Print this Article


ධම්මපදට්ඨ කථා 13 පහන් සිතින් දන් පිදූ බන්ධුල මල්ලිකා

 ධම්මපදට්ඨ කථා 13

පහන් සිතින් දන් පිදූ බන්ධුල මල්ලිකා

මෙම ලිපියෙහි මුල් කොටස ජුනි 23 වන දා පත්‍රයේ පළ විය.

එතැන් සිට බන්ධුල සෙන්පති අධිකරණයේ ද ප්‍රධානියා වෙමින් යුක්තිය පසිඳලීය. පැරැණි විනිශ්චයකරුවන්ට ලැබුණු අල්ලස් නැතිව යාමෙන් කෝපව සියලු දෙනා එක්ව රජුට ගතු කියන්නට වූහ. එනම් බන්ධුල රජු ද මරා රජකම ගන්නට උපක්‍රම කරති’ යි කියා රජු හා සෙන්පති බිඳවූහ.

කුපිත වූ රජතුමා සෙන්පති මරා දමන්නට කුමන්ත්‍රණයක් සංවිධානය කළේය. එනම් රජුගේම පිරිසක් යවා ප්‍රත්‍යන්ත ජනපදයක කැරැල්ලක් ඇති කොට එහිදි සෙන්පති හා දරුවන් දෙතිස කොටු කොට ගෙල සිඳ මරා දැමීමයි. ඒ අනුව සියලු සැලැසුම් යොදා විශාල කැරැල්ලක් ඇති කරවා සෙන්පති කැඳවා ඒ බව දන්වා වහාම එය සංසිඳුවා එන ලෙස නියෝග කළේය. එහිදී සෙන්පති මෙම උගුලට හසු විය. රජුගේ යෝධයන් ද මෙහි සැ¼ගවී සිට බන්ධුල සෙන්පති හා දරුවන් අල්වා ගෙල සිඳ ඒ හිස් රැගෙන විත් රජුට පෑහ.

මේ අතර බන්ධුල මල්ලිකාවෝ මේ කිසිවක් නොදන්නේ භික්‍ෂු මහා සංඝයා මැදුරට රැස් කරවා මහා දානයක් පැවැත්වූහ. ඉතා සැදැහැ සිතින් දන් පිළිගන්වමින් සිටි ඇයට රාජපුරුෂයෙකු විත් හසුනක් පිළිගැන්වීය. එහි සඳහන් වූයේ සැමියාගේ හා දෙතිසක් පුතුන්ගේ හිස් සිඳලන ලද බවයි. එපුවත කියවූ ඇය කම්පාවක් නොපෙන්වා කිසිවකුට ද නොකියා හසුන ඉණෙහි ගසා දෑගසව්වන් ප්‍රධාන භික්‍ෂූන් වෙත හොඳින් එළඹ දන් පිරිනැමුවාය. ඒ අතරෙහි ඇයගේ පිරිවර ස්ත්‍රියක් භික්‍ෂූන්ට පිළිගන්වන්නට ගෙනෙන ලද ගිතෙල් කළයක් භික්‍ෂූන් ඉදිරියේ බිම වැටී කැඩී බිඳී ගියේය. එය දුටු අනඳ තෙරණුවෝ මල්ලිකාවගේ සිත බිෙඳ්දෝයි සිතා බිෙඳන සුළු දේ බිඳීණි ඒ ගැන යළි නොසිතන්නැයි ඉල්ලූහ.

එය ඇසූ මල්ලිකාවෝ ඉණෙහි තිබූ හසුන ගෙන සංඝයාට පෙන්වා තමන්ට මේ සා විපතක්ව තිබියදීත් ඒ ගැන නොසිතා දන් පිළිගැන්වූ බවත්, ගිතෙල් හැලියක් බිඳී යාම තම සිතෙහි කවර කම්පනයක් ඇති කරන්නේදැයි කීහ. භික්‍ෂූන් වළඳා අරමට නික්ම ගිය කල තම පුතුන් දෙතිසගේ බිරින්දෑවරුන් කැඳවා, නුඹලාගේ සැමියන් අපරාධයක් නොකළ බවත්, පෙර කළ පාප, කර්‍මයකින් මෙසේ මිය ගොස් ඇති බවත් අවබෝධ කරදී එම සතුරු රජු කෙරෙහි කිසිඳු වෛරයක් සිතා සිත් දූෂ්‍ය කර නොගන්නැ’ යි ද අවවාද කළාය.

මල්ලිකාවගේ එම කතාව රජුගේ චර පුරුෂයෝ රජුට කීහ. ඒ අනුව ඔවුන් නිර්දෝෂී බව තේරුම් ගත් රජතුමා මල්ලිකාව ඇතුළු බිරින්දෑවරුන් වෙතින් සමාව යැද්දේය. දෙතිසක් තම ලේලිවරුන් ඒ ඒ නිවෙස්වලට යැවූ මල්ලිකාවෝ අවසන තමන්ගේ උපන් ගම වූ කුසිනාරාවට පිටත්ව ගියහ. රජතුමා බන්ධුල සෙන්පතිගේ බෑනා වූ දීඝකාරායණට සේනාපති පදවිය පිරිනැමූ අතර සුදුසු අවස්ථාවක් එනතුරු ඉවසීමෙන් බලා සිටි සෙන්පති රජුගේ රජ පදවිය රජුගේ පුත් විඩූඪභ කුමරාට ලබා දී පසේනදී කෝසල රජු අසරණයෙකු බවට පත් කළේය. ඔහු කළ අපරාධය දිට්ඨ ධම්මවේදනීය කර්මය ලෙසින් ජීවිතයේ අවසානය දක්වා ම වින්දේය. කර්ම විපාකයෙන් මිදෙන්නට චක්‍රවර්ති මහ රජෙකුට හෝ නොහැකි බව මේ අනුව ප්‍රත්‍යක්‍ෂ වෙයි.