍රාකාර, ගණ්ඨාර කුලුනු ඉදිකිරීම, ධර්මශාලා, චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීම, ජලනළ පද්ධති සවිකිරීම, විදුලිය ලබාගැනීමාදි කටයුතු මෙන්ම විශිෂ්ට දහම් පාසල් සේවාවකින් ද යුක්තය. වාරියපොල, වීරහේනේගෙදර, ගල්ලැහැර, බැද්දේගම ආදී දහම් පාසල් ආරම්භ කරමින්ද එහි ප්‍රධානාචාර්ය ධුරය හොබවමින් ප්‍රාදේශීය බොදු දරුවනට සළසන ලද්දේ ඉමහත් සේවාවකි. අදද වාරියපොල, බමුණාකොටුව, මාස්පොත, වීරඹුගෙදර ආදී ශාසනාරක්‍ෂක බල මණ්ඩලවල විවිධ තනතුරු හොබවති.

වීරහේනේගෙදර නා හිමිපාණන් වහන්සේ ශ්‍රී සද්ධානන්ද පිරිවෙන ආරම්භ කළහ. මේ වනවිට උන්වහන්සේ එහි කෘත්‍යාධිකාරීන් වහන්සේ ලෙස ක්‍රියා කරයි. එමතුදු නොව මෑත භාගයේ ඉදිකරන ලද අසූ මහ ශ්‍රාවක ශ්‍රී සම්බුද්ධ මන්දිරය විහාරස්ථානයට නව ජීවයක් මෙන්ම ආලෝකයක් ගෙනදෙයි.

ප්‍රාදේශීය ජනතාවගේ සිත්සතන් පොබයමින් ජනාදරයට හා ගෞරවයට පාත්‍ර වූ නිසාත් උන්වහන්සේ කෙරෙහි ප්‍රසාදිත අති ගෞරවාර්හ අස්ගිරි මහ නාහිමි ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව විසින් 1988 වර්ෂයෙහිදී, “සද්ධර්ම කීර්ති ශ්‍රී සෝභිත” යන ගෞරව නාම සම්මුතිය සහිතව දේවමැදි හත්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමූහ. තම ශිෂ්‍ය බාලාදීන්ගේ උවටැන් ලබමින් නව සැත්තෑවිය (79) සපුරණ නා හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!


කොස්ගොඩ සුභූති අනු නා හිමි

අම්බලන්ගොඩ, රන්දොඹේ සංඝරාජ මහා විහාරයේ විහාරාධිපති කොස්ගොඩ සුභූති නාහිමියන් 1955.10.05 වැනි දින ජන්ම ලාභය ලබා ඇත. 1965 අගෝස්තු 10 වන දින සසුන්ගතවී ඇති උන් වහන්සේ 1976 ජුනි 25 වන දින උපසම්පදාවී ඇත.

1978 දී අනුරාධපුර භික්‍ෂු විශ්ව විද්‍යාලයෙන් ත්‍රිපිටකවේදී උපාධිය ද 1977 අගෝස්තු, ප්‍රාචීන මධ්‍යම ද, 1984 මාර්තු කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියද, 1991 දෙසැම්බර් 19 කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබාගෙන ඇත.

1995 සිට විදේශික ප්‍රජාවට භාවනා උපදේශක හිමිනමක් ලෙස බෙන්තොට පාරාදීස දූපත, ගාල්ල උණවටුන පැරතන් ලංකා ආයුර්වේද ආයතනය, සෑම වර්ෂයකම විදේශවල (බටහිර යුරෝපා රටවල) භාවනා වැඩසටහන් මෙහෙයවා ඇත.

