Print this Article


රාගම වල්පොල සම්බුද්ධත්ව ජයන්ති සීමාමාලකය විවෘත කිරීම හා උපසම්පදා පුණ්‍යමහෝත්සවය

රාගම වල්පොල සම්බුද්ධත්ව ජයන්ති සීමාමාලකය විවෘත කිරීම හා උපසම්පදා පුණ්‍යමහෝත්සවය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධම්මයුත්තික පාර්ශ්වයේ අනුශාසකත්වයෙන් ඉදිකළ නව සම්බුද්ධත්ව ජයන්ති උපසම්පදා සීමාමාලකය විවෘත කිරීම සහ සාමණේර භික්‍ෂූන් වහන්සේලා සියක් නමක් උපසම්පදා ශීලයෙහි පිහිටුවීමේ පුණ්‍ය මහෝත්සවය ජූලි 05 වන දා සිට 09 වන දා දක්වා රාගම වල්පොල ශ්‍රී විමලරත්නාරාම විද්‍යා නිවාස පිරිවෙන් මහා විහාරයේ දී සිදු කැරේ.




 


‘විනය ශාසනයෙහි ආයුෂය’යි

“විනය ශාසනයෙහි ආයුෂය” බව බුදුරජාණන් වහන්සේ විවිධ දේශනා මඟින් අවධාරණය කර තිබේ. එකී විනය ප්‍රඥප්ති නොසිඳ ආරක්‍ෂා කිරීම භික්‍ෂුව සතු උතුම්ම වගකීම බව අමතක නොකළ යුතු ය. භික්‍ෂුවක් උපසම්පදා සීලයෙහි පිහිටුවීමෙන් බලාපොරොත්තු වන්නේ එකී පරමාර්ථය සපුරා ගැනීමයි. සසුනෙහි ඉදිරිගමනට උපසම්පදා භික්‍ෂූන්ගේ පැවැත්ම අත්‍ය වශ්‍යය.මේ උතුම් පරමාර්ථය සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ අරියවංශ සද්ධම්මයුත්තික පාර්ශ්වයෙහි අනුශාසනා පරිදි රාගම වල්පොල විමලරත්නාරාම විද්‍යානිවාස මහ පිරිවෙන් විහාරානුබද්ධ කදුරුගම වැවෙහි ඉදිකරන ලද අභිනව සීමාමාලකය සසුනේ චිරස්ථිතියට අතිශයින් මහෝපකාරී වන්නේම ය. මේ තුළින් අනාගත සසුනෙහි පෝෂණයට හා පැවැත්මට දිරිදෙන ආදර්ශවත් භික්‍ෂු පිරිසක් බිහිවේවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.


රන් අකුරින් සනිටුහන් වන්නක්

අප ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික මහනිකාය ශතවර්ෂයකටත් වඩා වැඩි කාල පරාසයක් තුළ සිදු කරන ලද ජාතික ආගමික මෙහෙවර සුවිශාලය. අභිනව සීමා මාලකයක් ඉදිකොට එය සම්බුදු සසුනට පුදකෙරෙන මේ මොහොත අප නිකායේ වංශ කතාවෙහි රන් අකුරින් සනිටුහන් වන්නකි. අපේ ආදී කතුවරයන් වහන්සේලා දිවි පරදුවට තබා සුරකින ලද ශාසනික සම්ප්‍රදායයන් ඉදිරියට පවත්වාගෙන යෑම අප පාර්ශ්වයෙහි සියලු භික්‍ෂූන් වහන්සේලාගේම වගකීම බව අමතක නොකළ යුතු ය. මේ සත්කාර්යයට අතහිත දුන් සියලු පින්වතුනට පුණ්‍යානුමෝදනා කරන අතර අද උපසම්පත්ති ප්‍රතිලාභය ලබන අපේ කුඩා ස්වාමීන් වහන්සේලාට තුණුරුවන්ගේ සූවිසි මහ ගුණ බලයෙන් නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේ වා යැ’ යි ආශිංසනය කරමි.


බුදු සසුනට ඉමහත් ආශිර්වාදයක්

සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුබවට පත්ව පස්වග මහණුන් වහන්සේලාගෙන් ඇරැඹුණු සසුනෙහි සාරිපුත්ත, මොග්ගල්ලාන මහා කාශ්‍යප ආදි මහරහතන් වහන්සේලාගෙන් ප්‍රභාස්වර බවට පත් කරන ලද ශ්‍රාවක සඟ පරපුර ඉකුත් දෙදහස් පන්සිය වසර පුරා ලෝකයට ඉටුකරන ලද සේවාව අපරිමිතය. මෑත ඉතිහාසයෙහි සිදුවූ ශාසන පරිහානියෙන් පසු සඟ සසුන නඟා සිටුවීම පිණිස අඹගහපිටියේ ඤාණවිමලතිස්ස මාහිමිපාණන් වහන්සේගේ පුරෝගාමිත්වය ලැබී ඇත. උන්වහන්සේට ඒ මහා කාර්යභාරය ඉටුකිරීම සඳහා සහාය දුන් මහතෙරුන් වහන්සේලා සිව් නමකි. කපුගම සිරි ධම්මකන්ධ, බෝගහපිටියේ සිරි ධම්මජෝති, කතළුවේ සිරි ගුණරතන, අත්තුඩාවේ සිරි ධම්මරක්‍ඛිත යන උතුමන් වහන්සේලාගේ පූර්ණ සහායද ඇතුළු අඹගහපිටියේ සිරි ඤාණවිමල තිස්ස මහා නා හිමි යන්ගේ ප්‍රමුඛත්වයෙන් ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය ආරම්භ වූයේ ය.

කතළුවේ සිරි ගුණරතන මහා නා හිමියන් වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පෙළපතට අයත් ගාල්ලේ දන්ගෙදර ජයවර්ධනාරාමාධිපති දන්ගෙදර සිරි සුමනජෝති මාහිමියන්ගේ ආදි කර්තෘත්වයෙන් අමරපුර අරියවංශ සද්ධම්මයුත්තික සංඝ පරපුර 1900 දී පමණ ආරම්භ කළ බව පෙනේ. මේ කාල පරාසය තුළ මෙම සංඝ පරපුරට අයත් මහා සංඝයාවහන්සේ රටට දැයට සම්බුද්ධ ශාසනයට ඉටු කරන ලද සේවය සදානුස්මරණීය යි.

ඉහත සඳහන් නිකායේ අනුශාසනා පරිදි අභිනවයෙන් සීමාමාලකයක් සාදා සියනමක් පමණ සාමණේර භික්‍ෂූන් උපසම්පදාශීලයෙහි පිහිටුවන මේ පින්බර මොහොතෙහි ඒ හා සම්බන්ධවන සියලු දෙනාටම තුණුරුවන් ගුණ බෙලෙන් නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමි.


ශාසන උරුමය ලබාදීම කාලීන අවශ්‍යතාවයක්

අමරපුර අරියවංශ සද්ධම්මයුත්තික නිකාය මඟින් ඉදිකළ නව උපසම්පදා සීමාමාලකය විවෘත කිරීම හා වාර්ෂික උපසම්පදා පුණ්‍යමහෝත්සවය වෙනුවෙන් ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳ මම අතිශයින් සතුටට පත්වෙමි.

උපසම්පදා විනයකර්ම නිසි කලට පවත්වා, සාමණේර භික්‍ෂුන් වහන්සේලා උපසම්පදා ශීලයෙහි පිහිටුවා ධර්ම විනය මනාව ප්‍රගුණ කර උන්වහන්සේලාට ශාසන උරුමය ලබාදීම කාලීන අවශ්‍යතාවයකි. විනය සසුනෙහි ආයුෂ පිළිබඳ බුදුරජාණන් වහන්සේ ද නිරන්තරයෙන් අවධාරණය කොට තිබේ.

උපසම්පදා භික්‍ෂූන්වහන්සේලා නොමැතිව සම්බුද්ධ ශාසනයේ සුරක්‍ෂිත භාවය ආරක්‍ෂා නොවේ. එම උතුම් ශාසනික වගකීම නිසි ලෙස ඉටුකිරීම සඳහා අභිනවයෙන් විවෘත කෙරෙන මෙම සීමා මාලකය මහෝපකාරී වන බව මම විශ්වාස කරමි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සුරක්‍ෂිතව පවත්නා ශ්‍රී ලංකාවේ උගත් ධර්මධර, විනයධර භික්‍ෂූන් වහන්සේලා රටට කීර්තියක් ලබා දෙන අතරම රටට ආඩම්බරයක් වෙමින් අපේ රට ජාත්‍යන්තර තලයේ ඉහළින්ම රැඳවීමට කටයුතු කිරීම ප්‍රශංසනීය වේ.