1982 අප්‍රේල් 30 විශ්වවිද්‍යාල තරුණ නායකත්ව වැඩසටහනද, සමස්ත ලංකා අමද්‍යප තරුණ සංගමය 1984 ජනවාරි 01 නායකත්ව පුහුණුව ද (ජාතික තරුණ සේවා සභාව) 1989 දෙසැම්බර් 26 – 29 මත්ද්‍රව්‍ය නිවාරණ පිළිබඳ පුහුණුව. (මත්ද්‍රව්‍යය හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය කොළඹ 07 ) 1987 නොවැම්බර් 23 – 27 (හොංකොං) 9 වන ජාත්‍යන්තර රාජ්‍ය නොවන මත්පැන් හා මත්ද්‍රව්‍ය නිවාරණ පුහුණුව ද, මැලේසියාව, තායිලන්තය යන රටවල 1987 මත්ද්‍රව්‍ය නිවාරණ පුහුණුවද ලබා ඇති උන්වහන්සේ 1988 කල්කටාහි සමාජ වටිනාකම් ගොඩනැඟීමේ සම්මන්ත්‍රණයට ද සහභාගි වී ඇත. (Valuebased Society)
 

1993.12.08 අමද්‍යප යොවුන් සමාජය – රුවන්වැල්ල, මත් ද්‍රව්‍ය නිවාරණ ස්වර්ණ පද්ම සම්මානය ලබා ඇත. 1988.12.08 (ශ්‍රී ලංකා ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය) ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමය සහ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සහන සහ පුනරුත්ථාපන කිරීමේ වැඩසටහන උපදේශක තනතුර ද හොබවති. 2002 (කලණ මිතුරු සංසදය) සභාපති සහ අධ්‍යක්‍ෂක වශයෙන්ද කටයුතු කරති.

1992 සැප්තැම්බර් 06 අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකාය කාරක සංඝ සභික පදවිය ද 1992 සහකාර ලේඛකාධිකාරී පදවිය ද 1987 දී රන්දොඹේ ශික්ෂාලංකාර පරිවේනාධිපති ලෙසද 1987 දී සර්වෝදය අමද්‍යප ව්‍යාපාරයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂක ලෙස ද 1990.02.16 දී සමස්ත ලංකා සාමදාන විනිශ්චයකාර ලෙස ද කටයුතු කර ඇත.

2005 දී රන්දොඹේ සංඝරාජ මහා විහාරයේ විහාරාධිපති වශයෙන් ද කටයුතු කරන උන්වහන්සේ 2005 දී අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ ලේඛකාධිකාරී සහ ප්‍රධාන සංඝනායක පදවිය ද පිරිනමා ඇත. උන් වහන්සේ පසුගිය දා අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනු නායක ධූරයකින් ද පිදුම් ලැබූහ.


කුඹුකන්ඳන හේමාලෝක හිමි

ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ ඌව පාර්ශවයේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක වැලිගල්ලේ උපරතන නාහිමියන් ප්‍රමුඛ කැප්පෙටිපොල ශ්‍රී සෝමානන්ද මහා පරිවෙනාධිපති අඹේවෙල වජිරඥාණ, ඇහැලියගොඩ කීණගහවිල ශ්‍රී ආනන්දාරාම මහා විහාරාධිකාරී කුරුම්දම්කුලමේ ධම්මවංශ, වැලිගල්ලේ ශ්‍රී සුදර්ශනාරාම බෝධිමළු විහාරාධිකාරී හඳුන්ගමුවේ උපාලි යන හිමිවරුන්ගේ ශිෂ්‍ය හඳුන්ගමුවේ කුඹුකන්දන හේමාලෝක සාමණේරනම ජූලි 6 වෙනි දින කැප්පෙට්පොල කලබුළුලන්ද පුරාණ විහාරස්ථ ශ්‍රී දේවරක්‍ෂිත මංගල උපෝෂථාගාරයේ දී ඌවේ ශ්‍යාම වංශික මහා නිකායේ මහා නා හිමි අනුනා හිමි ප්‍රධාන කාරක මහා සංඝසභාව වෙතින් අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලබති.