මෙම පුණ්‍යමහෝත්සවය සාර්ථක වේවා! යි ප්‍රාර්ථනා කරන අතර මෙම සීමාමාලකය උපයෝගි කොට ගෙන රටටත්, ජාතියටත්, සම්බුද්ධ ශාසනයටත් ප්‍රයෝජනවත්, ආදර්ශවත් භික්‍ෂු පරපුරක් බිහිවේවා! යි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.


ධර්මය, විනය සුරැකීමට සීමා මන්දිර අවශ්‍යයි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අරියවංශ සද්ධර්ම යුත්තික පාර්ශ්වයේ අනුශාසනා පරිදි රාගම වල්පොල විමලරතනාරාම විද්‍යානිවාස පිරිවෙන් මහා විහාරානුබද්ධ වැව් දූපතෙහි ඉදිකරවන ලද දර්ශනීය සීමා මන්දිරය 2600 සම්බුද්ධත්ව ජයන්තියට සුවිශේෂ උපහාරයකි. ධර්ම, විනය මනාව රැකගැනීම සඳහා සීමා මන්දිර ඉදිකිරීම අත්‍යවශ්‍යයයි. එහෙයින් මේ උදාර සසුන් මෙහෙවර සම්බුද්ධ ශාසනයේ චිරජීවනයට මහෝපකාරී වන අතර රටට දැයට වැඩ ඇති ආදර්ශවත් භික්‍ෂු පිරිසක් හදා වඩා ගැනීම සඳහා මහෝපකාරී වන බවද අමුතුවෙන් කිව යුතු නොවේ.

ඒ පැතුම ඒ අයුරින්ම සමෘද්ධිමත් වේවා!යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.


ශාසන වංශ කතාවට පරිච්ඡේදයක්

ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්මයුත්තික මහා නිකායේ වංශ කතාව වියත් ධර්මධර, විනයධර මහතෙරවරුන්ගෙන් ජෝතිමත්ව පුරා සියවසකටත් වැඩි කාල පරාසයක් පුරා ඉටුකරන ලද සසුන් මෙහෙවර වචනාතික්‍රාන්තය. කටුක අත්දැකීම් සමුදායක් තුළින් අපේ ආදිතම නායක මාහිමිපාණන් වහන්සේලා ජීවිත පරදුවට තබා රැකගත් අපේ ශාසනික සම්ප්‍රදායත්, වෙහෙර විහාර හා හැදෙන වැඩෙන භික්‍ෂු පරපුරත් ලෞකික ආධ්‍යාත්මික හා බාහිර සතුරු බලවේගයනට යටපත් වී පාවා නොදී, රැක ගැනීම නිකායික මහ සඟරුවනේ වගකීමයි.

සීමා මාලකයක් ගොඩනැඟීම සාමාන්‍ය විහාර ගොඩනැඟිල්ලක් තැනීම මෙන් පහසු කාර්යයක් නොවේ. මේ අතිදුෂ්කර කාර්යයෙහිලා අප සැම දිරිමත් කළ ආචාර්යෙ¸ත්තම මහා මහෝපාධ්‍යාය ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත කළුගල ශ්‍රී සෝරත නාහිමියන්ටත්, විද්‍යානිවාස මහ පිරිවෙන්පති ශාස්ත්‍රපති පණ්ඩිත ගලහ පඤ්ඤාසාර හිමි, උප පරිවෙණාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත සිරිමල්ගොඩ විමලජෝති හිමි ඇතුළු විහාරස්ථානයේ සියලු මහ සඟරුවනටත්, සීමා මන්දිරය ගොඩනැඟීමේ කොමිටියටත්, සියලුම දායක දායිකා පිරිසත් පින් දෙමින් අගයන අතර අද උපසම්පත්ති ප්‍රතිලාභය ලබන පින්වත් සාමණේර භික්‍ෂු පිරිසට රටට දැයට සසුනට සියවසක් කල් වැඩ සිටීමට නිදුක් නීරෝගී දිගාසිරි සම්පත් ලැබේවායැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.