මාතලේ කුඹුකන්දන අයි.ජී. කළු බණ්ඩාර, ඩබ්.ඇම්.ඒ.පී. හීන්මැණිකේ යන දම්පතීන්ගේ පුත්‍රයාණන් වූ හේමාලෝක හිමියන්, මහනුවර අස්ගිරි විහාර මහා පිරිවෙනින් ශාස්ත්‍රොත්ග්‍රහණය කොට දැනට උසස් අධ්‍යාපනයෙහි නිරතව සිටිති.


වත්තල අමරවංශ නා හිමි

දකුණු පයාගල සමනක්කන්ද පුරාණ විහාරාධිපති වත්තල අමරවංශ හිමිපාණන්ට, කළුතර දිස්ත්‍රික්කයේ පස් යොදුන් කෝරළයේ උප ප්‍රධාන සංඝනායක ධුරය මහනුවර මල්වතු පාර්ශවීය කාරක සංඝ සභාව මගින් පිරි නමා ඇත. උන්වහන්සේ, මතුගම කටුගහහේන ශ්‍රී සුනන්දාරාමය, හොරවල වැදිගේවත්ත, භික්‍ෂු විවේකාරාමය සහ ගෝමරගොඩ, සමණක් කන්ද පුරාණ විහාරස්ථානයේ ද අධිපති ධූරය දරන්නාහ.


දෙකිඳ චන්දිම හිමි

නාවලපිටිය බව්වාගම සිරි ධම්මරතන මහ පිරිවෙනේ අධ්‍යාපනය ලබන මිහිඳුපුර ශ්‍රී‍්‍ර මහින්දාරාමයේ වැඩ වසන දෙකිඳ චන්දිම සාමණේරයන් වහන්සේ 2013 ජුනි මස 09 දින මල්වතු මහා විහාරීර මංගල උපෝසථාගාරයේදි අධිසීල සංඛ්‍යාත උපසම්පත්තියෙහි පිහිටුවනු ලැබූහ.

උන්වහන්සේ දෙකිඳ නාග ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරාධිපති, නාවලපිටිය පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය ශාසනරක්‍ෂක බලමණ්ඩලයේ ලේකඛාධිකාරි දෙකිඳ සීලරතන හිමියන්ගේ ශිෂ්‍යයෙකි.


ගවරගිරියේ මහින්ද නා හිමි

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ එක්නැළිගොඩ විහාර පාර්ශවයේ මහානායක ධුරන්දර විමලකීර්ති ශ්‍රී වාගීශ්වරාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත ඕපනායක කන්දේ පුරාණ රාජමහා විහාරාධිපති කුරුවිට සරණංකර මහානාහිමියන් ප්‍රධාන ධම්මජෝතිනී කාරක සංඝසභාව මඟින් පැල්මඩුල්ල බොරාලේ ශ්‍රී පේමරතනරාමය, නාරංගොඩ මෙත් සිසිල වන අරණ විහාරය යන උභය විහාරාධිපති ගවරගිරියේ මහින්ද මාහිමිපාණන් වහන්සේට ‘ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන විභූෂණ ශ්‍රී ධීරානන්ද වංශාලංකාර” යන ගරු සම්මානය සමඟ රත්නපුර මහ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමා ඇති බැවින් ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී නාගදීප රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත බ්‍රාහ්මණවත්තේ සීවලී අනුනාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සහ සබරගමුව පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර මැතිතුමා ප්‍රධාන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් හා පළාත් මාර්ග සංවර්ධන ග්‍රාමීය යටිතල පහසුකම් සංචාරක ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය පැල්මඩුල්ල ආසන සංවිධායක අතුල කුමාර රාහුබද්ධ ඇමතිතුමා ඇතුළු පළාත් සභා ප්‍රාදේශීය සභා මැති ඇමැතිවරුන්ගේ් සහභාගීත්වයෙන් පැල්මඩුල්ල බොරාල ශ්‍රී පේමරතනාරාම විහාරස්ථානයේ දී ජූනි මස 19 වන දා පැවැත්විණි.